Divaina - ලක්දිව මෙහෙණි සසුන පිළිබඳ අප‍්‍රකට තොරතුරු

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 සුමුදු ධර්මරත්න
 ඉතිහාසය අධ්‍යයනාංශය
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය
 පේරාදෙණිය
 
 mahani555
 
 බුදුන් වහන්සේ පිරිණිවන් පා සියවස් දෙකකට පමණ පසුව ධර්මාශෝක රජුගේ පුත් මිහිඳු හිමිගේ මූලිකත්වයෙන් ලක්දිවට බුදුදහම ගෙන එන ලදී. භික්ෂු ශාසනය මෙරට ස්ථාපිත කිරීමෙන් පසුව, ලක්දිව යුව රජුගේ බිසව වූ අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවෝ භික්ෂුණීන් ලෙස පැවිදි වීමට කැමතිව ඒ බව මිහිඳු හිමියන්ට දැන්වූහ. කාන්තාවක පැවිදි කිරීම තමන්ට අකැප බව මිහිඳු හිමියන් කියා සිටි බැවින් ලක්දිව මෙහෙණි සසුන පිහිටුවා ගැනීම සඳහා මිහිඳු හිමියන්ගේ නැගණිය වූ සංඝමිත්තා තෙරණිය දිවයිනට වැඩම කරවීය. සංඝමිත්තා තෙරණියන් ඇතුළු භික්ෂුණීන් උතුරු ඉන්දියාවේ සිට රාජධානි තුනක් පසු කරමින්, වින්ධ්‍යා කඳුකරය ඔස්සේ ඉතා දුෂ්කර ගමනක යෙදෙමින් මුහුදු වෙරළට පැමිණ ලක්දිවට ගොඩ බැසීම සඳහා නැව්
 
 නැංග ආකාරය පිළිබඳ දීර්ඝ විස්තරයක් දීපවංශයේ සඳහන් වේ. එලෙස පැමිණී සඟමිත් තෙරණියන් අනුලා බිසව ඇතුළු දහස් ගණන් කාන්තාවන් මහණ කරවා ශික්ෂාකාමී සාමණේරීන් උපසම්පදා කරවා, අධිශීල, අධිචිත්ත, අධිප‍්‍රඥා සංඛ්‍යාත ත‍්‍රිවිධ ශික්ෂාවෙහි හික්මවා සාසනය වර්ධනය කිරීම සිදු කළහ. ක‍්‍රමයෙන් කාන්තාවන් දහස් ගණනින් භික්ෂුණී ශාසනයට එක්වීමත් සමග ලක්දිව මෙහෙණි සසුන විශාල ලෙස පැතිරෙන්නට විය.
 
 මෙලෙස ලක්දිව මෙහෙණි සසුන පිහිටුවීම මෙන්ම ශ‍්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ගෙන ඒම ද සඟමිත් තෙරණියගෙන් සිදු වූ වැදගත් කාර්යයකි. දිවයින තුළ ස්ථාපිත වූ මෙහෙණි සසුන අනුරාධපුර යුගයේ අවසානය දක්වා එනම් ශතවර්ෂ දොළොසක පමණ කාලයක් ඉතා උසස් අන්දමින් දෙස් විදෙස් බෞද්ධ ලෝකය තුළ බැබෙලෙමින් පැවතුණි. ඉන් පසු මෙරට වංසකථාවල සහ අභිලේඛනවල මේ පිළිබඳ ඉතාම සුළු වශයෙන් තොරතුරු සඳහන්ව ඇත. නමුත් මෙම කාලපරාසය තුළ මෙරට භික්ෂූණීන් විසින් බුදු සසුනේ උන්නතිය උදෙසා ඉටුකරන ලද සේවාව, මෙරට ප‍්‍රධාන වංසකථාව වන මහාවංසයේ කතුවරයා පවා අමතක කොට ඇත. මෙරට භික්ෂුණීනගේ ශාසනික හා සමාජ මෙහෙවර පිළිබඳ අප‍්‍රකට තොරතුරු කිහිපයක් මෙම ලිපිය මගින් අනාවරණය කෙරේ.
 
 දිවයිනේ ඓතිහාසික සම්ප‍්‍රදාය ආරක්ෂා කිරීමට දැක්වූ දායකත්වය දීපවංසය සහ මහාවංසය දිවයිනේ ඓතිහාසික සම්ප‍්‍රදාය නියෝජනය කරන ප‍්‍රධාන වංසකථා ද්විත්වය වේ. මෙම වංසකථාවල ඇතුළත් ඓතිහාසික සම්ප‍්‍රදාය ආරක්ෂා කර ගෙන ඒම සහ එම තොරතුරු රචනා කිරීම මෙරට භික්ෂූ පරම්පරා විසින් සිදුකරන ලද කාර්යයක් බව සාම්ප‍්‍රදායික පිළිගැනීම වේ. නමුත් ථෙරවාදී ත‍්‍රිපිටක ග‍්‍රන්ථ අධ්‍යයනයේදීත් එම සම්ප‍්‍රදාය ආරක්ෂා කර ගෙන ඒමේදී සහ එම තොරතුරු රචනා කිරීමේදීත් භික්ෂුණීන් පුරෝගාමීව ක‍්‍රියා කොට ඇත. දිවයිනේ ප‍්‍රධාන වංසකථා දෙක අතුරින් මුලින්ම රචනා වූ බව සැලකෙන දීපවංසය දීර්ඝ කාලපරාසයක් තිස්සේ සකස් වෙමින් පැවත ක‍්‍රි. ව. හතරවන හා පස්වන සියවස කාලපරාසයේ දී අවසන් වරට ග‍්‍රන්ථයක් ලෙස සකස් කරන ලද්දකි. එම හේතුව නිසාම මෙහි කතුවරයා කවුරුන් ද යන්න නිශ්චිතව සඳහන්ව නොමැත. මෙහි අන්තර්ගත තොරතුරු අධ්‍යයනය කළ හ්‍යු නෙවිල්, මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන, මහාචාර්ය සිරිමා කිරිබමුණෙ වැනි විද්වතුන් මෙය මහාවිහාරවාසී භික්ෂුණීන් විසින් පවත්වා ගෙන ආ ඓතිහාසික සම්ප‍්‍රදාය ඇසුරින් සකසන ලද කෘතියක් බව පෙන්වා දී ඇත. ඉන්දියාවේ භින්ෂූණී ශාසනය ආරම්භ කිරීමට පුරෝගාමී වූ මහා ප‍්‍රජාපතී තෙරණියගේ සිට පැවත එන මෙරට භික්ෂුණී ආචාර්ය පරම්පරාව පිළිබඳ වෙනත් කිසිදු මූලාශ‍්‍රයක සඳහන් නොවන තොරතුරු දීපවංසයේ සඳහන් වේ. සංඝමිත්තා තෙරණියගේ සිට ලක්දිව බලයට පත් භාතිකාභය රාජ්‍ය පාලන අවධිය දක්වා වූ කාලපරාසයට අයත් භික්ෂූණී ශාසනය පිළිබඳ විස්තර සවිස්තරාත්මක ව ඉදිරිපත් කොට ඇත.
 
 එසේම සංඝමිත්තා තෙරණියගේ පැමිණිම පිළිබඳව ද වෙන කිසිදු මූලාශ‍්‍රයක සඳහන් නොවන තොරතුරු සමුදායන් දීපවංසයේ දැක්වේ. විශේෂයෙන් සංඝමිත්තා තෙරණිය සමග පැමිණි පිරිස පිළිබඳ පරස්පර සම්ප‍්‍රදාය තුනක් දීපවංසයේ සඳහන් වේ. පළමුවන සම්ප‍්‍රදායට අනුව රුචිනන්දා, කනකදත්තා සහ සුධම්මා යන භික්ෂුණීන් සංඝමිත්තා තෙරණින් සමග ලක්දිවට පැමිණි බව කියවේ. එසේම දෙවැනි සම්ප‍්‍රදායේ සඳහන් වන්නේ තරුණ භික්ෂුණීන් දසදෙනකු සංඝමිත්තා තෙරණියන් පිරිවරා පැමිණි බවයි. ඔවුහු නම් වශයෙන් උත්තරා, හේමා, මසාරගල්ලා, අග්ගිමිත්තා දාසිකා, ඵෙග්ගු, පබ්බතා, මත්තා, සහ ධම්මදාසිකා නම් වූහ. තුන්වන සම්ප‍්‍රදායට අනුව මහාදේවී, පදුමා, හේමාසා, උන්නලා, අඤ්ජලී සහ සූමා යන භික්ෂුණින් දහසය දහසක් සමග සංඝමිත්තා මහා තෙරණියන් කැටුව පැමිණ ඇත. මේ ආකාරයෙන් සංඝමිත්තා තෙරණියගේ මූලිකත්වයෙන් මෙරට ස්ථාපිත වූ භික්ෂූණී ශාසනය පිළිබඳ තොරතුරු දැක්වීමේ දී අනෙකුත් මූලාශ‍්‍රවල දක්නට නොලැබෙන ආකාරයේ වැදගත්කමක් ලබා දීමට දීපවංසය නියෝජනය කරන ඓතිහාසික සම්ප‍්‍රදාය විසින් උත්සාහ දරා ඇත.
 
 බෝධීන්වහන්සේට මෙහෙවර කිරීම
 
 සංඝමිත්තා මහ තෙරණියන් විසින් ලක්දිවට වැඩමා රෝපනය කරන ලද ශ‍්‍රී මහා බෝධිය රැුකබලා ගැනීමේ ගෞරවනීය කාර්යය මෙරට භික්ෂුණීන් වහන්සේ වෙත පැවරී තිබූ වගකීමකි. ආරම්භයේ දී මෙය රාජකීය කුල කාන්තාවන් විසින් සිදුකරන ලද අතර පසුව එය මෙරට භික්ෂුණීන් විසින් ඉටු කොට ඇත. සිංහල බෝධිවංසයේ දැක්වෙන ආකාරයට ලක්දිවට ශ‍්‍රී මහා බෝධිය ගෙන එන අවස්ථාවේ දී බෝධින් වහන්සේට නිරන්තරයෙන් පැන් වක්කිරීම සඳහා ධර්මාශෝක රජතුමා විසින් රාජ වංශයෙන් පැවත එන පෙරහැර බිසෝවරුන් සතර දෙනකු පාවා දී තිබේ. එතැන් පටන් මෙරට රෝපිත බෝධි ශාඛාව සඳහා මෙහෙවර කිරීමේ කටයුත්ත කාන්තාවන්ට පැවරුණු විශේෂ කටයුත්තක් බවට පත්විය. දේවානම්පියතිස්ස රජතුමා බෝධිශාඛාව ලක්දිවට වැඩම කරවීමෙන් අනතුරුව, රාජකීය කන්‍යාවෝ සතර දෙනෙක් ස්වර්ණාභරණයෙන් සරසා ඔටුනු පලඳවා රන්, රිදී කළ රැුගෙන මහා බෝධින් වහන්සේට පැන් වැඩවීම සඳහා පත් කරන ලද බවත් ඔවුන් පෙරහැර බිසෝ නම් තනතුරේ පිහිටුවූ බවත් සඳහන් වේ. මේ පිරිස එනම් පෙරහැර බිසෝවරු සතර දෙනා රජුගේ ආරක්ෂාව යටතේ සිටි බිසෝවරුන් වේ. මන්ද සිංහල බෝධිවංසය මේ අවස්ථාව පිළිබඳ තවදුරටත් තොරතුරු දක්වමින් මේ බිසෝවරුන් මහත් වූ විභූතියෙන් රජගෙට ගිය බව දක්වා ඇත. බෝධීන් වහන්සේට මෙහෙවර කිරීම කාන්තාවන්ට පැවරුණු කාර්යයක් බව මේ අනුව පැහැදිලි වේ.
 
 ධාතුසේන රජු ද (ක‍්‍රි.ව.455-473) දෙවන පෑතිස් රජහු විසින් කළ ආකාරයෙන් බුදුබව පතා බෝ පෙරහැර පවත්වා බෝධියට නහනුමුර පූජාවක් කළ බවත් ඒ පූජාවේ දී තඹයෙන් තනන ලද කාන්තා රූප දහසයක් තැබූ බවත් මහාසංයේ සඳහන් වේ. මෙම මගින් අතීතයේදී සිදුකළ කාන්තාවන්ගේ සහභාගිත්වය සංකේතවත් කිරීමක් සිදු කොට ඇත. එසේ නම් මෙම අවධිය වන විට කාන්තාවන් විසින් සිදුකරන ලද මෙහෙවර ක‍්‍රමයෙන් ඇයගෙන් ගිලිහී ගොස් ඇති ආකාරය දැකගත හැකි වේ.
 
 එමෙන්ම අනුරාධපුර යුගයේ අවසාන කාලපරාසයේ දී බෝධීන්වහන්සේට මෙහෙවර කිරීමේ කාර්යය භික්ෂුණීන් විසින් ඉටුකරන ලද බවට තොරතුරු ඇත. ක‍්‍රි. ව. නවවන සියවසේ දෙවන සේන රජුගේ පාලන සමයේ දී (ක‍්‍රි. ව. 853-887) පිහිටුවන ලද කැලැත්තෑව ටැම් ලිපියේ, මහබෝ මෙහෙවර කළ හික්ෂූණීන්ට පිරිනමන ලද වරප‍්‍රසාද පිළිබඳ වැදගත් තොරතුරු සඳහන් වේ. මහාවිහාර භූමියෙහි වූ බෝධීන්වහන්සේට දිනපතාම පැන් වැඞීමේ කාර්යයෙහි නියුක්ත වී සිටි හැමබුවන් නම් ගෞරව නාමයෙන් හැඳින්වුණු නායක හික්ෂූණින් වහන්සේ සත් නමකට සතර පස සැපයීම සඳහා ගිතෙල්ගමුව නමැති ග‍්‍රාමයක් වෙන් කරන ලද බව කියවෙන මෙම ලිපියට අකුව මෙම ග‍්‍රාමයේ සියලූම ආදායම අයබදුවලින් ද නිදහස් කර ඇත.
 
 මහාවිහාර භූමියෙහි වූ මිරිසවැටි බෝධිරාජයාගේ ආරක්ෂාව තිස්සාරාමයේ විසූ භික්ෂූණින්ට පැවරුණු බව ද මහාවංසයේ දැක්වේ.
 
 එසේ නම් මුල් යුගයේ දී රාජකීය කන්‍යාවන්ට භාර වූ බෝධිය දෝවනය කිරීමේ උතුම් මෙහෙවර නවවන සියවස වනවිට මෙරට වැඩවිසූ නායක භික්ෂූණින්ට පැවරුණ බව පෙනී යන නමුත් එය කවදා කෙසේ සිදුවීද යන්න කිව නොහැක. කෙසේ නමුත් ශ‍්‍රී මහා බෝධීන් වහන්සේට සිදුකරන ලද මෙහෙවර මෙරට භික්ෂූණින් වහන්සේ විසින් අතීතයේ දී ඉටුකළ වැදගත් බෞද්ධ කටයුත්තක් බව පෙනීයයි.
 
 විදේශ ධර්ම දූත සේවාව
 
 ලක්දිව මෙහෙණි සසුන පිහිටුවීමෙන් පසු එහි පැවිදි බවට පත් මෙරට භික්ෂුණීන් වහන්සේ විදේශයන්හි භික්ෂුණී ශාසනය පිහිටුවීමට හා ධර්ම ප‍්‍රචාරක කටයුතුවල යෙදීමට ද සමත් පිරිසත් විය. ශ‍්‍රී ලංකාවේ වැඩවිසූ උගත් භික්ෂූණීන් වහන්සේ පිළිබඳව මෙන්ම ඔවුනගේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ බොහෝ තොරතුරු විදේශීය මූලාශ‍්‍ර තුළින් අනාවරණය වේ. මේ පිළිබඳ කිසිදු තොරතුරක් දේශීය මූලාශ‍්‍රන්හි සඳහන් නොවීම හාස්‍යයට කරුණකි.
 
 චීනයේ මෙහෙණි සසුන ඇති කිරීමට මූලිකත්වය ගැනීම ශ‍්‍රී ලාංකික භික්ෂූණීන් විසින් ඉටු කරන ලද ඉතාම වැදගත් ශාසනික මෙහෙවරකි. චීනයේ භික්ෂුණි ශාසනය පිහිටුවීම පිළිබඳව අධ්‍යයන සිදුකරන ලද මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන විසින් ක‍්‍රි. ව. 526 දී පමණ, පා- ඕ-වාන් විසින් චීන බසින් සම්පාදිත පී - වියු - නි -වූ ආන් නමැති ග‍්‍රන්ථයේ එන තොරතුරු උපයෝගී කොට ගනිමින් මේ පිළිබඳ අදහස් දක්වා තිබේ. ඒ අනුව ක‍්‍රි. ව. 429 දී නැව් කපිතාන්වරයෙකු වූ නන්දි නමැත්තා විසින් සිංහල රටෙන් හික්ෂුණී පිරිසක් චීනයේ සුං පෙළපත පාලනය කරන අවධියේ එහි අගනුවර වූ නැන්කිං නගරයට ගෙන යන ලදී. චීනයේ විංෆු නම් මෙහෙණවර මෙම භික්ෂුණීන්ගේ වාසය සඳහා වෙන් කොට දී ඇත. මෙලෙස චීනය වෙත වැඩම කළ එම හික්ෂුණී සංඛ්‍යාව භික්ෂුණී ශාසනය පිහිටුවීම සඳහා වූ විනය කර්ම සම්පූර්ණ කිරීමට ප‍්‍රමාණවත් නොවූ හෙයින් නැවතත් භික්ෂුණීන් චීනයට පැමිණෙන තුරු ශ‍්‍රී ලාංකික භික්ෂූණීන්ට එහි රැුඳී සිටීමට සිදුව තිබේ. පසුව නන්දි නම් නාවිකයා විසින් දේවසාරා නමැති තෙරණියන් යටතේ ශ‍්‍රී ලාංකික හික්ෂුණීහු එකොළොස් දෙනෙක් චීනයට ගෙන යන ලද බව සඳහන් වේ. ඉන්පසු උපසම්පදා කර්මය සිදු කොට නීත්‍යනුකූල අන්දමින් චීන දේශය තුළ භික්ෂුණී ශාසනය පිහිටුවීම සිදු කොට ඇත. මෙම අවස්ථාවේ චීන හික්ෂුණින් තුන්සියයකට වැඩි ප‍්‍රමාණයක් ලක්දිව තෙරණිවරුන්ගෙන් උපසම්පදාව ලබා ඇත.
 
 ශ‍්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ ඉන්දියාවේ විවිධ ප‍්‍රදේශයන්හි ධර්ම දූත ගමන්වල යෙදුන බව බොහෝ මූලාශ‍්‍රවල තොරතුරු සඳහන්ව ඇති නමුත් ශ‍්‍රී ලාංකික භික්ෂුණීහු බෞද්ධ දූත ගමන් සඳහා ඉන්දියාවට ද ගිය බවට එක් සෙල්ලිපි සටහක් පමණක් සාක්ෂි දරයි. ඉන්දියාවේ ආන්ද්‍ර ප‍්‍රදේශයේ පිහිටි නාගර්ජුනකොණ්ඩ බෞද්ධ මධ්‍යස්ථානය ශ‍්‍රී ලංකාව සමග සමීප සබඳතා පැවැත්වූ මධ්‍යස්ථානයකි. එම ස්ථානයෙන් සොයාගන්නා ලද ලිපියක ශ‍්‍රී ලංකාවේ මහාවිහාරවාසී නිකායික භික්ෂු භික්ෂුණින් එහි නැවතී සිටි බව දැක්වේ. නාගර්ජුනකොණ්ඩ ලිපියේ දැක්වෙන ආකාරයට කාශ්මීර - ගන්ධාර - චීන - විලාන - කොසලි - අවරංක වංග - වනවාසි - යවන දමිල - පලූර සහ තම්බපණ්ණි දීපය එළි කළ (පැහැදවූ) තෙරණියන්ද තම්බපණ්ණිකයන් ද මෙම ස්ථානයට පැමිණ ඇත. තම්බපණ්ණි දීපය හෙවක් ශ‍්‍රී ලංකාද්වීපය බැබළ වූ තෙරණිය සමඟ පැමිණි අනික් තම්බපණ්ණි වාසීන් නම් වශයෙන් මෙම ලිපියේ තවදුරටත් සඳහන් කර ඇත. බෝධිසිරි නමැති උපාසිකාවක විසින් තාම‍්‍රපර්ණද්වීපයෙන් පැමිණී භික්ෂුන්ට විසීම සඳහා නාගාර්ජුන කොණ්ඩයෙහි වේතියඝරයක් ඉදිකරන ලද බව ද දැක්වේ.
 
 තිබ්බත දේශයේ ධර්ම ප‍්‍රචාරක කටයුතු සඳහා ද ශ‍්‍රී ලාංකිත හික්ෂුණිහු සම්බන්ධ වී ඇත. තිබ්බතයේ බුද්ධාගම පැතිරවීමෙහි නියුත්ත වූ චන්ද්‍රමාලි නමැති භික්ෂුණියක පිළිබඳ තොරතුරු තිබ්බත සහ මොංගෝලියානු මූලාශ‍්‍ර ආශ‍්‍රයෙන් මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන මහතා දක්වා ඇත.
 
 උපස්ථායිකා සේවාව
 
 ගිලනුන්ට උපස්ථාන කිරීම අතීත ශ‍්‍රී ලාංකික භික්ෂූ භික්ෂූණීන් විසින් සිදුකරන ලද සුවිශේෂිත කාර්යයකි. දිවයිනේ විහාරාරාම ආශ‍්‍රිත ඉදිවූ ආරෝග්‍යශාලා පිළිබඳ බොහෝ තොරතුරු හමුවේ. මෙම ආරෝග්‍යශාලාවල උපස්ථායිකාවන් ලෙස කාන්තාවන් කටයුතු කොට ඇත. බුද්ධදාස (ක‍්‍රි. ව. 337 - 365) සහ පළමුවන උපතිස්ස (365 - 406) රජවරුන් විසින් ඉදිකරවන ලද ආරෝග්‍යශාලා සහ මාතෘදාරතා නිවාසවල සාත්තු සේවිකාවන් ලෙස විශේෂයෙන්ම භික්ෂූණීන් සේවයේ යෙදී සිට ඇත. ගිලනුන්ට උපස්ථාන කිරීමේ දී භික්ෂුණීන්ට විශේෂ තැනක් හිමි තිබේ, කුකුරුමහදමන ටැම් ලිපිය මීට වැදගත් නිදසුන් සපයයි. මහින්දාරාම නමැති මෙහෙණවරක් අසල පිහිටි වෛදහයක් ගැන තොරතුරු මෙම ලිපියේ සඳහන් වේ. එසේම හතරවන මිහිඳු රජු (956 - 972) මවුවරුන් නැති අසරණ දරුවන් සඳහා මෙහෙණවරක් අසල වෙදහලක් සහ මුළුතැන් ගෙයක් ඉදිකළ බවට සෙල්ලිපි සාක්ෂි ඇත. ‘‘සුරීමාලා මහපෙළේ කරා සැළින් මෙහෙණි මහපෙළ කරා නිමව ගිලන් පුනක්හු දුව. මා මුළිතැන් වෙදහල් කරා’’ යනුවෙන් මෙම ඒ පිළිබඳ තොරතුරු දැක්වේ.
 
 එසේම සිඛවළඳ විනිස සඳහන් වන අන්දමට විහාරවල සහ මෙහෙණවරවල සිටි ගිලනුන්ට උපස්ථාන කිරීම සඳහා පිඬු සිඟා යෑමට ද හික්ෂු හික්ෂුණීන්ට අවසර තිබුණී. බික් සඟුන් වහල් කොටැ වෙහෙර ගිිලන්වැ වසන්නාහටදු බනාදී ඉල්වනු නිසා.. සතී කරුණෙන් යුත් වටී.. යනුවෙන් ඒ පිළිබඳ තොරතුරු සඳහන් ව ඇත.
 
 මෙලෙස සංඝමිත්තා තෙරණියගේ මූලිකත්වයෙන් මෙරට ස්ථාපිත කරන ලද භික්ෂූණී පරම්පරාව දිවයිනේ බෞද්ධ සභ්‍යත්වයේ උන්නතිය උදෙසා අනගි මෙහෙවරක් ඉටු කරන ලද පිරිසක් බවට බොහෝ සාක්ෂි හමුවේ. නමුත් මේ තොරතුරු කිසිවක් දිවයිනේ ප‍්‍රධාන සාහිත්‍ය මූලාශ‍්‍රවල සඳහන් නොවේ. කාලයේ වැලිතලාවෙන් වැසී ගිය මෙරට භික්ෂූණී ශාසනයේ ඉතිහාසය පිළිබඳ තවත් මෙවැනි බොහෝ දෑ හඳුනා ගැනීමට අප විසින් උත්සාහ දැරිය යුතුව ඇත.

 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles