Divaina - තිරසර සංවර්ධනයක් අවශ්‍ය නම්... නිලධාරීන්ගේ දිරච්ච ලණු කන්නේ නැතිව රජය දැන්වත් හරි පාරේ යායුතුයි... - අශෝක අභයගුණවර්ධන

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

thirasaraතිරසර සංවර්ධනය හා විකල්ප බලශක්තිය පිළිබඳ ප‍්‍රාමාණික විද්වතකු හා රජයේ උපාය මාර්ග ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ හිටපු සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී අශෝක අභයගුණවර්ධන මහතා තිරසර කතිකාව සමග දේශගුණික විපර්යාස, පුනර්ජනනීය බලශක්තිය, වස විස නැති ගොවිතැන ඇතුළු කාලීන මාතෘකා කිහිපයක් පිළිබඳව දැක්වූ අදහස් මෙසේය.
 
 
  ප‍්‍රශ්නය - ඔබ අවුරුදු 30ක් විතර තිස්සේ සිට තිරසර සංවර්ධනය පිළිබඳව රට තුළත්, ජාත්‍යන්තරවත් කරුණු ඉදිරිපත් කළ අයෙක්. එදා මෙදා තුර ලෝකය හා ශ‍්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් අරගෙන තිබෙන පියවර පිළිබඳව ඔබට සෑහීමකට පත්වෙන්නට පුළුවන්ද?
 
 පිළිතුර - වැදගත් වන්නේ මේ ලෝකයේ ජීවත්වන ජනතාවගේ අනාගතය සුරක්ෂිත වෙලාද නැද්ද කියන එකයි. අපි දැක්කා පහුගිය අවුරුදු 30 තිස්සේ ලෝකයේ මොකද වුණේ කියලා. 1990 විතර වෙන කොට මිනිසා දැනගෙන හිටියා මේ විදියට ගියොත් මිනිසාට ජීවත්වීමට බැරි වටාපිටාවක් හැදෙන බව. ඒ අනුව ඒ දවස්වල ඉඳලම පරිසරය හා සංවර්ධනය පිළිබඳව කතාකරපු මාතෘකා රාශියක් තිබුණා. ඒ අතර තිබුණු ප‍්‍රධාන මාතෘකා 3 තමයි දේශගුණික විපර්යාසය, ජෛව විවිධත්වය නැතිවී යෑම හා ඕසෝන් ස්ථරය තුනීවීම. ඒ තුනෙන් දැනට විසඳිලා තියෙන්නේ ඕසෝන් ස්ථරය තුනීවීම පිළිබඳ ප‍්‍රශ්නය විතරයි. අනිත් ප‍්‍රශ්න දෙකම මුළු ලෝකයම මහා විනාශයක් කරා අරගෙන ගිහිල්ලා තියනවා.
 
 ප‍්‍රශ්නය - දේශගුණික විපර්යාසය පිළිබඳ ප‍්‍රශ්නය ගැන අලූත් තත්ත්වය කොයිවගේද?
 
 පිළිතුර- වායුගෝලයේ තිබෙන කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රමාණය පහුගිය කාලේ 270 චචච ඉඳන් 410 චචච දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ නිසා මිහිතලයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක එකකකින් ඉහළ ගිහිල්ලා තියෙනවා; ධ‍්‍රැවවල අයිස් දියවෙලා මුහුදේ ජලමට්ටම සාමාන්‍ය වශයෙන් සෙන්ටිමීටර 10 කින් විතර ඉහළ ගිහිල්ලා තියනවා. දැනටමත් ලෝකයේ දේශගුණය වෙනස්වෙලා. වැස්ස වැටෙන රටාව වෙනස්වෙලා. පායන කාලයට පෑවිල්ල වැඩියි. වහින කාලයට වැස්ස වැඩියි. වෙලාවට වහින්නේ නෑ. අකලට වැහි වැටෙනවා. කිසිම වගාවක් හරියට කරගෙන යන්න විදියක් නෑ. විපතට පත්වෙන මිනිසුන් ගණන විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තියනවා.
 
 ඒ තත්ත්වය දුප්පත් බංගලිදේශයෙත් පොහොසත් ඇමරිකාවේ, හා ඔස්ටේ‍්‍රලියාවෙත් තියනවා. දැනටමත් මිනිසා ගල් අඟුරු, ඛනිජ තෙල් හා ගෑස් පුච්චලා වායුගෝලයට පිටකරලා තියන කාබන්ඩයොක්සයිඞ් නිසා මිහිතලයේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 2 කින් ඉහළයෑම නවත්වන්නට දැන් නොහැකි වෙලා. මේ යන විදියට ගියොත් අනිවාර්යයෙන්ම මිහිතලයේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 3-5 කින් විතර වැඩිවෙනවා.
 
 ප‍්‍රශ්නය - දේශගුණික විපර්යාසය වළක්වාගන්න කරන්න ඕන මොකක්ද?
 
 පිළිතුර - මේ යන පාර වැරදියි වහාම පුනර්ජනනීය බලශක්තියට මාරුවෙන්න කියලා පරිසර ලෝකය පහුගිය අවුරුදු 30ක් තිස්සේ හඬ නැගුවා. ඒ කියන්නේ හිරුඑළිය හා තාපය (සෝලා*, සුළඟ, ජල විදුලිය, දර විදුලිය, මුහුදේ තරංග බලය, සමුද්‍ර තාපය වගේ දේවල්වලට වහාම මාරුවෙන්න කියලා. ඒ ගැන පර්යේෂණ කරන්න, මහා පරිමාණයෙන් ඒවා නිෂ්පාදනය කරන්න මිනිසා පරක්කු වුණ නිසා තමයි මේ විනාශය වුණේ. දැන් පුනර්ජනනීය බලශක්තිය පොසිල ඉන්ධනවලට වඩා ලාබයි. ගබඩා කරගැනීමේ වියදමත් අඩුයි. දැන් ඉතින් ගල් අඟුරු බලාගාර, තෙල් බලාගාර, ගෑස් බලාගාර කිසිවක් අලූතින් හදන්නේ නැතිව වේගයෙන් 100% පුනර්ජනනීය බලශක්තියට යන්න ඕන.
 
 ප‍්‍රශ්නය - ජෛව විවිධත්වය නැතිවීයෑම පිළිබඳව අද වනවිට තත්ත්වය මොකද්ද?
 
 පිළිතුර - නවීන විද්‍යාත්මක උපකරණවලින් මුළු විශ්වය පුරාම තොරතුරු හෙව්වත් මේ මහ පොළවේ හැරෙන්න වෙන කොහෙන්වත් තවම සතෙක් තියා කිසිම ජීවියෙක් වත් ඉන්න තැනක් මිනිසාට හොයාගන්න බැරිවෙලා තියෙනවා. මේ මහපොළව හැදිලත් අවුරුදු කෝටි සිය ගණනක් යනකං මිනිසා මෙලොවට පහළ වුණේ නෑ. එතෙක් ලෝකයේ මිනිසා බිහිවෙන්න පුළුවන් පරිසරය හදන්න කටයුතු කළේ එදා මෙදා තුර මේ ලෝකයේ ජීවත් වූ ඇහැට පෙනෙන නොපෙනෙන, ගහකොළ සතාසිවුපාවා ඇතුළු සියලූ ජීවීන්. ඒ ජීවීන් නැති දවසට මිනිහාටත් මේ ලෝකයේ ජීවත්වෙන්න බෑ. ඒකයි පහුගිය අවුරුදු 30 තිස්සේම පරිසරවේදීන් කෑගැහුවේ ජෛව විවිධත්වය රැුකගන්න ඕන කියලා. නමුත් ඒ සියල්ල බීරි අලින්ට විණා වාදනය කරනවා වගේ වුණා. පහුගිය අවුරුදු 50 තුළ ලෝකයේ වනජීවී ගහනය 60% කින් අඩුවෙලා තියනවා. මිලියන 1 ක පමණ ජීව විශේෂ මේ වනවිට වඳවී යෑමේ තර්ජනයට ලක්වෙලා තියෙනවා. කැලෑ ප‍්‍රමාණය ශීඝ‍්‍රයෙන් අඩුවෙනවා, ගොවිබිම් මුඩුබිම් බවට පත්වෙනවා, මහපොළව කාන්තාර බවට පත්වෙනවා. දැන් මුළු මහත් ලෝකයම මහා ජෛව විවිධත්ව හායනයක් (විනාශය* අභියස ඉන්නේ.
 
 ඉතිරි වෙලා තියන සේරම කැලෑ ටික ලෝකය පුරාම ඉතා වේගයෙන් කපාගෙන යනවා. දකින දකින හැම ඝන කැලෑවක්ම ලී ගන්න ජාවාරම්කාරයෝ කපලා දානවා. නැතිනම් වගාවට කියල අල්ලගන්නවා. ඊට විරුද්ධ වන හා වනජීවී නිලධාරීන්ව දේශපාලකයින් මැදිහත් වෙලා නිහඬ කරනවා. ඊට පස්සේ ඉතිරිවෙන හැම ලඳු කැලෑවකම මිනිස්සු කපලා කොටලා සුද්ධ කරලා පදිංචිවෙනවා. ඊට පස්සේ රජය මැදිහත් වෙලා හොඳ නිලධාරීන්ට තහංචි දාලා මිනිස්සුන්ගේ පදිංචිය තහවුරු කරලා දෙනවා. මුළු ලෝකය පුරාම සිද්ධ වෙන්නේ ඒකයි.
 
 කෘෂිකර්මාන්තය ගැන නම් කතා කරලා වැඩක්ම නෑ. ග්ලයිෆෝසෙට් වගේ පූර්ණ වල්නාශක, තෝරා නසන වල්නාශක, කෘමිනාශක, දිලීරනාශක කියන සියලූ වසවිස ගහලා ගොවිබිම් විනාශ කරලා, සියලූ ජීවීන් විනාශ කරලා අස්වනු අඩුයි කියලා රසායනික පොහොර තව වටයකින් වසවිස ගහනවා. අවුරුදු කෝටි සිය ගණක් තිස්සේ හැදුණු ඉතාම සංවිධානාත්මක පරිසර පද්ධති අවුරුදු 200 ක් ඇතුළත සම්පූර්ණයෙන්ම මිනිසා විසින් විනාශ කරලා දාලා තියනවා.
 
 සීමිත ලෝකයේ අසීමිත විදියට මිනිස් ගහනය වැඩි කරන්න පුළුවන් කමක් නෑ. ලෝකයේ ජීවත්වන සෑම සත්ව ගහනයක්ම තියෙන්නේ ගතික සමතුලිතතාවයක. ඒ කියන්නේ ඕනෑම ජීවී විශේෂයක ගහනය ඕනවට වඩා වැඩිවෙනකොට ඒක පාලනය සඳහා ස්වභාවධර්මයේ වෙනත් ජීවී වර්ග ඉන්නවා. ඒ වගේම ඕනවට වඩා අඩුවෙනකොට ආපහු වැඩිවෙන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මිනිසාට විතරක් අසීමිත විදියට වැඩිවෙන්න ඉඩක් නෑ. කොරෝනා වෛරස දෙන්නේ මේ පණිවිඩය වෙන්න පුළුවන්.
 
 ඒ වුණත් ලෝකයේ දැනට ඉන්න ජනගහනය නම් පරිසරයත් රැුකෙන විදියට නඩත්තු කරන්න මේ ලෝකයට පුළුවන්. වසවිස නැති ජෛව විද්‍යාත්මක ගොවිතැනෙන් ජෛව විවිත්වයත් රැුකගෙන අඩු භූමි ප‍්‍රමාණයකින් රසායනික ගොවිතැනට වඩා වැඩි අස්වැන්නක් ගන්නත් මිනිසාට පුළුවන්. ඒ නිසා වහාම 100% කාබනික ගොවිතැනට රට ගෙනගොස් ශ‍්‍රී ලංකාව වස විස නැති රටක් බවට පත් කරන්න ඕන. නිවැරදි නගර හා රට සංවර්ධන සැලැස්මක් හරහා ජනතාවගේ වාස භූමි තිරසර ජනාවාස බවටත් පත්කරන්නත් පුළුවන්. අවශ්‍යවන්නේ නිවැරදි උපායමාර්ගික සැලැස්මක් විතරයි.
 
 ප‍්‍රශ්නය - ඔබ ශ‍්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යංශයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයෙත් උපදේශකයා විදියටත් ජනාධිපති කාර්යාලයට අනුබද්ධ උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ ප‍්‍රධානියා විදියටත් කටයුතු කළා. ඇයි ඔබට බැරිවුණේ මේ රට තිරසර සංවර්ධන මාවතට යොමුකරන උපාය මාර්ග සැලසුම් කරන්න?
 
 පිළිතුර - සාමාන්‍යයෙන් මේ රටේ ජනතාව හිතන්නේ දේශපාලකයන් නිසයි මේ රට දියුණු කරන්න බැරි කියලා. දේශපාලනඥයාගේ ප‍්‍රධානම දක්ෂකම තමයි තමන්ගේ විරුද්ධකාර දේශපාලකයා පරද්දලා බලයට එන්න පුළුවන් වීම. ඒක සුවිශේෂ දක්ෂතාවයක්. හැබැයි දේශපාලකයන්ගේ ප‍්‍රධාන දුර්වලකමක් තියනවා. ඒ අයට මේ ලෝකය පුරා කතාකරන තිරසර සංවර්ධනය පිළිබඳ හරි දැනුමක් නැහැ. ඒ වුණත් යම් උපායමාර්ගික
 
 වැඩපිළිවෙළක් ඉදිරිපත් වුණාම ඒ දෙස විවෘත මනසකින් බලන්න ඒ හුඟක් දෙනෙක්ට පුළුවන්. ඒ නිසා තිරසර සංවර්ධනයට ප‍්‍රධාන වශයෙන්ම බාධා කරන්නේ දේශපාලනඥයින් නොවෙයි රජයේ නිලධාරීන්. ඒ ඒ අංශවල වගකීම දරන නිලධාරීන් තමයි රට තිරසර සංවර්ධන මාවතට රැුගෙන යන එක හැකිතාක් ප‍්‍රමාද කරන්නේ.
 
 රජයේ නිලධාරීන්ට ජනතාව ඉදිරියට ගිහිල්ලා ඡුන්දය ඉල්ලන වෙන්නේ නෑ. ඒ නිසා ඒ අයගේ වැඩකටයුතු පරීක්ෂා වෙන ක‍්‍රමයක් නෑ. රට ගොඩගත්තත් නොගත්තත් ඒ අයට පඩි ලැබෙනවා. විශ‍්‍රාම වැටුප ලැබෙනවා. මේ නිලධාරීන් නිදහස් අධ්‍යාපනයෙන් බිහි කරපු පිරිසක්. අධ්‍යාපනයේ තියෙන වැරදි නිසා ඒ අය අලූත් දැනුම හොයාගෙන යන විදිය දන්නේ නෑ. ප‍්‍රශ්නයක් හරියට විශ්ලේෂණය කරන්න දන්නේ නෑ. නිර්මාණශීලී විදියට ප‍්‍රශ්න දිහා බලන්න දන්නේ නෑ. උපායමාර්ගික විසඳුම් හොයාගන්න
 
 දන්නෙ නෑ. ඒවාට විසඳුම් පුද්ගලික අංශයෙන් හරි සිවිල් සමාජයෙන් හරි ඉදිරිපත් කළොත් හීනමානය නිසා බොහෝ නිලධාරීන් ඒවට විරුද්ධ වෙනවා. මේ තත්ත්වය මම ඉතා හොඳින් දැක්කා බලශක්ති ක්ෂේත‍්‍රයේ හා කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ. පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රයේ පුද්ගලික අංශය, රජයේ ආයතනවලට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් ඉන්නවා. පුද්ගලික අංශය ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රයේ වේගයෙන් ඉදිරියට යනකොට ඒකට කකුල් මාට්ටු දාන ඒක තමයි රජයේ ආයතන කරන්නේ. ලංකාව වගේ රටවල්වල ඉන්න ඔය විදුලිබල මණ්ඩලය වගේ ආයතනවල ඉන්න නිලධාරීන් තවමත් කථා කරන්නේ පිටරටවලින් ගල් අඟුරු ගෙන්නලා විදුලිය නිපදවන්න, ගල් අඟුරු
 
 බලාගාර හදන්න. මේක මේ නිලධාරීන් අතලොස්සක් කරන ජාතික හා ජාත්‍යන්තර අපරාධයක්.
 
 රජයේ කෘෂි විද්‍යාඥයින් නවීන ජෛව විද්‍යාත්මක ගොවිතැන ගැන තවම හරි පර්යේෂණයක්වත් කරලා නැහැ. ඒ නිසා කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ අඩු වියදමකින් වැඩි අස්වැන්නක් ලබාදෙන නවීන ජෛව විද්‍යාත්මක ගොවිතැන ගැන ගොවීන් හා පුද්ගලික අංශය, රජයේ ආයතනවලට වඩා හුඟක් ඉදිරියෙන් ඉන්නේ. දැන් නවීන ජෛව විද්‍යාත්මක ගොවිතැන රසායනික ගොවිතැනට වඩා සාර්ථකයි කියලා විධිමත් පාලිත පරීක්ෂණයක් කරලා ඔප්පු කරලයි තියෙන්නේ. නමුත් නියාමන බලය තියෙන්නේ රජයට නිසා, වස විස ලංකාවට ගෙන්වන කොම්පැණිවලට සහනාධාර දීලා ජෛව විද්‍යාත්මක ගොවිතැනට තහංචි දාන එක තමයි රජයේ නිලධාරීන් කරන්නේ.
 
 ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ තිරසර සංවර්ධනයට තියෙන ප‍්‍රධාන විසඳුමක් තමයි පොදු ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය නංවන්න පුද්ගලික අංශය හා ලංගම ඒකරාශී වුණු පොදු වැඩපිළිවෙළකට ගෙනයන එක. ඒ පිළිබඳ නියමු පරීක්ෂණයක් සිදුකරලා එය සාර්ථක බව දැන් ඔප්පු කරලයි තියෙන්නේ. අවාසනාවකට ඒ වැඩපිළිවෙළත් අතරමගදි රජයේ නිලධාරීන් විසින් කඩාකප්පල් කරලා දැම්මා.
 
 වර්තමාන මානව සමාජයට අභියෝග කරමින් මතුවී ඇති අභියෝග පිළිබඳව හොඳින් උත්තර ඉදිරිපත් වූ අවස්ථාවක් විදියට අපට පෙනෙන්නට තියෙන්නේ තිරසර සංවර්ධන ඉලක්ක 17 යි. අවශ්‍යවන්නේ ඒ සඳහා උපායමාර්ගික සැලැස්මක් විතරයි. රජයේ නිලධාරීන්ට එවැනි සැලැස්මක් හදාගන්න බෑ. රජය මැදිහත් වෙලා තිරසර සංවර්ධනය පිළිබඳ දැනුමක් ඇති ප‍්‍රවීණයන් එක්ක උපායමාර්ගික සැලැස්මක් හදලා රජය, පුද්ගලික අංශය හා සිවිල් සමාජයත් එක්ක ඒ සැලැස්ම ක‍්‍රියාත්මක කරන එකයි කරන්න තියෙන්නේ. තිරසර සංවර්ධනයට යන්න අමාරුයි; මිනිස්සු තරහාවෙයි කියලා කරන්න බෑ කියලා කියපු ගොඩාක් දේවල් කරවන්න අර ඇහැට නොපෙනෙන කොවිඞ්-19 වෛරසයට පුළුවන් වුණා. ඒ නිසා මෙතෙක් ආපු වැරදි පාර අත් හැරලා රජයේ නිලධාරීන්ගේ දිරච්ච ලණු කන්නේ නැතිව දැන්වත් හරි පාරෙන් ඉදිරියට යන එකයි රජයට කරන්න තියෙන්නේ.
 
 කතිකාව ජගත් කණහැරආරච්චි
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles