Divaina - බුදුසමය අගයන චින්තන හා විමර්ශන නිදහස

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

budu1 අප ගෞතම ලොව්තුරා බුදුපියාණන් වහන්සේ යනු මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයා බව විවාදයක් නොමැත. ඒ බොහෝ කරුණු සාධක නිසාවෙනි. ඒ අතර විශේෂයෙන් මිනිසාට චින්තන හා විමර්ශන නිදහස ලබාදීමෙහිලා උන්වහන්සේ සිදුකර ඇති සේවාව ඇති විශිෂ්ඨය. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ නිදහස් චින්තකයෙකු බව මනාව පැහැදිලි වන්නකි.
 
 ‘‘නා චින්තයන්තෝ පුරියෝ විසේසමධිගච්ඡුති’’ යන උතුම් සම්බුද්ධ දේශනාවට අනුව අලූතින් යමක් සිතන පුද්ගලයා තුළ විශේෂයෙන් දැකිය හැකි අතර එසේ නොසිතන්නාට දියුණුව කරා ගමන් කිරීමට නොහැකි බව තථාගත බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීමයි. නිදහස් චින්තනය හා විමර්ශනය බෙහෙවින් අගය කළ උන්වහන්සේ බුද්ධියට අනුව කි‍්‍රයා කිරීමද ඉතා අගය කොට ඇත. ඒ බව විමංසන, අරිය පරියේසන, බ‍්‍රාහ්මජාල, කාලාම, මහා පරිනිබ්බාණ, චංකි, මහා වේදල්හ, මහා තණ්හාසංඛය ආදි ඉතා ප‍්‍රසිද්ධ සූත‍්‍රදේශනා දෙස අවධානය යොමුකිරීමේදී මැනවින් සනාථ වෙයි. කි‍්‍ර. පූ. 6 වන සියවස තුළ බ‍්‍රාහ්මණ ආධිපත්‍යය හමුවේ පුද්ගලයාට සිතීමේ හා විමර්ශනය කිරීමේ නිදහස බමුණන් විසින් අහිමි කර තිබූ කාල වකවානුවකදී අප තිලෝගුරු ගෞතම බුදු හිමියන් එකී නිදහස පුද්ගලයාට කිසිදු පැකිළීමකිින් තොරව උදාකර දුන්හ.
 
 කොසොල් රට කේස පුත‍්‍ර ග‍්‍රාමයේ කාලාමයන් උදෙසා දේශිත ‘‘කාලාම’’ සූත‍්‍රය මගින් චින්තන හා විමර්ශන නිදහස පිළිබඳ මනාව කරුණු දක්වා ඇති අයුරු ඉතා ප‍්‍රසංසනීයය. එහි සඳහන් කරුණු 10 කි. ඒවා නම්,
 
 1. මා අනුස්සවෙන - (යමෙකුගේ ඇසූ පරිදි)
 
 2. මා පරම්පරාය - (සම්ප‍්‍රදායට අනුරූප වූ පමණින්)
 
 3. මා ඉතිකිරාය - ( මෙය මෙසේ යැයි කී පමණින්)
 
 4. මා පිටකසම්පදානේන - ( පොතපතෙහි සඳහන් වූ පමණින්)
 
 5. මා තක්ක හේතු - ( තර්කයට ගැළපෙන පමණින්)
 
 6. මා නය හේතු - ( න්‍යායානුකූල වූ පමණින්)
 
 7. මා ආකාරපරිවිතක්ඛේන - (බාහිරව හොඳ යැයි පෙණුන පමණින්)
 
 8. මා දිට්ඨි නිජ්ඣානඛත්තියා - (දෘෂ්ටියට යෝග්‍ය වූ පමණින්)
 
 9. මා බබ්භරූපතාය - (ආධිපත්‍යයට අනුරූප වූ පමණින්)
 
 10. මා සමණෝ ගරූහි - (තම ගුරුවරයා වූ පමණින්)
 
 ඉහත සඳහන් කරුණු වෙත අවධානය යොමුකර බැලීමේදී යමක් පිළිබඳ බුද්ධියට අනුව විමසා අවසාන තීරණයකට එළැඹීම සඳහා ලබාදී ඇති චින්තන නිදහස මනාව පැහැදිලි වනු ඇත. එසේම ‘‘ඒහි පස්සිකෝ’’ යන පාඨයට අනුව දහම පිළිබඳ විමසිලිමත්ව ගවේෂණය කොට එය සත්‍ය නම් පමණක් ඒ අනුව කටයුතු කරන ලෙස පෙන්වා දෙයි. මජ්ඣිම නිකායේ විමංසන සූත‍්‍රයට අනුව බුදුරදුන් සම්මා සම්බුද්ධද? ධර්මය ස්වාක්ඛාතද? සංඝයා සුපටිපන්නද? යනාදී වශයෙන් විමසා බලා ඉහත ලක්‍ෂණ වලින් යුක්ත බව තමන්ට සුදුසු නම් පමණක් තෙරුවන් සරණ ගොස් ඒ අනුව කටයුතු කරන ලෙස උගන්වා ඇත. මෙකී කරුණු මනාව අධ්‍යයනය කිරීමේදී අප ගෞතම බුදුපියාණන් වහන්සේ චින්තන හා විමර්ශන නිදහස කොතරම්දුරට අගය කොට ඇත්තේද යන්න මැනවින් පැහැදිලි වේ.
 
 එසේම සූත‍්‍ර පිටකයේ සඳහන් ‘‘සතර මහාපදේශ’’ දෙස අවධානය යොමු කිරීම ද අතිශය වැදගත්ය.
 
 1. බුද්ධාපදේස - බුදුරදුන් ගැන සිතා
 
 2. සංඝාපදේස - සංඝයා ගැන සිතා
 
 3. සම්බහුලත්ථේරාපදේස - බොහෝ අනුගාමිකයන් සිටින භික්‍ෂූන් කී නිසා
 
 4. ඒකත්ථෙරාපදේස - ව්‍යක්ත බහුශ‍්‍රැත භික්‍ෂුවක් කී නිසා
 
 ආදී වශයෙන් සඳහන් වන පරිදි කිසිවක් අවිචාරශීලිව පිළිනොගන යුතු අතර විමසා බැලීම ඉතා වැදගත්ය. එසේම මේ පිළිබඳ විනය පිටකයේ අටුවාව වන සමන්තපාසාදිකාවේ මනා විග‍්‍රහයන් කරුණු 4 ක් ඔස්සේ මැනවින් පෙන්වා දී ඇත.
 
 1. සුත්ත - (සූත‍්‍ර පිටකයේ ඉගැන්වීම් වලට අනුව)
 
 2. සුත්තානුලෝම - (අටුවා ග‍්‍රන්ථයෙහි සඳහන් කරුණු අනුව)
 
 3. ආචරියවාද - (තම ගුරු කුලයට අනුරූපීව)
 
 4. අත්තනොමති - (තම අදහසට අනුව විමසා බලා තීරණ ගත යුතුය)
 
 ඉහත සඳහන් විග‍්‍රහයෙහි සඳහන් වන අවසාන කරුණු වශයෙන් පෙන්වා දෙන ‘‘අත්තනොමති’’ යන්නට අනුව තම අදහසට අනුකූලව විමසා බලා අවසාන තීරණයට එළැඹිය යුතු අතර අනෙක් කරුණු ඔස්සේ යමින් කි‍්‍රයාකිරීම මගින් නිවැරදි තීරණයකට යොමුවිය නොහැකි බව දහමෙහි පෙන්වා දී ඇත.
 
 මේ අයුරින් චින්තන හා විමර්ශන නිදහස අගය කරන බුදුදහම පුද්ගලයාට නිදහසේ සිතා අවසාන නිගමනයකට එළැඹීම සඳහා කටයුතු කිරීම මගින් ශ‍්‍රාවකයා තවදුරටත් බුදුසමය කෙරෙහි ප‍්‍රසාදයට පත්වන බව ‘‘උපාලි ගහපති’’ සූත‍්‍රය කදිමට අවධාරණය කරයි.
 
 අප සම්මා සම්බුදුපියාණන් වහන්සේ පරිනිර්වාණයට ආසන්න වූ විට ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් තමන් වහන්සේ වසර 45 ක් පුරා දේශනා කරන ලද දහමෙහි යම් නොපැහැදිලි තැනක් තිබේනම් නොපමාව විමසන ලෙස පැවසූ බව දීග නිකායේ මහා පරිනිබ්බානා සූත‍්‍රයෙහි සඳහන් වේ. මෙතෙක් ලොව පහල වූ ශාස්තෘවරුන් අතර අග‍්‍රස්ථානය හිමිවන අප ගෞතම ලොවුතුරා බුදුපියාණන් වහන්සේ මග්ගවිදු, මග්ගකෝවිදෝ, මග්ගඤ්ඤුු ආදී පර්යාස වචන මගින් හඳුන්වා ඇත්තේද උන්වහන්සේ සතුව පැවැති උතුම් ශාස්තෘ ලක්‍ෂණ නිසාවෙනි. චින්තනයට හා විමර්ශනයට කිසිදු බාධාවකින් තොරව නිදහස හිමිකර දෙනු ලබන බුදු සමය ලොව චින්තන විප්ලවයන් ඇති කළ වටිනා සුවිශේෂී වූ දර්ශනයකි. මේ අයුරින් විමසා බැලීමේදී බෞද්ධයාගේ අවසාන පරමාර්ථය වන ‘‘නිර්වාණය’’ පසක් කර ගැනීමෙහිලා තම බුද්ධියට අනුව මැනවින් කි‍්‍රයා කිරීම මගින් බව බුද්ධ දේශනාව අනුව ඉතා පැහැදිලි ලෙස තවදුරටත් විග‍්‍රහ කොට තහවුරු කර පෙන්වයි.
 
 ගාල්ල ශ‍්‍රී ලංකා ධර්මදූත මහ පිරිවෙණේ
 ආචාර්ය ශාස්ත‍්‍රපති
 * කනංකේ විජිතනන්ද හිමි

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles