Divaina - විරාගය ගැන සනත් අද කියන කතාව

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

wata444

 

මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ ශූරීන්ගේ 45 වැනි අනුස්මරණ දිනය ජූලි මස 23 වැනි දිනට යෙදී ඇත. මෙම ලිපිය ඒ නිමිත්තෙනි....
 
 ගම්පෙරළියෙ ජිනදාසට ගාමිණීව තෝරා ගත් විට ඇති වූ තත්ත්වයටම සමාන දෙයකට විරාගයේ අරවින්ද ලෙස මමත් මුහුණ දුන්නා. ගාමිණී කෙරෙහි එදා තිබූ ආකල්පය ඔහු බිඳ දැමූ ලෙසම අරවින්දටත් මම යුක්තිය  ඉටු කළා.  - ප‍්‍රවීණ රංගධර සනත් ගුණතිලක

 

viragaya1
 
 මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ ශූරීන්ගේ 45 වැනි අනුස්මරණ දිනය ජූලි 23 වැනිදාට යෙදේ. එතුමන් අතින් විවිධ මාතෘකා ඔස්සේ විරචිත ග‍්‍රන්ථ සමුදාය එදා අද මෙන් හෙටත් මෙරට සාහිත කෙත අස්වද්දනු ලබන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔහු විසින් රචනා කරන ලද ග‍්‍රන්ථ රැුසක් මෙරට සිනමාව මෙන්ම රූපවාහිනී මාධ්‍යයද සුපෝෂිත කළ බව නොකිවමනාය. ඒ අතර  ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය තුන් ඈඳුතු නව කතා සේම, එතුමන් අතින් රචනා වූ විරාගය නව කතාවද සුවිශේෂීය. මෙකී නිර්මාණයන් වෙනුවෙන් දායකත්වය සැපයූ සිනමාකරුවන්, නළුවන්, නිළියන් සේම කාර්මික ශිල්පීන්ද අතුරින් අද අප අතර ජීවත්ව සිටිනුයේ අතලොස්සක් දෙනාය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ආචාර්ය තිස්ස අබේසේකරයන් අප හැර පියා ගොස්ය. එසේම ගාමිණී ෆොන්සේකා, හෙන්රි ජයසේන, වික‍්‍රම බෝගොඩ, ටෝනි රණසිංහ, ටි‍්‍රලීෂියා ගුණවර්ධන, මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන ඇතුළු තවත් බොහෝ පිරිසක් අද අප අතර නැත.

 

viragaya5
වික‍්‍රමසිංහයන්ගේ විරාගය නව කතාව ගතහොත් එය කාගේත් සම්භාවනාවට පාත‍්‍ර වූ විශිෂ්ට නිර්මාණ කෘතියක් විය. මේ ඇසුරින් ආචාර්ය තිස්ස අබේසේකරයන් අධ්‍යක්ෂණය කළ ‘විරාගය’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන භූමිකාව වූ අරවින්දගේ චරිතය රඟපෑම සඳහා මා තෝරා ගැනීම අදටත් මා සිතනුයේ මා ලද පරම භාග්‍යයක් ලෙසටය. මගේ රංගන දිවියේ සුවිශේෂ කඩඉමක් ලෙසින් විරාගය මට රැුගෙන ආවේ අති විශාල ගෞරවනීය භාවයකි. මා දෙස් විදෙස් සම්භාවනාවට පාත‍්‍ර වූයේ වික‍්‍රමසිංහයන් විරාගය නව කතාව තුළ මැවූ ‘අරවින්ද’ චරිතය නිසාවෙනි. එය එදා මෙන්ම අදටත්, හෙටටත් මතු දිනකටත් මගේ රංගන දිවියේ ස්වර්ණමය අවස්ථාවක් ලෙසින් සනිටුහන් වන බව වික‍්‍රමසිංහයන් ගේ 45 වැනි අනුස්මරණ දිනය සිහිපත් කරමින් එතුමන් පිළිබඳ උපන් මහත් ගෞරවයකින්, භක්තියකින් යුතුව සඳහන් කරමි.

 

viragaya2new
 
 වික‍්‍රමසිංහයන් ගේ 45 වැනි අනුස්මරණ දිනය මෙන්ම පසුගිය මැයි 29 වැනි දිනට යෙදුණු 131 වැනි ජන්ම දිනය සිහිපත් කරමින් මෙවන් මොහොතක එතුමන් වැනි මහා සාහිත්‍යධරයෙකු පිළිබඳ කතා බහ කරන්නට තරම් මා දුහුනකු බව සිතමින්ම ඔහු නිසා මා ලද ගරු බුහුමන් පිළිබඳ සිහිපත් කරමින් මගේ මතකයන් අවදි කරන්නට ලද මේ ඉඩකඩ මට මහත් සේ වටින බවද සඳහන් කරන්නේ සතුටකිනි.
 
viragaya4මාර්ටින් වික‍්‍රමසිංහ නම් වූ ඒ සුවිශේෂ සාහිත්‍යධරයා, මහා ගත්කතුවරයා පිළිබඳ මගේ මතකයන් දිව යනුයේ මා එතුමන් පිළිබඳ අසා දැනගත් දෙයින් පමණි. ළමා වියේ සිට තාරුණ්‍යය දක්වා වැඩුණු මගේ දිවිය තුළ කියවීම සඳහා සුවිශේෂ කැමැත්තක් මා තුළ විය. මම විශ්වාස කරන ආකාරයට ඒ පුරුද්ද නීතිවේදියකු වූ මගේ පියාගෙන් පැවත ආවකි. එසේම ගුරුවරියක් වූ මගේ මව තවදුරටත් එය මාතුළ වඩවා ලන්නට කටයුතු සැලැස්වූ තැනැත්තියක් වූවාය.
 
 කුඩා කල මා කියවූ පොත් අතර කුමාරතුංග මුනිදාසයන්ගේ ‘හීන්සැරය’ ‘මඟුල් කෑම’ මෙන්ම සිබිල් වෙත්තසිංහගේ ‘කුඩහොරා’ වැනි ග‍්‍රන්ථ තිබූ බව මට මතකය. එහෙත් මේ කාලයේදිම මම වික‍්‍රමසිංහයන්ගේ ‘මඩොල් දූව’ පොතද කියවීමි.
 
 මා වික‍්‍රමසිංහයන්ට මුලින්ම බැඳෙනුයේ මෙකී යොවුන් නව කතාවේ රසයට ආශක්ත වීමෙනි. එහෙත් මේ කාලයේ කර්තෘවරයා පිළිබඳ අගය කිරීමකට හෝ විචාරයකට හෝ හැකියාවක් මට නොතිබුණද මම ඔහුට ආදරය කරන්නට පෙළඹීමි. ඒ නිසාම ඉන් කලකට පසුව මම එතුමාගේ අනෙක් ග‍්‍රන්ථ පිළිබඳ විමසන්නටත් හොයන්නටත් පටන් ගතිමි.
 
 මේ අවදියේ මගේ පියා මා රැගෙන ගොස් මහනුවර මහජන පුස්තකාලයට හඳුන්වා දුන්නේය. පුස්තකාලයෙන් රැගෙන ආ හැකි පොත් දෙක අතුරින් එකක් විෂයානුබද්ධ පොතක් විය යුතු අතර අනෙක මගේ රුචිකත්වයට තෝරා ගන්නට තාත්තා ඉඩ දුන්නේය. වික‍්‍රමසිංහයන්ගේ අනෙක් කතා මා අතට පත් වන්නේ ඒ ලැබුණු අවසරයෙනි. එතුමන්ගේ  ‘ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය’ වැනි පොත් මා ගෙනත් කියවූවද ගම්පෙරළිය හැර අනෙක් පොත් දෙකහි එතරම් රසයක් එකල මට නොදැනුණේය. විරාගය නවකතාව මට හමුවනුයේ ඉන් පසුවය. නමුත් එය කියවා තේරුම් ගැනීමට හෝ එහි රසයක් හෝ හරයක් අවබෝධ කර ගැනීමට තරම් මගේ බුද්ධිය එවකට මුහුකුරා ගොස් නොතිබිණි. එබැවින් එය මා පැත්තකට කර තැබීමි. ඒ අතරම එතුමන්ගේ ‘රෝහිණී’ වැනි ඓතිහාසික කතා ආදියත් එතුමන් විසින් රචිත විවිධ කෙටි කතාත් කියවීමි. මට වඩා පරම්පරා හතර පහකට එහායින් සිටි එතුමාගේ ඡායාරූපය ද මම නොයෙක් විට පුවත්පත්වලින් දැක තිබුණි. එහෙත් එතුමන් දැක බලා ගැනීමට හෝ එතුමන් හමුවීමට හෝ ආසාවක් මගේ සිතේ ඇති නොවිණි. පසුකලෙක වික‍්‍රමසිංහයන් විසින් ලියන ලද බෞද්ධ පොත පත ගැන විශාල ආන්දෝලන තිබුණද ඒ පිළිබඳ සොයා බලන්නටවත් මට උනන්දුවක් නොතිබිණි. නමුත් පසු කලෙක මම සිනමාවට පැමිණි පසු එතුමන් පිළිබඳ මට පළමුවෙන්ම මතකයක් නැවත ඇති වනුයේ මා ‘ගඟ අද්දර’ දර්ශන තලයේ සිටිනා විටදීය. එකල විරාගය නව කතාවෙන් චිත‍්‍රපටයක් කරන්න යන බවටත්, එය අධ්‍යක්ෂණය කරනුයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් බවත් මම ගිරිඋල්ල ගඟ අද්දර දර්ශන තලයේ සිටිනා විට අසන්නට ලැබිණි. එහෙත් ඒ ගැන උනන්දු වන්නට මට හේතුකාරණා නොවීය. නමුත් ඉන් පසුව දිගින් දිගටම මම සිනමාවේ රැුඳෙමින්, සිනමාව පිළිබඳ අධ්‍යයනය කරනවිට, විවිධ පොතපත කියවන්නට උනන්දු වන්නටත්, වික‍්‍රමසිංහයන්ගේ පොත පත ඇසුරු කරන්නට මට අවස්ථාව ලැබිණ.
 
 වික‍්‍රමසිංහයන්ගේ පොතක් ඇසුරින් කළ නිර්මාණයකට මා මුලින්ම සම්බන්ධ වන්නේ ‘කලියුගය නවකතාව ඇසුරින් කළ කලියුගය චිත‍්‍රපටයටය. මම එහි ඇලන්ගේ චරිතය නිරූපණය කළෙමි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ උපදෙස් පරිදි රඟපෑවා විනා ඒ අවස්ථාවේදී මට වික‍්‍රමසිංහයන්ගේ පවුලේ ඥාතීන් හෝ මුණ ගැසීමට අවස්ථාවක් නොලැබිණ. නමුත් මා පසුකාලීනව විරාගයට සම්බන්ධ වූ පසු ඒ අවස්ථාව මට නොයෙක් වර ලැබිණ.
 
 විරාගයේ ‘අරවින්ද’ චරිතය නිරූපණය කිරීමට මා තෝරා ගත් පසු වික‍්‍රමසිංහයන් විසූ නිවෙසට යෑමේ අවස්ථාව මට හිමි විය. එතුමන් ජීවත් වූ ඒ පරිසරය දකින විට මට අති විශාල දුකක් දැනෙන්නට පටන් ගත්තේය. එතුමන් ජීවතුන් අතර සිටියදී මට මුණ  ගැසීමේ අවස්ථාව නොලැබීම පිළිබඳ මම මහත් සේ කනගාටුවට පත් වූයෙමි. මා තුළ විශාල සිත් තැවුලක් ඇති විය. විරාගයේ අරවින්ද වීමට ප‍්‍රථම තිස්ස අබේසේකරයන් මා විවිධ පුද්ගලයන් මුණ ගැසීමට යැව්වේය. ඒ අතර දොස්තර රංග වික‍්‍රමසිංහ, ආචාර්ය ගුණදාස අමරසේකර, මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැන්නෝ වූහ. ඔහු මේ සිදු කරනුයේ මට අරවින්දගේ චරිතයට පිවිසීමට දොරටු විවිර කරලීමක් බව මට පසක් වනුයේ බොහෝ කලකට පසුවය. අරවින්ද වෙනුවෙන් මගේ පෙනුම වෙනස් කර ගැනීමේ උත්සාහයේදී මට සෞඛ්‍ය උපදෙස් ලබාදෙන දොස්තරවරයා සොයා දෙනුයේ දොස්තර රංග වික‍්‍රමසිංහ විසිනි. මා පිළිබඳ එතුමන් තුළ යම්කිසි විශ්වාසයක් ගොඩනැඟී තිබූ බව මට හැඟී ගියද එතුමන්ගේ සහෝදරිය රූපා සපරමාදු මැතිනිය තුළ එවැනි විශ්වාසයක් නොවූ බව මට හැඟී  ගියේය. එසේම වික‍්‍රමසිංහ සූරීන් ජීවතුන් අතර සිටියා නම් අරවින්ද සඳහා මා තෝරා ගැනීම පිළිබඳ සතුටු නොවනු ඇත යනුද මගේ හැඟීම විය. මන්ද ගම්පෙරළිය චිත‍්‍රපටයේ ‘ජිනදාස’ ගේ චරිතය සඳහා ගාමිණී ෆොන්සේකා තෝරා ගත්විට එතුමන් නොකැමැති වූ අයුරුත්, පසුව චිත‍්‍රපටය නැරඹීමෙන් පසුව එතුමන් එය ඉල්ලා අස්කරගත් බවක් මා අසා ඇති නිසාවෙනි.

 

viragaya3
මේ ආකාරයටම මා විරාගයේ අරවින්ද චරිතයට තෝරා ගත් පසු දිවයිනේ ප‍්‍රමුඛතම විචාරකයන් දෙදෙනෙක් වන අජිත් සමරනායක සහ ගාමිණී විජේතුංග ඊට ප‍්‍රසිද්ධියේම සිය විරෝධය පළ කළේය. නමුත් තිස්ස අබේසේකරයන්ගේ තීරණය වෙනස් නොවූ නිසා අරවින්ද මා ම විය. විරාගය තිර ගත වීමෙන් පසු එය නැරඹූ අජිත් සමරනායක සහ  ගාමිණී විජේතුංග සතුටට පත්ව මා වැළඳගත් අයුරු අදටද මගේ මතකයේ ඇත. එහෙත් මගේ පරමාදර්ශී නළුවා වන ටෝනි රණසිංහයන් මේ පිළිබඳ දැරුවේ වෙනත් මතයක්. ඒ ප‍්‍රවීණ, ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියාගේ මතයට මම ගරු කළෙමි. පසු කලෙක එතුමා මට පැවසුයේ ‘‘සනා... එය විවේචනය මම වෙන කෙනෙකුට කළානම් ඔය තරම් ඉවසන එකක් නෑ. සමහරවිට මුළු ජීවිත කාලයම නැවත මාත් සමඟ කතා කරන එකක් නෑ. උඹ තුළ තිබෙන ඉවසීමම උඹේ ඉදිරි ගමනට ලොකු ආශිරිවාදයක්.’’ යනුවෙනි.
 
 මගේ සිනමා ජීවිතයේ නොමැකෙන සිහිවටන කීපයක් මට ඉතුරු වූයේ විරාගයත් සමඟ ජාත්‍යන්තර සම්මාන උළෙලට යෑමට ලැබුණු වාසනාව නිසාය. 1987 ජූලි මස පැවැත්වුණු මොස්කව් ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙල එයින් එකකි. ඒ උළෙලේදි ලෝකයේ බොහෝ සිනමාකරුවන්ගේ (නම් දන්නා, නොදන්නා) විවිධ නිර්මාණ නැරඹීමෙන් මා විශාල තෘප්තියකටත් වඩා සිනමාව පිළිබඳ මෙතෙක් නොදැක්ක දේ, නොඇසූ දේ දැන ගතිමි. මෙම මොස්කව් සිනමා උළෙල ඇමරිකාව හා රුසියාව එකතු වී හවුලේ චිත‍්‍රපටයක් නිපදවීමට ගිවිස ගැනීමේ කටයුත්තකින් සමන්විත වූ නිසා ලෝකයේ දස දෙසින් සිනමාවට සම්බන්ධ විවිධ පුද්ගලයන්, ශිල්පීන් සහ සුප‍්‍රසිද්ධ මාධ්‍යකරුවන් පැමිණ සිටි එකක් විය. චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට යෝජනා වී තිබුණේ ස්ටැන්ලි කුබ්රික් (Stanly Kubrick) නමැති සුප‍්‍රසිද්ධ ඇමරිකානු අධ්‍යක්ෂවරයාටය. ඔහුගේ මාධ්‍ය සාකච්ඡාවලට සහභාගී වී මා ප‍්‍රශ්න ඇසුවේ නැතත් ලෝකයේ නන් දෙසින් පැමිණි මාධ්‍යකරුවන් ඇසූ ප‍්‍රශ්න සහ පිළිතුරු මට කෙතරම් ප‍්‍රයෝජනවත් වුණාද යන්න පිළිබඳ අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ.
 
 එමෙන්ම මොස්කව් ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලේ එවර ජුරි සභාවේ සභාපති වූයේ හොලිවුඩයේ අංක එකේ චරිතාංග නළුවෙක් වන රොබට් ඩි නීරෝය. ඔහුගේ මාධ්‍ය සාකච්ඡුාවලින්ද මා ලබා ගත් දැනුම අප‍්‍රමාණය. උළෙලේ හොඳම චිත‍්‍රපටය වූයේ ඉතාලියේ ෆ්‍රෙඞ්රිකෝ ෆෙලිනි (fedricco feline) නමැති අධ්‍යක්ෂවරයාගේ චිත‍්‍රපටයයි. එමෙන්ම තවත් ලෝක ප‍්‍රසිද්ධ නළුවෙක් වන මර්තෙලෝ මස්ත්‍රෝනි (merthello masthoni) මේ උළෙල නියෝජනය කළේය. ඉන්දියාවෙන් දිලිප් කුමාර් ඇතුළු පිරිසක් පැමිණ සිටි අතර සියලූම ආරාධිතයන්ට වී අයි පී ගණයේ ලා ලබා දුන් සැලකිල්ල මත මේ සියල්ල හමු වීමේ අවස්ථාව මටත්, උළෙල නියෝජනය කළ ශ‍්‍රියානි අමරසේනටත් , එවකට ජාතික චිත‍්‍රපට සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රන්ජිත් ප‍්‍රනාන්දු මහතාටත් ලැබිණි.
 
 අද දිනයේදීත් මා අරවින්ද ජයසේන පිළිබඳ නැවත මෙනෙහි කරනුයේ එවැනි ගුණවත් මිනිසුන් අප සමාජයෙන් ක‍්‍රමයෙන් ඉවත්වන බැවිනි. භාෂා කීපයකට පරිවර්තනය වූ විරාගය නවකතාව කියවා හදාරා ඒ පිළිබඳ මාර්ටින් වික‍්‍රමසිංහ මැතිතුමාට විදේශික සාහිත්‍යධරයන්ගෙන් ලැබුණු ප‍්‍රශංසා එමට බව මට දොස්තර රංග වික‍්‍රමසිංහ මහතා පවසා තිබේ. චිත‍්‍රපටය නිපදවෙන කාලයේත් එය ප‍්‍රදර්ශනය වී බුහුමනට ලක්වෙන කාලයේත් මාර්ටින් වික‍්‍රමසිංහ මැතිතුමා ජීවත්ව සිටියා නම් එතුමාට කෙතරම් සතුටක් ලැබෙයිද?
 
 විරාගය චිත‍්‍රපටයේ සියලූම කටයුතු නිමවූ පසුත් මම මාර්ටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලය සමඟ තිබූ සම්බන්ධතාව අත් නොහැරියෙමි. එය පෙරටත් වඩා කිට්ටුවෙන් පවත්වාගෙන යමි. මාර්ටින් වික‍්‍රමසිංහ මහතා උත්පත්තිය දුන් අරවින්ද චරිතය නියමාකාරයෙන් හදාරා එය ප‍්‍රතිනිර්මාණය කළ තිස්ස අබේසේකර මැතිතුමාත් අද ජීවතුන් අතර නොමැති බැවින් බොහෝ අවස්ථාවල යම් යම් සම්මන්ත‍්‍රණ සඳහා මම දායක වූ අවස්ථා ඇත්තෙමි. මම එය සිදු කරනුයේ ඉතාමත්ම කැමැත්තෙනි. මාර්ටින් වික‍්‍රමසිංහ මහතා මැවූ එකී පුද්ගලයාගේ ගුණ යහපත්කම් පෙරටත් වඩා ඉස්මතු කිරීමට අද මට යම් ප‍්‍රමාණයකට හෝ හැකිවී ඇතැයි විශ්වාස කරමි.
 
 එතුමා මේ ග‍්‍රන්ථය ලියූ ආකාරයත්, ඒ සඳහා පාදක වූ සැබෑ චරිත පිළිබඳවත්, බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ බිඳුණුවැව ග‍්‍රාමයේ පරිසරය පිළිබඳත් රංග වික‍්‍රමසිංහ මැතිතුමාත් දයාපාල ජයනෙත්ති මැතිතුමාත් නිරන්තරව කරනු ලබන විස්තර අනුව මට ඉහත කී කරුණු සොයා ගැනීමට වඩාත් පහසු විය.
 
 ඔවුන්ගේ ආශිර්වාදය මැද කොරෝනා සමය තුළ මා විසින් අරවින්ද ජයසේන පිළිබඳව යම් යම් සටහන් රාශියක් තැබුවෙමි. මා රඟපෑවේ මාර්ටින් වික‍්‍රමසිංහ මැතිතුමා විසින් මැවූ තිස්ස අබේසේකර මැතිතුමා විසින් ප‍්‍රති නිර්මාණය කළ අරවින්ද ජයසේනමය. නමුත් ඒ ක‍්‍රියාවලිය කිරීමේදී විවිධ අවස්ථාවල (චිත‍්‍රපටයට දායක වී සිටීමේදීත් ඉන් පසුවත්* මා සිතට නැඟුණු යම් යම් කරුණු කාරණා මේ සටහන්වල අන්තර්ගතව ඇත. ඒ සටහන් කියවා බලා ජයනෙත්ති මහතා එයට අපූර්ව ප‍්‍රස්තාවනාවක්ද ලබා දුන්නේය. එය මට කරන ලද විශාල ගෞරවයක් ලෙසට මම සලකමි. මේ පිළිබඳ සාකච්ඡුා කිරීමට යෑමේදී රංග වික‍්‍රමසිංහ මැතිතුමා දුන් ආශිර්වාදය ද මට සුවිශාල ධෛර්යයකි. එබැවින් මා මෙය පොතක් ලෙස ජනගත කිරීමට උත්සාහ දැරූ අතර එය මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ 131 වැනි ජන්ම දිනය යෙදී තිබුණු මැයි මස 29 වැනි දින දොරට වඩින්නට සැලසුම් කළද කොරෝනා වසංගතයෙන් යළි රට පීඩාවට පත් වීම නිසා එය මතු දිනකට කල් දැමුවෙමි. එහෙත් එම ශ්‍රේෂ්ඨයා සිහිපත් කරනු වස් මෙවැනි සටහනක් තැබීම මා සතු යුතුකමක් ලෙස සැලකුවෙමි. අරවින්ද වැනි චරිතයක් සමාජයට ඉතිරි කළ මාර්ටින් වික‍්‍රමසිංහ සූරීන් මෙන්ම ආචාර්ය තිස්ස අබේසේකරයන්ද ජාති ජාතිත් මෙරට පහළ විය යුතු ශ්‍රේෂ්ඨයෝමය.
 
 සනත් ගුණතිලක

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles