Divaina - සමගි ජන බලවේගයට පැවැත්මක් නෑ - රුවන් කියයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 ruwan


 සාකච්ඡා කළේ
 අකිත පෙරේරා
 
එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකත්වය වෙනුවෙන් සුදුසුකම් සපුරමින් නිහඬ ගමනක සහ මහත්මා දේශපාලනයක නිරතවන හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයකුද වූ එ.ජා.ප ගම්පහ දිස්ත‍්‍රික් අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා සමග ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ කරන ලද සම්මුඛ සාකච්ඡාවකි මේ.
 
 ප‍්‍රශ්නය - ඔබේ පක්ෂය දෙකඩ වී සහ ආණ්ඩු බලය අහිමිව පවතින මොහොතක මෙවර මහ මැතිවරණයට මුහුණදෙන්නට සිදුවීම විශාල දුෂ්කර තත්ත්වයක් නේද?
 
 පිළිතුර - මේ මැතිවරණයේදී යම්කිසි අභියෝගයක් තිබෙනවා තමයි එක්සත් ජාතික පක්ෂයට. පක්ෂයේ අභ්‍යන්තර දෙදරීම මෙම අභියෝගයට ප‍්‍රධානම කාරණාවයි. එජාපය කියන්නේ ඉතාම ස්ථාවර ඡන්ද පදනමක් තිබෙන පක්ෂයක්. ඒ වගේම දැවැන්ත ඉතිහාසයක් තිබෙන පක්ෂයක්. ඉතින් මම විශ්වාස කරනවා අපේ පාක්ෂිකයන් මේ පක්ෂය මේ මොහොතේ ආරක්ෂා කරයි කියලා. මේ වන විට අපේ රටේ ජනතාව විශාල ආර්ථික ප‍්‍රශ්නයකටත් මුහුණ දෙනවා. ඒ වගේම කොරෝනා වසංගතය නැවතත් ව්‍යාප්ත වෙයි කියන විශාල සැකයත් ජනතාවට දැන් නැවත ඇතිවෙලා තිබෙනවා. මේවා ගැන ආණ්ඩුව ඇත්ත කතා කරනවාද කියන ප‍්‍රශ්නයත් තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව ගැන ජනතා විශ්වාසයක් ඇත්තේම නෑ. ඒ නිසා මම හිතනවා අපේ පක්ෂයට ජනතා විශ්වාසය දිනාගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මොන අභියෝගයක් ආවත් සුබවාදී ප‍්‍රතිඵලයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
 
 ප‍්‍රශ්නය - එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකත්වයට පත්වෙතැයි කියන නම් ලැයිස්තුවේ ඔබේ නමත් තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ මෙම දෙකඩවීම ඔබට පුද්ගලික ලෙස විශාල වශයෙන් බලපානවා නේද?
 
 පිළිතුර- මේ දෙකඩවීම අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයක්. පුළුවන් තරම් එකමුතුව මේ මැතිවරණයට යන්න තමයි අපි බලාපොරොත්තු වුණේ. නමුත් අවාසනායකට මතබේදයක් ඇතිවී පිරිසක් කඩාගෙන ගියා. ඉදිරියේදී පක්ෂ නායකත්වය සඳහා සුදුස්සා කව්ද කියලා පක්ෂය තීරණයක් ගනීවි. පක්ෂයේ නායකයා මම වෙයිද කියලා කියන්න බෑ. නමුත් දක්ෂයාට අපේ පක්ෂයේ තැන තිබෙනවා. පක්ෂයේ සහ පාක්ෂිකයන්ගේ වගේම රටේ ජනතාවගේ විශ්වාසය දිනාගන්න පුළුවන් කෙනෙකුට පක්ෂයේ නායකත්වය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මේ දෙකඩවීම මට විතරක් නොවෙයි පොදුවේ සමස්ත පක්ෂයටම බලපානවා.
 
 ප‍්‍රශ්නය - එජාපයේ නායකත්වය සම්බන්ධව නොනවතින අරගලයක් පවතින බව පෙනෙනවා. දැන් ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා කියා සිටිනවා ඔහුත් ඉදිරිපෙළ නායකයෙක් කියලා.
 
 පිළිතුර - එතුමාත් මෙම පක්ෂය තුළ සිටින ඉදිරිපෙළ නායකයෙක්. ඒ වගේ කිහිපදෙනෙක් මේ පක්ෂයේ සිටිනවා. මම හිතන්නේ ඉදිරියේදී අපේ සියලූම මන්තී‍්‍රවරුන් වගේම පාක්ෂිකයන් හරි තීරණයක් ගනීවි කව්ද නායකයා කියලා. මේ හැම කෙනෙකුටම පක්ෂයේ ඉදිරියට යන්න පුළුවන්. රනිල් වික‍්‍රමසිංහ මහතා හැරුනුකොට දක්ෂතා සහිත දෙවෙනි පෙළක් වගේම තුන්වෙනි පෙළකුත් සිටිනවා. මේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ කාගේවත් බූදලයක් හෝ යම්කිසි පක්ෂයකට විතරක් අයිති පක්ෂයක් නොවෙයි. පොහොට්ටුව ගත්තොත් රාජපක්ෂ පවුලේ පක්ෂය තමයි ඒ. සමගි ජන බලවේගය ගන්න ඒක සජිත් පේ‍්‍රමදාස මහතාගේ පක්ෂය. නමුත් එජාපය එහෙම නෑ. සුදුස්සාට සුදුසු තැන මේ පක්ෂයේ තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - මේ මහ මැතිවරණයේදී ආණ්ඩු බලය ලබා ගැනීමට ඔබේ පක්ෂයට තිබෙන ප‍්‍රධානතම අභියෝගය වන්නේ කුමක්ද?
 
 පිළිතුර- මේ අවස්ථාවේදී පක්ෂයේ ඇතිවූ දෙදරීමත් සමග අපිට හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙනවා අලූත් අය පක්ෂයට බඳවගන්න. පිරිසිදු චරිත, දක්ෂතා ඇති හොඳ වෘත්තිකයන්, බුද්ධිමතුන් පක්ෂයට ගන්න අවශ්‍යයි. මොකද පාර්ලිමේන්තුවේ 225 ම එපා කියලා අලූත් මතවාදයක් ආවානේ. දැන් අපිට ඒ ඉල්ලීම සපුරන්න පුළුවන්. අපි දැනටමත් හොඳ කණ්ඩායමක් දාලා තිබෙනවා. කොහොම වුණත් අපිට ආණ්ඩු බලය ලබා ගැනීමට අභියෝගයක් හැටියට මට හිතෙන්නේ මේ පක්ෂයේ ඇතිවූ දෙදරීම. ඒ වගේම කොරෝනා ව්‍යාප්තිය අතරේ මැතිවරණ කටයුතු මෙහෙයවීම තවත් ප‍්‍රධාන අභියෝගයක්. මේක ලෙහෙසි පහසු අභියෝගයක් නොවෙයි. නමුත් අපිට මේ අභියෝග ජයගෙන රටේ ජනතාවගේත්, පාක්ෂිකයන්ගේත් සහයෝගය ලබා ගෙන සුබවාදී ප‍්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වේවි.
 
 ප‍්‍රශ්නය - මේ දිනවල ඔබ පාක්ෂිකයන් නිතර නිතර හමුවෙනවා. දැනට පක්ෂයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් පාක්ෂිකයන්ගේ අදහස කුමක්ද?
 
 පිළිතුර - පාක්ෂිකයන් ඇත්තටම කනගාටු වෙනවා මේ වනවිට අපේ පක්ෂයේ ඇතිවී තිබෙන දෙදරීම සම්බන්ධයෙන්. නමුත් ඒ අය මැතිවරණයේදී ඡන්දය භාවිත කරන විට අලියාගෙන් පිට යන්නේ නෑ කියලා මට කියන්න පුළුවන්. පාක්ෂිකයන්ගේ කලකිරීමක් තිබුණත් මේ පක්ෂය ආරක්ෂා කරගන්න ඒ අය මේ මොහොතේ කි‍්‍රයා කරයි කියලා.
 
 ප‍්‍රශ්නය - එජාපයේ පවතින මේ දෙදරීම තුළින් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් ඒ අය පසුවෙනවා
 
 පිළිතුර - මේ ආණ්ඩුව ගැන ජනතාවගේ විශ්වාසය දිනෙන් දිනම නැතිවෙමින් යනවා. ඇත්තෙන්ම කොරෝනා වසංගතය ව්‍යාප්තවීම වැඩිවෙයි කියලා ජනතාව හිතනවා. ඒ ගැන ආණ්ඩුව තොරතුරු හංගනවා කියලා ජනතාව හිතනවා. ඒ වගේම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයත් කියනවා ඒ අය කියන දේවල් ආණ්ඩුව අහන්නේ නෑ කියලා. දැන් ඒ අතරේ පීඑච්අයි නිලධාරීන් වැඩ වර්ජනයක නිරතවෙනවා. දැන් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින්නේ හමුදා නිලධාරීන්. ඒ අය තමයි ඇවිත් කියන්නේ දෙවෙනි රැල්ලක් නෑ කියලා. ඒ වගේම මේ ආණ්ඩුවෙන් ජනතාවට දීපු සහනයක් නෑ. බඩු මිල වුණත් බලන්න අපේ කාලයට වඩා ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. පසුගිය කාලේ සිදුවූ සිදුවීම් දෙස බලනවිට මේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නෑ. කුරුණෑගල බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය විනාශ කිරීම ගැනත් මේ ආණ්ඩුව කියන දේවල් බලන්න හරිම පරස්පරයි. අපි ඒ දේවල් ගැන කනගාටු වෙනවා. මේ තුළ ආණ්ඩුවේ ඡන්ද පදනමටත් විශාල වශයෙන් බලපාලා තිබෙනවා. ආණ්ඩුවට ජනාධිපතිවරණයේදී ලබා දුන් අය මෙවර ඡන්දය භාවිත කරන්න එන එකක් නෑ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අය අවසන් දිනය තෙක් දෙගිඩියාවෙන් ඉඳලා අන්තිම මොහොතේ හරි ගිහින් ඡන්දය දානවා. අපි ආරාධනා කරනවා ඒ අයට ඒ අයගේ වටිනා ඡන්දය භාවිත කරන්න කියලා පක්ෂය සහ රට ගැන හිතලා.
 
 ප‍්‍රශ්නය- සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයෙන් එජාපයේ සිටි මන්තී‍්‍රවරු විශාල පිරිසක් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ තත්ත්වය විශාල අභියෝගයක් නේද එජාපයට.
 
 පිළිතුර - නෑ. සමගි ජන බලවේගය අපිට අභියෝගයක් නොවෙයි. ඒ අයගේ ප‍්‍රතිපත්තිය මොකක්ද, දේශපාලන ක‍්‍රමවේදය කුමක්ද? ඒ වගේම ඒ අයගේ ආර්ථික දැක්ම මොකක්ද? ඒ අය විසිදාහක් දෙනවා කියනවා. එය මේ වන විට විශාල වශයෙන් විවේචනයට ලක්වෙලා තිබෙනවා. නමුත් එජාපය කියන්නේ විශාල දැක්මක්, ව්‍යුහයක් තිබෙන පක්ෂයක්. සමගි ජන බලවේගය කියන්නේ රනිල් වික‍්‍රමසිංහ විරෝධී පක්ෂයක් විතරයි. ඒ අයගේ එකම අරමුණ සිරිකොත අල්ලගන්න එක විතරයි. ඒකේ කිසිම පදනමක් නෑ. ජනතාවට අවශ්‍ය පක්ෂයක් රටට කොහොමද සේවය කරන්නේ කියන එක, නැතුව පක්ෂ මූලස්ථාන අල්ලන්න නොවෙයි. ඒ නිසා අපේ පක්ෂයේ ජන පදනම ආරක්ෂා වේවි.
 
 ප‍්‍රශ්නය - සමගි ජන බලවේගය නම් කියන්නේ එජාපය ආණ්ඩුව සමග එක සමාන්තරව යන දේශපාලන ව්‍යාපාරයක් කියලා.
 
 පිළිතුර - අපිට නම් ඔය පොහොට්ටුව සමග ඞීල් එකක් නෑ. අපි ආණ්ඩුවට මුක්කු ගහන්න යන්නේ නෑ. අපි ඒ බව අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණයක් ගත්තා. අපි යන්නේ ස්වාධීන ගමනක්. අපි පොහොට්ටුවත් සමග ජාතික ආණ්ඩුවක් හදන්න යන්නේ නෑ. අපේ අරමුණ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හදන එක. ඒ වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ. නමුත් සමගි ජන බලවේගයේ අය නම් විවිධ අය එක්ක ඞීල් දාලා තිබෙනවා. දැන් බලන්න ඒ අය එක්ක වෙනත් පක්ෂවල නායකයෝ ඉන්නවානේ. එවැනි අය මොන ආණ්ඩුව යටතේත් ඇමැතිකම් දරපු අය. මේ අවස්ථාවේදී පොහොට්ටුව ජයග‍්‍රහණය කළොත් ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතරය හදාගන්න ඔය පක්ෂය දාලා යනවා. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. එතකොට ඉතුරු වෙන අයට ආයෙත් මහගෙදර බලා එන්න වෙනවා.
 
 ප‍්‍රශ්නය - නමුත් ඔබ වැනි එජාප ප‍්‍රභලයන් ආණ්ඩුව විවේචනය කරනවා දකින්නේත් නෑ.
 
 පිළිතුර - නෑ අපි ආණ්ඩුව විවේචනය කරනවා. ඒවා ඇත්ත විවේචන, ඒ නිසා ඒවා මාධ්‍යවල පළවෙන්නේ නෑ. මාධ්‍ය දාන්නේ එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය විවේචනය කරන ටික විතරයි. නමුත් අපි ආණ්ඩුව විවේචනය කරනවා. ඒක ජනතාව දන්නවා. මේ ආණ්ඩුව විවේචනය කරන්නේ නැතුව බෑ. මේ ආණ්ඩුව ජනතාවගේ කිසිම ප‍්‍රශ්නයකට පිළිතුරක් දීලා නෑ.
 
 ප‍්‍රහ්නය - මේ මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය තුළ සැබෑ ප‍්‍රතිසංධානයක් ඇතිවේවිද?
 
 පිළිතුර- ඔව් ඒක නායක තුමාත් ප‍්‍රකාශ කරලා තිබෙනවා. පක්ෂය තුළ සැබෑ ප‍්‍රතිසංධානයක් සිද්ධවේවි. අපෙන් කඩා ගෙන ගිය අය අපේ පක්ෂයට නැවතත් ඒවි. දැනුත් අපිට කතා කරනවා. ඒ අය කනගාටුවෙන් කතා කරනවා. එතැන ඉන්න හොඳ අය අපි ගන්නවා. එවිට අපි නැවතත් හොඳ ශක්තිමත් පක්ෂයක් ලෙස නැගිටිනවා. මේ පක්ෂය විනාශ කරන්න බෑ. අපි මේ පක්ෂය තව තවත් ශක්තිමත් කරනවා. සිරිකොතේ බලයත් අපි ආයෙත් ශක්තිමත් තරනවා. ඔය සමගි ජන බලවේගයට පැවැත්මක් නෑ. ඒ අය අපි සමග ආයෙත් එක්වේවි.

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles