Divaina - වියට්‌නාමයේ වීරෝධාර 'උමං මීයන්ගේ' කතාව

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 රුවන් තරස්වින්
 වියට්නාමයේ සංචාරයකිනි
 tharaswin @ gmail.com

 

viatnaam5අතීතයේදී වියට්නාමය ප‍්‍රංශ කොළනියක් බවට පත් වී තිබුණි. 1930 පෙබරවාරි මාසයේදී ඉන්දු - චීන කොමියුනිස්ට් පක්‍ෂය (වියට්නාමය අතීතයේදී හැඳින්වූයේ ‘ඉන්දු චීනය’ යන නමින්ය.) බිහි කිරීමට ‘හෝ චිං මිං’ සමත්විය. (Ho chi Minh ගේ සම්පූර්ණ නම වූයේ Nguyen sinh cunga  න්ගුයින් සිං කුං එය වියට්නාම් භාෂාවෙන්* 1945 දී හෝං චි මිං තවත් දේශපේ‍්‍රමීන් සමඟ එකතු වී වියට්නාමයේ ප‍්‍රංශ පාලනයට විරුද්ධව ‘වියට්නාම් මහජන හමුදාව’ (Peoples Army of Vietnam) කෙටිනම - PAVN) නිර්මාණය කර එයට නායකත්වය ලබා දුන්නේය. 1945 අගෝස්තු මාසයේදී ප‍්‍රංශ පාලනයට හා ජපන් ආක‍්‍රමණවලට එරෙහිව ජනතාව සමඟ එක් වූ විමුක්ති හමුදාව ජයග‍්‍රහණය කළේය. 1946 දෙසැම්බර් මස නැවත යුද්ධයක් ඇරඹූ ප‍්‍රංශය වියට්නාමය අත්පත් කර ගැනීමට යත්න දැරීය. එහෙත් 1954 දී ‘ඩියන් බියන් පූ’ හිදී වියට්නාමය ජය ගත්තේය. ඉන්පසු 1957 දී ඇතිකරගත් ජිනීවා ගිවිසුම අනූව වියට්නාමයේ බෙන්හායි ගෙඟ් 17 වැනි සමාන්තරයේ පිහිටි ‘හීන් ලූ’ පාලමෙන් වියට්නාමය උතුර හා දකුණ වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන්කළේය. හෝ චි මිං රජය වෙනුවෙන් සාම සාකච්ඡාවලට සහභාගිවීමට පැරීසියට ද ගියේය. ප‍්‍රංශය වියට්නාමයෙන් ඉවත් විය.
 
 හෝ චි මිං 1956 නොවැම්බර් 1 දා සිට 1969 සැප්තැම්බර් 1 දා දක්වා වියට්නාම් කොමියුනිස්ට් පක්‍ෂයෙන් පළමුවැනි ලේකම් බවට පත්වී කටයුතු කළේය. මේ අතර 1956 දී නිදහස් මැතිවරණයකින් වියට්නාමය එක්සත් කිරීමට විරුද්ධ වූ දකුණේ පාලකයෝ ඇමෙරිකාවේ සහය එයට ලබා ගත්තේය. 1960 දී දකුණු වියට්නාම් ජාතික පෙරමුණ බිහිවිය. ‘වියට්කොං’ නමින් හැඳින්වූයේ දකුණු වියට්නාම් කොමියුනිස්ට් හමුදාවයි. 1965 මාර්තු 8 වනදා මධ්‍යම වියට්නාමයේ ඩා නන්ග්’ Da Nang නගරයට ඇමරිකානු නාවික භටයන් 3500 ක් ගොඩබැස්සේය. ඉන්පසු හෝ චි මිං බිහිකළ වියට්නාම් වියට්කොන් හමුදාව හා ඇමෙරිකා හමුදා අතර පසුව ඇති වූ යුද ගැටුම් ඉතාමත් දරුණු විය. හෝ චි මිං ගේ වියට්නාම් දේශපේ‍්‍රමී මහජන හමුදාවට මහජන චීන සමූහාණ්ඩුව, සෝවියට් සංගමය, උතුරු කොරියාව සහය දැක්වීය. දකුණු වියට්නාමයේ ඇමෙරිකානු රූකඩ රජයට කොමියුනිස්ට් විරෝධී බලවේග වන දකුණු කොරියාව, නවසීලන්තය, ඔස්ටේ‍්‍රලියාව, ලා ඕසයේ සමූහාණ්ඩුව වැනි රටවල් සහාය දැක්වීය.

 

 

viatnaam3
 
 යුද්ධයේදී ඇමරිකාව වියට්නාමයට උග‍්‍ර විෂ සහිත නැපල්ම් බෝම්බ ද Naplam හෙළුවේය. ඉතිහාසයේ බෝම්බ වැඩිම ගණනකට මුහුණ දුන් රට වියට්නාමයයි. 2 වන ලෝක යුද්ධයේදී පාවිච්චි වී තිබුණේ බෝම්බ ටොන් මිලියන 2.1 කි. එහෙත් වියට්නාම් යුද්ධයේදී ඇමෙරිකාව වියට්නාමයට බෝම්බ ටොන් මිලියන 6.1 කට වැඩි ප‍්‍රමාණයක් හෙළා ඇත. වනාන්තර අක්කර මිලියන 5ක් ගොවිබිම් අක්කර 500,000 ක් ඇමෙරිකාව විසින් බෝම්බ හෙළා විනාශ කළේය. මේවා නිසා මිනිස් ජීවිත ද විනාශ විය. 1959 සිට 1975 දක්වාම වියට්නාමයේ ඇමෙරිකානු විරෝධී සටන් ඇතිවිය. මෙම යුද්ධය නිසා වියට්නාමයේ සිවිල් වැසියන් මිලියන දෙකකට වඩා මිය ගියේය. තවත් විශාල පිරිසක් අතුරුදන් විය. අතිවිශාල පිරිසක් තුවාල ලබා හෝ අංගවිකල භාවයට පත්විය.
 
 යුද්ධය පවතින කාලය අතරතුර 1969 සැප්තැම්බර් 2 දා උතුරු වියට්නාමයේ හැනෝයි නගරයේදී හෝ චි මිං හෘදයාබාධයකින් මියගියේය. 1975 අපේ‍්‍රල් 30 වැනිදා ඇමෙරිකාවට අන්ත පරාජයක් ලබා දෙමින් වියට්නාම් මහජන විමුක්ති හමුදාව ජයග‍්‍රහණය කළේය. ඔවුන්ගේ 304 වන සේනාංකයේ යුද ටැංකියක් දේශීය වේලාවෙන් පෙරවරු 11.30 ට ජනපති මන්දිරයේ ප‍්‍රධාන ගේට්ටුව කඩාගෙන එයට ඇතුළු වී වියට්නාම් ධජය ඔසවා තම ජයග‍්‍රහණය සනිටුහන් කළේය. ඉන්පසු උතුර හා දකුණ එක් රටක් ලෙස යළිත් එක්විය.

 

viatnaam1
 
 1968 ටනල් රැට්ස් (1968 1968 Tunnel Rats) යනු වියට්නාම් යුද්ධයේදී ඇමෙරිකානු හමුදාවට කිසි විටෙකත් යටත්කර ගැනීමට නොහැකි වූ අභිමානවත් වියට්කොං හමුදා කාණ්ඩයක් සහ ඔවුන්ගේ පවුල්වල ජීවිතයන් ගැන ලොවට හෙළිකළ සත්‍ය සිද්ධීන් දාමයක් වටා ගෙතුණු කතාවක් රැුගත් චිත‍්‍රපටයකි. මේ චිත‍්‍රපටයෙන් පෙන්වා දුන්නේ වියට්නාම් යුද්ධයේදී ‘කුචි දිස්ත‍්‍ර‍්‍රික්කයේ’ පොළොව යට සෑ¥ බිම්ගෙවල් වල ජීවත්වෙමින් තම රට වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කළ වීරෝධාර මිනිසුන්ගේ කතාන්දරයකි. මෙම බිම් ගෙවල් සහ ඒවාට සම්බන්ධ දැවැන්ත උමං ජාලය සංචාරකයන්ට නැරඹීමට හැකිවන ලෙස වියට්නාම් රජය විසින් දැන් සංරක්‍ෂණය කර යුද ස්මාරකයක් ලෙස පවත්වාගෙන යනු ලැබේ. මේවා කුචි උමං මාර්ග ලෙස හැඳින්වේ. (cu chi tunnels)

 

viatnaam2
 
 දකුණු වියට්නාමයේ හෝචිමිං අග නගරයේ සිට කිලෝමීටර් 70 ක් පමණ මග ගෙවා කුචි දිස්ත‍්‍රික්කයේ බෙන්ඩින් සහ බෙන්ඩ‍්‍ර ඕක් යන ස්ථානයන්ට ළඟාවිය හැකිය. මෙය වියට්නාමයේ සංචාරක අකර්ශනය ඇති ස්ථානයකි. මෙහි උමං පද්ධතියේ ආරක්‍ෂිත කොටස්වල ඇති උමං මාර්ග තුළ සංචාරකයන්ට සැරිසැරීමට හැකි වන සේ ඒවා තුළ අඩු බලැති විදුලි පහන් ද සවිකර ඇත්තේ මාර්ගය පෙනෙන ආකාරයෙනි. 1968 දී ‘ටාට් ප‍්‍රහාරය’ වැනි ව්‍යාපාර සැලසුම් කළ භූගත සම්මන්ත‍්‍රණ ශාලාවද ප‍්‍රතිසංස්කරණය කර ඇත. අඩි 15 ක් පොළොව යට පැවැති එය සංචාරකයන්ට නැරඹීමට හැකිවන ලෙස උඩ පස් තට්ටුව ඉවත්කර උණ බම්බුවලින් පොල්අතු සෙවිලි කළ වහලක් සාදා ශාලාවට බැසීමට පඩිපෙළක් තබා ඇත. ශාලාවේ එක් කෙළවරක කුඩා වේදිකාවකි. එහි එක් පසෙක කුචි දිස්ත‍්‍රික්කයේ විශාල සිතියමක් සහ චිත‍්‍රපට තිරයක් ද තබා ඇත.
 
 කුචි යනු විශාල වශයෙන් කෘෂිකාර්මික කටයුතු කළ දිස්ත‍්‍රික්කයකි. එහි ඝන වනාන්තර ද බහුලය. වියට්නාම් යුද්ධයේදී මෙම ඝන වනාන්තර වියට්කොං ගරිල්ලා හමුදාවට බෙහෙවින් ප‍්‍රයෝජනවත් විය. මෙම ප‍්‍රදේශය යුද්ධයේදී යුද මූලස්ථානයක් බවට ද පත්විය.

 

viatnaam4
 
 කුචි සිතියමේ දැක්වෙන ආකාරයට සයිගොං ගඟ ආශ‍්‍රිතව ඇති මෙම ප‍්‍රදේශය කිලෝමීටර් 200 ක් ඈතට විහිදෙන ලෙස පිහිටා තිබුණි. මෙම ප‍්‍රදේශයේ දස දහසකට වැඩි ගරිල්ලා හමුදාවක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සැඟවී සිටියේ පොළොව යට සෑ¥ රහසිගත බිම්ගෙවල් තුළය. ඒවා එකිනෙකට සම්බන්ධ කිරීමට සාදා තිබූ දෝනාවල් වල දිග කිලෝමීටර් 270 ක් පමණ විය. මේ දෝනා සයිගොං ගඟ දක්වා ම විහිදුනි. බිම් ගෙවල් තුළට ජලය ලබාගත්තේ රහසිගත ලෙස ගඟට දමා තිබූ එකිනෙකට යාකළ උණබට වලින් ය. බිම් ගෙවල් හා උමං සෑදීමට ඔවුන් උපයෝගී කර ගත්තේ අඩි 1 1/2 ක් දිග මිටක් ඇති කුඩා උදැල්ලක් සහ පස් පිරවීමට ගන්නා කුඩා කූඩයකි. හාරාගන්නා ලද පස් උමං මාර්ගයක් දිගේ ගොස් සයිගොං ගඟට මුදා හැරිය අතර ඒවා කිසිවෙකුටවත් නිරීක්‍ෂණය කිරීමට නොහැකි වූයේ ගෙඟ් වතුර සැම විටම මඩ පාටින් පැවැති නිසාය.
 
 මෙම බිම් ගෙවල්වලට සහ උමං මාර්ගවලට පිරිසිදු වාතය ලබා ගැනීමට උණබට යොදා තිබුණි. එම බට බිම් ගෙවල්වල සිට මීටර් 200 - 500 ක් වැනි දුරකට විහිදුනි. බටයේ කෙළවර තුඹසකට හෝ ගස් මුලකට, ගස් බෙනයකට සම්බන්ධ කර තිබූ අතර, ඒ ස්ථානයේ ගම්මිරිස් හෝ මිරිස් පැළ වවා තිබුණේ මිනිස් සුවඳ ඉව කරමින් පැමිණෙන ඇමෙරිකාවේ දඩ බල්ලන්ගෙන් බේරීමටය. මිනිස් ඉව පසුපස යන බල්ලා මිරිස් හෝ ගම්මිරිස් ආග‍්‍රහණය කරවිට ඌට කිවිසුම් යෑමට පටන් ගනී. එවිට මිනිස් ඉව ඌට නොතේරේ. මේ බිම් ගෙවල්වල ජනතාව පවුල් පිටින් වාසය කරමින් වියට්නාම් යුද්ධය ජයග‍්‍රහණය කරා ගෙන යෑමට වියට්කොං ගරිල්ලා නායක හෝ චි මිං ට සහය දැක්වීය. හෝ චි මිං ද වරින්වර මේ බිම් ගෙවල් තුළ වාසය කළේය.
 
 භූගතව ඇති සම්මන්ත‍්‍රණ ශාලාවේදී දේශකයකු හෝ දේශිකාවක් වියට්නාම් යුද්ධය හා කුචිවල බිම් ගෙවල් ජීවිතයන් පිළිබඳව විස්තර කියාදෙන අතර, යුද්ධය පිළිබඳව චිත‍්‍රපටයක් ද සංචාරකයන්ට නැරඹීමට සලස්වයි. ඉන්පසුව සංචාරකයන් වනය මැදින් යම් ස්ථානයකට රැුගෙන යයි. ඉදිරියට ඇවිද යන සංචාරකයන්ට දක්නට ලැබෙන්නේ වියට්කොං ගරිල්ලා හමුදාව ඇමෙරිකන් හමුදා භටයන්ට මරණය හෝ මරණීය තුවාල ලබාදීමට සකස්කරන ලද මර උගුල් ය. ඒවා විවිධාකාර ක‍්‍රමයන්ට නිපදවා ඇත. උඩින් තණ පිඬැලි දැමූ බොරු වළවල් සාදා ඒ මතින් සතුරාව වළ තුළට වැටීමට සලස්වයි. එම වළේ ඇත්තේ යකඩ උල් හෝ තියුණු පිහිතලය. වළට වැටෙන යුද සෙබළා දරුණු තුවාල ලබයි. නැතහොත් මරණීය තුවාල ලබයි. ඒ අතර සතුරාගේ දෙකකුල් තුවාල කිරීම සඳහා වනය තුළ සඟවා තබා තිබූ මී කතුරු වැනි විශාල යකඩ උල් සහිත උගුල් ද ප‍්‍රදර්ශනයට තබා ඇත.
 
 1966 ජනවාරි 7 වැනිදා ආරම්භ කර බී 52 වර්ගයේ බෝම්බ ටොන් 30 කට අධික පුපුරණ ද්‍රව්‍ය කුචි කලාපය පුරාම හෙළීය. මින් කලාපයේ විශාල වළවල් සෑදී බිම්ගෙවල් විනාශ විය. මෙම විශාල වළවල් මෙම ප‍්‍රදේශයේදී අදත් දැකීමට හැකිය. ඇමෙරිකානු හමුදා බළඇණි සමඟ සහයට පැමිණි ඔස්ටේ‍්‍රලියානු හමුදා ඛණ්ඩ ද මෙම ප‍්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුම් කළේය. එහෙත් මෙම මෙහෙයුම් අසාර්ථක විය. උමං මාර්ගවලට ඇමෙරිකානු හමුදා භටයන්ට ඇතුළුවීමට හැකි ලෙස සකස්කර තිබූ අතර ඔවුන් ඒවා තුළට ගිය විට ඒවා සර්පයන්ගෙන් යුක්ත විය. බොහෝ ඒවා තුළ පුපුරන ද්‍රවය යොදා තිබුණි. ඇමෙරිකානු භටයෝ ඇතුළු වූ පසු බිම් ගෙවල් කඩා වැටීමට සලස්වා තිබුණි. අතරමං වූ ඔවුන් ඒවා තුළම මිය ගියේය. මේවා බොරුවට සෑ¥ උපක‍්‍රමශීලී බිම්ගෙවල් බව ඇමරිකානුවෝ දැන සිටියේ නැත. ඔස්ටේ‍්‍රලියානු හමුදාව මෙම උමං මාර්ගවල ඇති දැවැන්ත මිලිටරි මෙහෙයුම් ගැන ප‍්‍රථම වරට ලොවට හෙළිකළේය. උමං මීයන් (Tunnel Rats) ලෙස හැඳින්වූ මෙහි සිටි වියට්කොං ගරිල්ලා හමුදාව ඇමෙරිකාවේ සියලූම බලාපොරොත්තු සුන්කර දැම්මේය.
 
 කුචි උමං භූමියේ ඇවිද යන සංචාරකයන්ට ගස්වලින් වට වී ඇති වියළි කොළ වැටී ඇති ස්ථානයකට පිවිසීමට හැකිය. මඟ පෙන්වන්නන් එම භූමියේ බිම වැටී ඇති වියළි ගස්කොළ අතින් එහාට මෙහාට කර අඩි 2X2 ප‍්‍රමාණයේ යකඩ තහඩුවක් උස්සා එහි කටෙන් පොළොව තුළට රූටා ඇතුළු වෙයි. ඉන් පසු අත් ඔසවා යකඩ තහඩුව, වළතුළ සිටම තිබූ ආකාරයටම තබයි. එවිට එය බිම්ගෙයක් තුළට යන උමං කටක් බව පිටතින් සිටින කිසිවෙකුටත් නොපෙනේ. එම උමං කටින් පොළොව යටට යන ගරිල්ලා භටයා උමං දෝනා දිගේ ගොස් මතුවන්නේ බිම් ගෙයක් තුළිනි.
 
 මෙහි සංචාරකයන්ට බැස යා හැකි ආකාරයේ පොළොව යටට පඩි කපා උමා මං විවෘත කර ඇත. එම උමඟක් දිගේ මීටර් 20 පමණ දුරට යා හැකිය. මෙහි ඉදිරියට යන සංචාරකයන්ට වියට්කොං වරුන් විසින් අල්ලාගත් ඇමරිකානු හමුදා යුද ටැංකි කිහිපයක්ද දැකීමට හැකිය. එම ස්ථාන වල සජීවී විදිහට පෙනෙන ආකාරයට වියට්කොං ගරිල්ලා හමුදා භටයින්ගේ සහ සෙබළියන්ගේ අඹන ලද රූප තබා ඇත. සමහර තැන්වල ඇමරිකානු හමුදාව වියට්නාමයට හෙළන ලද විශාල බෝම්බ වල කොටස්ද ප‍්‍රදර්ශනයට තබා ඇත. මෙම භූමියේ වෙඩි පිටියක් හා යුධ අවි
 
 සංරක්‍ෂණාගාරයක් ඇත. ඇමරිකන් මෙන්ම වියට්නාම් හමුදාව පාවිච්චි කරන ලද සැහැල්ලූ යුද අවි මෙහි ප‍්‍රදර්ශනයට තබා ඇති අතර AK 47 රයිෆලයකින් හෝ මැෂින් තුවක්කුවකින් වෙඩි පිටියට ගොස් වෙඩි තැබීමට ද සංචාරකයන්ට අවස්ථාව ලබා දී ඇත. පාවිච්චි කරන වෙඩි උණ්ඩවලට යම් මුදලක් ගෙවිය යුතු අතර, එම ස්ථානයේදී සිහිවටන ද මිලදී ගැනීමටත් හැකිය.
 
 කුචි භූමියට පැමිණෙන සංචාරකයන්ට විශේෂ ආහාරයක් පිළියෙළ කර ගන්නා ආකාරය ද බලා ගැනීමට හැකිය. කුඩා කුස්සියකි. එහි සිටින වියට්නාම් කාන්තාවක් හාල් කොටා පිටිකර එම පිටි වතුර සමග කවලං කර සාදාගත් දියරයක් හැන්දකින් ලිප මත තබා ඇති තැටියකට වත්කර රොටියක් මෙන් රවුමට හැන්දෙන් සාදා තත්ත්පර තිහක් පමණ බටපතුරු වට්ටියකින් වසා තබා ක්‍ෂණිකව තැම්බුණු පසු සිලින්ඩරාකාර උපකරණයක දවටාගෙන බට පතුරුවලින් සෑදු දිග වට්ටියක තබයි. එය දින දෙකක් පමණ පවනේ වේලා ගනී. ඉන් පසු ඒවා පුච්චා හෝ තම්බා හෝ තෙලෙන් බැඳ හෝ ආහාරයට ගනී. මේවාත් තම්බන ලද මක්‍ඳ්ෙක්‍ඳාක්කාත්, රටකජු කුඩුත්, යුද්ධය කාලයේදී බිම් ගෙවල් තුළ ජීවත් වු වියට්කොං භටයන්ගේත් පවුල්වල අයගේත් ප‍්‍රධාන ආහාරයක් බවට පත් වී තිබුණි.
 
 ඉන් පසු සංචාරකයන්ට කුචි භූමියේ ඇති බිම් ගෙවල් නැරඹීමට හැකිය. වර්තමානයේදී එම බිම්ගෙවල් උඩ පස් තට්ටු ඉවත්කර උඩට පොල් අතු වහලක් සාදා සංචාරකයන්ට ඒවා නැරඹීමට හැකි ආකාරයෙන් සාදා ඇති අතර පොළොව යට ඇති ඒවාට බැසීමට පඩිපෙළවල් සකස් කර ඇත. නැත්නම් ඒවාට ඇතුල්විය හැක්කේ පොළොව යටින් විහිදී යන උමං මාර්ගවලින් පමණි.
 
 එක් තැනක නිවසකි. ඊටපසු තැනක සාකච්ඡුා කාමරයකි. තවත් තැනක ඇත්තේ වියට්කොං ගරිල්ලා භටයන්ට නිල ඇඳුම් මසන ස්ථානයකි. ඔවුන්ගේ නිල ඇඳුම කළු පාටය. ඒ අතර ඇඳන් 8 ක් පමණ තබා ඇති පොළොව යට ඇති ආරෝග්‍ය ශාලාවකි. තව තැනෙක ආයුධ, බෝම්බ නිෂ්පාදනය කරන බිම්ගෙවල් ය. ඒවායේ ජීවමාන ප‍්‍රමාණයේ රූප සාදා ඒවා යන්ත‍්‍ර මගින් ක‍්‍රියාකිරීමට ද සලස්වා ඇත්තේ සජීවීව ක‍්‍රියාදාමයන් පෙන්වීම සඳහා ය. බිම් ගෙවල් තුළ කුස්සියෙන් නික්මෙන දුම් ඊට මීටර් 800 ක් පමණ ඈත ඇති කුණු ගොඩකින් මතුවන්නේ පොළොව යටින් සාදා ඇති බට මාර්ගයෙනි. ඒ කුස්සියේ දුම සතුරන්ගෙන් වසන් කිරීමටය. තවත් තැනෙක බිම් ගෙයක් පාසල් පංති කාමරයකි. බිම් ගෙවල් තුළ ජීවත් වූ දරුවෝ ඒවායේ ඉගෙනීමේ කටයුතු කර ඇත. බිම් ගෙවල් තුළ ඇති ආරෝග්‍ය ශාලාවල සූතිකාගාර ද ඇති අතර මේ බිම් ගෙවල් තුළම ඉපදුනු දරුවන් බොහොමයක් දැන් වැඩිහිටියන් බවට පත් වී ඇත.
 
 බොහෝ වේලාවක් මේවා නරඹමින් අධ්‍යයනය කිරීමෙන් පසුව හෝ චි මිං නැවතී සිටි ස්ථානයත්, මියගිය පසු ඔහු වෙනුවෙන් සාදා ඇති සිහිවටනයකුත් දැකිය හැකිය. කැලෑව මැදින් තවත් ඉදිරියට යන සංචාරකයාට වියට්කොං ගරිල්ලා භටයන්ට පාවහන් සෑදූ ආකාරය ද බලා ගැනීමට හැකිය. වුවමනා නම් සංචාරකයන්ට එම පාවහන් එවේලේම තමාගේ දෙපයට සරිලන සේ සාදාගෙන මිලදී ගත හැකිය. ඔවුන් පාවහන් සාදාගෙන ඇත්තේ පරණ ටයර් කපාගෙන ඒවායිනි. ඒ අසලම යුද වීරයන්ගේ, වීරවරියන්ගේ සජීවී ප‍්‍රමාණයේ ප‍්‍රතිමා කිහිපයක් ද ඇත. ඒ ප‍්‍රතිමා අසලට වී සංචාරකයන්ට සිහිවටන ඡායාරූපගත හැකිය.
 
 මේවා නැරඹීමෙන් පසුව අවසානයේදී සංචාරකයන් තවත් ශාලාවක් වෙතට කැඳවාගෙන යනු ලබයි. මෙහි දිගු මේස සහ වාඩිවීමට දිගු බංකු තබා ඇත. මේසය මත ඇත්තේ සංචාරකයන් වෙනුවෙන් තබා ඇති ආහාරයි. කුඩු කරන ලද රටකජු, එයට මිශ‍්‍රකරන ලද ලූණු කුඩු සහ ගම්මිරිස් කුඩු සමග කෑමට තම්බන ලද මක්‍ඳ්ෙක්‍ඳාක්කා. ඊට පසු බීමට ග‍්‍රීන් ටී කෝප්පයක් ලැබේ. මේවා වියට්නාම් හමුදා භටයන් යුද්ධය පවතින අවස්ථාවේදී ගත් අධිපෝෂණ ගුණයෙන් යුතු ආහාරයි.
 
 හෝ චි මිං බිහිකළ වියට්නාම් - වියට්කොං විමුක්ති හමුදාව සහ ඇමෙරිකා හමුදා අතර ඇති වූ යුද ගැටුම්වල දරුණු භාවයත්, මෙම කුචි භූමියේදී සංචාරකයන්ට සියැසින් දැක ගැනීමට සැලැස්වීම වියට්නාම් රජයේ අභිප‍්‍රායවී ඇත. බිම් ගෙවල්වල දුෂ්කර ජීවිත ගත කරමින් මැලේරියා සහ වෙනත් ලෙඩරෝග වලට ද ගොදුරු වෙමින් තම දරු පවුල් සමඟ, ඒ වීරෝධාර වියට්නාම් වැසියන්, වියට්නාම් යුද විරුවන් ගෙවූ අතිශය දුෂ්කර ජීවිතය සියැසින් දැකබලා ගැනීමට සලස්වා ඇති නිසා වියට්නාම් යුද්ධයේදී ඇමෙරිකාවේ බලවත් හමුදාව අඩපණ කොට පරාජය කිරීමට සමත් වූද, කිසි දිනෙකදී තම බලය යොදවා ඇමෙරිකාවට යටත්කර ගැනීමට නොහැකි වූද, තම රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ කුචි ප‍්‍රදේශයේ ජීවත් වූ ඒ වීරෝධාර මිනිසුන් ජීවත් වූ මේ අඳුරු බිම්ගෙවල් වියට්නාම් යුද්ධයේ සදා මතකයකි. එය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට ද එය සදා මතකයක් වනු ඇත.
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles