Divaina - සියවසක සටහන් - වමට එරෙහිව දකුණ

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති - 18 වැනි ලිපිය

 

wamata1


චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) පිහිටුවලා 2021 ජූලි මාසයට අවුරුදු සීයක් සම්පූර්ණ වෙනවා. මේ අවුරුදු සීයක කාලය තුළ මේ දේශපාලන සංවිධානය විසින් කරපු කියපු දේවල්වලින් අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්. යෝධ චරිත, විශේෂිත සිදුවීම්, විවිධාකාර අත්හදා බැලීම්, වැරැදීම් සහ වැරැදි හදාගැනීම් කියන විදිහට ඒ හා සම්බන්ධ පාඩම් දේශපාලන ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. ඒ ඉතිහාසයේ සටහන් වී තිබෙන මූලික කරුණු කීපයක් මේ ලිපි පෙළින් ඉදිරිපත් කරනවා.

මේ ලිපියෙන් කියන්නේ ජාතික - පොදු හවුල බිඳ වැටීම ආරම්භ වූ ආකාරය ගැනයි.

 චීනයේ ඉතිහාසය ගොඩනැගිලා තියෙන්නේ ශක්තිමත් තනි රටක් විදිහට පවතින්න ගත්ත ව්‍යායාමවල එකතුවක් විදිහට. බාහිර සහ අභ්‍යන්තර හේතු නිසා කාලෙන් කාලෙට බෙදෙන තමන්ගේ රට නැවතත් එකතු වෙනවා දකින හීනය චීන මිනිස්සුන්ට හැමදාමත් තිබුණා. චීන ඉතිහාසයේ හොඳින් සටහන් වෙලා තියෙන ඒ හීනය ගැන විස්තරයක් මේ ලිපි පෙළ ආරම්භයේ දීම කිව්වා.

1912 දී අධිරාජයා ඔටුන්න අත ඇරියාට පස්සේ චීනය බරපතළ විදිහට බෙදෙන්න පටන් ගත්තා. දකුණේ අයට තිබුණේ ජනරජ හීනය. සුන් යත්-සෙන් ඒ අයට නායකත්වය දුන්නා. ඒත් හමුදා බලය ගොනු වෙලා තිබුණේ උතුරේ හිටිය මහා බලපුළුවන්කාරයෝ අතේ. උතුරේ හිටිය මිනිස්සු පවා ඒ සංස්කෘතියට අනුගත වෙලා හිටියා. ඇත්තෙන්ම ඡිං අධිරාජ්‍ය පාලනය බිඳ වැටෙන්න හේතු වුණේ ජනරජ හීනය මුල් කරගෙන ඇති වෙච්ච දකුණේ මිනිස්සුන්ගේ නැගිටීම්. ඒත් අධිරාජයා ඔටුන්න අත ඇරියාට පස්සේ ජනරජයේ ජනාධිපතිකම උතුරේ යුවාන් ෂි-කායිට භාර දෙන්න සුන් යත්-සෙන්ට සිද්ද වුණා.

ඉතින් උතුර සහ දකුණ අතර එකඟතාවක් ඇති වුණේ නෑ. යුවාන් ෂි-කායිගේ මරණයෙන් පස්සේ උතුරත් බෙදෙන්න පටන් ගත්තා. මොන බෙදීම් ඇති වුණත් හමුදා බලය තිබුණේ උතුරේ අය අතර. ඒ අයට අභියෝග කරන්න පුළුවන්කමක් දකුණේ අයට තිබුණේ නෑ. ඉතින් ජාත්‍යන්තර පිළිගැනීම ලැබුණෙත් උතුරේ අය එකතු වෙලා හදා ගත්ත පෙයි-යං ආණ්ඩුවට.

ජනරජයක් වෙනුවෙන් සුන් යත්-සෙන් දැකපු හීනය දිගින් දිගටම බොඳ වුණා. ඒත් අන්තිමට ඒ වෙනුවෙන් උදව් ගන්න පුළුවන් පාර්ශ්වයක් ඔහු හොයා ගත්තා. ඒ තමයි සෝවියට් දේශය. 1923 ජනවාරි 26 වැනි දා අත්සන් කරපු සුන් - ජෝෆ් ගිවිසුමෙන් සෝවියට් උදව්ව තහවුරු කෙරුණා. ඒ ගිවිසුම යටතේ කු ඕ-මින්-තං සහ චීන පොදු නිෂ්පාදන පක්‍ෂය අතර හවුලකුත් ගොඩ නැගුණා. සෝවියට් උපදෙස් අනුව කු ඕ-මින්-තං පක්‍ෂය ප‍්‍රතිසංවිධානය කළා. දකුණේ විශාල හමුදා පාසලකුත් ඇති කළා.

 

wamata2

 

1925 මාර්තු මාසයේ දී සුන් යත්-සෙන් මිය ගියත් කු ඕ-මින්-තං සහ සෝවියට් සම්බන්ධය තවදුරටත් ක‍්‍රියාත්මක වුණා. කු ඕ-මින්-තං නායකත්වය හිමිවුණේ වං චිං-වෙයිට. ඒත් හමුදා පාසලේ ප‍්‍රධානියා විදිහට චියං කායි-ෂෙක් තමන්ගේ බලය වැඩි කරගනිමින් හිටියා. ෆං ය්‍යූ-ශියංගේ සහ කු ඕ සුං-ලිංගේ පෙරැුළි හින්දා උතුරේ යම් යම් සෙලවීම් සිද්ද වුණත් ලොකු වෙනසක් කරන්න ඒ අයට බැරි වුණා. ඒ මදිවට තමන්ගේ අරමුණු වෙනුවෙන් ජපන්නුත් උතුරේ බලය මෙහෙයවමින් හිටියා.

මේ මොන පෙරැුළි සිද්ද වුණත් ”එක චීනයක්’’ පිළිබඳ හීනය හැම කෙනෙක්ගේ ම හිතේ රජ කරමින් තිබුණා. 1926 අවුරුද්ද උදාවුණේ මේ හීනය ඇත්තක් කිරීමේ වගකීම දකුණේ පාලනයට යොමු කරමින්. මොන තරම් හමුදා බලයක් තිබුණත් උතුරේ නායකයන්ට රට එකතු කරන්න බැරි බව ඒ වෙද්දි හැමෝම තේරුම් ඇරගෙන ඉඳීම තමයි ඒකට හේතු වුණේ.

1926 අවුරුද්ද උදා වෙද්දි චීනයේ ශක්තිමත්ම හමුදා ලොක්කා බවට පත්වෙලා හිටියේ ඊසානදිග පළාත් තුන පාලනය කරපු චං ත්සු ඕ-ලින්. ඔහු පාලනය කරපු ප‍්‍රදේශය ලංකාව වගේ දොළොස් ගුණයකටත් වඩා විශාලයි. ඒත් රට ම එකතු කරන අදහසක් ඔහුට තිබුණේ නෑ. ඒ මදිවට 1926 ජනවාරි 11 වැනිදා ඉඳලා තමන් පාලනය කරන පළාත් පෙයි-චිං පාලනයෙන් නිදහස්ව කටයුතු කරන බවත් ඔහු ප‍්‍රකාශ කළා. රටම තියා උතුරු පළාත් එකතු කරන අදහසක්වත් ඔහුට නැති බව මේ සිද්දියත් එක්කම මිනිස්සු තේරුම් ගත්තා.

රට එක්සේසත් කිරීමේ ජාතික අරමුණ වෙනුවෙන් ඒ වෙද්දි කැපවෙලා හිටියේ දකුණේ ආණ්ඩුව විතරයි. ඉතින් ඒ ආණ්ඩුව විසින් තමන්ගේ බලාපොරොත්තුව ඉටු කරයි කියලා මිනිස්සු හිතන්න පටන් ගත්තා. ඒ වෙද්දි සෝවියට් දේශයේ උදව්වෙන් දකුණේ ආණ්ඩුව සෑහෙන්න ශක්තිමත් වෙලා හිටියේ. ඊට අමතරව උතුරේ කර්මාන්තශාලාවල පවා පොදු නිෂ්පාදන පක්‍ෂයේ වෘත්තීය සමිති බිහි වෙලා තිබුණා. ඉතින් අවශ්‍ය අවස්ථාවල වැඩවර්ජන මෙහෙයවලා උතුරේ හමුදා පාලකයන්ට බලපෑම් කිරීමේ හයිය ඒ අය වර්ධනය කරගෙන හිටියා. ඊට අමතරව රට පුරා විසිරිච්ච විශ්වවිද්‍යාල පවා ජාතියේ අරමුණ වෙනුවෙන් පෙළ ගැහෙමින් හිටියා.

කු ඕ-මින්-තං සහ පොදු නිෂ්පාදන පක්‍ෂයේ මෙහෙයවීමෙන් 1926 පෙබරවාරි 23 වැනි දා උතුරු පළාත්වල මිනිස්සු පාරට බැස්සා. මේ මිනිස් නැගිටීම් ඉතාමත් ඉහළින් සිද්ද වුණේ මා ඕ ත්ස-තුං ඉපැදිලා ලොකු මහත් වෙච්ච හූ-නන් පළාතේ. ඒ වෙද්දි හු-නන් පළාතේ ච ඕ හං-තීගේ පාලනයට අවුරුදු පහකට වැඩි කාලයක් සම්පූර්ණ වෙලා තිබුණා. (1920 නොවැම්බර් මාසයේ හූ-නන් පළාතේ පාලනය අතට ගත්ත මේ හමුදා ලොක්කා ගැන මේ ලිපි පෙළේ 7 වැනි ලිපියෙන් කියලා තියෙනවා). ඔහු සම්බන්ධ වෙලා හිටියේ චිලී කල්ලියට.

1926 මාර්තු 9 වැනි දා මහ විශාල ජනතාවක් ඡං-ෂා නගරයට එකතු වුණා. එහෙම එකතු වෙච්ච පිරිස ”හූ-නන් ජනතා අන්තර්කාලීන කමිටුව’’ කියලා සංවිධානයක් පිහිටුවා ගත්තා. ”ච ඕ හං-තී පළවා හරිමු’’, ”ජාතික විමුක්ති හමුදාවේ උතුරු මෙහෙයුම වහාම ආරම්භ කරමු’’ යනාදී යෝජනා තිහක් සම්මත කරගන්න ඒ අන්තර්කාලීන කමිටුව කටයුතු කළා. මේ ජනතා හඬ තමන්ගේ හමුදාව තුළටත් කාන්දුවෙන්න පටන්ගත්ත බව ච ඕ හං-තී තේරුම් ගත්තා. ඉතින් තවදුරටත් පළාතේ බලය අල්ලාගෙන ඉන්න පුළුවන්කමක් ඔහුට තිබුණේ නෑ. දවස් දෙකකට පස්සේ (මාර්තු 11 වැනි දා* පළාත් ආණ්ඩුකාර තනතුරින් ඔහු ඉල්ලා අස්වුණා. ඊට පස්සේ ඔහු ෂං-හයි නගරයට පැනලා ගියා.

ච ඕ හං-තී එක්ක ඇති කරගත්ත ආරවුලක් හින්දා දකුණට ගිය ථං ෂං-චී සෙනෙවියා ජාතික විමුක්ති හමුදාවට සම්බන්ධ වෙලා හිටියේ. 1926 වෙද්දි ඔහු අණ දුන්නේ ජාතික විමුක්ති හමුදාවේ අටවැනි සේනාවට. මාර්තු 16 වැනි දා ඔහු තමන්ගේ හමුදාවත් එක්ක ආපහු ඡුං-ෂා නගරයට ආවා. මාර්තු 25 වැනිදා වෙද්දි හූ-නන් පළාතේ ආණ්ඩුකාර තනතුර ඔහුට පැවරුණා. ඒත් එක්කම හූ-නන් පළාත කු ඕ-මින්-තං ආණ්ඩුවේ ආඥාව පිළිගන්නා බල ප‍්‍රදේශයක් බවට පත්වුණා.

1925 නොවැම්බර් මාසයේ දී පටන් ගත්ත ෆං-ථියැන් විරෝධී යුද්ධය ඒ වෙද්දිත් උතුරු පළාත්වල ඇවිලෙමින් තිබුණා. ෆං-ථියැන් හමුදාවෙන් වෙන්වුණු කු ඕ සුං-ලිං සෙනෙවියා ෆං ය්‍යු-ශියංගේ ජාතික මහජන හමුදාවත් එක්ක එකතු වෙලා හිටියේ. ජාතික මහජන හමුදාවට සෝවියට් උදව් ලැබෙද්දි ෆං-ථියැන් හමුදාවට ජපන්නු උදව් කළා. මේ යුද්ධය අතරතුර (1926 මාර්තු 12 වැනි දා*, ථියැන්-චින් කිට්ටුව තියෙන තා-කූ වරායේ රැකවල් ලා ගෙන හිටිය ජාතික මහජන හමුදාවේ භටයන්ට ජපන් නාවික හමුදාව ප‍්‍රහාරයක් එල්ල කළා. ඒ නැවට පහරදීලා ඈත මුහුදලා එළවන්න ජාතික මහජන හමුදාව කටයුතු කළා.

ජාතික මහජන හමුදාව විසින් ජපන් නැවට එල්ල කරපු ප‍්‍රහාරයෙන් 1901 අවුරුද්දේ අත්සන් කරලා තිබුණු ජාත්‍යන්තර ගිවිසුම කඩවුණා කියපු එංගලන්ත, ඇමෙරිකා, ප‍්‍රංශ, ඉතාලි, නෙදර්ලන්ත, බෙල්ජියම්, ස්පාඤ්ඤ සහ ජපාන තානාපතිවරු මාර්තු 16 වැනි දා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළා. පැය 44 ක් ඇතුළත තා-කු වරායෙන් හමුදාව අයින් කරගන්න කියලා ඒ අය පෙයි-යං ආණ්ඩුවට දැනුම් දුන්නා.

රටේ ස්වාධීනත්වයට එල්ල වෙච්ච මේ අභියෝගයත් එක්ක චීන මිනිස්සු කලබල කරන්න පටන්ගත්තා. ලී තා-චා ඕ මහාචාර්යතුමාගේ නායකත්වයෙන් සංවිධානය වෙච්ච සරසවි ශිෂ්‍යයෝ සහ අනිකුත් මිනිස්සු විශාල ප‍්‍රමාණයක් මාර්තු 18 වැනි දා පෙයි-චිං නගරයේ වීදිවලට ආවා. ථි-අන්-මන් ද්වාරය ඉදිරිපිට දී ඒ පිරිස අමතලා ලී තා-චා ඕ මහාචාර්යතුමා කරපු කතාව ඉතාමත් හැඟීම්බර එකක්. ඊට පස්සේ ඒ පිරිස පෙළපාලියෙන් ගියේ පෙයි-යං ආණ්ඩුවේ මූලස්ථානය ළඟට. ඒ වෙලාවේ ඇති වෙච්ච කලබලය අවසන් වුණේ මහ විනාශයකින්. මූලස්ථානයේ ආරක්‍ෂාවට හිටිය හමුදාව එල්ල කරපු ප‍්‍රහාරයෙන් විරෝධතාකරුවෝ 47 දෙනෙක් මියගියා. දෙසීයකට වැඩි පිරිසකට තුවාල වුණා. ”මාර්තු 18 සමූලඝාතනය’’ නමින් චීන ඉතිහාසයට එකතුවෙලා තියෙන්නේ මේ සිදුවීම.

උතුරේ වගේ මහා යුද්ධ ඇවිළුණේ නැති වුණත් දකුණේ කු ඕ-මින්-තං ආණ්ඩුව ඇතුළේ පොඩි සීතල යුද්ධයකට ඉඩක් සැකසෙමින් තිබුණා. පක්‍ෂයේ සහ ආණ්ඩුවේ නායකත්වය පැවැරිලා තිබුණේ වං චිං-වෙයිට. ඒත් ඒ වෙද්දි චියං කායි-ෂෙක්ගේ බලයත් සෑහෙන දුරක වර්ධනය වෙලා තිබුණේ. ඇත්තෙන්ම, සම්පූර්ණ හමුදා බලය ම තිබුණේ ඔහුගේ අණසක යටතේ. සෝවියට් දේශය සමඟ සම්බන්ධයත් පොදු නිෂ්පාදන පක්‍ෂය සමඟ හවුලත් ඉස්සරහට ගෙනියන්න වං චිං-වෙයි කැපවෙලා හිටියා. ඒත් කු ඕ-මින්-තං කියන්නේ දක්‍ෂිණාංශික දේශපාලන සංවිධානයක්. සෝවියට් වුවමනා එපාකම්වල හැටියට දේශපාලනය කරන්න ඒ පක්‍ෂයට සම්බන්ධ සෑහෙන පිරිසක් කැමැති වුණේ නෑ. ඒ දක්‍ෂිණාංශික පිරිසත් එක්ක ළඟ සම්බන්ධයක් චියං කායි-ෂෙක්ට තිබුණා.

ජාතික - පොදු හවුල ඇතුළේ පොදු නිෂ්පාදන පක්‍ෂය වේගයෙන් වර්ධනය වෙන බවත් මේ දක්‍ෂිණාංශික පිරිස දැක්කා. ඉතින් ඒ අය හිටියේ මේ හවුල වහාම නවත්තලා දාන්න ඕන කියන ස්ථාවරයේ. කු ඕ-මින්-තං ඇතුළේ දළු ලා වැඩෙමින් තිබුණු මේ විරෝධය 1926 මාර්තු 20 වැනි දා ඇතිවෙච්ච සිද්ධියකින් බරපතළ විදිහට එළියට පැන්නා. මේ සිද්ධිය ඉතිහාසගත වෙලා තියෙන්නේ ”කුවං-චෝ (කැන්ටන්) කුමන්ත‍්‍රණය’’ කියලා.

1924 නොවැම්බර් මාසයේ දී උතුර බලා යන්න කුවං-චෝ නගරයෙන් සුන් යත්-සෙන් ගොඩ වුණේ යුං-ෆං කියන නැවට කියලා කලින් ලිපියකින් කිව්වා. එතුමා මියගියාට පස්සේ මේ නැව ”චුං-ෂන්’’ කියලා නම් කළා. චීන භාෂාවෙන් සුන් යත්-සෙන්ට කියන්නේ සුන් චුං-ෂන් කියලා. ඉතින් එතුමාගේ නම තමයි ඒ විදිහට මේ නැවට දැම්මේ. ඒ තමයි කු ඕ-මින්-තං ආණ්ඩුව සන්තකව තිබිච්ච බලගතුම නැව. මහ තුවක්කු සවි කරපු ඒ නැවේ ලොකු යුදමය වටිනාකමකුත් තිබුණා.

මේ නැවේ කපිතාන්වරයා විදිහට වැඩ කළේ ලී චී-ලූං. ඔහු පොදු නිෂ්පාදන පක්‍ෂයේ සාමාජිකයෙක්. ඊට අමතරව සෝවියට් නාවික උපදේශකයෙකුත් මේ නැවේ වැඩ කළා. කුවං-චෝ නගරයේ ප‍්‍රශ්නයක් මතුවෙලා හින්දා ඉක්මනින් ඒ පැත්තට එන්න කියලා නියෝගයක් නැවේ කපිතාන්වරයාට ලැබුණා. ඒත් නගරයේ එහෙම කලබලයක් තිබුණේ නෑ. ඉතින් හුවං-පු හමුදා පාසල තිබුණු ඡං-චෝ දූපතේ එක රැයක් නැංගුරම් දාපු මේ නැව ඊට පහුව දා (මාර්තු 18 වැනි දා* ආපහු ගඟ පහළට යාත‍්‍රා කළා.

නැවට එන්න කියලා තමන් නියෝග කරපු නැති බව චියං කායි-ෂෙක් කිව්වා. ඒ වගේ ම, මේ සිද්ධිය නිසා තමන් තැති ගත්ත බවකුත් ඔහු ඇෙඟව්වා. ඔහුගේ හැසිරීම දැක්ක කු ඕ-මින්-තං නායකයෝ සෑහෙන පිරිසක් කලබල වුණා. අනතුරක් ගැන කියපු චියං කායි-ෂෙක් ආරක්‍ෂාව පතා ජපානයට යන්න සූදානම් වුණා. ඒ වෙනුවෙන් නාවික ප‍්‍රවේශ පත‍්‍රයකුත් මිල දී ගත්තා. ඒත් මාර්තු 20 වැනි දා නැවට යන ගමන අතරමග නවත්තපු ඔහු ආපහු කුවං-චෝ නගරයට ආවා.

නගරයට ආපු ගමන්ම, චියං කායි-ෂෙක් කළේ යුද්ධ නීතිය ප‍්‍රකාශයට පත් කරන එක. ඊට අමතරව නගරයේ දුරකථන ජාලය විසන්ධි කරන්නත් ඔහු නියෝග කළා. ඇති වෙච්ච ”කුමන්ත‍්‍රණය’’ මර්දනය කිරීම ඔහු ආරම්භ කළේ ඊට පස්සේ. පොදු නිෂ්පාදන පක්‍ෂයට සම්බන්ධ අය හුවං-පු හමුදා පාසලින් නෙරපන්න ඔහු කටයුතු කළා. චෝ අන්-ලැයි ඇතුළු විශාල පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඊට අමතරව, මිඛායෙල් බොරෝජීන් ඇතුළු සෝවියට් උපදේශකයෝ අත්අඩංගුවට ගන්නත් ඔහු නියෝග කළා.

සෝවියට් සම්බන්ධයක් තියෙන පිරිසක් විසින් මහා කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කරන්න උත්සාහ කරපු බවකුත් චියං කායි-ෂෙක්ගේ මැදිහත්වීමෙන් ඒ අනතුර වළක්වපු බවකුත් ප‍්‍රකාශයට පත් කෙරුණා. ඒ වෙද්දි කු ඕ-මින්-තං නායකයා (වං චිං-වෙයි) තදබල විදිහට අසනීප වෙලා හිටියේ. ඉතින් සිද්ද වෙන දේවල්වලට මැදිහත් වෙන්න පුළුවන්කමක් ඔහුට තිබුණේ නෑ. මාර්තු 22 වැනි දා පක්‍ෂයේ ජාතික විධායක සභාව රැස්වුණා. ඇතිවෙලා තිබුණු තත්ත්වය පාලනය කරන කල් වං චිං-වෙයි විදේශගත වෙලා ප‍්‍රතිකාර ගන්න ඕන කියලා යෝජනාවකුත් ඒ රැස්වීමේදී සම්මත කරගත්තා.

කු ඕ-මින්-තං සහ පොදු නිෂ්පාදන පක්‍ෂය අතර ඇති වෙච්ච හවුලේ තීරණාත්මක බිඳවැටීමක් මේ සිදුවීමෙන් සනිටුහන් කෙරුණා. ඒ වගේ ම, කු ඕ-මින්-තං ආණ්ඩුව ඇතුළේ දක්‍ෂිණාංශික කඳවුරට තියෙන ශක්තියත් මේ සිදුවීම හරහා ප‍්‍රකාශයට පත් කෙරුණා.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles