Divaina - ආර්ථික විමසුම

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

busi2ඉහළ ආර්ථික වර්ධනයක්‌ අපේක්‌ෂා කරන නීල හරිත ආර්ථිකයක්‌ අරමුණු කරගත් 2018 අයවැය යෝජනා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අලුත් ආයෝජන ඇතිකරන සහ ව්‍යවසායකත්වය කෙරෙහි අවධානය යොමුකරන සාධනීය යෝජනා එහි අන්තර්ගතව තිබිණ. නිදහසින් පසු දශක හත තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සෑම අයවැයක්‌ම අති විශාල බලාපෙරොත්තු ඇති කරන නමුත් වසර අවසානයේදී ජනතාව අත්පත් කරගන්නා අවස්‌ථා ඉතාමත් සීමිතය.
 
 2040 වන විට මෙරට ඉන්ධන භාවිත වාහන ධාවනය නතර කරන ඉලක්‌කයක්‌ දක්‌වා තිබුණි. මෙම ඉලක්‌කය හා සමාන කළ හැකි ආසන්නතම රජයේ යෝජනාව පොලිතීන් තහනම බව සිහිපත් කළ යුතුය. ඇස්‌බැස්‌ටෝස්‌ තහනම, දුම්කොළ හා දුම්වැටි තහනම පමණක්‌ නොව මත්පැන් භාවිතය අවම කරන යෝජනා ද මෑත කාලය තුළ අවධානයට ගැනිණ. නමුත් ඒවා ප්‍රායෝගිකය ක්‍රියාත්මක කළ හැකිවී නැත. සිගරට්‌ හා සුරුට්‌ටු ආනයනයට බලපත්‍ර දෙන යෝජනාවක්‌ මෙවර අයවැයට ඇතුළත් අතර සැර අඩු මත්පැන් වශයෙන් බියර් වෙනුවෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය විවේචනයට ලක්‌ව තිබේ. තල් හා පොල් ගස්‌ මැදීම වෙනුවෙන් බලපත්‍ර අවශ්‍ය බව ද සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
 
 අයවැය හුදෙක්‌ ආදායම් වර්ධනය අරමුණු කරගෙන සකස්‌ කර තිබේ. ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට නව බදු පනත ක්‍රියාත්මකය. රජයේ සේවා ගාස්‌තු සියයට පහළොවකින් වැඩිකර තිබේ. කාබන් බද්දක්‌ හඳුන්වාදී ඇත. වාහන ආනයන බදු වෙනස්‌ කර තිබේ. මේවා කෙලින්ම ජනතාවට බලපානු ඇත. ණය ගෙවීම සඳහා බැංකු ගනුදෙනු මත බද්ද, ටෙලිකොම් කුලුනු සහ ප්‍රචාරක එස්‌. එම්. එස්‌. මත පනවන බදු වක්‍රව ගෙවන්නට සිදුවන්නේ ද පාරිභෝගිකයන්ටය. Rජු බදු නංවා වක්‍ර බදු අඩු කරන බව කියන ආණ්‌ඩුව එකී පැති අවධානයට ගත යුතුය.
 
 2017 දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට හතරකි. මූල්‍ය අරමුදල ආසියානු කලාපයේ ආර්ථික වර්ධනය අඩු රටවල් අතර ශ්‍රී ලංකාව ද එක්‌වනු ඇතැයි දක්‌වයි. ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවක දී රටට බලපාන ලද කාලගුණ විපත් ආර්ථිකයට අයහපත් ලෙස බලපා ඇති බව පිළිගත්තේය. නිෂ්පාදනය පහත වැටී ඇති අතර ජන ජීවිතයට එය ප්‍රශ්නයක්‌ වී ඇත. දෙවැනි කාර්තුවේදී කෘෂිකාර්මික අංශය පසුගිය වසරට සාපේක්‌ෂව සියයට 2.9 කින් පහත වැටී තිබේ. වී ගොවිතැන එයින් ප්‍රධාන තැනක්‌ ගෙන තිබේ. ඇතැම් පළාත්වල වී ගොවිතැන් කිරීමට අවශ්‍ය බිත්තර වී සපයා ගැනීම ප්‍රශ්නයක්‌ වී ඇති අතර කෙසේ නමුත් වැඩිම ඉඩම් ප්‍රමාණයක්‌ වගා කිරීම සඳහා පෙළඹවීම රජයේ වෑයම වී ඇත. මෙවර කන්නයේ වී වගා නොකරන කුඹුරු ඉඩම් අත්පත්කරගෙන වෙනත් කණ්‌ඩායම් ලවා වගා කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇත. වී වගාව පිරිහීම පදනම් කරගෙන වෙළෙඳපොළ සහල් මිල ඉහළ ගොස්‌ තිබේ. සහල් මෙටි්‍රක්‌ ටොන් ලක්‌ෂ පහක්‌ ආනයනය කරන්නට තීරණය කර ඇති අතර සතොස සම්බා සහල් කිලෝවක්‌ රුපියල් හතරකින් මිල අඩු කර විකුණන බව සඳහන්ය. එළවළු, පොල්, මස්‌, මාළු සහ පලතුරු වර්ග මිල සීඝ්‍රයෙන් මිල නැඟ ඇති අතර පසුගිය සැප්තැම්බර් මාසයේ උද්ධමනය කලින් වසරට වඩා සියයට 8.9 කින් වැඩිවී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ මෙම ස්‌වභාවය සනාථ කරමින්ය. අගෝස්‌තු මාසයේ දී උද්ධමනය කලින් වසරේ සමාන කාලයට සාපේක්‌ෂව සියයට 7.6 ක්‌ ව තිබුණ අතර අඩු ආදායම් ලබන ජනතාවට එය බලවත් ප්‍රශ්නයක්‌ වී ඇත.
 
 නොබෝදා නිකුත් කරන ලද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ආර්ථික පර්යේෂණ වාර්තාවකට අනුව රට තුළ ඇති නැති පරතරය තවදුරටත් පුළුල් වී තිබේ. මෙරට ජීවත්වන සියලු පවුල් ඒකක අතරින් අඩුම ආදායම් ලබන සියයට විස්‌ස මාසිකව රුපියල් 14,843.00 ක්‌ උපයන අතර ඉහළම ආදායම් මට්‌ටමක සිටින සියයට විස්‌සක ප්‍රතිශතයේ මාසික ආදායම රුපියල් 165,667.00 ක්‌ බව අනාවරණය කරයි. මැදි ආදායම් රටක්‌ බව සඳහන් කරන නමුත් මධ්‍යම ආදායම් මට්‌ටම වශයෙන් සලකන රුපියල් 46,097.00 ට වඩා ඉතාම දුර්වල ආදායමක ජීවත් වන පහෙන් එකක කොටසකට ජීවන වියදම ඉහළ යැම තදින් බලපාන එකක්‌ බව නිරීක්‌ෂණය කළ හැකිය.
 
 ශ්‍රී ලංකාවේ ආනයන සම්බන්ධයෙන් සලකන විට වැඩිම විනිමය ප්‍රමාණයක්‌ ඛනිජ තෙල් ආනයනයට වියදම් කරන්නට සිදුවී ඇත. මෙම වසරේ පළමු මාස හතර තුළ ඉන්ධන ආනයනයට වැය කරන ලද මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 කි. එය කලින් වසරේ සමාන කාලපරිච්ඡේදයට වඩා සියයට හැත්තෑපහකින් වැඩිවීමක්‌ බව දැක්‌වෙයි. ප්‍රවාහන හා විදුලිය උත්පාදන අවශ්‍යතා වෙනුවෙන් ඉන්ධන වැඩිම ප්‍රමාණයක්‌ භාවිත කෙරේ. විදුලිය බලාගාර ආශ්‍රිත ප්‍රදේශවල වැසි අඩුවීම අනුව ඉදිරියේ දී විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන යන්නට නම් ඩීසල් බලාගාර අවශ්‍ය වෙතැයි විදුලිය බල මණ්‌ඩලය තක්‌සේරු කර ඇත. එය තවත් ඛනිජ තෙල් ආනයන ඉහළ නංවන හේතුවකි.
 
 සූර්ය බල සංග්‍රාමය වැඩසටහන යටතේ නිවාස ආලෝකවත් කරගැනීමට සූර්ය කෝෂ භාවිතය ප්‍රචලිත කෙරේ. සූර්ය පැනල යොදවන නිවාස ජාතික විදුලිය පරිභෝජනයෙන් ඉවත්වන හා මණ්‌ඩලයට විදුලිය සැපයිය හැකි තත්ත්වයට පත් කළහොත් ආර්ථිකයට විශාල වාසියකි. ශ්‍රී ලංකාව ඉදිරි වසර තුන තුළ මෙගා වොට්‌ 200 ක සූර්ය විදුලිය ප්‍රමාණයක්‌ ජනනය කරනු සඳහා සූර්ය තාප පැනල් වෙනුවෙන් ජනතාව පොළඹවනු ඇත. එය ඉන්දියාව වසර 2022 වන විට ඉලක්‌ක කර ඇති මෙගාවොට්‌ ලක්‌ෂයක ඉලක්‌කය සමඟ සැස`දිය යුතුය. කෙසේ නමුත් මහජනතාව සූර්ය කෝෂවලට පෙළඹවනු සඳහා විශේෂ ණය සහනාධාරයක්‌ ගැන ජන මාධ්‍ය මඟින් තොරතුරු අනාවරණය කර තිබේ. එයට අනුව සියයට පනහක පොලී සහනාධාරයක්‌ ජනතාවට ලබාගත හැකිය. රුපියල් ලක්‌ෂ පහක්‌ අවුරුදු පහකින් ගෙවන ණයක්‌ වශයෙන් සියයට අටක පොලියකට බැංකුවකින් ණය ගෙන සූර්ය කෝෂ විදුලිය ලබාගන්නා කෙනකුට මෙම ණය සහනාධාරය යටතේ රුපියල් එක්‌ දහස්‌ තුන්සිය තිස්‌ තුනක පමණ පොලී සහනයක්‌ ලැබෙනු ඇත.
 
 ගාමිණී සරත් ගොඩකන්ද
 

 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles