Divaina - කොරෝනා දෙවන රැල්ලෙන් ආර්ථිකය තවත් යට යයිද?

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

fea8 1මේ වසරේ (2020) මාර්තු මාසයේ අග භාගයේ සිට මෙරට ආරම්භ වූ කොවිඞ් - 19 වසංගතයේ පළමු රැුල්ල ඇතැම් අඩුපාඩු මධ්‍යයේ වුවත් සෑහෙන දුරකට පාලනය කර ගැනීමට අප සමත්ව විය. ඒ අනුව රජයේ අය මෙන්ම සෞඛ්‍ය අංශ සඳහන් කළේ කොවිඞ් - 19 වසංගතයේ සමාජ පැතිරීමක් නොමැති බවයි. මේ බව සෞඛ්‍ය ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ද ඒ දිනවල ප‍්‍රසිද්ධියේ කී බව අපට මතකය. ඒ අවස්ථාවේ එය සත්‍යයක් විය හැකි වුවත් එහි අදහස වන්නේ ඊට පසුව මෙහි සමාජ පැතිරීමක් වීමට කිසිදු ඉඩක් නොමැති බව නොවේ. ලෝකයෙන් මේ වෛරසය තුරන් වී නැත. එසේම අපේ ගුවන් තොටුපොළ වසා තිබුණත් විටින් විට අපේ විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් ගුවන් යානා මගින් මෙරටට ගෙන්වා ගන්නා නිසා මේ වෛරසය අප රට තුළට පැමිණේ. මේ නිසා කෙතරම් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කළත් මේ වෛරසය කිසියම් අතපසු වීමකින් හෝ සමාජගත වීමට ඉඩකඩක් නැතුවා නොවේ. වරද කාගේ වුවත් මේ වන විට එය සිදුව තිබේ. දැන් අප කොරෝනා දෙවන රැුල්ලක් ගැන කතා කරන්නේ ඒ නිසාය. මිනුවන්ගොඩ ඇඟලූම් කම්හලේ කොවිඞ් පොකුර නිසා වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇති අතර එය තවදුරටත් සිදුවෙමින් ද තිබේ. ඒ නිසා අප නම් සිතන්නේ මෙයට සාර්ථක ප‍්‍රතිකාරයක් හෝ එන්නතක් ලෝකය සොයා ගන්නා තුරුම මේ අවදානම දිගටම පවතින බවයි. එනම් කිසියම් අවස්ථාවක සමාජ පැතිරීමක් නොමැති තත්ත්වයකට මේ වසංගත තත්ත්වය අප හෝ ලෝකයේ ඕනෑම රටක් පාලනය කර ගත්තද ඉදිරියේ දී යළි සමාජයෙන් කොරෝනා රෝගීන්

හමු නොවන බවට කිසිදු සහතිකයක් දිය නොහැකිය. මේ නිසා කිසියම් අවස්ථාවක කෙතරම් හොඳට මේ වසංගත තත්ත්වය පාලනය කර ගනු ලැබුවද එය අදාළ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් වලට අනුගත නොවී සැහැල්ලූවෙන් කටයුතු කිරීම අනාගතය අවදානමට පත් කර ගැනීමකි. ඒ අවදානමට අප දැන් මුහුණ දී සිටින අතර මේ නිසා කොරෝනා ආර්ථික විපත තවත් උග‍්‍ර වී මේ වසරේ (2020) අපේ ආර්ථිකය සංකෝචනය වන ලකුණු පහළ වී තිබේ.

2019 වසරේ අපේ‍්‍රල් මාසයේ නිකුත් වූ 2018 වර්ෂය සඳහා වූ මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් වූයේ මේ වසරේ (2020) දී ශ‍්‍රී ලංකා ආර්ථිකය සියයට 4.5 කින් වර්ධනය වනු ඇති බවයි. එහෙත් මහ බැංකුව මේ වසරේ (2020) අපේ‍්‍රල් මාසයේ නිකුත් කළ 2019 වර්ෂය සඳහා වන මහ බැංකු වාර්තාවෙන් පුරෝකථනය කර තිබුණේ මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 1.5 දක්වා අඩු වනු ඇති බවයි. ඒ පළමු කොරෝනා රැුල්ලේ ආර්ථික බලපෑම් ද සලකමිණි. එහෙත් ඒ අවස්ථාවේදී පවා අපගේ තක්සේරුව වූයේ කොවිඞ් -19 වසංගත තත්ත්වය හමුවේ සියයට 1.5 ක ආර්ථික වර්ධන අගයකට ගමන් කිරීමට අපහසු වනු ඇති බවයි. මේ වසරේ පළමු කාර්තුවට කොරෝනා වසංගතයේ බලපෑම තිබුණේ අවම වශයෙනි. වැඩිම බලපෑම ඇති වූයේ දෙවන කාර්තුවටය. මේ අතර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ 2020 පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ සියයට 1.6 ක් ලෙස ඇස්තමේන්තු කර තිබිණි. එය තරමක් අනපේක්ෂිත අගයක් විය. ශ‍්‍රී ලංකා මහ බැංකුව ඒ වන විට 2020 දෙවන කාර්තුවේ ආර්ථික සංකෝචනයක් වාර්තා කරනු ඇතැයි පවසා තිබුණත් කිසිවිටෙකත් මේ වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ අගයක් වනු ඇති බව පවසා තිබුණේ නැත. එය මහ බැංකුව ද අපේක්ෂා නොකළ අගයක් විය. මෙසේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කළ පරිදි පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ සියයට 1.6 ක් නම් සහ කොරෝනා වැඩිම ආර්ථික බලපෑම සිදු වූයේ දෙවන කාර්තුවට නම් දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය සැලකිය යුතු සෘණ අගයක් ගනු ඇත. ඒ වන විට මේ මිනුවන්ගොඩ කොරෝනා දෙවන රැුල්ල ආරම්භ වී තිබුණේ ද නැත. එසේ නම් දැන් අපට ඇති වන ප‍්‍රශ්නය වන්නේ කොරෝනා දෙවන රැුල්ලේ බලපෑම් ද සමගින් සමස්ත 2020 වර්ෂයේ ආර්ථික වර්ධනයට කුමක් සිදු වේ ද යන්නයි. ඒ අනුව මේ ලියුම්කරුගේ තක්සේරුව වන්නේ අනිවාර්යෙන්ම මේ වසරේ (2020) සමස්ත ආර්ථික වර්ධනය සෘණ අගයක් ගනු ඇති බවයි. එයට හේතුව පළමු සහ දෙවන කාර්තු දෙකේම වාර්තා කරන සෘණ ආර්ථික වර්ධන අගය ඉක්මවා ගිය ධන ආර්ථික වර්ධනයක් මේ වසරේ දෙවන භාගයේ දී අත්පත් කර ගත හැකි යයි සිතීමට කිසිසේත්ම අපහසු වීමයි.

fea8 2මිනුවන්ගොඩ කොරෝනා පොකුර පටන් ගැනීමට පෙර මහ බැංකුව පැවැත් වූ පසුගිය මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේ සංචාරක කර්මාන්තය හැර අනෙකුත් බොහෝ අංශවලින් ආර්ථිකය පුර්ව කොවිඞ් තත්ත්වයට පත්ව තිබූ බවයි. මේ නිසා දෙවන කොරෝනා රැුල්ල ආරම්භ වූයේ මෙසේ අපේ ආර්ථිකය පළමු කොරෝනා රැුල්ලෙන් පසු ක‍්‍රමයෙන් පණ ගැන්වෙමින් තිබියදීය. එය ඉතා කනගාටුවට කරුණකි. මේ නිසා කව්රුන් නමුත් මිනුවන්ගොඩ කොරෝනා පොකුර ජනිත කිරීමට වගකිව යුත්තන් සිදු කර ඇත්තේ බලවත් හානියකි. මේ නිසා ගම්පහ දිස්ත‍්‍රික්කයට පමණක් නොව මුළුමහත් රටවැසියාටම පීඩා විඳින්නට සිදුව තිබේ. ඊට අමතරව කොරෝනා විපතින් යන්තම් ගොඩ එමින් තිබූ ආර්ථික ක‍්‍රියාවලියට බලවත් බාධා ජනිත කර තිබේ. එහෙත් මේ කොරෝනා පොකුර ජනිත කිරීමට වගකිව යුතු බලවතුන්ට පියවර ගැනීම කෙසේ වෙතත් අවසානයේ සිදු වන්නේ සාමාන්‍ය ජනයාට කොවිඞ් ආසාදිතයන් වීමට අමතරව ඔවුන්ට කොරෝනා පාලනය කිරීමේ දැඩි නීතිරීතිවලට ද යටත් වන්නටය. සියලූ දෙනාට නීතිය එක ලෙස ක‍්‍රියාත්මක වන්නේ නම් ගැටලූවක් නැත. නමුත් කනගාටුවට කරුණ වන්නේ එය එසේ සිදුවන බව පෙනෙන්නට නොතිබීමයි. මේ සම්බන්ධයෙන් නම් මහජන අප‍්‍රසාදයක් ගොඩ නැගෙමින් තිබේ. මෙසේ කොරෝනා විපතින් නැවත පණගැන්වෙමින් තිබූ ආර්ථිකය යළි ආපදාවට පත්ව තිබේ. මේ වසරේ සමස්ත ආර්ථික වර්ධනය සෘණ තත්ත්වයට පත්වනු ඇතැයි අප කියන්නේ මේ නිසාය.

මිනුවන්ගොඩ කොවිඞ් නයින්ටීන් පොකුරට පෙරේදා (20) දිනයේ දී ආසාදිතයින් 180 දෙනෙකු එක්වීමත් සමග සමස්ත ආසාදිතයින් ගණන 2,342ක් දක්වා ඉහළ ගියේය. අවසන් වරට හඳුනාගත් ආසාදිතයින් 120 දෙනා අතරින්, 37 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිට ඇති අතර සෙසු 83 දෙනා මිනුවන්ගොඩ ඇඟලූම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ ආශ‍්‍රිතයින් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණි. මීට අමතරව පෙරේදා දිනයේ දී විදේශ රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් හය දෙනෙකුට ද කොවිඞ්- 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. මේ අතර ඊයේ දිනයේ

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 46 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. පසුගියදා සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවලට අනුව මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත. මේ හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසල තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව ඊයේ දිනයේ මේ ලිපිය ලියමින් සිටින විට වාර්තා වූ පරිදි මෙරට සමස්ත කොවිඞ්-19 රෝගීන් සංඛ්‍යාව 5,811 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් රෝගීන් 3,457 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබිණි. මේ අනුව තත්ත්වය මුලින් සිතුවාට වඩා අහිතකර වී තිබේ. වැටී ඇති ආර්ථිකය යළි පණ ගන්වා ගැනීමට නම් මේ කොවිඞ් - 19 වෛරසය හැකිතාක් දුරට සමාජ පැතිරීමක් නොමැති තත්ත්වයට පාලනය කර ගැනීමට සිදු වේ. එහෙත් දැන් ඇත්ත කතාව නම් සමාජයෙන් ආසාදිතයින් හමු වෙමින් තිබෙන බවයි. ඒ සියලූ දෙනාගේ මුල මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ කර දැන් සමාජ පැතිරීමක් නැතැයි තාක්ෂණික නිර්වචන ඉදිරිපත් කිරීමෙන් තවදුරටත් ඵලක් තිබේ ද? දැන් අපට එහෙම කියා සතුටු විය හැකි ද? කොවිඞ් - 19 වෛරසය ශ‍්‍රී ලංකාවේ සමාජ ව්‍යාප්තිය අභියසට පැමිණ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ ද ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනතුරු අඟවා තිබිණි. ඔහු පැවසුවේ සමාජයෙන් ආසාදිතයින් හමුවෙන බැවින් එය බරපතළ තත්ත්වයක් බවය. එසේම ලංකාවේ දිස්ත‍්‍රික්ක 21කට වැඩි ගණනකින් ආසාදිතයින් හමුවන බැවින් උප පොකුරු ගණනාවක් රට පුරා නිර්මාණය වී ඇති බවද කීවේය. මේ නිසා කොරෝනා සාර්ථකව පාලනය කරගත්තා යයි කියමින් ජය සැමරුවා ඉක්මන් වැඩි බව සියලූ දෙනාට සිහිපත් කළ යුතුව තිබේ. කොරෝනා සමග අපට පමණක් නොව ලෝකයටම වසර කිහිපයක් ජීවත් වීමට සිදු වන පසුබිමක් තුළ තරගය නිමා වීමට පෙර ජය සැමරීම අනුවණ කමක් බව කිව යුතුව තිබේ.

මහ බැංකුව මුලින් කීවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන අගය ප‍්‍රකාශයට පත් කළ පසුව ඔවුන්ගේ සමස්ත ආර්ථික වර්ධන පුරෝකථන අගය ඔවුන් ප‍්‍රකාශ කරන බවයි. එහෙත් 2020 දෙවන කාර්තුවට අදාළ දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත නිකුත් කිරීම 2020 දෙසැම්බර් 15 දින දක්වා ප‍්‍රමාද කරනු ලබන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මේ නිසා මහ බැංකුවට එතෙක් තම සංශෝධිත ඇස්තමේන්තුව ප‍්‍රමාද කළ හැකියාවක් නැත. මහ බැංකුව ඒ ගැන තීරණයක් ගෙන ඔවුන්ගේ සංශෝධිත ඇස්තමේන්තුව අද දින ප‍්‍රකාශ කිරීමට යන්නේ මේ නිසා බවද දැන ගැනීමට තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙම දත්ත නිකුත් කිරීම ප‍්‍රමාද කිරීම ගැන පවසන්නේ 2020 තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු සමඟ ඉහත ඇස්තමේන්තු ද එදිනට එනම් දෙසැම්බර් 15 දින ප‍්‍රකාශයට පත් කරනු ලබන බවයි. මේ සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙසේ ද කියයි.

”2020 දෙවන කාර්තුව (අප‍්‍රියෙල් 1 සිට ජුනි 30 දක්වා) ශ‍්‍රී ලංකාවේ කොවිඞ් - 19 වසංගතය පැතිරීම හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් රට සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දමා තිබූ කාර්තුවයි. එම කාලය තුළ බොහෝ ආර්ථික ක‍්‍රියාකාරකම් අඩපණ වී ඇති බව පැහැදිලිය. වෙනත් ආර්ථික ක‍්‍රියාකාරකම් වෙනදාට වඩා වෙනස් ආකාරයකින් සිදු වූ අවස්ථා තිබේ. සමහර ආර්ථික ක‍්‍රියාකාරකම් කොවිඞ් -19 විසින් දිරිමත් කරන ලදී.”

”මෙම සන්දර්භය තුළ, ඇතැම් කර්මාන්ත හා සේවා ක‍්‍රියාකාරකම්වල නිමැවුම් වටිනාකම තක්සේරු කිරීමේ ක‍්‍රම ජාත්‍යන්තර උපදේශකයින් සමඟ සාකච්ඡුා කිරීම අත්‍යවශ්‍ය වේ. ඉහත සඳහන් ආර්ථික ක‍්‍රියාකාරකම් පිළිබඳ දත්ත වෙනත් ප‍්‍රභවයන්ගෙන් ලබා ගැනීමට ද තීරණය විය. 2020 තුන්වන කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු සමඟ ඉහත ඇස්තමේන්තු 2020.12.15 දින ප‍්‍රකාශයට පත් කිරීමට අපි තීරණය කර ඇති බව කාරුණිකව දන්වා සිටිමු.”

කවර හේතු දැක්වුවත් අප නම් සිතන්නේ මෙසේ දත්ත ප‍්‍රකාශයට පත් කිරීම ප‍්‍රමාද කිරීම සුදුසු නොවන බවයි. විශාල ආර්ථිකයක් වන චීනය පවා පසුගිය සඳුදා සිය තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධන දත්ත පවා නිකුත් කළේය. ඉතා කුඩා ආර්ථිකයක් වන අපට තුන්වන කාර්තුව නොව අඩු තරමේ දෙවන කාර්තුවේ අගයන් හෝ ඉදිරිපත් කිරීමට නොහැකි වීම මෙන්ම එය ජාත්‍යන්තර උපදේශකයින් සමඟ සාකච්ඡුා කිරීම අවශ්‍ය බවට කීම ද බලවත් අසමත්කමක් බව පෙනේ. අප නම් සිතන්නේ අඩු තරමේ දැනට තිබෙන ක‍්‍රමවේදය අනුව හෝ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිත ඇස්තමේන්තු ප‍්‍රකාශයට පත් කළ යුතුව තිබුණු බවයි. මේ තීරණ කාගේ ඒවාද යන්න අප නොදන්නා නමුත් මින් වත්මන් රජයට ද බලවත් අපවාදයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බව කිව හැකිය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම තීරණයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles