Divaina - ආර්ථික වැල්ල හෝදන් යන කොරෝනා දෙවැනි රැල්ල

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 ශ්‍යාම් නුවන් ගනේවත්ත
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 eco700new
කොරෝනා පළමු රැල්ල අවස්ථාවේ දී නම් ජනතාව ගැන බලන්න බොහෝ පිරිස් සිටියේය. පසුගිය මහ මැතිවරණයට පෙර නිසා දේශපාලනඥයින් ද විපතට පත් ජනයා ගැන බොහෝ උනන්දු විය. ඔවුන් ගැන හරි හරියට සොයා බැලූවේය. භාණ්ඩ මලූ බෙදුවේය. එහෙත් දැන් මැතිවරණය අවසන්ය. ඒ නිසා විපතට පත් ජනයා ගැන තිබූ කැක්කුම දැන් ඒ සැටියෙන් දකින්නට නැත. මේ ඇතැමුන් දැන් මැති ඇමැතිවරුය. දැන් ඔවුන්ට බොහෝ වැඩය. රාජකාරී වගකීම් බහුලය. එහෙත් දැන් නරක අතට හැරී ඇති කොරෝනා වසංගතය පාලනය කර ගැනීම ඔය සියලූ වගකීමකටම වඩා අංක එකට පත්ව තිබේ. එය හරි හැටි කරගැනීමට අප අසමත් වුවහොත් අනිත් සියලූ දේ එතරම් ප‍්‍රතිඵලදායි නොවනු ඇත. කොරෝනා දෙවැනි රැුල්ල හමුවේ බලධාරීන් කොවිඞ් - 19 වසංගතය සමාජගත වී නොමැති බව කීමට බොහෝ කරුණු දිනපතාම ගෙන හැර පාමින් සිටියදී රටේ සෑම දිස්ත‍්‍රික්කයකින්ම පාහේ ආසාදිතයින් වාර්තා වී තිබේ. බලධාරීන් සමාජගත වී නැතැයි කීවත් ඇත්ත කතාව නම් සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් තිබීමයි. දිනපතාම රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් තිබේ. මේ නිසා කොවිඞ් - 19 අප අසලටම පැමිණ තිබේ. ආසාදිතයකු නොවී බේරී සිටීම විශාල අභියෝගයක් බවට පත්ව තිබේ. නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ පොලිස් බල ප‍්‍රදේශ ප‍්‍රමාණය ද ක‍්‍රමයෙන් ඉහළ ගොස් ඇත. රෝහල්වල ධාරිතාව ද සීමා වෙමින් තිබේ. මේවා ඇත්තවශයෙන්ම ඔබට අමුතුවෙන් කිව යුතු දේවල් නොවේ. දිනපතාම පාහේ මාධ්‍ය හරහා වාර්තා වන දේ අනුව තත්ත්වය ඉතා අවදානම් බවට පත්ව ඇති බව රහසක් නොවේ. ඒ නිසාම මුලින් අපේක්ෂා කළාට වඩා වැඩි ආර්ථික විපතකට රටට මුහුණ දීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බව ද කිව යුතුය.
 
 eco222කොරෝනා පළමු රැල්ල හමුවේ පවා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කළ පරිදි අපේ ආර්ථිකය සෘණ තත්ත්වයට පත් විය. එනම් මේ වසරේ (2020* පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට සෘණ 1.6 ක් ලෙස වාර්තා විය. මෙහි විශේෂත්වය නම් අප රටේ පළමු කොරෝනා රැුල්ලේ බලපෑම් සිදු වූයේ මාර්තු මාසයේ අග දින කිහිපයකට පමණක් වූවත් ආර්ථික වර්ධනය සෘණ 1.6 ක් තරම් පහතට ඇද වැටීමයි. ඊට පෙර සිටම වෙන රටවල කොරෝනා වසංගත තත්ත්වය ව්‍යාප්ත වූ නිසා අපේ රටේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට පෙර සිටම අපේ ආර්ථිකයේ විදේශීය අංශයට අහිතකර බලපෑම් ඇති වූ බව ඇත්තය. එහෙත් සෘණ 1.6 ක් තරම් ආර්ථික සංකෝචනයක් සිදු වනු ඇතැයි කිසි විටෙක අපේක්ෂා නොකෙරිණි. මහ බැංකුව පවා එවන් තත්ත්වයක් අපේක්ෂා නොකළේය. එසේ නම් කොරෝනා පළමු රැුල්ලේ වැඩිම බලපෑමට ලක් වූ 2020 දෙවන කාර්තුවේ දී ආර්ථික වර්ධනය කවර තත්ත්වයට පත් වනු ඇති ද? නිසැක වශයෙන්ම සැලකිය යුතු සෘණ අගයක් වාර්තා කරනු ඇත. එහෙත් කනගාටුවට කරුණ නම් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිත දත්ත නිකුත් කිරීම මේ වසරේ දෙසැම්බර් 15 දක්වා කල් දමා තිබීමයි. පළමු හා දෙවැනි කාර්තු දෙකේ තත්ත්වය එසේ වුවත්, මේ පළමු කොරෝනා රැුල්ල සාර්ථකව පාලනය කරගෙන සමාජ පැතිරීමක් නොමැති තත්ත්වයට පත්කර ගැනීමට රජය සමත් විය. මේ නිසාම අපේ ආර්ථික කටයුතු ක‍්‍රමයෙන් පණ ගැන්වෙමින් ද තිබුණි. බොහෝ විට මහ බැංකුව පවා ප‍්‍රකාශ කළේ අපේ ආර්ථිකය පූර්ව කොවිඞ් තත්ත්වයට ආසන්න තත්ත්වයට පත්ව ඇති බවයි. එහෙත් රටේ අවාසනාවට මේ දෙවැනි කොරෝනා රැුල්ල ආරම්භ වූයේ මෙසේ ආර්ථිකය ක‍්‍රමයෙන් පණ ගැන්වෙමින් තිබියදීය. මේ නිසා පළමු කොරෝනා රැුල්ලේ අහිතකර ආර්ථික බලපෑම්වලින් මිදෙමින් ක‍්‍රමයෙන් පණ ගැන්වෙමින් තිබූ ආර්ථික කටයුතු යළි අඩපණ වෙමින් ආර්ථිකය පණ ගැන්වෙමින් තිබූ ක‍්‍රියාවලියට බලවත් බාධාවක් ඇතිව තිබේ. මේ නිසා කොරෝනා පළමු රැුල්ල නිසා අප මුහුණ දී සිටි ආර්ථික විපත තවත් උග‍්‍ර කිරීමට කොරෝනා දෙවැනි රැුල්ල හේතු වී තිබේ.
 
 මෙය ගෝලීය වසංගතයකි. මේ වසංගතයට වගකිව යුත්තේ රජය, පසුගිය රජය හෝ විපක්ෂය නොවේ. ඒ නිසා මෙය දේශපාලන පක්ෂ, පාට කණ්ණාඩිවලින් බැහැරව අප සියලූ දෙනා එක් වී මුහුණ දිය යුතු ජාතික විපත්තියකි. එහෙත් මේ වසංගතය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමේ අසමත්කමක් තිබේ නම් එයට පාලකයන්ගේ වගකීමක් තිබේ. මේ අඩුපාඩුව අපට පෙනෙන්නට තිබේ. එසේම ගෝලීය වසංගතයක් නිසා මෙය ජාතික විපතක් පමණක් නොව ලෝකයම මුහුණ දෙන බලවත් විපතකි. මේ නිසා ලෝකය මේ සඳහා සාර්ථක බෙහෙතක් සොයා ගන්නා තුරු රටක් වශයෙන් මෙන්ම ලෝකයේ සියලූ රටවල් ද මේ විපතින් මිදීමට එක්ව සාමූහිකව ද ප‍්‍රයත්න දැරිය යුතු වේ. එහෙත් මෙය ගෝලීය වසංගතයක් වුවත් මේ වසංගතය එක් එක් රටවල ව්‍යාප්ත වීමේ ප‍්‍රමාණය හා ස්වභාවය එක සමාන නොවේ. විවිධ රටවල් මේ වසංගත තත්ත්වය තම රටේ ව්‍යාප්ත වීම පාලනය කරගෙන එහි බලපෑම් අවම කර ගැනීමට විවිධ පියවර අනුගමනය කරමින් සිටී. ඒවායේ සාර්ථකත්වය මත ඒ ඒ රටවලට සහ එම රටවල ජනයාට මුහුණ දීමට සිදුවන ආර්ථික හා සමාජ බලපෑම් විවිධ වේ. උදාහරණයක් ලෙස මේ දෙවැනි කොරෝනා රැුල්ල ඇති නොවන පරිදි අපට කටයුතු කිරීමට හැකි වූවා නම් (විටින් විට ආසාදිතයන් වාර්තා වීම වෙනම දෙයකි* අද රටත් ජනයාත් මුහුණ දී සිටින භයංකර තත්ත්වය ඇති නොවන්නට ඉඩ තිබුණි. කෙසේ හෝ දැන් අප ඉතාම අවදානම් තත්ත්වයකට මුහුණ දී සිටින අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා තිබුණේ මෙම වසංගතයේ සමාජ ව්‍යාප්තියක් අභියසට අප පැමිණ සිටින බවයි. මේ නිසා අප නම් සිතන්නේ තරගය නිමා වීමට පෙර ජය සමරන කතා නොකියා, රජය කොරෝනා වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් අධිතක්සේරුවකින් කටයුතු නොකර නිසි පෙර සූදානමකින් දිගටම කටයුතු කළ යුතු බවයි. මෙසේ රජයේ ඇත්තන් කොරෝනා පාලනය කිරීමේ ජයග‍්‍රාහී කතා කියමින් සිටින අතරේ බොහෝ ජනතාව ද කොරෝනා පළමු රැුල්ල පාලනය වීමෙන් පසු මෙහි අනාගත අවදානමක් ගැන නොතකා ඉතා සැහැල්ලූවෙන් කටයුතු කරන්නට විය. අඩු තරමේ පොදු ප‍්‍රවාහන බස් රථවල හෝ දුම්රියේ පවා මුහුණු ආවරණයවත් නොපැළඳ බොහෝ දෙනෙක් ගමන් කරන තත්ත්වයක් උදා විය. අත් සේදීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත පුරුදු ද අමතක කර දමා තිබිණි. මේ සියල්ලේ විපාක අද අප අත් විඳිමින් සිටිමු. ඇතැම් විට අපට කොරෝනා පළමු රැුල්ලේ ආර්ථික විපාකවලට වැඩි ආර්ථික විපාකවලට මේ නිසා මුහුණ දීමට සිදු විය හැකි අතර මෙයට රජයට ද වගකීමක් ඇති බව අපගේ අදහසයි.
 
 බ‍්‍රැන්ඩික්ස් කොවිඞ් -19 වසංගත පොකුර සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අවධානය යොමුව
 
 තිබෙන අතර නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මාධ්‍යයට පැවසුවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර මූලික ප‍්‍රගති වාර්තාවක් සති දෙකක් ඇතුළත නීතිපතිවරයාට ඉදිරිපත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් බවය. ඒ සම්බන්ධයෙන් ඇය මාධ්‍යයට මෙසේ ද පවසා තිබුණි.
 
 ”බ‍්‍රැන්ඩික්ස් කොවිඞ් -19 වසංගත පොකුර නිසා මිනිස් ජීවිතයට සිදුවී ඇති අන්තරාදායක තත්ත්වය සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගේ අවධානය යොමු වුණා. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති නීති කොට්ඨාසය අජිත් රෝහණ සමග ගරු නීතිපතිතුමා විසින් සම්මුඛ සාකච්ඡුාවක් පැවැත්වූවා. බ‍්‍රැන්ඩික්ස් කොවිඞ් -19 වසංගත තත්ත්වය පැතිරයෑමට එම ආයතනය පාලකයින්ගේ නියෝජිතයින්ගේ සෘජු නොසැලකිල්ල හෝ අපරික්ෂාකාරීත්වය හෝ රජයේ නිලධාරියකුගේ හෝ නිලධාරීන්ගේ නොසැලකිල්ල හෝ අපරික්ෂාකාරීත්වය කවර ආකාරයකින් දායක වී ඇත්තේ දැයි යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවට ගරු නීතිපතිතුමා විසින් උපදෙස් ලබාදීමක් සිදුකළා. එසේම අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 393 (2* වගන්තිය ප‍්‍රකාරව ගරු නීතිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙසට උපදෙස් ලබාදුන්නා. දණ්ඩ නීති සංග‍්‍රහයේ වරදවල් හෝ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත යටතේ වරදවල් අනාවරණය වන්නේද යන්න සොයා බලා වාර්තා කරන ලෙසටත් දැන්නුවා.’
 
 මේ සම්බන්ධයෙන් මූලික ප‍්‍රගති වාර්තාවක් නොවැම්බර් මස 13 වන දිනට පෙර නීතිපතිවරයාට ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් උපදෙස් දී තිබේ.
 
 මේ අතර කොවිඞ්-19 වෛරසය නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී පසුගිය අවස්ථාවේ මෙන්ම අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා (27* අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡුාවකට එක්වෙමින් පවසා තිබුණි. බැ?රුම් තත්ත්වයකදී වුවද විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, ප‍්‍රවාහනය, සෞඛ්‍ය, මහාමාර්ග ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබාදීම සඳහා නිසි ක‍්‍රමවේදයක් සකස් කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින්ට උපදෙස් ලබා දීමක් ද සිදු කර තිබිණි. සමාජ මාධ්‍ය මඟින් සිදුකෙරෙන ප‍්‍රචාර සම්බන්ධයෙන් ද බැසිල් රාජපක්ෂ මහතා අදහස් දක්වා තිබුණි. ඒ අනුව ඔහු කියා තිබුණේ ඇතැම් බලවත් රටවල ලක්ෂ ගණනින් ආසාදිතයින් හමුවන, දහස් ගණනින් මිය යන අවස්ථාවක මෙරට සෞඛ්‍ය අංශ, ආරක්ෂක හා පරිපාලන අංශ කොවිඞ් -19 වෛරසය පාලනය සඳහා සිදුකරන කාර්යභාරය රටක් වශයෙන් අගය කළ යුතු බවයි. රජය කරන සියලූ හොඳ දේ අපි අගය කරමු. එහෙත් එම බලවත් රටවල් මෙන් ආර්ථික ශක්තියක් හෝ එවන් තත්ත්වයකට මුහුණ දීමේ හැකියාවක් අපට නැත. අපට තිබෙන හොඳම විකල්පය වන්නේ මේ වෛරසය ව්‍යාප්ත වීම හැකිතාක් දුරට පාලනය කරගනිමින් ආර්ථික කටයුතු පණ ගන්වා ගැනීමට ක‍්‍රියා කිරීමයි. මේ නිසා රජය පැත්තෙන් කිසිදු අඩුපාඩුවක් නැතැයි සහ රජය ගන්නා සියලූ ක‍්‍රියාමාර්ග හා තීන්දු තීරණ නිවැරදිය කියා සිතන මානසිකත්වයෙන් කටයුතු කිරීම සුදුසු නොවේ. දැනටමත් ඇඳිරි නීතිය පනවා ඇති ප‍්‍රදේශවල මෙන්ම අනෙක් ප‍්‍රදේශවල පවා බොහෝ ජනයා පීඩාවට පත්ව ඇත. එදිනෙදා ආදායම් උපයමින් ජීවත් වන ජනයා අන්ත අසරණ තත්ත්වයට පත්ව තිබේ. මේ නිසා රජය මේ තත්ත්වය ගැන වහාම අවධානය යොමු කළ යුතුව තිබේ. ඉහත කී සාකච්ඡුාවේදී බැසිල් රාජපක්ෂ මහතා මහජන ආධාර, විශ‍්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිසාපතිවරුන්ට හා තැපැල්පතිට උපදෙස් ලබා දී ඇති අතර නිවෙස්වලම නිරෝධායනයට යොමු කරන පවුල් සඳහා සති දෙකකට සරිලන බඩුමල්ලක් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡුා වී ඇත. ණය වාරික සඳහා සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡුාවේ දී අවධානය යොමු වී ඇත. එසේම සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසා දැමුණු ප‍්‍රදේශ සඳහා රු.පන්දහසක මුදල ලබාදීමට තීරණය කර ඇති බවද සඳහන් කෙරුණි.
 
 කොළඹ නගරය තුළ කොවිඞ් ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් එම තත්ත්වය පාලනය කිරීමට කොළඹට පැමිණෙන පිරිස පාලනය කිරීම සිදු කළ යුතු බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ඒ සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කර, ප‍්‍රාදේශීය මට්ටමෙන් රජයේ කාර්යාල පවත්වාගෙන යෑමේ ක‍්‍රමවේදයක් සකස් කළ යුතු බව මෙහි දී සාකච්ඡුාවට ගැනුණි. තවද පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මගී ප‍්‍රවාහනය සිදු කරන බව මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දුන් අතර ජනතාව කොළඹ නගරයට පැමිණීම පෙරට සාපේක්ෂව විශාල වශයෙන් අඩු වී ඇති බවත් උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් සිසුන්ගේ පහසුව සඳහා ගමන් වාර සීමිත කිරීම අවම වශයෙන් සිදු කර ඇති බවද ඔවුන් සඳහන් කළේය. මේ පියවර ඉතා හොඳය. එහෙත් කොරෝනා පැතිරීම පාලනය වූ පසු මේ සියල්ල අමතක කර කලින් වතාවේ මෙන් සැහැල්ලූවෙන් සහ අනාරක්ෂිතව කටයුතු නොකිරීමට වගබලා ගත යුතු වේ. මෙම හමුවට සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සහ මුදල් හා ප‍්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරිහු සහභාගි වී සිටියහ. අඩුපාඩු තිබුණත් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සහ එහි ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් දරන කැපවීම ද අප අගය කළ යුතුය. එසේම ඔය ක‍්‍රියාත්මක කරන දේ හරියට සිදු වන්නේ දැයි නිරන්තරන් පසු විපරම් කරන ලෙස ද දකින අඩුපාඩු නිවැරදි කරගනිමින් කටයුතු කරන ලෙස ද විපතට පත් ජනයා වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතාගෙන් සහ රජයේ අනෙකුත් සියලූ බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටිමු.
 
 මෙසේ කොරෝනා දෙවන රැුල්ල පැතිරීමත් සමග ව්‍යාපාර කටයුතු අඩපණ වීමට පටන් ගෙන ඇති බවත් ඒ හේතුවෙන් තමන්ට නැවතත් බැංකු ණය ගෙවා ගැනීමට දුෂ්කර තත්ත්වයක් උදා වී ඇති බවත් බැංකු ණය ගැනුම්කරුවෝ කියා සිටිති. ව්‍යාපාරිකයන් මෙන්ම එදිනෙදා ආදායම් උපයන සහ වැටුප් අඩුවෙන් හා දීමනා අඩුවෙන් ලබන බැංකු ණය ගැණුම්කරුවන් මින් වඩාත් දුෂ්කරතාවට පත්ව සිටිති. මේ නිසා බැංකුවලින් ලබා දෙන ණය සහන කාලය තවදුරටත් දික්කර සහන සලසන ලෙස ඔවුහු රජයෙන් විශේෂයෙන් ඉල්ලා සිටිති. කොරෝනා රෝගීන් රටපුරාම වාර්තා වීම නිසා, දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප‍්‍රදේශවලට අමතරව අනිත් ප‍්‍රදේශවල ද ව්‍යාපාර හා වෙළෙඳ කටයුතු අඩපණ වෙමින් පවතින බව ද ඔවුහු කියා සිටින කරුණකි. මේ ලිපිය ලියමින් සිටින විට වාර්තා වූ පරිදි අද (29* මධ්‍යම රාත‍්‍රියේ සිට සඳුදා (02* උදේ 5.00 දක්වා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. මේ අනුව තත්ත්වය මුලින් සිතුවාට වඩා අයහපත් බව පෙනේ. මේ නිසා එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නවා හැරෙන්නට අනෙකුත් වෙළෙඳාම අඩු වී තම එදිනෙදා ආදායම් අහිමි වී ඇති බව ද සමස්ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ නියෝජිතයෙක් මේ ලියුම්කරුට කීවේය. මේ නිසා කලින් සහන දුන් ණය වාරික සඳහා පරණ ණයවලට අමතරව අලූතින් ණය වාරික පියවීමට සිදු වී ඇති නිසා කලින් අවස්ථාවට වඩා තම වෙළෙඳ ප‍්‍රජාව මෙවර වඩාත් දුෂ්කර තත්ත්වයට පත් වී ඇති බව ද මේ ගැන වහාම අවධානය යොමු කර සහන සලසන ලෙස ද ඔවුහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති. සහන සලසන ණය වාරික ප‍්‍රමාණය අදාළ ණය මුදලේ අගට එකතු කරන ලෙස ද එසේ වුවහොත් අදාළ සහන කාලයෙන් පසුව තමන් දුෂ්කර තත්ත්වයට පත්වීම වළකින බව ද ඔවුහු තවදුරටත් සඳහන් කරති.


kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles