Divaina - අපේ සැලසුම මිලියන හයදාහක සල්ලි රටට බෙදන්නයි... කොරෝනා අභියෝගය ජය ගන්න ආණ්ඩුවට බැහැ...ජනාධිපති සහ අගමැති එක පවුලකින් පත් කරගන්නවාද නැතිනම් අතට සල්ලි ගන්නවා දැයි ජනතාව තීරණය කළ යුතුයි!

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


ranil

* සිරිකොත අල්ලන්න බලන් ඉන්න අය ගැන වැලිකඩ පොලිසිය බලා ගනියි


සාකච්ඡා කළේ -
මනෝජ් අබයදීර


අර්බුද අතරේ ඉවසීමෙන් කටයුතු කිරීමේ කෘතහස්ත ගුණය සතු රනිල් වික‍්‍රමසිංහ මහතා අපට හමුවන්නේ මධ්‍යහ්න කාලයේ ඔහුගේ නිවසේදීය. ඒ වන විටත්, කොළඹින් බැහැර ප‍්‍රදේශයක මැතිවරණ කටයුත්තක් සඳහා බැහැර යෑමට සැරසී සිටි ඔහු ලෝක දේශපාලනය, ලෝක ආර්ථික තත්ත්වයන් ආදිය පිළිබඳව අධ්‍යනයක නිරත වෙමින් සිටියේය. ඒ අතර ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග ඔහු නිරත වූ සාකච්ඡාවයි මේ

ප‍්‍රශ්නය - වසර පහක් ඔබ මේ රටේ අගමැතිවරයා ලෙස කටයුතු කළා. ප‍්‍රබල රාජපක්ෂ පාලනය පෙරළා දමා, මේ රටේ ජනතාව ඔබ ඇතුළු පිරිසට 2015 දි ආණ්ඩු බලය ලබා දුන්නා. පසුගිය ජනාධිපතිවරණයේදී ඒ බලය ගිලිහී ගියා. දැන් යළිත් පාර්ලිමේන්තු බලය ඉල්ලමින් ඔබගේ පක්ෂය ජනතාව අතරට පැමිණ තිබෙනවා. ඉදිරි මහ මැතිවරණයේදී එජාපයට ජනතාව බලය ලබා දිය යුත්තේ ඇයි...?

පිළිතුර - කොරෝනා අභියෝගය සමග මේ රට ඉදිරියට ගැනීමේ අභියෝගය අද තිබෙනවා. මෙම තත්ත්වය සමග ඇතිවී තිබෙන ආර්ථික පරිහානිය සඳහා මුහුණදීමේ වැඩසටහනක් එජාපය විසින් සකස් කර තිබෙනවා. කොරෝනා වසංගතයෙන් ඇතිවූ ආර්ථික අවදානමෙන් ගොඩඒම සඳහා ආණ්ඩුවට ශක්තියක් නැති බව අපිට පෙනෙනවා. මේ අභියෝගය ජයගැනීම මත තමයි, මේ රටේ ඉදිරි ගමන තීරණය වෙන්නේ. ඒ නිසා තමයි, මේ කොරෝනා වසංගතයෙන් පසු තත්ත්වය පදනම් කරගෙන, රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා විධිමත් ප‍්‍රතිපත්තියක් අනුව රට මෙහෙයවන්න.

මේ තමයි මෑත ඉතිහාසයේ අපි මුහුණ දුන්න දැවැන්තම අභියෝගය. දකුණේ කැරැල්ලත්. උතුරේ ත‍්‍රස්තවාදයත්, යන දෙකටම අපි මුහුණ දුන්නා. අපේ ආර්ථිකය ඍන අගයට පහළ බැහැලා තිබ්බා. දවස් දෙකකට වරක් ජනතාව බත් කාපු කාලයක් තිබ්බා. ඒ හැම දෙයටම වඩා අභියෝගාත්මක අවස්ථාවක් මේක. ඒ සඳහා තමයි අපි මේ අවස්ථාවේදී සැලසුම් සකස් කළේ. අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේදී වෙනත් මාතෘකා අපි කතා කළේ නැහැ. අපි එහිදී සාකච්ඡා කළේ කොරෝනා පාලනය සහ ඉන් පසු ආර්ථික යුද්ධය ජයගැනීම පිළිබඳව පමණයි. අපි කොරෝනා ආරම්භක අවස්ථාවේ කියපු දේ තමයි අද විශේෂඥයන් පවා ප‍්‍රකාශ කරන්නේ. දිනකට පී. සී. ආර්. පරීක්ෂණ පන්දාහක් කළ යුතු බව අපි යෝජනා කළා. ඒ වගේම රෝහල් ක‍්‍රමය ශක්තිමත් කළ යුතු බවට අපි යෝජනා කරනවා. යළිත් වරක් ඩෙංගු වැනි වසංගතයක් පවා එන්න ඉඩ තියෙනවා. එවැනි අවස්ථා සඳහාත් අප සූදානම් විය යුතුව තිබෙනවා. අවශ්‍ය නම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මුහුණු ආවරණ මිලියන දහයක් පමණ ලබා දෙන්න ඕනේ. අපි මෙහෙම සැලසුමක් ඉදිරිපත් කළත්, මේ ආර්ථික අවදානම සඳහා මුහුණදීමට ආණ්ඩුව කිසිම අදහසක් හෝ සැලසුමක් ඉදිරිපත් කරලා නැහැ. මේ සඳහා අවශ්‍ය වන මූල්‍ය ශක්තිය පිළිබඳව අපි ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා.

ප‍්‍රශ්නය - කොරෝනා උවදුර හමුවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය සඳහා එජාපයේ සැලසුම විස්තර කළහොත්...

පිළිතුර - මේ සඳහා මිලියන හයදාහක පමණ මුදලක් අවශ්‍ය වෙනවා. මීට පෙරත් අපි එවැනි මුදලක් ලබාගෙන තිබුණා. ඒ අත්දැකීම් මත හිඳිමින් මෙම මුදල ලබා ගෙන ආර්ථිකය දියුණු කරන්න අපි සූදානම්... අපේ සැලසුම වන්නේ එම මුදල සමාජයට මුදාහැරීම සිදු කරන්නේ කෙසේද යන්නයි. රැකියා ආරක්ෂා කිරීම, සමාගම් ආරක්ෂා කිරීම, අපනයන ආර්ථිකය ගොඩනැංවීම, කෘෂිකර්මාන්තය දියුණු කිරීම, යන අංශ සඳහා අපි සැලසුම් සකස් කර තිබෙනවා. ඒ පිළිබඳව ඕනෑම අයෙක් සමග වාද විවාද, සංවාද කිරීම සඳහා අපි සූදානම්. මේ අවස්ථාවේදී සංවාද කළ යුත්තේ ඒ ගැනයි.

ප‍්‍රශ්නය - කොරෝනා කියන්නේ ගෝලීය අර්බුදයක්. මේ අර්බුදය සඳහා විදේශ ණය ආධාර ලබා ගැනීම අසීරු කාරණයක්. මෙම අර්බුදය හේතුවෙන් ගෝලීය දළ දේශීය නිෂ්පාදනයෙන් ඩොලර් ටි‍්‍රලියන 9ක් අහිමි විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ප‍්‍රධානී ආර්ථික විද්‍යාඥ ගීතා ගෝපිනාත් පවසා තිබෙනවා. එවැනි පරිසරයක් තුළ ගෝලීය වශයෙන් ණය ආධාර ලබාගැනීම පහසු තත්ත්වයක් නොවෙයි.

පිළිතුර - දැනට ලෝකයේ ප‍්‍රධාන රටවල් විස්ස විසින් මේ සඳහා වන එක් තීරණයක් ගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
මාර්ගයෙන් මේ පිළිබඳව තීරණ ගත යුතුයි, කියන ස්ථාවරයේ ඔවුන් ඉන්නවා. දැනටමත් රටවල් ගණනාවක් එම ආධාර මුදල් ලබාගෙන තිබෙනවා. එම මුදල් ශ‍්‍රී ලංකාවට ලැබිලා නැහැ. පාකිස්ථානය විසින් මිලියන පන්දාහක මුදලක් ඉල්ලා තිබෙනවා. එය ලැබීමට නියමිත බව පෙනෙනවා. බංගලාදේශය මිලියන තුන්දාහක මුදලක් ඉල්ලූවා. මේ විදිහට අපේ ඇස්තමේන්තුවෙන් විශාල මුදලක් මූල්‍ය අරමුදලෙන් ලබාගෙන, අනික් කුඩා ප‍්‍රමාණය අපේ මිත‍්‍ර රටවල් වෙතින් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා.

ප‍්‍රශ්නය - ශ‍්‍රී ලංකාවට මෙම මුදල් ප‍්‍රමාණය, මූල්‍ය අරමුදලෙන් නොලැබෙනු ඇතැයි ඔබ පැවසුවා. මෙතරම් සාර්ථක ලෙස කොවිඞ් උවදුරට මුහුණ දුන්න රටකට එසේ ආධාර නොලැබීමට තිබෙන හේතුව කුමක්ද...?

පිළිතුර - එය ලබාදෙන්නේ රාජ්‍ය ප‍්‍රතිපත්ති අනුව. එසේම අනෙකුත් ප‍්‍රතිපත්තිත් ඒ සඳහා බලපානවා. ඒ සඳහා මූල්‍ය අරමුදල එකඟ වුණේ නැහැ. ජපන් ආධාර සහයෝගීතාවත්, ලංකාවට ආධාර ලබාදෙන්න එකඟ වුණේ නැහැ.

ප‍්‍රශ්නය - මේ අවස්ථාවේදී ජනතාවට සහන දෙන බවට බොහෝ දේශපාලන පාර්ශ්ව කියා සිටිනවා, සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සෑම පවුලකටම රුපියල් විසිදාහක් ලබාදෙන බවට ප‍්‍රතිඥා ලබාදී තිබෙනවා. ඔබගේ ප‍්‍රතිපත්තිය අනුව පවුලකට කොපමණ මුදලක් ලබා දෙනවාද...?

පිළිතුර - අපි පළමුව කියා සිටින්නේ, මාසයක් දෙකක් දීලා ඔය සහනාධාරය නවත්වන්න බැහැ. දෙනවා නම් අවශ්‍ය මුදල් තිබිය යුතුයි. මෙම තත්ත්වය තුළ ලක්ෂ දහයකට පමණ රැකියා අහිමි වෙනවා. ඒ අයට මසකට රුපියල් දහදාහක් අපිට ගෙවන්න පුළුවන්. ඊට අමතර වෙනත් විශේෂ කණ්ඩායම් හඳුනාගෙන, ඒ අයට අවශ්‍ය මුදල් ලබාදීමට අපි සැලසුම් කර තිබෙනවා.

ranil2ප‍්‍රශ්නය - ව්‍යාපාර ආරක්ෂා කිරීම සඳහා 4% පොලියට ආණ්ඩුව විසින් බැංකු මගින් මුදල් නිකුත් කර තිබෙනවා. මෙම ක‍්‍රමවේදයට අමතර ව්‍යාපාර සුරක්ෂිත කිරීම සඳහා ඔබගේ යෝජනා මොනවාද...?

පිළිතුර - ඔය මුදල තවම ව්‍යාපාර සඳහා ලබාදී නැහැ. ඔය මුදල් කට වචනයෙන් ලබා දෙන්න බැහැ. මුදල් ලබා දෙන්නේ, බැංකු මාර්ගයෙන්. ඒ අය ලබා දෙන්නේ, තමන්ගේ තැන්පත්කරුවන්ගේ මුදල්. මහ බැංකුව තවම බැංකුවලට මුදල් දීලා නැහැ. තැන්පත්කරුවන්ගේ මුදල්, වගකීමක් නොමැතිව ලබාදෙන්න බැංකු සූදානම් නැහැ. ඒ සඳහා බැංකුවට යම් කිසි ආරක්ෂාවක් දෙන්න ඕනේ. ඒ ආරක්ෂාව සඳහා අවශ්‍ය වන සහතිකය බැංකු සඳහා ලබාදීම අවශ්‍ය වෙනවා. පොලී සහනය සඳහා බැංකුවට ලබාදෙන සහනයත් අපි සඳහන් කරන්න ඕනේ. මහ බැංකුව කිව්ව පළියට බැංකු විසින් ණය ලබා දෙන්නේ නැහැ. තව වසර දෙකකින් මෙසේ ලබාදෙන මුදලේ පොලිය වැඩිවෙන්න පුළුවන්. ඒ ගැනත් ගණනය කිරීම් අපි කළ යුතුව තිබෙනවා. ඒ නිසා අංශ ගණනාවක් ඔස්සේ සලකා බලා, ව්‍යාපාර, කර්මාන්ත ආරක්ෂා කිරීමට අපි මුදල් දිය යුතු වෙනවා.

ප‍්‍රශ්නය - ඔබ රටේ ඉදිරි ආර්ථිකය පිළිබඳව, පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීම පිළිබඳව කතා කරනවා. එසේ වුවත් එජාපය අද දේශපාලන වශයෙන් නාය ගොස් තිබෙන පක්ෂයක්. පක්ෂයේ බහුතරයක් අද සිටින්නේ ජාතික සමගි බලවේගය සමග බව පැවසෙනවා. එවැනි තත්ත්වයකදී රටේ ආර්ථිකය සඳහා සැලසුම් සකස් කිරීමට පෙර පක්ෂ යාන්ත‍්‍රණය සකසා ගැනීම අවශ්‍ය වෙනවා නේද...?

පිළිතුර - මේ පක්ෂය සඳහා පමණක් නොවේ සියලූ පක්ෂ සඳහා අලූත් මුහුණු අවශ්‍ය මොහොතක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒ අනුව අපි මෙම මැතිවරණයට අලූත් මුහුණු හඳුන්වා දෙන්න යෝජනා කළා. එක් පිරිසක් ඒ සඳහා කැමති වුණේ නැහැ. අලූත් මුහුණු සහ අලූත් වැඩසටහනක් සමග එජාපය දැන් පැමිණ තිබෙනවා. මේ පක්ෂයට නොවෙනස්ව ඡන්දය දෙන විශාල පිරිසක් සිටිනවා. එම ඡන්ද වෙනස් වෙන්නේ නැහැ. ඒ අයට පක්ෂය විශ්වාසයි. අපේ ක‍්‍රියාමාර්ග පිළිබඳව විශ්වාසය තිබෙනවා. කෙටි මාර්ග භාවිත කරලා, පාර්ලිමේන්තුවට පැමිණීමට බලාපොරොත්තු වෙන කිහිපදෙනකු පසුගිය කාලයේදී ඇති කරපු දෙයක් ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ. තමන්ගේ හැකියාව අනුව එජාපයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන් පිරිසක් පක්ෂයේ ඉන්නවා. ආසන දිනා ගන්න බැරිව වෙනත් මාර්ග හොයපු පිරිසක් පක්ෂයෙන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා.

ප‍්‍රශ්නය - ඔබ සහ ඔබේ වටේ සිටිනා එක්තරා කල්ලියකට පමණක් පක්ෂයේ බලය සහ සීමා වෙලා තිබෙන නිසා, ඒ ගැන කලකිරුණු පිරිසක් මෙසේ වෙනත් ආකාරයකින් සංවිධානය වී තිබෙන බව පෙනෙනවා. එජාපය එක්තරා කල්ලියක ආධිපත්‍යට ගොදුරුවීම මෙම බෙදීමේ මංසන්ධිය නොවේද...?

පිළිතුරු - අපි පක්ෂයේ සියලූ දෙනාට අවශ්‍ය වගකීම් සහ බලතල ලබා දුන්නා. ඒවා ඉටු කරපු පිරිස පක්ෂයේ රැඳී ඉන්නවා. තවත් සමහරු හිතුවේ සජිත් පේ‍්‍රමදාස සමග ගොස් ජයග‍්‍රහණය කළ හැකි බවයි. දැන් ඒ අයට තේරිලා තියෙනවා ඇත්ත තත්ත්වය. ඒ අය ආපහු අපිට කතා කරනවා.

ප‍්‍රශ්නය - ඒ කියන්නේ මැතිවරණයෙන් පසුව දුරකථනයෙන් ජයග‍්‍රහණය කරන පිරිසක් අලියා ළඟට නැවත එනවා කියන එකද...?

පිළිතුර - අපි උත්සාහ කරන්නේ එජාපයෙන් බහුතර බලයක් ලබාගෙන රට පත්ව තිබෙන අර්බුදයට විසඳුම් සොයන්නයි. ඒ සඳහා අපිට වැඩපිළිවෙළක් තිබෙනවා. ජනතාව ඒ සඳහා අවස්ථාවක් ලබා දෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. එසේ වුවත් අපි සමග කතා කරන උදවිය සමග වෙනම සංවාදයක් සිදු කරන්න අපිට පුළුවන්. ඒ සඳහා අවස්ථාව තිබෙනවා.

ප‍්‍රශ්නය - ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කරලා තවම මාස කිහිපයයි ගත වී තිබෙන්නේ. ඒ තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ බලය වෙනත් පාර්ශ්වයකට ජනතාව විසින් ලබාදීම විරල සිදුවීමක්. ඒ කියන්නේ මේ මැතිවරණයේදී ඔබගේ පක්ෂය, ජයග‍්‍රහණය නොලැබෙන බව දැන දැනම තරග කරනවා කියන බව නේද...?

පිළිතුර - අද රට තියෙන්නේ එදා ජනාධිපතිවරණයේදී තිබුණු තත්ත්වය මත නෙවෙයි. ජනාධිපතිවරණයේදී ලබා දුන්න පොරොන්දු ඉෂ්ඨ වෙලා නැහැ. ඒ ගැන ජනතාවගේ කලකිරීමක් තිබෙනවා. අද රටට අවශ්‍ය වන්නේ සෞඛ්‍ය ආර්ථික වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙළ තියෙන්නේ එජාපයට විතරයි. මේ නිසා ජනතාව නිවැරදි තීන්දුවක් ගනියි. පොහොට්ටුවට ඡන්දය දුන්න කලකිරුණු පිරිසක් ඡන්ද පොළට නොපැමිණ ගෙදර ඉන්න බව දැන් තේරෙනවා. වත්මන් ව්‍යවස්ථාව යටතේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන්න පුළුවන් පිරිසකට මෙවර අවස්ථාව තියෙන බව පෙනෙනවා.

ප‍්‍රශ්නය - ජනාධිපති සහ අගමැති පක්ෂ දෙකකින් පැමිණ ඇති වූ අර්බුදය අපි පසුගිය වසර පහ පුරාම දුටුවා. එවන් අර්බුදකාරී තත්ත්වයකට ජනතාව යළිත් කැමතිවෙයි ද...?

පිළිතුර - ජනාධිපති සහ අගමැති එක පක්ෂයෙන් ආවා කියලා ප‍්‍රශ්න විසඳෙන්නේත් නැහැනේ. පක්ෂ නායකයා අගමැති නම්, ජනාධිපති පක්ෂ නායකයා නෙමෙයි නම් ඒකත් ප‍්‍රශ්නයක්නේ. එදා අගමැති විදිහට මම වසර පහක්ම ආණ්ඩුව කරගෙන ගියානේ. ප‍්‍රශ්න ඇතිවුණේ සහ ඇති කළේ මම නෙමෙයිනේ. පාර්ලිමේන්තුවේ බහුතරය සමග ජනාධිපති කටයුතු කළ යුතු වෙනවා. එසේ ක‍්‍රියා කරනවා නම් ප‍්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව තමන්ගේ තනි මතයට ජනාධිපතිවරයා ක‍්‍රියා කරනවා නම් ප‍්‍රශ්න ඇති වෙනවා. අගමැතිවරයා ප‍්‍රතික්ෂේප කරනවා කියන්නේ බහුතර මතය ප‍්‍රතික්ෂේප කිරීමක්. බහුතර මතය පිළිගන්නවා නම් අර්බුද ඇතිවෙන්නේ නැහැ. අපි ජනවරමක් ඉල්ලන්නේ ජනතාවගේ අතට සල්ලි ලබා දෙන්නයි. ජනාධිපති සහ අගමැති එක පවුලකින් පත් කරගන්නවා ද නැතිනම් අතට සල්ලි ගන්නවා දැයි ජනතාව තීරණය කළ යුතුයි.

පවතින ආණ්ඩුවට විදේශීය විනිමය ලබාගත හැකි ක‍්‍රමවේදයක් නැහැ. එජාපයට ආණ්ඩු බලය ලබාදුන් අගෝස්තු මස තුන් වන සතිය වන විට විදේශ විනිමය ප‍්‍රශ්නය නිරාකරණය කිරීමේ හැකියාව තිබෙනවා.

ප‍්‍රශ්නය - දහ නව වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දරුණු විවේචනයක් මේ වන විට ඇතිවී තිබෙනවා. එම සංශෝධනය අහෝසි කිරීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තුනෙන් දෙකේ ජනවරමක් ඉල්ලා සිටිනවා. මේ ස්වාධීන කොමිෂන් තවදුරටත් රටට අවශ්‍යද...?

පිළිතුර - ඇත්ත වශයෙන්ම මෙම කොමිෂන් සභා තිබිය යුතුයි. අඩුපාඩුකම් අපිට හදා ගන්න පුළුවන්. මේ ආයතන දේශපාලනීකරණය වීම එමගින් බොහෝ දුරට අඩුවෙලා තිබෙනවා. ස්වාධීන යන තත්ත්වය ඉතාම වැදගත්. රාජ්‍ය සේවකයන් සඳහා අවශ්‍ය ස්වාධීනත්වය දැන් ලැබී තිබෙනවා. අඩුපාඩු කිහිපයක් පමණක් බලලා අවසන් තීරණයක් අපි ගත යුතු නැහැ. මේවායේ අඩුපාඩු සලකා බලා, ඉදිරියට යෑමයි අවශ්‍ය වන්නේ.

ප‍්‍රශ්නය - අගෝස්තු හයවෙනිදා සන්ධ්‍යාව වන විට සජිත් පාර්ශ්වය සිරිකොතේ බලය ඇල්ලීම සඳහා සූදානම්ව සිටින බව පැවසෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීම කෙසේ වෙතත් සිරිකොත රැකගැනීම සඳහා සටනක් දෙන්න ඔබට සිදුවෙන බව පේනවා.

පිළිතුර - රටක බලය ලබා ගන්න ඉස්සෙල්ලා දේපළ නීතිය පිළිබඳව ඒ අය ඉගෙන ගත යුතු වෙනවා. කවුරු හරි සිරිකොතට පහර දෙන්න හැදුවොත්, බලෙන් ඇතුළු වෙන්න හැදුවොත් ඒ අය නීතිය කඩ කරන පිරිසක්. ඒ ප‍්‍රශ්නය දේශපාලන ප‍්‍රශ්නයක් නෙවෙයි. අපි ඒක වැලිකඩ පොලිසියට භාර දෙනවා. අපේ සටන තියෙන්නේ එතැන නෙමෙයි. අපි සටන් කරන්නේ මේ වසංගතයෙන් පසු රට ගොඩනැගීම සඳහායි. අපිට බලය පිළිබඳව පටු න්‍යාය පත‍්‍ර නැහැ. අපි ජනතාවගේ අවශ්‍යතා. රටේ අවශ්‍යතා පිළිබඳව ප‍්‍රතිපත්තියක් මත දියවන්නාවේ බහුතර බලය ලබා ගැනීමට සටන් කරනවා. සමහරු දේපළ අයිතිය ගැනවත් නොදැන සිරිකොතේ බලය ගන්න සිභින මවනවා
 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles