Divaina - තෙල් මත යැපෙන ආර්ථිකයෙන් මිදීමට

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

thelmatha3

 

රජය විසින් මෑතදී සිදු කළ දේශීය තෙල් මිල ගණන් වැඩි කිරීමේ තීරණය පසුගිය දිනවල බොහෝ කතා බහට ලක් විය. ආණ්ඩුව තුළම මේ ගැන විවිධ අදහස් පළ වීම ද විශේෂත්වයකි. මේ තෙල් මිල වැඩි කිරීමේ තීරණය ගැන බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු 43 දෙනෙකුගේ අත්සනින් යුතුව කරුණු 10 ක් මුල් කරගනිමින් පසුගිය ජුනි මස 26 වැනිදා කථානායකවරයා වෙත විශ්වාසභංග යෝජනාවක් ද ඉදිරිපත් කළේය. එහි ඡුන්ද විමසීම පෙරේදා (20) පාර්ලිමේන්තුවේ දී සිදු වූ අතර එහිදී එම විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. විශ්වාසභංගයට එරෙහිව මන්ත‍්‍රීවරු 152 දෙනෙක් ඡුන්දය භාවිත කර තිබූ අතර, එම යෝජනාවට පක්ෂව ලැබුණේ ඡුන්ද 61ක් පමණි. මේ අනුව වැඩි ඡුන්ද 91කින් විශ්වාසභංග යෝජනාව පරාජය විය. තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලා අස්වන්නැයි කී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම් සාගර කාරියවසම් මන්ත‍්‍රීවරයා ද විශ්වාසභංගයට එරෙහිව ඡුන්දය දුන්නේය. සමගි ජන බලවේගය, ද්‍රවිඩ ජාතික සංධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරු යෝජනාවට පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කළහ. මේ දිනවල රට බරපතළ විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින බව ද රහසක් නොවේ. ඛනිජ තෙල් යනු ද ආනයන භාණ්ඩයකි. එසේ නම් මේ තෙල් ආනයනය කිරීමට ද විදේශ මුදල් එනම් ඇමෙරිකානු ඩොලර් අවශ්‍ය ය. එහෙත් මේ මොහොතේ අපේ ඩොලර් ආදායම් ඉතාම සීමිත වී තිබේ. මේ නිසා අප විසින් අපගේ විදේශ විනිමය වියදම් හැකිතාක් සීමා කරගත යුතු ව ද තිබේ.

thelmatha4තෙල් මිල වැඩි වීම, ප‍්‍රවාහන ගාස්තු වැඩිවීම ඇතුළු අනෙකුත් භාණ්ඩ මිල ගණන්වලට බලපාන කාරණයකි. එහෙත් අනිත් අතට දැනට රටේ උත්සන්න වී ඇති විනිමය අර්බුදය සමනය කරගැනීම සඳහා ඛනිජ තෙල් වියදම් ද අඩු කරගත හැකි නම් එය විනිමය අර්බුදය සමනය කර ගැනීමේ දී විශාල සහනයක් වනු ඇත. එහෙත් තෙල් මිල වැඩි කළේ ජනයා දැඩි පීඩාවකට මුහුණ දී සිටි මොහොතකය. විශේෂයෙන් සංචරණ සීමා ක‍්‍රියාත්මක කරමින් බොහෝ දෙනෙක්ගේ එදිනෙදා ආදායම් අහිමි වී ජනයා නිවසේ සිටි අමාරුම කාලයේ දී මේ තෙල් මිල වැඩි කිරීම සිදු කළේය. එසේම ගිය වසරේ (2020) ලෝක තෙල් මිල ගණන් හොඳටම අඩු වූ බව ද අපට මතකය. එහෙත් එම සහනය ඒ අවස්ථාවේ ජනයාට ලබා නොදුන් රජය තෙල් මිල ස්ථායිකරණ අරමුදලක් ඇති කළේය. එහි නම තෙල් මිල ස්ථායිකරණ අරමුදල වුවත් ඒ අරමුණ වෙනුවෙන් එම මුදල් වියදම් කර තෙල් මිල ස්ථායි කරනවා වෙනුවට ආණ්ඩුව කළේ තෙල් මිල වැඩි කිරීමය. අඩු තරමේ තව දින කිහිපයක් පසු වී සංචරණ සීමා කාලයෙන් පසුව හෝ මේ තීරණය ගත හැකිව තිබුණි. එහෙත් එසේ නොකර තෙල් මිල අඩු වීමේ වාසිය ජනයාට ලබා නොදුන් ආණ්ඩුව දැන් තෙල් මිල වැඩි කර අවසන්ය. මේ ගැන බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාගේ නමින් බලශක්ති අමාත්‍යංශය විසින් පිටු 56 ක ග‍්‍රන්ථයක් ද ප‍්‍රකාශයට පත් කර ඇත. එය නම් කර ඇත්තේ ‘ඉන්ධන මිල සංශෝධනයේ ඇත්ත කතාව’ නමිනි. ජනතාව දැඩි පීඩාවකට ගොදුරු වී ඇති මොහොතක ඉන්ධන මිල ඉහළ දැම්මේ ඇයි යන ප‍්‍රශ්නයට එම ග‍්‍රන්ථයේ 05 වැනි පිටුවේ ලබා දී ඇති පිළිතුර මෙසේයි.

 

‘මිල වැඩි කිරීමට කාරණා කිහිපයක් බලපෑවා. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑම, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පිරිහීම ඉන් ප‍්‍රධානයි. ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ ඩොලර් හිඟකම නිසා මතු වී ඇති විදේශ විනිමය අර්බුදයයි. කොවිඞ් වසංගතය නිසා ලංකාවට විදේශ විනිමය ලැබෙන මාර්ග කිහිපයක්ම අහිමි වුණා. සංචාරක ව්‍යාපාරය නැවතුනා, විදේශ යෝජනා කඩා වැටුණා, විදෙස්ගත ශ‍්‍රමිකයන් දස දහස් ගණනින්
රැුකියා අහිමි වී ලංකාවට ආවා. මේ නිසා අපේ රටට විදේශ විනිමය ලැබීම් අඩු වුණා. නමුත් ඉන්ධන මිල වෙනස් නොවුණ නිසා ඉන්ධන පරිභෝජනය වෙනස් වුණේ නෑ. අපට මාසයකට ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 300ක් පමණ වැය වෙනවා. මේ සඳහා අවශ්‍ය ඩොලර් අපට සොයා ගන්න දුෂ්කර නිසා ඉන්ධන මිල වැඩි කළේ ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ජනතාව පොලඹවලා ඉන්ධන ආනයනය අඩු කර ගැනීමටයි.’

 


thelmatha1

එම ග‍්‍රන්ථයේම සඳහන් වන්නේ මේ වසරේ (2021) පළමු මාස පහට තෙල් සංස්ථාව රු. කෝටි 5700 ක අලාභයක් ලබා ඇති බවයි. බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාගේ ඉහත සඳහනේ ඉතාම වැදගත් කරුණ එහි අවසානයට සඳහන් කර තිබේ. එනම් මේ ඉන්ධන මිල වැඩි කිරීමේ අරමුණ ඉන්ධන ආනයනය අඩු කර ගැනීමට බවයි. එහෙත් ඉන්ධනවලට අපට වෙනත් ආදේශකයක් නැති නිසා තෙල් ආනයනය අඩු කළ විට අපගේ ඉන්ධන අවශ්‍යතා ඉටු කරගන්නේ කෙසේ ද? එය මෙහි ඉතාම වැදගත්ම කරුණයි. ඇත්තවශයෙන්ම නිකන්ම අපට ඉන්ධන ආනයනය අඩු කරගත නොහැකිය. ඒ සඳහා අපගේ ඉන්ධන භාවිතය ද සීමා කරගත යුතු වේ. එහෙත් එය කරන්නේ කෙසේද? පෞද්ගලික වාහන භාවිතය වෙනුවට පොදු ප‍්‍රවාහනය දියුණු කිරීම සහ වෙනත් බලශක්ති ප‍්‍රභවයන්ට යොමු වීම මේ සඳහා ප‍්‍රධාන තැනක් ගනී. අපට අවශ්‍ය විදුලිය නිපදවීමට ද විශාල වශයෙන් තෙල් පුච්චන බව අපි දනිමු.

මෙසේ තෙල් භාවිතය අඩු කර පුනර්ජනනීය බලශක්තිවලට යොමු වීම ගැන රජය මේ දිනවල ලොකු අවධානයක් යොමුකර ඇති බවද පෙනේ. මේ ගැන මේ ලියුම්කරුට කරුණු පැහැදිලි කළ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කීවේ ඉන්ධන ආනයන සීමා කරගැනීමට නම් පුනර්ජනනීය බලශක්තිවලට ඉතාම කඩිනමින් යොමුවිය යුතු බවයි. ඒ ගැන අපට එකඟ විය හැකි නමුත් මේ කියන පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්ට කෙතරම් වේගයකින් අපට යොමු විය හැකි ද යන ප‍්‍රශ්නය තිබේ. ආචාර්ය ජයසුන්දර මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ ද කියයි.

 

thelmatha2

 

තෙල් සහ පොසිල ඉන්ධන ගෙන්වන එක සියයට 10 ක් අඩු කරගන්නව කියන්නේ විශාල විදේශ විනිමය ඉතුරුවක්. මම එතකොට තමයි තේරුම් ගත්තේ මේ තමයි සැබෑ ආනයන ආදේශනය. මේක තමයි රටට ඵලක් වෙන දේ. මොකද ඉන්ධන ආනයනය අඩු වෙනව නම් ඒකට විකල්පයක් ඕන. අපි මීට වසර දහයකට පෙර මුලින් ආර්ථිකය සැලසුම් කරන කාලේ නොතිබුණු තාක්ෂණ වාසියක් තිබෙනවා. එදා නොසිතපු දේවල් වාසිදායක වෙලා තියෙනවා. උදාහරණයක් ලෙස සූර්ය බලය. දැන් සූර්ය බල තාපය ජලවිදුලියටත් වඩා බහුලයිනේ. හැමතැනම තියෙන එකක්නේ. ඒ වගේම සුළං බලය. මේ තාක්ෂණ අද ඉතාම බහුලයි. එතකොට එතුමා (ජනාධිපතිතුමා) කියන්නේ අපි පුනර්ජනනීය බලශක්තියෙන් අවම වශයෙන් සියයට 70 ක්වත් ඉදිරි වර්ෂ දහය තුළ තියාගෙන අපේ රට යා යුතුයි කියන එකයි. එතකොට අපි ක‍්‍රමක‍්‍රමයෙන් ඉතුරු ඒවායින් ඉවත් වෙන්න ඕන. එතකොට තමයි මේ තෙල් මත රඳා පවතින ආර්ථිකයකින් අපට ගැලවෙන්න පුළුවන්. ඒක තමයි මම දකින විශාලම ගෙවුම් ශේෂ පරිවර්තනය.’

මේ අදහස ඉතා වැදගත්ය. තෙල් මත විශාල වශයෙන් රඳා පවතින ආර්ථිකයෙන් අපට මිදිය හැකි නම් එය විශාල සහනයකි. එසේම රට මුහුණ දී සිටින කොරෝනා වසංගතය හමුවේ තවත් උත්සන්න වී තිබෙන විදේශ විනිමය අර්බුදයට ද එය සහනයකි. එහෙත් තෙල් ආනයනය සීමා කරගැනීම සහ තෙල් භාවිතය සීමා කරගැනීම එකක්ම නොවේ. තෙල් භාවිතය සීමා කරගනිමින් අපට තෙල් ආනයනය කිරීම කිසියම් සැලකිය යුතු මට්ටමකට අඩු කරගත හැකි නම් එය රටේ ආර්ථික කළමනාකරණයට විශාල පහසුවකි. තෙල් භාවිතය සීමා කරගනිමින් තෙල් ආනයන අඩු කරගැනීමට නම් ඒ සඳහා පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්ට කඩිනමින් යොමු විය යුතු වේ. ඒ සඳහා මුල්‍යකරණය පහසු කිරීමට රටේ බැංකු පද්ධතිය ද යොමු කිරීමට සිදු විය හැකිය. එනම් සූර්ය බලශක්තියට යෑම සඳහා සූර්යකෝෂ මිලදී ගැනීමට විශාල මූලික වියදමක් දැරීමට සිදු වන නිසා ඒ සඳහා උනන්දු වන අය දිරි ගැන්වෙන මූල්‍ය පහසුකම් ද අවශ්‍ය වේ. එහෙත් තවමත් ඒ සඳහා දිරිගැන්වීම් ලබා දීමට අවශ්‍ය පරිසරය රටේ සකස් වී ඇති බවක් නොපෙනේ. මේ නිසා මේ පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්ට යොමුවීමට දිරිගන්වන පරිසරය රජය විසින් කඩිනමින් ඇති කර ගත යුතුව තිබේ. එසේ රටේ ඉන්ධන භාවිතය සීමා නොවී තිබියදී ඉන්ධන ආනයනය සීමා කර ගැනීමට රජය පියවර ගැනීමෙන් නොයෙකුත් ප‍්‍රශ්නවලට මුහුණ දීමට රටට සිදු විය හැකිය.

රජය ඉදිරියේ දී හරිත ආර්ථිකයක් කරා යොමු වෙමින් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රවර්ධනයට යොමුවීම ගැන පසුගියදා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විදෙස් තානාපතිවරුන්ට ද ප‍්‍රකාශ කළේය. එනම් අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, චීනය, රුසියාව, යුරෝපා සංගමයේ තානාපතිවරු හා බි‍්‍රතාන්‍ය, ඉන්දීය මහ කොමසාරිස්වරු පසුගිය ජුලි 14 වැනිදා මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූහ. මුදල් අමාත්‍යවරයා ලෙස සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමෙන් පසුව ප‍්‍රථම වරට මෙම රාජ්‍ය තාන්ත‍්‍රික නියෝජිතයන් මුණ ගැසීම සිදු වූ අතර මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡුාවල දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමේ දී ශ‍්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බිහි කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවත්, පුනර්ජනනීය බලශක්ති ප‍්‍රවර්ධන වැඩපිළිවෙළ සඳහා සහය අපේක්ෂා කරන බවත් ය. ඉන්ධන භාවිතය අවම කෙරෙන පරිසර හිතකාමී ලෙස ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ වැඩි දියුණුව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉහළ නැංවීම පිළිබඳ ද රජයේ අවධානය යොමු ව ඇති බව බැසිල් රාජපක්ෂ මහතා විදෙස් තානාපති නිලධාරීන්ට කියා සිටියේය.

මෙහි දී අදහස් දැක් වූ මහා බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරිය සහ යුරෝපා සංගම් තානාපතිවරයා සඳහන් කළේ පුනර්ජනනීය බලශක්ති ප‍්‍රවර්ධනය සහ හරිත ආර්ථිකයක් කෙරෙහි රජය දක්වන උනන්දුව පිළිබඳ ප‍්‍රසාදය පළ කරන බවයි. ඉන්ධන භාවිතය අවම කෙරෙන පරිසර හිතකාමී ලෙස ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ වැඩි දියුණුව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉහළ නැංවීම පිළිබඳව ද රජයේ අවධානය යොමව ඇති බව බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී කීවේය. තෙල් භාවිතයෙන් අපට මුළුමනින්ම මිදිය නොහැකිය. එහෙත් තෙල් භාවිතය කිසියම් මට්ටමකට ක‍්‍රමයෙන් සීමා කර ගත හැකි බව සත්‍යයකි. එහෙත් ඒ සඳහා ද කිසියම් කාලයක් ගත විය හැකිය. ඒ නිසා මෙය ක්ෂණිකව කළ හැකි දෙයක් ද යන ප‍්‍රශ්නය තිබේ. එසේ නම් ගම්මන්පිල ඇමැතිවරයා කියන පරිදි දේශීය තෙල් මිල ගණන් වැඩි කිරීමෙන් පමණක් අපට ඛනිජ තෙල් ආනයනය සීමා කරගත හැකි නොවනු ඇත. ඒ සඳහා වේගයෙන් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්ට යොමු විය යුතු වේ. විශේෂයෙන් විදුලිය නිෂ්පාදනය පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන්ගෙන් කිරීමෙන් අනෙකුත් ක්ෂේත‍්‍ර සඳහා තෙල් සහ ගෑස් වෙනුවට විදුලිය භාවිත කිරීමට ද හැකි වනු ඇත. වර්ෂ 2030 වන විට සමස්ත විදුලි නිෂ්පාදනයෙන් සියයට 70 ක් පුනර්ජනනීය ප‍්‍රභවයන්ගෙන් ලබා ගැනීමට සැලසුම් කරන බව ද ‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් වන්නකි.
 

ශ්‍යාම් නුවන් ගනේවත්ත
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles