Divaina - අනුබුදු මිහිඳු හිමි පිරිනිවී වසර 2280 සපිරේ

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p9 1අනුබුදු මිහිඳු මහා හිමියන් සිහි කරන දින දෙකක් විශේෂයෙන් අපට සිහිපත් වේ. ඒ පොසොන් පෝය දිනය හා උන්වහන්සේ අපවත් වූ වප් මාසයේ අටවක පොහොය දිනයත්ය. ඇත්තෙන්ම මිහිඳු මා හිමියන් පිරිනිවන් පෑ දිනය රාජ්‍ය උත්සවයක් පැවැත්වේ. ඒ මිහින්තලා රජමහා විහාරයේය. හෙට එනම් ඔක්තෝබර් 23 වැනි දිනට මිහිඳු හිමියන් පිරිනිවන් පා වසර 2280 සපිරේ. ඇත්තෙන්ම අනුරාධපුර යුගයේ කිත්සිරි මෙවන් රජ සමයෙන් පසුව මිහිඳු මාහිමි පිරිනිවන් පෑම සිහිකිරීමක් සුවිශේෂ ලෙස සිදුකර නොමැත.
 
 අශෝක අධිරාජයාගේ අභිෂේකය සිදු වූයේ ක‍්‍රි.පූ. 268 දී ය. අභිෂේක වූ විගස විදිසාවේ සිටි මහින්ද කුමරු හා මිත්තා කුමරිය පාටලී පුත‍්‍රයට රැුගෙන ආ බව මහාවංසයේ සඳහන් වන අතර උන්වහන්සේගේ පාටලීපුත‍්‍රයට පැමිණෙන විට වයස අවුරුදු 14 ක් බව ද වංශකථාවේ සඳහන් ය. මිහිඳු කුමරු මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා මහාදේව මහරහතන් වහන්සේගේ ආචාර්යත්වයෙන් බුදු සසුනේ පැවිදි වන්නේ වයස අවුරුදු විස්ස සම්පූර්ණව සිටින විටය. මිහිඳු හිමියෝ පැවිදි වූ දිනයේ ම සියලූ කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත් වීමම උන් වහන්සේගේ මහා උත්තම ගුණය ප‍්‍රකට කරන්නකි. තෙවැනි ධර්ම සංගායනාවෙන් පසුව ලක්දිවට ධර්ම ප‍්‍රචාරණය භාර වූ මිහිඳු මාහිමියෝ මේ දූපතේ ඊට සුදුසු කාලය එළඹ ඇත්දැයි විමසා බැලූහ. නමුත් එවක ලංකාවේ සිංහාසනාරූඪව සිටියේ මුටසීව රජතුමාය. ඔහු මහලූ රජෙකි. එබැවින් මිහිඳු මාහිමියෝ එම කාලය ලංකාවේ සම්බුදු සසුන පිහිටුවීමට නුසුදුසු කාලයක් ලෙස සැලකූහ. මහලූ රජ කෙනෙකුගේ අනුග‍්‍රහය ලබමින් ලක්දිව සම්බුදු සසුන පිහිටුවීම අසීරු කරුණක් ලෙස කල්පනා කළ උන්වහන්සේ මුටසීව රජතුමාගේ ඇවෑමෙන් පුත් දේවානම්පියතිස්ස රාජාභිෂේකය ලබන තුරු බලා සිටියහ. මෙය මිහිඳු මා හිමියන්ගේ සමාජ විද්‍යාත්මක හා තර්කානුකූල ක‍්‍රියාවක් බව පැහැදිලිය. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේ විශිෂ්ට ධර්ම දූතයාණන් වහන්සේ නමක් පමණක් නොව සැලසුම් සහගත බවේ ප‍්‍රතිමූර්තියක් ලෙස හැඳින්විය හැක. උන්වහන්සේ තුළ පැවතියා වූ මෙම සැලසුම් සහගතභාවය ශ්‍රේෂ්ඨ ධර්මදූත මෙහෙවරට මහත් පිටිවහලක් වූ බව නිසැකය. මිහිඳු හිමියෝ ලංකාවට වැඩම කළේ ක‍්‍රි.පූ 250 දී ය. උන්වහන්සේ ලංකාවට වැඩම කරන විට වයස අවුරුදු 32කි.
 
 අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ‍්‍රී ලංකාවට වැඩම කරවීම එවකට භාරතයේ වැඩ සිටි ශාසන භාරධාරී යතිවරයාණන් වහන්සේලා සහ ධර්මාශෝක නරපතියන් විසින් ගන්නා ලද ඓතිහාසික තීන්දුවක ප‍්‍රතිඵලයකි. එසේම සිංහලයින් විසින් රාජ්‍ය ගෞරව සහිත ව උන්වහන්සේ ඉමහත් භක්තියෙන් පිළිගැනීම ද ඓතිහාසික හා දූරදර්ශී තීරණයකි. මිහිඳු මහරහතන් වහන්සේ මේ දිවයිනේ එතෙක් පැවති සංස්කෘතියට ආධ්‍යාත්මික ප‍්‍රවේශයක් ලබාදීමෙන් කරන ලද මහඟු මෙහෙවර අප විසින් අදටත් සමරනු ලබන්නේ ඉමහත් බැතියෙනි. එවකට තරුණ ජවයෙන් හා සුවිශද බුද්ධියකින් හෙබි දූරදර්ශී හා තේජෝබල සම්පන්න යතිවරයාණන් වහන්සේ නමක් වූ මිහිඳු හිමියෝ අටුවා සහිත ත‍්‍රිපිටකය ද මෙරටට රැුගෙන වැඩි බව ඓතිහාසික ලේඛනවල සඳහන් වේ. එහි අරමුණ වන්නේ සැබෑ නිර්මල බුදුදහම මෙහි ස්ථාපනය කිරීමටය. උන්වහන්සේ පූර්ව සැලසුම් සහිතව මෙරටට වැඩම කළ බව වටහාගත හැකි එක් ක‍්‍රමයක් වන්නේ උන්වහන්සේ විසින් කරන ලද දේශනාවන් විමසීම ය. එම දේශනාවන් අසා දින කිහිපයක් ඇතුළත මෙරට ජනයා හැට දහසක් පමණ බුදුදහම වැළඳගත් බව කියැවේ. මිහිඳු මාහිමියන්ගේ අභිප‍්‍රාය වූයේ ලාංකිකයින් ආගමට හරවා ගැනීම නොව තථාගත ධර්මයේ ආශ්වාදය පතුරුවා හැරීමයි. ඒ සඳහා දේවානම්පියතිස්ස රජතුමා මෙන්ම රජ පෙළපත හා බැඳුණු සෙසු ජනයාට බුද්ධ දේශනාව සම්බන්ධයෙන් බුද්ධිමය අවදියක් තිබිය යුතු බව උන්වහන්සේ මැනවින් දැන සිටියහ. ඓතිහාසික වාර්තා අනුව චුල්ලහත්ථිපදෝපම සූත‍්‍ර දේශනාව ඇසීමෙන් පසු දේවානම්පියතිස්ස රජ ඇතුළු රජ පවුලේ සියලූ දෙන තෙරුවන් සරණ ගිය බවත්, ඇතැම් අය සෝවාන් ඵලයට පවා පත් වූ බවත් සඳහන් වේ.
 
 මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩමවීමෙන් පසුව සිංහල දේශය ගොඩනැගීමට විවිධ මෙහෙයක් සිදු කළහ. ධර්ම දේශනාවකට පමණක් සීමා නොවූ උන්වහන්සේගේ දින චර්යාව විවිධ අංශයන් වෙත පැතුරුණු සේවයක් විය. සිංහල ලේඛනයේ ආරම්භය සිදු වූයේ උන්වහන්සේගේ ආගමනයෙන් අනතුරුව ය. මිහිඳු මහ රහතන් වහන්සේ වසර 48ක් නොකඩවා ලංකාවේ වැඩවාසය කර ඇත. එම කාලයෙන් ආරම්භක වර්ෂයේ දී අනුරාධපුරයේ මහා විහාරය මධ්‍යස්ථානය කොටගෙන ධර්මදූත කටයුතු කළ ආකාරය වංශකථාවල සඳහන් ය. දේවානම්පියතිස්ස රජුගෙන් පසුව රජ පැමිණි උත්තිය රජුගේ අටවැනි රාජ්‍ය වර්ෂයේදී මිහිඳු මහ රහතන් වහන්සේ අවුරුදු අසූවක් ආයු වළඳා පිරිනිවන් පෑ සේක. ඒ උපසම්පදාවෙන් හැටවන වසරේදීය. උන්වහන්සේ පිරිනිවන් පෑ දිනය අටවක් දා යැයි එදින සිට සම්මත විය. මහාවංසයෙහි විසිවැනි පරිච්ෙඡ්දයෙහි තිස්දෙවන ගාථාවෙහි සිට දැක්වෙන තොරතුරුවලට අනුව උන්වහන්සේගේ පිරිනිවන් පෑම අසා උත්තිය රජු ශෝකයෙන් පීඩිතව හඬමින් පැමිණ ශ‍්‍රී දේහය සමීපයට ගොස් වැන්දේය. දේහය අසල නැවතුණු රජු නොයෙක් අයුරින් බොහෝ සෙයින් වැළපුණේය. ඉන්පසු රජු උන්වහන්සේගේ ආදාහනය උපරිම ගෞරවයෙන් සිදු කිරීමට කටයුතු කළේ ය. අනුබුදු හිමියන්ගේ දේහය බොහෝ සුවඳ තෙල් පුරවන ලද රන් දෙනක මනාව තැන්පත් කරවීය. අනතුරුව මනාව වසන ලද එම දේහය අලංකාර වූ රන්කුළුගෙයක තබවන ලදී. පසුව එම කුළුගෙය රැුගෙන යහපත් රංගනයන් දක්වමින් උන්වහන්සේගේ දේහයට ගෞරවය දක්වන ලදී. එසේ සරහන ලද රන්කුළුගෙය නගරයට ගෙනවිත් රාජකීය වීදිවල හසුරුවා මහා විහාරයට රැුගෙන එන ලදී. අනතුරුව එහි තබවා සත්දිනක් උත්තිය රජු තොරන්, කොඩි, මල් හා සුවඳ පිරුණු කළවලින් විහාරයන් අවට තුන් යොදුනක් රජුගේ අණින් සරසන ලදී. රජු දින හතක් නොයෙක් ආකාරයෙන් පූජා පවත්වා තෙරුන්ගේ දේහය බඩමාළක නම් ස්ථානයෙහි සුවඳ දර සෑයක් කරවා මහාසෑය ප‍්‍රදක්ෂිනා කරමින් මනරම් කුළුගෙය එහි පමුණුවා, දර සෑයෙහි තබවා අවසන් ගෞරව සමාචාර සිදුකර තිබේ. අනුබුදු හිමියෝ පිරිනිවී ආදාහනය කිරීමෙන් අනතුරු ව භෂ්මාවශේෂ ගෙන ආදාහන කළ ස්ථානයේත් මිහින්තලයේත් ස්තුප ඉදි කළ බව වංශකථාවේ සඳහන් ය. තව ද රජගලින් හමු වූ ශිලා ලිපියක එහි ද මිහිඳු හිමියන් වෙනුවෙන් ස්තූපයක් කළ බව සඳහන් ය. මහාවංශයේ සඳහන් පරිදි උන්වහන්සේගේ භෂ්මාවශේෂ දිවයිනේ බොහෝ ආරාමවලට බෙදා හැර ඇත. රජගල විස්තරය අනුවත් මිහින්තලේ ස්තූපයක් ඉදි කිරීම අනුවත් දිවයිනේ බොහෝ ආරාමවලට භෂ්මාවශේෂ බෙදා හරින්නට ඇත්තේ උන්වහන්සේ ධර්ම දූත සේවයේ යෙදෙමින් වැඩවිසූ ආරාම වීමට බොහෝ දුරට ඉඩ ඇත.
 
 * චතුර පමුණුව
 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles