Divaina - එදා ගිය මග සොයුර සදා සමරමු වැතිර.... 71 ට වසර 50 යි....

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

wata444
 
එක් දහස් නවසිය හැත්තෑ එකේ අපේ‍්‍රල් සන්නද්ධ අරගලයට මේ වසර වනවිට අඩ සිය වසක් සම්පූර්ණ වෙයි. බොහෝ දේශපාලන විචාරකයන් එය හඳුන්වන්නේ ශ‍්‍රී ලාංකීය ඉතිහාසයේ සිදුවූ පළමු දැනුවත් වාමාංශික නැඟී සිටීම ලෙසය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඊට වඩා වෙනස් ලෙස කල්පනා කරන විවේචකයන්ද සිටිය හැකිය. අපගේ මේ වෑයම වන්නේ 1971 සන්නද්ධ අරගලය පිළිබඳව න්‍යායාත්මක විවාදයකට එළැඹීම ම නොවේ. එම අරගලයෙන් පසු ලාංකේය ගීත ඉතිහාසයේ ගමන් මඟ මුළුමනින්ම වෙනස් කළ විමුක්ති ගී පිළිබඳව කිසියම් ආකාරයක විවරණයක් සිදු කිරීමටය.
 
 edagiyamaga
 
 1971 අපේ‍්‍රල් 05 වැනි දින රට පුරා (උතුරු හා නැෙඟනහර හැර) පොලිස් ස්ථානවලට සන්නද්ධ තරුණ තරුණියන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල විය. මේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් එවකට පැවැති සමගි පෙරමුණු ආණ්ඩුව යම් වැටහීමකින් සිටි නිසා රාජ්‍ය බලය අල්ලාගැනීමේ ප‍්‍රයත්නය අසාර්ථක විය. එහෙත් රටේ සමහර ප‍්‍රදේශ තුළ තාවකාලික බලයක් ගොඩනඟා ගැනීමට තරුණ සටන්කරුවන්ට හැකි විය. දකුණේ සහ
 
 සබරගමුවේ ඇතැම් ප‍්‍රදේශ මේ සඳහා නිදසුන් ලෙස දැක්වීමට පිළිවන.
 
 රජයේ හමුදාව සහ පොලිසිය දිගට ම මෙහෙයුම් කරද්දී ඔවුන්ට එම ප‍්‍රදේශවලින් පලා යෑමට සිදු විය. ඇතැමුන් ආරක්‍ෂක අංශයට හසුවූ අතර තවත් පිරිසක් එවකට අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ විශේෂ ප‍්‍රකාශයකින් පසු රජයට භාර විය.
 
 මේ සියලූදෙනාට වෙනස් ලෙස කටයුතු කළ පිරිසක්ද වූහ. ඔවුහු අරගලය පිළිබඳ අචල විශ්වාසය නොසිඳී පවත්වා ගත්තවුන් වූහ. විල්පත්තුව හා සිංහරාජය වැනි ඝන වනාන්තර තුළට පසුබැස ගිය මෙම තරුණ තරුණියෝ අති දුෂ්කර කොන්දේසි මැද්දේ වුවද සිය බලාපොරොත්තු අත් නොහළහ.
 
 විමුක්ති ගී වඩාත් විධිමත් ලෙසින් ගායනා කිරීමට පසුබිම සැකසුණේ මෙයින් අනතුරුවය. 1978 නොවැම්බර් 09 වැනි දින කොළඹ නව නගර ශාලාවේදී රතු ඔක්තෝබරයේ පාඩම් මැයෙන් විජේවීර පැවැත්වූ දේශනය හමාර කළේද යාපනය සිරගෙදර රඳවා සිටි තම සගයකු අ`ගුරු කෑල්ලකින් බිත්තියේ ලියා තිබූ විප්ලවීය
 
 ගීයක් ගායනා කරමිනි.
 
 1977 න් පසුව කෙමෙන් පරිපාකයට පත්වූ විමුක්ති ගී, ප‍්‍රසංගයක් දක්වා ස්ථාපිත වීම පිටුපස බොහෝ දෙනකුගේ ලේ, කඳුළු, දහදිය ඇති බව සඳහන් කළ යුතුය. ජවිපෙ නායක රෝහණ විජේවීර මෙන්ම ඔහුගේ ඇවෑමෙන් නායකත්වයට පත් සෝමවංශ අමරසිංහ ඇතුළු පූර්ණකාලීනයන්ගේද පක්‍ෂයට හිතවත් කලාකරුවන් රැසකගේ දායකත්වයද මීට ලැබී ඇත. එසේම මෙම විමුක්ති ගී නිර්මාණය කරන ලද්දේ කවුරුන් විසින්දැයි අදටත් බොහෝ දෙනා දන්නේ නැත. එබඳු හඳුන්වා දීමක් විප්ලවවාදී පක්‍ෂයකට අනවශ්‍ය බැවිනි. මක්නිසාද යත්,එය සාමූහික ශ‍්‍රම කාර්යයක්වන බැවිණි. නමුත් විමුක්ති ගී ප‍්‍රසංගයේ සංවිධාන කටයුතු භාර දී තිබුණේ එවකට ජවිපෙ ලේකම්වරයා වූ ලයනල් බෝපගේට බව සඳහන් කළ යුතුය.
 
 ‘‘විමුක්ති ගී’’ යනුවෙන් නම් කරන ලද පොත් පිංචේ සහ එම නාමයෙන්ම සඳහන් වූ කැසට් පටයේ මෙසේ සඳහන් වේ. (මෙහිදී අප භාවිත කළේ, විමුක්ති ගී ආරම්භක සමයේ නිකුත් කරන ලද පොත් පිංචක් සහ කැසට් පටයකි.*
 
 ‘‘දුක් සුසුම් කඳුළෙන් බිහිවී හැදී වැඞී විප්ලව ආභාසයෙන් පිබිදී උත්තරීතර නව සමාජයක් ගොඩ නඟන්නට පෙරට විත් දිවි දුන් විරු පන්ති සගයන්ට උත්තමාචාරයක් වේවා විමුක්ති ගී.’’
 
 විමුක්ති ගී ප‍්‍රසංගයේ මෙබඳු ගi පාඨ ඉදිරිපත් කළ නිවේදක ශිල්පීන් ගැනද සඳහන් කළ යුතුය. පසු කලෙක ප‍්‍රතිභාපූර්ණ නළුවකු හා පූරකයකු වූ බුද්ධදාස විතානච්චි මෙහි සිංහල මෙන්ම ඉංග‍්‍රීසි බසින්ද නිවේදන කටයුතු කළ තැනැත්තා විය. ඊට අමතරව දෙමළ භාෂාවෙන්ද නිවේදන කටයුතු කිරීමට ඉඩ සලසා දී තිබීම විශේෂයක් වූයේය.
 
 ‘‘විමුක්ති ගී’’ පොත් පිංචේ සහ කැසට් පටයේ දැක්වෙන මුල්ම ගීයේ අන්තර්ගතය මෙබඳුය.
 
 
 
 නව ගී - රණ ගී
 
 අභිමාන විමුක්ති ගී
 
 ලෝහිත හිරු පිපෙන තුරා
 
 රන් යුගයක් දිලෙන තුරා
 
 උදාර සුවඳැල් ගලන තුරා
 
 ගයමු ගයමු අභිමාන විමුක්ති ගී
 
 
 
 ගායන වෘන්දයක් විසින් ගැයෙන මේ ගීය ඊට වඩාත් උචිත තනු නිර්මාණයකින්ද යුක්ත වේ. පද රචනය තුළ අනුප‍්‍රාස රසයක්ද දැකිය හැකිය.
 
 ගායනය තුළ අපූරු පෞරුෂයක් තිබීමද විශේෂයෙන් සඳහන් කළ යුතුය.
 
 මෙහි ඇතුළත් ලෝහිත හිරු යන්නෙන් විප්ලවීය ජයග‍්‍රහණය සංකේතවත් වේ. ඒ හිරු ම`ඩල මෙන්ම ආකාශයේ බබළන්නේද ‘‘රන් තරුය’’ පොළොවේ විකසිත වන්නේද රතු පැහැ මල්ය. එයින් සමාජවාදී ලෝකයක් පිළිබඳ විශ්වාසයද පොදු ජනයාගේ සුඛිත මුදිත භාවයද ව්‍යංගයෙන් දැනවේ.
 
 අපේ‍්‍රල් අරගලය ආරම්භ වීමට පෙර සිටම ආරක්‍ෂක අංශ විසින් තරුණ තරුණියන් අත්අඩංගුවට ගැනීම ආරම්භ කර තිබිණි. 1971 මාර්තු 20 වැනිදා සිට 1971 අපේ‍්‍රල් 01 දා වනවිට අත්අඩංගුවට පත් තරුණ තරුණියන් ගණන 1200ක් පමණවන බව රජයේ වාර්තාවලින්ම කියැවිණි. අරගලය නිමා වනවිට දාහත් දහසක් පමණ අත්අඩංගුවට ගෙන තිබූ අතර දස දහසක් පමණ ඝාතනයට ලක්වී ඇති බව වාර්තා විණි. මේ සියලූ කාරණා ‘‘විමුක්ති ගී’’ රචකයන්ට අතිශයින් සමීප අත්දැකීම් විය. එහෙයින් ඔවුහු මෙසේ ලියූහ.
 
 
 
 ‘‘නැ`ගු රණගොස දෙරණ පතුරා
 
 මැවූ ජය මඟ එළිය කරවා
 
 ඔබ නැ`ගු හ`ඩ - ඔබ පිදූ ලෙස
 
 පතා ජනතාවගෙ ගරුත්වය
 
 පතා ජනතාවගෙ විමුක්තිය
 
 සදා සමරමු සොහොයුරෝ
 
 
 
 1971 සන්නද්ධ අරගලයට දායක වූ බහුතරය තරුණ තරුණියෝ වෙති. ඔවුන් අතුරින් විශ්වවිද්‍යාල සහ පාසල් ශිෂ්‍යයෝද පෙරමුණ ගෙන උන්හ. ඔවුන්ගෙන් වැඩි දෙනකුගේ සාහිත්‍ය පිළිබඳ අවබෝධයක්ද, ඇල්මක්ද තිබිණි. මේ ගීය තුළ බස හැසිරවීම ඉන්ද්‍රීය රූප මවනා සුළුය. වැටී දිවුරමු ඔබේ සොහොනේ වැනි වැකියක් තුළ එක්තරා භාවාත්මක ගුණයක් පැවතියද එය සහෝදරත්වය පිළිබඳ උණුසුම් හැ`ගුම් ජනිත කරයි.
 
 ඇතැම් විමුක්ති ගීයක් ආරම්භ වන්නේ පරිසර වර්ණනාවකිනි. එහෙත් එය චිරත්තන සංදේශ කාව්‍ය රචකයන්ගේ පරිසර වර්ණනාවන්ගෙන් සහ ඔවුන්ගේ අභිමථාර්ථයන්ට ඉඳුරාම වෙනස් වේ.
 
 
 
 ‘‘සැළෙන එරබඳු තුරු වඳුළු මත
 
 ගැයෙන කෝකිල ගීත රාවය
 
 සොඳුරු බක් මාසේ උදාවී
 
 මිහිරි පණිවිඩයයි ගෙනෙන්නේ
 
 බක් මාසය සිංහල දෙමළ ජනයාගේ වසන්ත උත්සවය ලෙස සැලකෙයි. 1970 දශකය වනවිට ජන සමාජය මීට වඩා බෙහෙවින් වෙනස් විය. අද දවසේ නගර එදා උප නගර වශයෙන් පවා දියුණු වී නොතිබිණි. එදා තිබූ ගම්මාන නම් අද වනවිට මුළුමනින් අතුරුදන්ව ගොසිණි.
 
 එරබඳු ගස වසන්ත සැණකෙළියේ සංකේතාත්මක වෘක්‍ෂය විය. කිසිදු සුවඳක් නැති වුවද එරබඳු මල ලේ රතු පැහැතිය. එහි හ`ඩන කොවුලා විiාත්මකව ගත් විට ක්‍මජමකසා්ැ කුලයට අයත් වන පරපුටු පක්‍ෂියෙකි. උගේ නාදය නිතර ඇසෙන්නේ අපේ‍්‍රල් සිට අගෝස්තු මාසය දක්වාය. ඒ කෝකිල ධේනුව බිත්තර දමන කාලය බැවිනි. කෝකිල වර්ග අතුරින් අපේ රටට ආවේණික වන්නේ වත රතු කොහො පමණි.
 
 එහෙත් මේ කිසිවක් අපේ සංස්කෘතික ජීවිතයට අදාළ නැත. අපට ඔවුන් අවුරුද්ද පිළිබඳ අපූරු සංකේතයන්ය. එබඳු වර්ණනාවකින් ගීතය පටන් ගත්තේ වී නමුදු 1971 අපේ‍්‍රල් රතුවන් බක් මසක් විය. එම වසරේ ගැමි ගොවි ගෙවල් බහුතරයක කිරිබත පිසුනේ නැත. අඩුම ගණනේ මළබත පිළියෙල කරන්නටවත් මෘත දේහයක් හමු වුණේ නැත. සෑම මිනිසකුටම ගෞරවණීය මරණයක් හිමිවිය යුතුය. යන සුපතළ කියුම මුළුමනින්ම බිඳ වැටිණි. ටයරයේ තෙල් ගැලූමේ තුරුණු සිරුරු පුළුස්සා දැමීම දෑහින් දකින්නට තරම් අවාසනාවන්ත වැඩිහිටියන් සිටියේ එම යුගයේදීය.
 
 එහෙත් ගීයෙන් අවධාරණය වන්නේ විප්ලවීය පරාජය තාවකාලික බවයි. පූර්වගාමීන්ගේ
 
 ගමන්මෙඟ් පියවර තබන ලක්‍ෂ ගණනක් ජනයා රතුකොඩි නංවා, දිවි පිදුවන්ට ආසිරි මල් ඉසින බව ගීත රචකයා අවධාරණය කරයි.
 
 1971 අරගලයෙන් උපන් විමුක්ති ගී අතර බොහෝ දෙනාගේ ප‍්‍රසාදයට හා ගෞරවයට හේතු වූ ගීයක් තිබේ. ඒ මෙයයි.
 
 ‘‘සති පූජා දර සෑයේ
 
 හිරවී මොට්ටැක්කිලියේ
 
 සාර සංඛ්‍ය කප් සියයක්
 
 වධයට කැපවූ කතුනේ
 
 ඔබේ ලොවයි දැන් බිහිවන්නේ
 
 
 
 නැඟී සිටිනු මැන සොහොන් තුළින්
 
 නැඟී සිටිනු මැන මේ ගැයුමෙන්
 
 අඳුරු යුගය සුන් බුන් කරලා
 
 ඔබේ ලොවයි දැන් බිහිවන්නේ
 
 
 
 ඔබේ ගතින් මිඳි තැලූම් මතින්
 
 ඔබේ හදින් විඳි සුසුම් මතින්
 
 ඔබේ පෙළපතේ අන්තිම එකියයි
 
 ඔබේ හදට අද පවසන්නේ
 
 
 
 මෙය කාන්තා විමුක්ති ගීය ලෙස හැඳින්වේ. එය ලෝ පුරා පීඩනයට අවමානයට අතවරයට ලක්වන මිලියන ගණන් ස්ත‍්‍රීන්ගේ ආත්මීය ආඳෝනාව සංකේතවත් කරන මහ`ගු නිර්මාණයකි. ගීත රචකයා අතිශය ඇසූ පිරූ තැන් ඇති සාහිත්‍යවේදියකු බව ගීතයෙන් පැහැදිලිවේ.
 
 හින්දු ආගමික උන්මාදයෙන් පියවි සිහිය නැති කොට කාන්තාවත් සති පූජා නාමයෙන් අමු අමුවේ ගිනි තබන දුෂ්ට චක‍්‍රය පිළිබඳව ගීතයේ සඳහන්වේ. එපමණක් නොව ඉස්ලාම් මූලධර්මවාදීන් විසින් අනන්ත පීඩනයකට හිංසාවට පත් කරන කාන්තාවන් ගැනද මෙහිදී අවධාරණය වේ.
 
 එහෙත් මේ සියලූ ව්‍යසන මැද්දේ අභීතව නැඟී සිටිය යුතු බව රචකයා අවධාරණය කරයි. කාල් මාක්ස් එදා පැවසූ විලසින්ම ජන සමාජය තුළ දෙවැනි පුරවැසියකු ලෙස වෙසෙන කාන්තාවන් සිය පීඩනයට එරෙහිව සෘජුව නැඟී සිටිය යුතු බව මෙයින් කියැවේ. මෙම ගීතයේ තනුව ඉතා නිර්මාණාත්මකය. එහි ඇත්තේ සියලූ අභියෝග හමුවේ නැඟී සිටින ස්ත‍්‍රී අභිමානයයි.
 
 එකිනෙකට වෙනස් අත්දැකීම් සහිත විමුක්ති ගී මෙම නිර්මාණ අතර දැකගත හැකිය. පහත දැක්වෙන්නේ විප්ලවවාදී පුතකු සහ ඔහුගේ මව අතර ඇතිවන සංවාදයක් ඇසුරින් රචිත ගීයකි.
 
 
 
 මව - නෙත කඳුළැලි වගුරමි පුත
 
 දිව ? නොනිදා
 
 හද කකියන වේදනාව
 
 නොමියෙන සටහනකි ජීවිතේ
 
 
 
 පුතු - නෙත කඳුළැලි නොසලනු අම්මේ
 
 රතු සටනේ සෙබළකු වී
 
 පෙරමුණ ගත්තේ.....මම...
 
 පෙරමුණ ගත්තේ
 
 
 
 මව - ඈත පෙනෙන අහස් තලේ
 
 මතුවන රන්තරු සේයා
 
 කියයි ලොවට අලූත් ඉරක්
 
 පායන වග කිරණ පෙරා....
 
 නෙත කඳුලැලි නොසලනු අම්මේ....
 
 
 
 මව - සටන් වදින පුතුනි නුඹට
 
 සෙවණ ගෙනෙන ඈත කඳුකරේ
 
 වන වදුලින් නැෙඟන හ`ඩින්
 
 සැනසුම් සුසුමක් හෙළුමට
 
 හැකිය මට පුතේ
 
 
 
 පුතු : නෙත කඳුළැලි නොසලනු අම්මේ
 
 මව : නෙත කඳුළැලි නොසලමි පුතුනේ
 
 
 
 ලෝ පුරා විප්ලවවාදීන්ගේ අතිමහත් ගෞරවයට ලක්වූ මාතාවගෙ චරිතය නිර්මාණය කළේ ශ්‍රේෂ්ඨ සෝවියට් රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කිය. ඔහු විසින් රචිත අම්මා නවකථාවේ ප‍්‍රධාන චරිතය වූ පාවෙල් විලාසව්ගේ අම්මා වූ
 
 පෙලගේයා නීලව්නා පුතුගේ මඟම යමින් විප්ලවය වෙනුවෙන් ජීවිතය පූජා කළාය.
 
 එහෙත් සෑම විප්ලවවාදියකුගේ මවකටම පෙලෙගේයා නීලව්නා විය නොහැකිය. සිය පුතු අකල් මරණයකට ගොදුරු වේයැයි නැෙඟන අසීමිත වේදනාව දරා ගත නොහැකි වීම අරුමයක් නොවේ. එබඳු මවකගේ සිතැඟි වටහා ගෙන දයා කරුණාවෙන් ඇයට කරුණු වටහා දෙන සංවේදී පුතකුගේ මානසිකත්වය ඉතා මැනවින් මෙම ගීයට තේමා කරගෙන තිබේ.
 
 වර්ගවාදය වෙනුවට මනුෂ්‍යත්වය ඉස්මතු කරන ඉතා අගනා නිර්මාණයක් විමුක්ති ගී තුළ දැකිය හැකිය. එයින් උපුටා ගත් කොටසක් මෙසේය.
 
 
 
 වේලූපිල්ලේ අයියේ මට සමාවෙන්
 
 වේල් පෙරහැරේ මම නුඹලට බැන්නා
 
 දෙවේලෙ නුඹල තල තෙල් ගඳයි කියා
 
 වේල නොකා හිටියත් මං බැලූවෙනෑ
 
 
 
 ජාතිවාදය යනු පීඩිතයන් කෙටවීම සඳහා ධනේශ්වර පන්තිය අටවන මර උගුලකි. එහි විපාකය ජන සමාජයක් ලෙස අප වුවමනාවටත් වඩා රුධිරයෙන් වන්දි ගෙවා තිබීමෙන් පසක් වේ. මේ ගීයේ කථකයා සිංහල ජාතිවාදියෙකි. ඔහු දෙමළ ජනයාගේ සංස්කෘතික අනන්‍යතාව පිළි නොගත්තෙකි. එක්තරා යුගයකදී දෙමළ ජනයාට අවමානාත්මක වදනක් ලෙස තලයො යන්න භාවිත විය. ඒ ඔවුන් තල තෙල් භාවිත කරන බැවිනි. (මෙබඳු ආකාරයේ අවමානාත්මක වදන් දෙමළ සමාජයේ ඇතැමුන්ද සිංහලයන්ට භාවිත කරන බව අපි දනිමු.
 
 එහෙත් මේ මානාධික සිංහලයාට අවසානයේ සිදුවන්නේ කුමක්ද? ඔහු ට‍්‍රැක්ටරෙන් වැටී ෆැක්ටේරිය මිදුලේ ලේ විලක පණ අදී. ඔහුට ඇත්තේ දුර්ලභ ලේ වර්ගයකි. එය ලේ බැංකුවෙත් නැත. අවසානයේ ඔහුට ලේ දෙන්නේ දෙමළ මිනිසාය. එයින් පසුව ඔහු යථාර්ථය වටහා ගනී. මෙහිදී රචකයා භාවිත කළ වදන් තුළ තියුණු අනුප‍්‍රාසයක් ගැබ්වෙයි. ඔහු වේලූ,වේල්, දෙවේලේ වේල, යන ව කාරයෙන් නැෙඟන වදන් එකිනෙකට වෙනස් අරුත් සහිතව යොදා ගනී. එසේම අන් කිසිදු විමුක්ති ගීයක නොමැති ලෙස පුරවහර සිය අත්දැකීම් පැවසීමට යානයක් කර ගනී. ට‍්‍රැක්ටරය ෆැක්ටේරිය යන වදන් එලෙසින්ම යොදා ගන්නට ඔහු නිර්භය වේ.
 
 මෙම ගීයේ ගැයුමද ඊට අනුතාල සැපයූ තනුවද පීඩිතයකුගේ ආත්මීය විලාපය ඉතා සියුම් ලෙස හසු කරගෙන ඇත. අනෙක් අතට ගීත රචකයා දැන හෝ නොදැන 1970 දශකයේ අග භාගයේ පමණ යොදාගත් වේලූපිල්ලේ යන නාමය එයින් දශකයක් ගිය තැන මුළු මහත් ලාංකීය සමාජයම වර්ගවාදී භීෂණයෙන් මුසපත් කළ කොටි සංවිධානයේ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ නාමයට වීම සුවිශේෂී සිද්ධියකි.
 
 මේ හැරුණු විට විමුක්ති ගී තුළ අඩංගු තවත් ගීත කීපයක්ම එහි සුවිශේෂතාව නිසාම සංෂිප්තව හෝ සඳහන් කළ යුතුය. පහත දැක්වෙන්නේ ජනකවි ආර ඉතා ප‍්‍රබල ලෙස යොදා ගනිමින් පන්ති අරගලය ගැන දැනුවත් ලෙස සිතන ගොවියකුගේ සිතිවිල්ලකි.
 
 
 
 ආගිරි ගගා පෙත්තා කරකැවෙන්නේ
 
 ද`ඩු වැට හතර පැත්තෙන් තනි රකින්නේ
 
 අහසින් වැහි පොදක් නෑ තව වැටෙන්නේ
 
 කවදද සරුසාර යායක් කොටන්නේ
 
 
 
 වතුකරයේ ශ‍්‍රමය වගුරුවන පීඩිත දෙමළ ජනයා කෙරෙහි ලෙහි උපන් දයාර්දු හැ`ගුමින් ගැයෙන ගීයක්ද මේ අතර සුවිශේෂ වේ.
 
 
 
 කඳු යාය මත වැතිරී
 
 තේ නිල්ල හිමිදිරියේ
 
 පිනි කඳුළු සලන්නේ
 
 වේදනා ගැන වේදනාවෙන් දෝ?
 
 
 
 පසුව යළිත් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ප‍්‍රසිද්ධ දේශපාලනයට පිවිසි ජනතා විමුක්ති පෙරමුණ විසින් 1995 ඔක්තෝබර් 19 වැනි දින එල්ෆින්ස්ටන් ශාලාවේදී විමුක්ති ගී ප‍්‍රසංගය පැවැත්වීමට සමත් විය. එහිදී අලූතින් ලියන ලද විමුක්ති ගී කීපයක්ද ඇතුළත් කර තිබිණි. ඒ අතර රෝහණ විජේවීර පිළිබඳව ලියූ ගීත දෙකක්ද අඩංගු විය. එයින් එකක් ලියන ලද බව පැවසුණේ ඔහුගේ දෙවැනි දියණියවූ සුපුන් චාගා විජේවීර විසිනි.
 
 එයින් උපුටා ගත් කොටසක් මෙසේය.
 
 ‘‘මේ සිරකුටිය පාමුල
 
 බිහිසුණු නැෙඟනහිර වෙරළේ
 
 චණ්ඩ දළ රළ හැපී බිඳී යයි
 
 මගේ ළමා විය සිරගත
 
 සිර කඳවුරින් ඈතක
 
 හිරු රැුස් වැටෙන මහ වැසි වැටෙන
 
 ලා තණ නිල්ල යට
 
 ඔබ සැතපෙනා බව මම දනිමි තාත්තේ...’’
 
 එම ප‍්‍රසංගයේම ඇතුළත්ව තිබූ රෝහණ විජේවීර පිළිබඳව ලියැවුණු අනෙක් ගීයෙන් කොටසක් මෙසේය.
 
 
 
 ඉපිද මැරෙන මිනිසුන් අතර අපමණ
 
 සබඳ ඔබේනි නෙතු ලැබුවේ මේ දෙරණ
 
 තවද බොහෝ කල් වෙසෙතැයි සිතූ දින
 
 කිමද සොයුර සමුගත්තේ උදෑසන?
 
 
 
 උතුර උතුර ගැලූ ග`ග මියැදුණු අයුරු
 
 වපුල වපුල බිජුවට ගිනිලන අයුරු
 
 හබල බිඳුණු ඔරුවක තනිවුණු සොයුරු
 
 නිසල සිතින් විඳගති ඉදිරියේ මරු
 
 
 
 මෙම ගීත දෙකම ගැයෙන්නේ අතිශය හැ`ගුම්බර ස්වරයෙනි. මෙලෙසින් අති මහත් ව්‍යසනයකට මුහුණ දුන් පසුවද ජනතා විමුක්ති පෙරමුණ විසින් විමුක්ති ගී ප‍්‍රසංග ගණනාවක් පැවැත්වීමට කටයුතු කළේය.
 
 1971 පළමු සන්නද්ධ අරගලයෙන් අනතුරුව එම අත්දැකීම් පාදක කරගෙන විමුක්ති ගී රැුසක් පබැඳිනි. ඒවා ජවිපෙ ක‍්‍රියාකාරීන් විසින් මෙන්ම හිතවතුන් විසින්ද නිමැවුණු බව සඳහන් කළ යුතුය. එහෙත් 1971 අරගලයට සාපේක්‍ෂව 1987-1989 සමය තුළ පැනනැගුණු දෙවැනි අරගලයේ අත්දැකීම් පාදක කරගෙන ගීත නිර්මාණය වී ඇත්තේ අතළොස්සකි.
 
 දෙවැනි අරගලයට සම්බන්ධවූ සටන්කරුවන් බහුතරයක් 1940-1970 දශකයන්හි උපත ලැබූවන්ය. ඔවුන් 1977 න් පසුව බිහිවූ විවෘත ආර්ථිකයේ දරුවන්ද නොවේ. එසේම ඔවුන්ගේ වැඩි පිරිස මහා විද්‍යාල හෝ මධ්‍ය මහා විද්‍යාලවලින් ඉගෙනුම ලැබූවන් බව උපකල්පනය කළ හැකිය. 1977 න් පසුව පාසල් තුළින් ඉතිහාසය හා සාහිත්‍යය ඉවත් කර දැමීමේ විපාකය ඔවුන්ට එතරම් බලපෑවේ නැත.
 
 සියල්ල එසේ තිබියදීත් ඒවා ව්‍යසනයක් සිදු කළ සැට දහසකට අධික ගණනක් ඝාතනය වූ සිද්ධි දාමය අලලා ගීත අතළොස්සක් පමණක් නිර්මාණය වූයේ කෙසේද? ගීත පමණක් නොව 1987-1989 භීක්‍ෂණ සමයව අලලා ලියැවුණු වෙනත් සාහිත්‍ය කෘතීන්ද අවම බව පැහැදිලිය. ඒ සඳහා බලපෑ හේතු සාධක කවරේද? ඇතැම්විට ජන සමාජයට ඔරොත්තු නොදෙන තරමට රුධිර වක්කලම් සෑදුණු අමිහිරි මතකය ඔවුන්ගේ උප විඥානය තුළින්ම බැහැර කරනු ලැබුවේද? එසේ නැතිනම් අනාගතයේ දවසක ඒ අඳුරු මතකයන් වඩාත් තාත්වික හා යථාරූපී ලෙස සාහිත්‍ය කෘති
 
 මගින් එළි දක්වනු ඇතිද? අපට ඒ පිළිබඳ නිශ්චිත අදහසක් පළ කිරීම අසීරුය.
 
 තත්ත්වය එසේ වුවත් 1971 සන්නද්ධ අරගලයෙන් අනතුරුව නිමැවුණු විමුක්ති ගී ලාංකීය ගීතයේ නිම් වළලූ පුළුල් කළබව නම් නියත වශයෙන් කිව හැකිය. මෙතෙක් කලක් වස්තු විෂය කර නොගත් පන්ති අරගලය පිළිබඳ අහස් මුල් වරට ලාංකේය ගීත කලාව තුළ රෝපණය වූයේ එම අවස්ථාවේදීය. එය ජීවිතය විවරණය සඳහා මාක්ස්වාදී දෘෂ්ටිය ප‍්‍රබල ලෙස භාවිත කළ සුවිශේෂ අවස්ථාවක් බව අවධාරණය කළ යුතුය. ගීත කලාව පිළිබඳව මෙතෙක් ස්ථාපිතව පැවැති සාම්ප‍්‍රදායික පවුරු පදනම් දෙදෙරවන්නට විමුක්ති ගී සමත් වූ බව සඳහන් කළ යුතුය.
 
 තිස්ස නිහාල්  වික‍්‍රමසිංහ

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles