පෙණබුබුළු නංවමින් ගල්පර මතින් ඇදහැලෙන ජලදහරාව එකවරම වැටෙන්නේ බේසමක් වැනි වලකටය. ගමේ සිටින කුඩා කොලූ ගැටව් ඒ වළට පැන දිය නාන්නේ කිසි බියක් සැකක් නැතිවය. ජලපහර දිගේවිත් මෙම බේසමට මැදින් තිබෙන සොරොව්වෙන් අනෙක් පසට පීනාගෙන යන්නේ කවුරුත් අමන්දානන්දයට පත් කරවන ආකාරයෙනි. මේ තැන නමින් ගොලූමලේ ය.
ගොළුමලේ, ගොළුමොළේ යන නම්වලින් බටබැඳි අපූර්වත්වයක් ගෙන දෙන කුඩා ඔය පිළිබඳ අප කවුරුත් නොදත් ගොළු වූ තතු රැසක් පවතී. ඒ සැඟවුණු කතාව මා සොයා යන්නට තීරණය කළේද එහි ඇති සොබා සෞන්දර්ය වර්ණ ගන්වන්නට මිහින්තලයෙන් දායාද කළ තවත් රමණීය ස්ථානයක් බැවිනි.
මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ වලපනේ ප්‍රාදේශීය සභාවට අයත් ගොළුමලේ පිහිටා ඇත්තේ වලපනේ සිට කිලෝමීටර් 7ක් ඈතිනි. වලනේ සිට නිල්දණ්ඩාහින්න හරහා මීගොල්ල පාර, යටිමාදුර නම් ග්‍රාමයේ මෙම ස්ථානය පිහිටා තිබේ. ඌව පළාතේ බදුල්ල දිස්ති‍්‍රක්කයත් මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ති‍්‍රක්කයත් අතර සීමා මායිම ලෙස ගලායන කුඩා ඔය මධ්‍යයේ ගොළුමලේ හමුවේ.
කුඩා ඔය ඉදිරිපසින් දිස්වන්නේ ගණ කැලෑවක් සහිත කඳුයායකි. ඒ ලූණුවැලිගල කන්දයි. මේ කඳුයායට එහා ඔබ්බෙන් පිහිටා ඇත්තේ උමා ඔයයි. ගම්මුන්ගේ වෙහෙස මහන්සිය නිවාලන්නටද, කුඩා කොලූ ගැටවු දිය නාමින් කෙළි සෙල්ලම් කිරීමට පැමිණෙන්නේද මේ ස්ථානයටය. නමුත් ඔවුන්ට හුරුපුරුදු ස්ථානයක් වුවත් පිටස්තරින් පැමිණෙන පුද්ගලයන්ටත් දිය නාන්නට සුන්දර පාරාදීසයකි.
කුඩා ඔය දිගු පාෂාණ මතුපිටක් හරහා ගලායයි. ජලය ගලායන මෙම පාෂාණ යහනේ විශාල හා කුඩා වශයෙන් ස්වභාවික කුහර රාශියක් මෙහි දක්නට ලැබේ. මෙම කුහර නිර්මාණය වී ඇත්තේ වසර ගණනාවක් තිස්සේ ඇදහැලෙන වර්ෂාවේ සහ වතුර ගලායාමේ ප්‍රතිඵලයක් වශයෙනි. එක් විශාල කුහරයකදී කුහරය තුළට ජලය ගලා යෑමෙන් පසු සම්පූර්ණයෙන්ම ජලය අතුරුදන් වී නැවත කුඩා කුහරයකින් ජලය ඔයට එකතු වේ.
මීට අමතරව ප්‍රදේශයට ආසන්නව මාළිගාවක නටබුන් ඇති බවත්, වළගම්බා රජුට මෙම ස්ථානයේ මාළිගා දෙකක් තිබූ බවත් පුරාවෘත්තවල සඳහන් වේ. එහි ඉහළ පෙදෙසේ මාළිගාව උඩ - මැඳුර ලෙසත්, පහළ පිහිටි මාළිගා පෙදෙස යටි - මැඳුර ලෙසත් නම් කර ඇති බව පුරාවෘත්තවල සඳහන් වේ. මෙහි හමු වූ නටබුන් යටි - මැඳුර මාළිගයේ විය හැකිය. ගොළුමලේ පිහිටා ඇති සුන්දර ගම්මානයට යටිමාඳුර යන නම පටබැඳීම මෙය එක් සාධකයක් ලෙස හඳුන්වන්නට පුළුවන. ගම්මානයට ඉහළින් උඩමාඳුර නම් ග්‍රාමයක් යන අතරමඟදී හමුවේ.
ගොළුමලේ වටා ගෙතුණු සැඟවුණු කතා බොහෝය. අදටත් සොයා ගත නොහැකි සැඟවුණු කතා බොහෝමයක් පවතී. නමුත් මේ පිළිබඳව පොතපත වුවද සඳහන් වන්නේ ඉතා අල්ප මාත්‍රයක් පමණි.
අතීතයේ දුටුගැමුණු රජුගේ කාලයේ හේවායන් ගිමන් හැර තිබෙන්නේ මෙම ගොළුමලේ නම් ස්ථානයේය. මෙම ඔය අසල ස්වභාවික කුහර දෙකක් පිහිටා තිබී ඇත. හේවායන් සමඟ පැමිණි එක් ගොළුවෙක් මෙම කුහර දෙක දැක තිබේ. රාති‍්‍රයේ සියලූ දෙනාම නින්දට ගිය අතර, ගොළුවා එම ස්ථානයට ගොස් එක් කුහරයකින් අනෙක් කුහරයට ජලය ගමන් කිරීමට හැකි ආකාරයට සොරොව්වක් නිර්මාණය කර ඇත. උදෑසන අවදි වූ පිරිස මෙය දැක පුදුමයට පත්වී ”කොහොමද ගොළුවන්ගේ මොළේ’’ යනුවෙන් පවසා ඇත. එදායින් පසු මෙම ස්ථානය ගොළුමොළේ නම පටබැඳී ඇති අතර, පසු කාලයේදී ”ගොළුමලේ’’ නම භාවිතා කර ඇත. ඒ ගොළුමලේ සම්බන්ධ එක් ජනප්රවාදයකි.
අධික වර්ෂාව ඇදහැලෙන කාලයේදී ගොළුමලේ දැක බලා ගත හැකි වීම තරමක් අසීරුය. ජල පහරේ සැඬපරුෂ නිසාවෙන් වැසි කාලවලදී මෙම සුන්දරත්වය දැකබලා ගැනීමට යෑම නම් අනතුරුදායකය. දැනට අවවාද නොපිළිපැද ගමන් කිරීමෙන් මරණ තුනක් මෙම ස්ථානයේ සිදුව ඇති අතර, ගොළුමලේ සුන්දරත්වය දැකබලා ගැනීමට යන්නේ නම් වැසි රහිත කාලවලදී යෑම යෝග්‍යය.
මීගොල්ලාගම දුෂ්කර ගම්මානයක් වුවත් සොබා සෞන්දර්ය විඳගැනීමට අපූරු ස්ථානයකි. ඈත පේන කඳුකරයත් ගම දෙපස ඇති හෙල්මලූ කුඹුරු යායත් ගමේ අසිරිය තවත් වැඩිකරයි. ගොළුමලේ මිනිසුන් පමණක් නොව වන සතුන්ද සැරිසරන ස්ථානයකි. හවස් යාමේදී දිය නෑමට පැමිණෙන්නේ අලි රංචු පිටින්ය. එම නිසා ගමට ඇතුළු වීමට නොහැකි ලෙස අලි වැටක් ගම්මුන්ගේ ආරක්ෂාවට ගමවටා දැකගත හැකිය. ගොළුමලේ නැරඹීමට යෑමෙන් සිදුවන්නේ ඒ අලිවැට යටින් රිංගාගෙනය. ඔය දිගේ ඇති කුඹුක් ගස් පේළිය කුඩා ඔයේ සුන්දරත්වය තවත් වැඩිවේ. සුන්දරත්වය විඳගන්නට පැමිණෙන පිරිසගේ නෙත ගැටෙන රූස්ස ගස් පේළිය අතරින් තනා තිබෙන අට්ටාලය ඉතාම දර්ශනීයය.
ගොළුමලේ පිළිබඳව නුවරඑළිය ධම්මිස්සර හිමි අප වෙත පවසන්නේ මෙවන් අදහසකි.
”වලපනේ ඇති සුන්දර ගම්මානයක්. ගොළුමලේ පිළිබඳව ලෝකයේ බොහෝ පිරිසක් නොදත් සැඟවුණු කතා බොහෝමයක් තිබෙනවා. ගොළුමලේ කියන්නේ සිත් ඇදගන්නා මනරම් බව වචනයෙන් කිව නොහැකි ස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. දෙස්-විදෙස් සංචාරකයන් මේ ස්ථානය පිළිබඳ අසා නොමැති තරම්. ඒ නිසා මෙම ඓතිහාසික වටිනාකමකින් යුත් දර්ශනීය ස්ථානය සංචාරකයින්ට විවර කරදීම අපේ යුතුකමක්. එය මතු පරපුර උදෙසා තිළිණ කරදීම අපේ වගකීමක්. වලපනේ දේශපාලන බලධාරීන් හා පරිසර නිලධාරීන් මූලිකත්වය අරගෙන මේ ගොළුමලේ රටට, ලෝකයට ගෙන යෑම යුතුකමක්. ගොළුමලේ පමණක් නොවෙයි වලපනේ අවට නොදත් ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන බොහෝමයක් තිබෙනවා. අපි ඒවා මතු පරපුරට ආරක්ෂා කොට පවරා දෙමු.’’
මේ කාලය මීගොල්ලා ගමට වැසි කාලයයි. ගමේ සුන්දරත්වය දැකබලා ගත හැකි වුවත්, වැසි සමයේදී ගොළුමලේ අසිරිය පැහැදිලිව දැකබලා ගත නොහැකි වන්නේ විශාල ජලකඳක් ගලායන නිසාවෙනි. අපද ගොළුමලේට ළඟා වූයේ ඉතා අසීරුවෙනි. අලිවැට යටින් රිංගා ගොළුමලේ දැකබලා ගැනීමට ඔයෙන් එගොඩ විය යුතුය. ඔය ඉවුර දිගේ රූස්ස ගස් වැල්වල එතී ඇති වැල් අල්ලාගෙන කුඩා අඩිපාරක් දිගේ ගොළුමලේ ආසන්නයට ළඟා විය හැකිය. කුඩා බැළලියක් අප ඉදිරිපසින් ගියේ පාර කියන්නාක් මෙනි. තරුණයන් නම් ඔයෙන් එගොඩ වී ගොළුමලේ අසිරිය විඳගත් අන්දම දැකගත හැකි විය. උදෑසන කාලයේදී ගොළුමලේ දැකබලා ගැනීමට යෑමට යෝග්‍යයයි. හවස් කාලයේදී වන අලීන්ගේ තිත්පොළකි. ඒ නිසාවෙන් මිහිතලයට දායාද කළ මෙම දර්ශනීය ස්ථානය නැරඹීමට යන්නේ නම් පරිසරයට හානි නොකර එහි මතක සටහන් පමණක් රැගෙන යෑම ඔබගේ වගකීමයි.
හර්ෂණී හේරත්
සංස්කරණය - ජගත් කණහැරආරච්චි