Divaina - පී.බී.ගේ ආන්දෝලනාත්මක ආයාචනයට පාඨලීගෙන් ප‍්‍රහාරයක්... මහ බැංකුව දුර්වල කළ නව මුදල් පනත.... තිත්ත ඇත්ත!

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 p17
 
 * 2020 මහමැතිවරණයේ වියදම 2019 ජනාධිපතිවරණය මෙන් දෙගුණයක්
 
 * මුදල් අමාත්‍යාංශය අසත්‍ය වාර්තා ඉදිරිපත් කළ බවට චෝදනාවක්
 
 * ශිරාණි බණ්ඩාරනායක, රජයේ නිවාස අවභාවිතාව හෙළි කරයි
 

 
 ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු
 
ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මීට පෙර එම තනතුර දැරූ කිසිවෙකු නොලියූ ආකාරයේ ලිපියක් මෑතකදී මාධ්‍යයට නිකුත් කළේය. මැයි මස 5 වන දින ජනගත කළ එම ආන්දෝලනාත්මක ලිපිය රජය මහත් අපහසුතාවයකට පත් කළේය. මාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ එම ප‍්‍රකාශය එතුමාගේ පෞද්ගලික අදහසක් බව පැවසීය. ජනාධිපති ලේකම්වරයෙක් හෝ කිසිදු අමාත්‍යාංශ ලේකම්වරයකු මීට පෙර මෙවැනි ප‍්‍රකාශයන් කර නැත. ඇත්තවශයෙන්ම මෙම ප‍්‍රකාශය ඉතාමත් වැදගත් වන්නේ ආචාර්ය ජයසුන්දර වර්තමාන ජනාධිපති ලේකම්වරයා නිසා නොවේ. එතුමා මීට පෙර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර තිබීමත්, එලෙසම රාජ්‍ය සහ දෙස් විදෙස් පෞද්ගලික අංශයේ මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් තනතුරු දරා තිබීම නිසාය. මුදල් පරිපාලනය සම්බන්ධයෙන් අත්දැකීම් බහුල මෙවැනි ජනාධිපති ලේකම්වරයකු මීට පෙර මෙම තනතුර හොබවා නැත. ආචාර්ය ජයසුන්දරගේ මාධ්‍ය ප‍්‍රකාශය ආන්දෝලනාත්මකය. එතුමාගේ දීර්ඝ ලිපියෙන් හෙළි කළ අමිහිරි සත්‍ය වූයේ මැයි මස අග රාජ්‍ය සේවකයන්ගේ වේතන සහ අනෙකුත් දීමනා ගෙවීමට අවශ්‍ය රුපියල් බිලියන සියය සපයා ගැනීම අභියෝගයක් බවත්, මසක වැටුප හෝ ඉන් අඩක්, සතියක හෝ දිනක වේතන පරිත්‍යාග කිරීමෙන් රජයට සහනයක් ලබාදිය හැකි බවත්ය. ආචාර්ය ජයසුන්දර එවැනි ඉල්ලීමක් කළේ ඇයි? ජනාධිපති ලේකම් කාර්යාලයේ ශිර්ෂ පාඨය යටතේ ජනාධිපති ලේකම්වරයාට එවැනි පෞද්ගලික ඉල්ලීමක් කළ හැකිද? මෙවැනි ප‍්‍රකාශයක් කිරීමට පෙර ආචාර්ය ජයසුන්දර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අවසර ලබාගත්තේද? ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ක‍්‍රියාත්මක කැබිනට් මණ්ඩලය මෙම තත්ත්වය පිළිබඳව දැනුවත්ද?
 
 ජනාධිපති ලේකම්වරයා පවතින ඉතාමත්ව අසතුටුදායක තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය ධුරය දරන අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් ලේකම් ආර්. එස්. ආටිගල නිල වශයෙන් දැනුවත් කළාද?
 
 ඇමැති බන්දුල ගුණවර්ධන පවසන්නේ ආචාර්ය ජයසුන්දරව දඬු කඳේ ගැසීමට විපක්ෂයට අවශ්‍ය බවය. එලෙසම ජනාධිපති ලේකම්වරයාගේ හෙළිදරව්ව රජයේ ප‍්‍රකාශයක් නොවන බවයි. රජය, විපක්ෂය සහ රටේ යහපත අවංකව පතන සියලූම පාර්ශ්ව විමසිය යුත්තේ ආචාර්ය ජයසුන්දර පැවසුවේ සත්‍යයක් ද බවයි. එලෙසම, එවැනි ප‍්‍රකාශයක් කිරීමට ආචාර්ය ජයසුන්දර පෙළඹුනේ ඇයි?
 
 කොරෝනා වෛරසයෙන් බැටකන ජාතික ආර්ථිකයේ සැබෑ තත්ත්වය ජනාධිපති ලේකම්වරයා හෙළි කර ඇත. එම හෙළිදරව්ව පෞද්ගලික ආයාචනයක් ලෙස කළ නිසාවෙන් බැහැර කළ යුතු නැත. අයවැය පරතරය අඩු කිරීමට සහ ණය කළමනාකරණය කිරීමට පහසුවනු පිණිස මැයි මාසයේ තම වැටුප පරිත්‍යාග කිරීමට ආචාර්ය ජයසුන්දර කටයුතු කිරීමට වඩා බෙහෙවින් වැදගත් වන්නේ එතුමා සැබෑ තත්ත්වය පෙන්වාදීමය.
 
 මහ මැතිවරණයට සූදානම් වන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ජනාධිපති ලේකම්වරයාගේ ප‍්‍රකාශය පිළිබඳව බරපතල අවධානයක් යොමු කළ යුතුය. එවැනි ප‍්‍රකාශයක් කිරීමට ජනාධිපති ලේකම්වරයාට තිබෙන අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කිරීමට වඩා බෙහෙවින් වැදගත් වන්නේ එම තත්ත්වයට වගවිය යුත්තේ කවුරු ද, කුමන ආයතනය ද බව රටට පෙන්වා දීමය.
 
 ජාතික ආර්ථිකය විනාශ කිරීමේ මූලික වගකීම පාර්ලිමේන්තුව බාර ගත යුතුය. එම වගවීමෙන් ගැලවීමට 1978 නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දුන් පසු රට පාලනය කළ කිසිදු රජයකට නොහැකිය. පාර්ලිමේන්තුව මූල්‍ය විනය ආරක්ෂා කිරීමට ආයතනයක් ලෙස ක‍්‍රම ක‍්‍රමයෙන් අසමත් වීම හේතුවෙන් අද වනවිට ජාතික ආර්ථිකය අනතුරේය. ඇත්ත ඇතිසැටියෙන් කීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාට මහජනතාව ස්තුතිවන්ත විය යුතුය. නමුත් කළක් මුදල් ලේකම් ධුරය සහ තවත් වගකිවයුතු ආර්ථිකය හසුරුවන තනතුරු එජාප සහ ශ‍්‍රීලනිප රජයන් යටතේ දැරුව එතුමා ද මූල්‍ය විනය පිරිහීම සම්බන්ධයෙන් යම්තාක් ප‍්‍රමාණයකට වගකිව යුතුය.
 
 ජනාධිපති ලේකම්වරයාගේ ප‍්‍රකාශය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලූම දේශපාලන පක්ෂවල ලජ්ජාවට හේතුවක් විය යුතුමය. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තම මූලික වගකීම පැහැර හැරීම පිළිබඳ වගකීම සියලූම පක්ෂ සාමූහිකව බාර ගත යුතුය. පාර්ලිමේන්තුවේ මූලික වගකීම් දෙකකි. මූල්‍ය විනය පවත්වාගෙන යෑම සහ නව නීති සම්මත කිරීම මැති සබයේ වගකීම බව මහජන නියෝජිතයන්ට අමුතුවෙන් කිවයුතු නැත. මෙම මූලික වගකීම් දෙකම ඉතාමත් අශීලාචාර ලෙස මේ ආකාරයට පැහැර හරින පාර්ලිමේන්තුවක් ලොව අන් කිසිදු රටක තිබිය නොහැක. මහජන නියෝජිතයන් අල්ලසට ගැනීමට කිසිදු අවහිරයක් නොමැති රටක පාර්ලිමේන්තුව වෙළෙඳ පොළක් වීම වැළැක්විය නොහැක. යහපාලන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන 2018 ඔක්තෝබර් අග තමන් ක‍්‍රියාත්මක කළ බලය අල්ලා ගැනීමේ මෙහෙයුම අසාර්ථකවීමෙන් පසුව මහජන නියෝජිතයෙක් රුපියල් මිලියන 500 කට විකිණෙන බව ප‍්‍රකාශ කළේය. ජනාධිපතිවරයකු ප‍්‍රකාශ කළ පමණින් චෝදනා පිළිගත නොහැක. එලෙසම යම්කිසි චෝදනාවක් ඔප්පු නොවූ පමණින් එම ප‍්‍රකාශය බැහැර කළ යුතු නැත.
 
 පසුගිය 11 වැනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ අපූරු ප‍්‍රකාශයක් කළේය. සජීවී සිරස පැතිකඩ වැඩසටහනකදී වෛද්‍යවරයා ජාතික රෝහල ඇතුළු රජයේ සමහර රෝහල්වල ක‍්‍රියාත්මක සායන, පොළවල් ලෙස හැඳින්වීය. එතුමා ඉතාමත් නිහතමානීව පවතින තත්ත්වය ඇති සැටියෙන් පිළිගත්තේය. කොරෝනා වසංගතය යම්තාක් දුරකට පාලනය කර ආර්ථික කටයුතු නැවතත් ආරම්භ කිරීමේදී අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග පැහැදිලි කරමින් ජාසිංහ අවධාරණය කළේ තවමත් පවතින තර්ජනය හමුවේ සියලූ දෙනා කටයුතු කළ ආකාරය වෙනස් විය යුතු බවය.
 
 ජාසිංහගේ අවවාදය පාර්ලිමේන්තුවට ද පිළිපැදිය හැකිය. පාර්ලිමේන්තුව තවදුරටත් පොළක් විය යුතු නැත. මන්ත‍්‍රීවරු, දේශපාලන පක්ෂ විකිණෙන අතිදූෂිත ක‍්‍රමයට තිත තැබිය යුතුය. ආචාර්ය ජයසුන්දර පසුගියදා පෙන්වා දුන්නේ පවතින ක‍්‍රමය වෙනස් කිරීමේ බලවත් අවශ්‍යතාවයි. ජනාධිපති ලේකම්වරයා ඇතුළු රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සියල්ලන්ම තම මසක වේතනය සම්පූර්ණයෙන්ම පරිත්‍යාග කළත්, කොවිඞ් 19 අප ජාතික ආර්ථිකයට කර ඇති සහ තවදුරටත් කරමින් පවතින හානිය සමනය කර ගත නොහැක. සැබෑ සිත් හැරීමක් ඕනෑය. පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් සහ රජයේ ඉහළ නිලධාරී පැලැන්තිය සැබෑ වෙනසක් කළ යුතුය. මෙම කණ්ඩායම් දෙක නොවෙනස් වනතුරු ජාතික ආර්ථිකය වළපල්ලට යෑම සක්කරයාටවත් නැවැත්විය නොහැක.
 
 වංචා, දූෂණ සහ අක‍්‍රමිකතා ශ‍්‍රී ලංකාවට පමණක් විශේෂිත වූ තත්ත්වයක් නොවේ. පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ වංචා, දූෂණ සහ අක‍්‍රමිකතා අප‍්‍රමාණව සිදුවේ. ඒකාධිපති ක‍්‍රමයට වඩා පාර්ලිමේන්තු ක‍්‍රමය දූෂිතය. මෙම ප‍්‍රකාශය කිසිසේත් ඒකාධිපති පාලනයක් අනුමත කිරීමක් නොවේ. නමුත් අප ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ මහජන මුදල් රංචු ගැසී කොල්ලකති. කාන්තාවන් රංචු ගැසී දූෂණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩු පැවරේ. අප පාර්ලිමේන්තුවේ තත්ත්වය ද බරපතළය. කවුරු බලයේ සිටියත් පාර්ලිමේන්තුව දිගින් දිගටම වගකීම් විරහිතව කටයුතු කරමින් සිටී. යහපාලන රජය යටතේ 2015 පෙබරවාරි සහ 2016 මාර්තු අග සිදු කළ මහ බැංකු බැඳුම්කර වංචා රංචු ගැසී මංකොල්ලකෑමක් නොවන්නේද?
 
 පාර්ලිමේන්තුවට තවදුරටත් දූෂණයට, වංචාවට සහ අක‍්‍රමිකතාවලට තෝතැන්නක් විය නොහැක. දූෂිතයන්ට පාර්ලිමේන්තුව ක්ෂේම භූමියක් වී ඇත. කොරෝනා වෛරසය ජාතික ආර්ථිකයට කළ විනාශය පාර්ලිමේන්තුවට තම මූලික වගකීම ඉටුකිරීමට බලකර තිබේ. ආචාර්ය ජයසුන්දර කළ ප‍්‍රකාශයට ජනතාව එතුමාට ඉහළින්ම ප‍්‍රණාමය පුද කළ යුතුය. කොරෝනා වෛරසය ඇති කළ තත්ත්වය ප‍්‍රයෝජනයට ගෙන ජනාධිපති ලේකම්වරයා කළ ප‍්‍රකාශය නොවන්නට රජයේ සහ විපක්ෂයේ ප‍්‍රකාශකයන්ට තවදුරටත් ජනතාව රැවටීමට අවස්ථාව තිබිණි. ජනාධිපති ලේකම්වරයාට පින්සිදු වන්නට ජාතික ආර්ථික පිළිබඳව කතිකාවක් ඇතිවී ඇත.
 
 මාධ්‍යයට ද බරපතල වගකීමක් ඇත. රජයේ ඇමැතිවරුන්, හිටපු මන්ත‍්‍රීවරුන්, සිවිල් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතන්ට ආචාර්ය ජයසුන්දර නොසිතූ ආකාරයෙන් කරළියට ගෙන ආ කාරණය යොමු කිරීමේ වගකීම පැවරෙන්නේ මාධ්‍යයට බව අමුතුවෙන් කිව යුතු නොවේ. කොරෝනා හේතුවෙන් අප‍්‍රියෙල් මස 25 දින පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය කල් දැමීමට සිදුවිය. කොරෝනා රජයට බරපතළ ලෙස රිදවීම හේතුවෙන් ජනාධිපති ලේකම්වරයාට භූමියේ සැබෑ තත්ත්වය හෙළිකිරීමට සිදුවිය. කොරෝනා කළ නස්පැත්තිය බරපතළ ආර්ථික පරිහානියක් සිදු වුවත් රටේ සුරක්ෂිතභාවයට වගකිව යුත්තන්ගේ ඇස් ඇරී ඇත. කොරෝනා නොවන්නට මහජන නියෝජිතයන්ට සහ රජයේ ඉහළ නිලධාරී පැලැන්තියට ඉන්ද්‍රජාලිකයන් ලෙස තවදුරටත් කටයුතු කිරීමට අවස්ථාව තිබිණි.
 
 තවදුරටත් මාධ්‍ය සංදර්ශන අවශ්‍ය නැත. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ, පළමුවෙන්ම තම වගකීම් විරහිත ක‍්‍රියාකලාපය හේතුවෙන් මූල්‍ය ස්ථාවරභාවය නැති කර තිබෙන බව පිළිගත යුතුය. මහ බැංකු බැඳුම්කර වංචාකරුවන් මෙන්ම කොටස් වෙළෙඳපොළ මූල්‍ය වංචා කළවුන්ද නිදහසේ සිටින රටක මූල්‍ය ස්ථාවරභාවයක් නැත. මූල්‍ය ස්ථාවරභාවය නැවත ස්ථාපිත කිරීමට ද අවස්ථාවක් ද නැත. ඇත්ත තිත්තය. ඉතාමත් අමිහිරිය.
 
 පාර්ලිමේන්තුව තම වගකීම් නිසියාකාරව ඉටුකරනා බවට කිසිදු සහතිකයක් නැත. මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින ප‍්‍රධානම බලවේග දෙක ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය සමස්තයක් ලෙස නියෝජනය කරන්නේ මීට පෙර පාර්ලිමේන්තුවේ සිටි පුද්ගලයන් බව අමතක නොකරන්න. යහපාලන පාර්ලිමේන්තුව නියෝජනය කළ පුද්ගලයන් කළ විනාශය රහසක් නොවේ. ප‍්‍රධාන පක්ෂ තම දේශපාලන සහ පෞද්ගලික අරමුණු පටලවා ගෙන ඇත. එසේ නොවුනා නම් ආචාර්ය ජයසුන්දර මෑතක කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය කිරීමට ඔහුට කිසිසේත්ම සිදු වන්නේ නැත.
 
 හිටපු ඇමැතිවරයකු සහ ජාතික හෙළ උරුමය පක්ෂයේ මහලේකම් පාඨලී චම්පික රණවක තවදුරටත් වීරයෙකු වෙමින් පවතින ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ අගමැති මහින්ද, ජනාධිපති ගෝඨාභය සහ බැසිල් බවට චෝදනා කර ඇත. පසුගිය අපේ‍්‍රල් 11 දා රණවක නිකුත් කළ මාධ්‍ය නිවේදනයක රාජපක්ෂ සහෝදරවරු සහ ආචාර්ය ජයසුන්දර 2006 වසර සිට ජාතික ආර්ථිකය විනාශ වීමට ප‍්‍රධාන හේතු සාධක පෙන්වා දී ඇත.
 
 රණවක පවසන්නේ රාජපක්ෂවරුන්ගේ ආර්ථික මොඩලය දීර්ඝ කාලයක් ක‍්‍රියාත්මක කළ ජයසුන්දර වැනි පුද්ගලයෙකුට රාජ්‍ය සේවකයන්ගෙන් මෙවැනි ඉල්ලීමක් කිරීමට කිසිදු අයිතියක් නැති බවය. රණවක පවසන්නේ ජනාධිපති ලේකම්වරයා ද පවතින තත්ත්වයට වගකිවයුතු පුද්ගලයකු බවය. ආචාර්ය ජයසුන්දර නිකුත් කළ නිවේදනයේ කොරෝනා අර්බුදය ඇති කළ ආර්ථික අවපාතය 1930 ලෝක ආර්ථික අර්බුදයට වඩා බරපතළ බව සඳහන් කර ඇත.
 
 රණවක 2020 මහ මැතිවරණයට තරග කරන්නේ සජිත් පේ‍්‍රමදාස නායකත්වය දෙන සමගි ජන බලවේගය යටතේය. ඔහු කොළඹ දිස්ත‍්‍රික්කයට තරග කිරීමට නාමයෝජනා අත්සන් කර ඇත. රණවක රාජපක්ෂවරුන්ට පහර ගසමින් නිකුත් කළ නිවේදනයේ මහ බැංකු බැඳුම්කර වංචා පිළිබඳව ද සඳහන් කර ඇත. එජාපය දෙවරක් මහ බැංකුව මංකොල්ල කන අවස්ථාවේ රණවක එම රජයේ ප‍්‍රබල ඇමැතිවරයකු බව මතක් කර දිය යුතුය. එලෙසම රණවක දූෂිත සහ විනාශකාරී ලෙස හඳුන්වා දුන් 2006 -2014 මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජාතික හෙළ උරුමය ප‍්‍රබලයා එම රජයේ ඇමැතිවරයෙකි.
 
 ආචාර්ය ජයසුන්දර කළ ආයාචනය ජාතික ආර්ථිකයේ සැබෑ තත්ත්වය පෙන්වා දී ඇත. ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ ලිපියට හිටපු ඇමැති රණවකට අමතරව 2020 මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇති බොහෝ අපේක්ෂකයින් පහර දුන්නේය.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි ආචාර්ය ජයසුන්දර මෑතකදී ලිපි තුනක් ලිව්වේය. එම ලිපි තුන යොමු කළේ මැතිවරණ කොමිසමේ මහින්ද දේශප‍්‍රිය, සමගි ජන බලවේගයේ මාතර දිස්ත‍්‍රික් අපේක්ෂක මංගල සමරවීර සහ සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාසට ය. හතරවන ලිපිය ආචාර්ය ජයසුන්දරගේ පෞද්ගලික ආයාචනයක් ලෙස රජය පැවසුවත් රණවක පෙන්වා දෙන්නේ ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය සේවකයන්ට බරපතළ බලපෑමක් කරන්නේ රාජපක්ෂ පාලනය වෙනුවෙන් බවයි.
 
 ජනාධිපති ලේකම්වරයා ලියූ ලිපි හතරෙන් තුනක්ම මහ මැතිවරණය නිසි කලට පැවැත්වීමට නොහැකි වීමෙන් ඇති වී තිබෙන දේශපාලන අර්බුදය විෂය කර ගත්තේය. හතරවන ලිපිය මැයි මාසයේ රාජ්‍ය සේවකයන්ගේ වේතන හා දීමනා ගෙවීමට මහා භාණ්ඩාගාරයට ඇති අපහසුව හෙළි කළේය. ජයසුන්දරගේ ලිපිය ඔහුගේ පෞද්ගලික ආයාචනයක් වුවත්, නොවූවත් පවතින ආර්ථික අර්බුදය සාකච්ජාවට භාජනය වීම සතුටුදායකය. විශේෂයෙන්ම මහ මැතිවරණයකට සූදානම් වන ප‍්‍රධාන පක්ෂවලට අයහපත් තත්ත්වය මතක්කර දීම හොඳය. ජනාධිපති ලේකම්වරයාගේ හෙළිදරවුවෙන් පසුව කිසිදු පක්ෂයකට ජනතාවට බොරු පොරොන්දු දිය නොහැක.
 
 ජනාධිපති ලේකම්වරයාගේ ප‍්‍රකාශය මෙවර ජාතික මැතිවරණයේදී සහ ඊට පසුව ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට බරපතළ බලපෑමක් කරනු ඇත. මෙහිදී සියලූම පක්ෂ සැලකිලිමත් විය යුත්තේ ජනාධිපති ලේකම්වරයා තම මැයි වැටුප පරිත්‍යාග කරන්නේ තමන්ට කිසිදු අගහිඟයක් නැති වාතාවරණයක් සම්බන්ධව නොව ජාතික ආර්ථිකය නැවත ගොඩනගන්න්නේ කෙලෙසද යන්නයි.
 
 පාර්ලිමේන්තුව පුනරුත්ථාපනය නොකර ජාතික ආර්ථිකය ගොඩගත හැකිද? පාර්ලිමේන්තුව පුනරුත්ථාපනය නොකර ජාතික ආර්ථිකය ගොඩගත හැකිද? පත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ වගකීම සම්බන්ධයෙන් මෙම ලියුම්කරු සම කැබිනට් ප‍්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේය. පතිරණ පැවසුවේ පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය විමසීමට ලක්කර මැතිසබයේ මූලික වගකීම් වන මූල්‍ය විනය සහ නීති සැකසීම විධිමත් පරිදි ඉටුකිරීමට පත්වන පාර්ලිමේන්තුව වගවිය යුතු බවය.
 
 පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන් මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, රේගුව සහ බැංකු පද්ධතිය මෙහෙයවන්නන් ජාතික ආර්ථිකය ගොඩනැගීමට වගකීමෙන් කටයුතු කළ යුතු බවට පතිරණ අවධාරණය කළේය.
 
 ශ‍්‍රී ලංකාව මූල්‍ය විනය නැත්තටම නැති රටක් ලෙස හැඳින්වුවත් වරදක් නැත. බලයේ සිටින සහ බලය ලබා ගැනීමට පොරකන කණ්ඩායම පාර්ලිමේන්තුව තම ග‍්‍රහණයට ගැනීමට මුළු ආර්ථීකයම අස්ථාවර කරන පොරොන්දු දීමට පසුබට නොවෙති. රාජ්‍ය සේවකයන්ට දුන් රුපියල් 10,000 පඩි වැඩි වීම ආර්ථිකයට දරාගත නොහැකිය. මැති ඇමැතිවරුන් ඇතුළු තෝරා ගත් කාණ්ඩවලට ලබාදෙන සැප අදහාගත නොහැක.
 
 ජනාධිපති ලේකම්වරයා ජාතික ආර්ථිකය මුහුණ දෙන අභියෝගයේ බරපතළකම ප‍්‍රසිද්ධියේ පිළිගෙන ඇති මෙම අවස්ථාවේ දී කලකට පෙර විශ‍්‍රාම ගිය විගණකාධිපති ගාමිණී විජේසිංහ කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් මතක් කර දිය යුතුව ඇත. 2018 පෙබරවාරි 10 දින පැවති පළාත් පාලන මැතිවරණයට පෙර රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විජේසිංහ මුදල් අමාත්‍යාංශය ඇතුළු රජයේ ඉහළ තැන්වලට බලවත් දෝෂාරෝපණයක් කළේය. විගණකාධිපති පෙන්වා දුන්නේ මුදල් අමාත්‍යාංශය ආර්ථිකය පිළිබඳව ඉතාමත් වැරදි චිත‍්‍රයක් මවනා බවය. අවාසනාවකට මූල්‍ය වගකීම පාර්ලිමේන්තුවේ බව පවසන කිසිදු මහජන නියෝජිතයෙක් විජේසිංහ කළ ප‍්‍රකාශය ජාතික ආර්ථිකයේ යහපත සඳහා යොදා ගත්තේ නැත. විගණකාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට චෝදනා කිරීම සුවිශේෂ සිද්ධියකි. මීට පෙර කිසිම අවස්ථාවක විගණකාධිපතිවරයකු මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන ප‍්‍රසිද්ධියේ අභියෝගයට ලක් කර නැත. මුදල් අමාත්‍යාංශය ජනතාව නොමග යැවීම විමසිය යුත්තේ මූල්‍ය විනය පවත්වාගැනීමේ පාර්ලිමේන්තුවේ මූලික වගකීම ද සැලකිල්ලට ගනිමිනි.
 
 මෙම ලියුම්කරු ජනාධිපති නීතිඥ හිටපු අධිකරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂගෙන් ශ‍්‍රී ලංකාවේ දූෂිතම ආයතනය පාර්ලිමේන්තුව නොවේද කියා විමසූ විට ඔහු පැවසුවේ ඒ පිළිබඳව සැකයක් නොමැති බවය. අධිකරණ ඇමැතිවරයකු ලෙස කටයුතු කර තිබෙන ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස කටයුතු කර ඇති මහජන නියෝජිතයෙක් පාර්ලිමේන්තුව දූෂිතම ආයතනය ලෙස පිළිගන්නවා නම් අප රටේ සමස්ත පාලන ක‍්‍රමය පිළිබඳවම බරපතළ සැකයක් ඇත.
 
 ප‍්‍රශ්නකාරී ලෙස විවාදාත්මක පාර්ලිමේන්තු ක‍්‍රියාදාමයක් හරහා 2013 ජනවාරි මස ඉවත් කළ එවකට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ලිවූ උත්තරීතර: දෝෂාභියෝගයේ ඇතුළාන්තය කෘතියේ ශ‍්‍රී ලංකාවේ නීතිය නමන ආකාරය සම්බන්ධයෙන් අපූරු ප‍්‍රකාශයක් විය. ”ආණ්ඩුවේ ගෙදරක් ලබා ගන්න පොරොත්තු ලේඛනවල ඉන්න ප‍්‍රමාණයයි, ඒ ඉල්ලන අයට දෙන්න තිබෙන ගෙවල් ගණනයි බලන කොට රජයේ සේවකයෙකුට කොළඹින් ගෙයක් ලබා ගන්න කාලාන්තරයක් තිස්සේ බලාගෙන ඉන්න වෙනවා. ඒ හේතුව නිසාම වෙන්න ඇති නිවාස ලබා දීමේ චක‍්‍රලේඛයේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙන්නේ කොළඹට ආසන්නයේ තමන්ට හෝ තමන්ගේ කලත‍්‍රයාට හෝ තමන්ගේ අවිවාහක දරුවකුට හෝ අයිති නිවසක් තියෙනව නම්, ආණ්ඩුවේ නිවසක පදිංචි වී ඉඳීමේ හැකියාවක් නැහැ කියලා. නීති රීති ඒ විදිහට තිබුණාට කොළඹ නගර සීමාව ඇතුලේම තමන්ගේ ගෙයක් තිබෙද්දීම, ඒ ගෙදර කුලියට දීලා ආණ්ඩුවේ ගෙදරක හිටපු අය මට මතකයට එනවා. නමුත් ඒ ක‍්‍රියා කලාපය නීතියට විතරක් නෙමෙයි සාමාන්‍ය සදාචාරයටත් පටහැනි විදිහටයි මම දැක්කේ. ඒ නිසා තමන්ට ගෙයක් අදාළ සීමාව තුළ තිබුණා නම්, තවත් අයකුට අවස්ථාව ලබා දීලා හැකි ඉක්මනින් යායුතුයි කියලා මම හිතුවා.” (පිටුව 237).
 
 කොරෝනා ප‍්‍රහාරය එල්ල වූයේ ජාතික ආර්ථිකය පහත වැටී ඇති අවස්ථාවකය. මාර්තු 2 දින විසුරුවා දැමූ පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන පක්ෂ එකිනෙකාට කරන චෝදනා අනුව මැතිසබය පිළිබඳව විශ්වාසයක් තබා ගත නොහැකිය. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ එවකට මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අදහාගත නොහැකි චෝදනාවක් කළේය. පාර්ලිමේන්තුවේ සැබෑ ස්වරූපය එතුමා හෙළි කළේය. තේරීම් කාරක සභාවේ සාමාජික මහාචාර්ය ආශු මාරසිංහ ප‍්‍රශ්නයක් නැගු අවස්ථාවේ එම සභාවේ සාමාජික රවී කරුණානායක සහ කුමාරස්වාමි අතර ඇති වූ කතාව හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක මුදල් පනත පාර්ලිමේන්තු ක‍්‍රියාදාමය හරහා චේතාන්විතව දුර්වල කිරීම හෙළි විය.
 
 මෙම හෙළිදරව්ව 2019 ජුලි මාසයේ 26 වන දින සිදුවිය. පාස්කු ප‍්‍රහාරය එල්ල නොවුනා නම් අදටත් මෙම අසික්කිත ක‍්‍රියාව පිළිබඳව අවධානය යොමු වන්නේ නැත. කරුණානායක දිගින් දිගටම නැගූ ප‍්‍රශ්න හමුවේ කුමාරස්වාමි පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව 2017 සම්මත කළ මුදල් පනත මහ බැංකුවේ නිසි මැදිහත් වීමකින් තොරව ඉදිරිපත් කර ඇති බවත්, නව නීතිය මහ බැංකුවේ ක‍්‍රියාදාමය දුර්වල කළ බවය. 2020 මාර්තු 2 දින, පාර්ලිමේන්තුව විසුරුවා දමන තුරු ප‍්‍රශ්නගත එම මුදල් පනත සංශෝධනයට භාජනය කළේ නැත. නිසියාකාරව ක‍්‍රියාත්මක පනතක් චේතාන්විතව දුර්වල කළ අවස්ථාවක් මීට පෙර ඔබ අසා ඇතිද?
 
 කොරෝනා පෙන්නා විසුරුවා දැමූ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට අධිකරණයේ පිහිට පතන මැතිසබය නියෝජනය කළ කිසිදු පාර්ශ්වයක් මුදල් පනත නැවත ශක්තිමත් කිරීමට උත්සාහයක් ගත්තේ නැත.
 
 ඇත්තවශයෙන්ම පාර්ලිමේන්තුවේ ක‍්‍රියා කලාපය බාහිර විමර්ශනයට ලක් විය යුතුමය. මෙවැනි මැතිසබයක් මහජන මුදලින් පවත්වාගෙන යන්නේ කාගේ වුවමනාවකටද යන ප‍්‍රශ්නය නිතැතින්ම නැගේ. මැයි 12 දින මැතිවරණ කොමිසම සමග දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර පැවති හමුවකින් පසුව ජවිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ 2020 මහා මැතිවරණය පැවැත්වීමට 2019 ජනාධිපතිවරණයට වැය කළ මුදල මෙන් දෙගුණයක් අවශ්‍ය බවය.
 
 හිටපු මන්ත‍්‍රී දිසානායක මාධ්‍ය ඉදිරියේ කළ ඇඟකිළිපොලා යන ප‍්‍රකාශය අවසිහියෙන් සිටින ජනතාවට අදාළ නැත. හිටපු කථානායක කරු ජයසූරිය ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ලෝකයේ ක‍්‍රියාත්මක පාර්ලිමේන්තු 170 අතර ඉහළම ස්ථානයක් හිමිකර ගෙන ඇති බව පවසා ඇත. නමුත් මැතිසබයේ ඇත්ත තත්ත්වය දන්නා හිටපු මහජන නියෝජිතයන් ඇතුළු කිසිවකු හිටපු කථානායකවරයාගේ ප‍්‍රකාශය ඒ ආකාරයටම පිළිනොගන්නා බව තේරුම් ගත යුතුය.
 
 කොරෝනා ප‍්‍රහාරය හේතුවෙන් රටේ ආදායම් මාර්ග සියල්ල ඇහිරී, ජාතික ආර්ථිකය බිංදුවට වැටී, ජනාධිපති ලේකම්වරයාට තිත්ත ඇත්ත පිළිගැනීමට සිදුවී ඇති මෙම අවස්ථාවේ මහජන මුදල් නාස්තිය නැවැත්විය යුතුය. පත්වන පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට තීරුබදු රහිත වාහන ලබා දීමට, රට සවාරි ගැසීමට, විශේෂ දීමනා දීම ඇතුළු නාස්තිකාර කිසිදු කටයුත්තකට මහජන මුදල් කාබාසිනියා කිරීමට ජාතික ආර්ථිකයට ශක්තියක් නැත.
 
 මැති ඇමැති සහ හිටපු මන්ත‍්‍රීවරුන්ට ලබාදෙන වරප‍්‍රසාද පිළිබඳව පුළුල් විමසීමක් කළ යුතුය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ වගකීම් විරහිතව ක‍්‍රියාකිරීම හේතුවෙන් ජාතික ආර්ථිකය දුර්වල වී ඇති බව රහසක් නොවේ. පාර්ලිමේන්තුවේ ක‍්‍රියාකලාපය පුදුමාකාරය. පාර්ලිමේන්තු ක‍්‍රියාදාමය අවභාවිතා කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශයට සුදුසු නොවන ගොඩනැගිල්ලක් රුපියල් බිලියනයක කුලියට වසර පහකට ගත් එජාපය යහපාලනය පිළිබඳව රටට අපූරු පාඩමක් කියා දුන්නේය.
 
 මහ බැංකු බැඳුම්කර වංචා මෙන්ම, රුපියල් බිලියනයක මහජන මුදල් නාස්තිය කළේද, ක‍්‍රියාත්මක නීතිරීති සහ අනෙකුත් රෙගුලාසි අවභාවිතා කිරීම හරහාය. පාර්ලිමේන්තුව ජනතාව ගොනාට අන්දා ඇත. පාර්ලිමේන්තුව සැබෑ ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් පෙනී සිටියා නම්, ආචාර්ය ජයසුන්දරට රාජ්‍ය සේවකයන්ගෙන් මැයි මස වැටුප ඉල්ලීමට සිදුවන්නේ නැත.
 
 ජනතා නියෝජිතයන්ට පුදුමාකාර වරප‍්‍රසාද ඇත. පාර්ලිමේන්තුව විසුරුවා දැමූ පසුවත් හිටපු මන්ත‍්‍රීවරුන්ට මාදිවල නිවාස සංකීර්ණයේ රැඳී සිටිය හැක. මාර්තු 2 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුවත් හිටපු මහජන නියෝජිතයින් 100 ක් පමණ අදටත් මාදිවල නිවාසවල රැඳී සිටි. හිටපු ඇමැතිවරු 20 පමණ රජයේ නිවාසවල තවමත් රැඳී සිටින බවට පසුගියදා මාධ්‍ය හෙළි කළේය. තුන් වේලක් නිසියාකාරව ආහාර ගැනීමට බොහෝ ජනතාවට නොහැකි රටක මහජන නියෝජිතයන් ලෙස තමන්ව හඳුන්වා ගන්න මෙම කණ්ඩායමට ලැබෙන වරප‍්‍රසාද අදහාගැනීමට බැරිය. ශ්‍රේෂ්ඨාධිකරණය ආචාර්ය ජයසුන්දරව 2008 දී වරදකරුවකු කළේය. ඒ ලංකා මැරයින් සර්විසස් ගිවිසුම නීත්‍යානුකූල නොවන බවට තීරණය කිරීම මතය. නමුත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ආචාර්ය ජයසුන්දරට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස වැඩ බාර ගැනීමට ආරාධනය කළේය. එම ආරාධනය ආචාර්ය ජයසුන්දර භාර ගත්තේය. 2015 ජනාධිපතිවරණය පවත්වන තුරු එතුමා එම තනතුර දැරීය. වසර 4 කට පසුව ආචාර්ය ජයසුන්දර නැවත රාජ්‍ය සේවයට එක්වන්නේ ජනාධිපති ලේකම් ලෙසය.
  


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles