Divaina - මිනිස් ජීවිතය හා දුරස්ථභාවයේ නව මාවත...

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

wata1 1නිදහස මිනිසා ලද වරප‍්‍රසාදයකි. එහෙත් එහි සීමා මායිම් ඇති බව ඔහුට අමතකය. මුළු ලෝකයම අත්පත් කර ගැනීමට නොතිත් ආශාවෙන් හැල්මේ දුවන මිනිසා තම නිදහසේ සීමාවන් අතික‍්‍රමණය කරමින් ගහකොළ සතා සිවුපාවා පමණක් නොව, ඇළ දොළ ගංගාවලට අයත් පාරිසරික නිදහස පවා තම අණසක යටතට පවරා ගනී. ඔහුට වරදින්නේ එතැනදීය. අදෘශ්‍යමාන පාරිසරික හස්තය ඉන් කෝපයට පත්වන බව ඔහු නොදනී. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඇතිවන කොරෝනා වැනි වසංගත රෝග කාරකයන් මේ හිතුවක්කාර මිනිසා නිවස තුළම සිරකාරයෙක් බවට පත් කරන්නේ ඔහුට ද නොදැනුවත්වමය. එපමණක් ද නොව මුළු ලෝකයම සිර කූඩුවක් බවට පත් කිරීමට මේ අදෘශ්‍යමාන හස්තයට ගතවන්නේ දින කිහිපයක් පමණි. අධි පරිභෝජන රටාවකට හුරු වී සිටින මේ සිරගත මිනිසාට, ගේ දොර ඉඩකඩම් යානවාහන පමණක් නොව අධිසුඛෝපභෝගී භාණ්ඩ පවා උකස් හා ණය කන්දක් බව සිහිපත් වූ විට තරු පෙනුණි. මෙතුවක් කල් අධි පරිභෝජන රටාවේ වහලූන් වූවා මිස ඉන් එහා ජීවිතයක් අපට නොතිබුණා නොවෙදැයි තමාගෙන්ම ප‍්‍රශ්න කරන්නට වුණි. පසුගිය කාලයේ නිරන්තරයෙන් අධිවේගී ගමන් මඟ තරණය කළ මේ අධිවේගී මිනිසාට උදේ ආහාර කිස නිම කරන්නටවත් ඉස්පාසුවක් නොතිබුණි. තම හිම යානයෙන් පියාඹා ගියේ එක් අතකින් සුක්කානමත්, අනෙක් අතින් ක්ෂණික ආහාර ගුලි මුවට ඔබමිනි. නැතහොත් අජාණිය ස්කූටරයෙන් තම පියඹ සමඟ පියඹා යන විට ට‍්‍රැෆික් එකත් සැපතක් වී...දවසම යන්ත‍්‍රයක් වී ඇති බවක් පවා නොදැනුණි. කෙළවරක් නැති සිහින මාලිගා...සියල්ල ක්ෂණික...මේ අධිවේගි ජීවිතයට වෙලාවක් කලාවක් නොතිබුණි.
 
 සුන්දර සිහින නිවස ඉදිකරන්නට ගෙය වටා තිබූ පොල් ගස් පවා උදුරා දැමුවා නොවේද? දැන් ගෙය වටා වවා ඇති උසස් වර්ගයේ ඕකිඞ් හා ඇන්තූරියම් මිස අහරට ගත හැකි කිසිවක් නොමැත. අතමිට මුදල් ද නැත. ණය කන්දකි. මුදල් තිබුණත් ලෙඬේට බෙහෙත් නොමැත. මිදුලට බැසිය නොහැක. සුන්දර නිවස වටා මරණීය කොරෝනා වාහකයා සීරුවෙනි. දැන් මුළු ලෝකයම ලබා සිටිය ද ඉන් කුමන ඵලයක් ද?
 
 මෙවැනි මිනිස් සමාජයක් අතීතයෙහි ද පැවැති බවට විශ්ව සාහිත්‍ය සාක්ෂි දරයි. රුසියානු මහා ගත්කරු ලියෝ ටෝල්ටොයි, 1866 දී ලියා පළ කළ ඔහුගේ විශිෂ්ටතම නිර්මාණයක් වන ‘ඉවාන් ඉල්යීච්ගේ අභාවය’ නම් වූ කෙටිකතාවෙන් කියැවෙන්නේ ද මෙවැනි අධිවේගී මිනිසුන් සිටි සමාජයක් ගැනයි. එම කෙටිකතා මගින් වැඩිදුරටත් ප‍්‍රකාශ වන්නේ ද මෙවැනිම අධිවේගී මිනිසුන් ජීවත් වු සමාජයක පැවැති තරගකාරී ජීවිත පැවැත්ම හා ඔවුනට හිමි වූ අවාසනාවන්ත ඉරණම පිළිබඳවයි. එබැවින් විශ්ව සාහිත්‍යයේ එන මේ විශිෂ්ට කෙටිකතාව නැවත කියැවීම මේ කොරෝනා වසංගත සමයේ අපගේ ජීවිත නැවත කියැවීමක් බඳුය.
 
 කෙටිකතාවේ පළමු පරිච්ෙඡ්දයෙන් විස්තර වන්නේ එකල අධිකරණ නිලධාරීන් යුක්තිය පසිඳලීම පසෙක තබා තම මීළඟ උසස් වීම ලබාගැනීම උදෙසා ඔවුනොවුන් අතර පවතින තරගයයි. නීති මණ්ඩලයේ සමාජිකයකුව සිටි ඉවාන් ඉල්යීච් අභාවයට පත් වීම පිළිබඳ පුවත සැලවූ විගස සිය සඟයාගේ වෙන්වීම ගැන සංවේගය පළ කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන නමුදු, එහිදී ඔවුන් අතර වැඩිදුරටත් සාකච්ඡුාවට බඳුන් වන්නේ ඔහු නිසා ඇති වන පුරප්පාඩුව හා ඊට මීළඟ සුදුස්සා තමන් අතුරින් කවුරුන් ද යන කාරණ යයි.
 
 මධ්‍යම පාන්තික පවුලක උපන් ඉවාන් ඉල්යීච් නමැති මෙහි කථානායකයා, කුඩා කල සිටම ඉගෙනීමෙහි දක්ෂ නුවණැති ප‍්‍රිය උපදවන අචාරශීලී කෙනෙක් විය. මූලික අධ්‍යාපනයෙන් පසු නීති විද්‍යාලයට පිවිස නීතිය හදාරා අවසන් කළ ඔහුට එකල රජයේ උසස් නිලයක් දැරූ සිය පියාගේ මැදහත්කමෙන් ආණ්ඩුකාරයාගේ විශේෂ නිලධාරියකු වශයෙන් ඈත පළාතකට පත්වීමක් ලැබුණි. තම යෞවනත්වය සැහැල්ලූව හා විනෝදකාමීත්වය නොතකා වෘත්තීය කටයුතුවලට ප‍්‍රමුඛතාව දෙමින් කාර්යක්ෂමව තම රාජකාරී කටයුතු ඉටු කළ ඉවාන් ඔහුගේ ප‍්‍රධානියා ඇතුළුව සැමගේ ප‍්‍රසාදයට පාත‍්‍රවුණි. එහි පස් වසරක් ගතවෙද්දී ඔහුගේ සේවය අගයමින් ඔහුට වෙනත් නගරයක රජයේ නීතිවේදී ධුරයක් පිරිනැමුනි. ඔහුට සිය අනාගත සහකාරිය හමුවන්නේ ද එම නගරයේ දෙවසරක් සේවය කරමින් සිටියදී ය. තරුණ පයෝදරව්නා රදළ පෙළපතකින් පැවතෙන්නියකි. විශාල දේපළකට හිමිකම් නොකීව ද ඇය සුන්දර නිහතමානී එකියක් වූවාය. ඔවුනගේ විවාහ ජීවිතයේ මුල් කාලය සුන්දර වුව ද දරුවන් ලබමින් පවුල් බර වැඩි වෙද්දී දෙදෙනා අතර අසමගිකම් පැන නැඟුණි. ඔහු වඩාත්ම වෘත්තියට ආදරය කළ අතර පෙරටත් වඩා නව තනතුරු හා කීර්ති ලෝභයෙන් පෙළෙන්නට විය. ස්වාමියාගේ තද ගතිගුණ ගැන හොඳින් දන්නා පෙඩොරොව්නා පැහැදුණු එක් දෙයක් තිබුණි. ඒ ඔහු දරන උසස් තනතුර ගැන පමණි. තවත් වසර තුනකින් පසුව ඔහුව නියෝජ්‍ය නීතිපති තනතුරට උසස් කරනු ලැබූ අතර ඉන් වසර හතකට පසුව වෙනත් ප‍්‍රදේශයක නීතිපති ධුරයට ද උසස් කෙරුණි. දැන් දැන් ඔහුට පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගතකිරීමට වත් අවස්ථාවක් නොවීය. මෙලෙස තවත් හත් වසරක් ගත වූ තැන දරුවන් සතර දෙනෙකුගේ පියෙකු වූ ඉවාන් දැන් ජ්‍යෙෂ්ඨ නීතිපති ධුරය උසුලයි. ඔහුගේ මීළඟ අපේක්ෂාව වූයේ අධිකරණ මණ්ඩලයේ සභාපති තනතුරට පත්වීමයි. එහෙත් මෙවර නම් ඔහුගේ ජීවන ඉනිමෙඟ් අවසන් බලාපොරොත්තුව බිඳ වැටුණි. එම තනතුර හිමිවූයේ වෙනත් කෙනෙකුටය. එයින් කෝපයට පත් ඉවාන් අධිකරණ සේවයෙන් ඉල්ලා අස්විය.
 
 රූබල් පන්දහසක වැටුපක් ලැබෙන උසස් තනතුරක් ලබාගැනීම ඔහුගේ මීළඟ සිහින යයි. බිරිඳ හා දරුවන් ඇගේ සොහොයුරාට භාර කළ ඉවාන් පීටර්ස්බර්ග් බලා දුම්රියට නැංෙඟ්ය. වැඩිකල් නොගොස් සිය සිහිනය සැබෑ කර ගන්නට ඉවාන්ට හැකිවිය. තම සමකාලීන මිතුරන්ගේ මැදහත්කමින් ඔහුට නීති ක්ෂේත‍්‍රයෙහිම උසස් තනතුරක් ලැබුණි. වැටුප රුපියල් පන්දහසකි. ඒ හැර අමතර වියදම් සඳහා තවත් තුන්දහස් පන්සියයක මුදලක් ද ලැබුණි. මේ සියල්ල ගැන අප‍්‍රමාදව සිය බිරිඳට ලියා යැවීමට ඔහු අමතක නොකළේය. ඔහු නව තනතුරෙහි වැඩ භාරගත්තේය. ඔහුගේ මීළඟ සිහිනය වූයේ අති නවීන පහසුකම් සහිත නිවසක් පීටර්ස්බර්ග් වලින් සොයා ගැනීමයි. මිතුරන්ගේ උපකාරයෙන් එය ද ඉටුකර ගැනීමට ඔහු දක්ෂ විය.
 
 නිවස වර්ණ ගැන්වීම සැරසිලි සහ තිර රෙදි දැමීම ගෘහ භාණ්ඩ තැන්පත් කිරීම යනාදියට ද ඔහුගේ මනසේ ඇඳි චිත‍්‍රයක් තිබුණි. එය යථාර්ථයක් කර ගැනීම සඳහා ඔහු දිවා ? වෙහෙසුණි. මේ නිසා නව තනතුරෙහි වැඩ කටයුතු වෙනුවෙන් ගත කළේ ද අඩු කාලයකි. එක් අවස්ථාවකදී තිරරෙදි සැකසුම් ශිල්පියාගේ වැඩ ගැන සෑහීමකට පත් නොවූ ඉවාන් එය නිවැරදි කිරීමට කුඩා ඉනිමඟකට නැඟීමට ගත් උත්සාහය වැරදී බිම ඇද වැටුණි. පපුවේ ඉලඇට සහිත පැත්ත වැදී තුවාල වූ නමුදු ඉන් පැන නැඟුණු වේදනාව අමතක කරමින් ඔහු නැඟී සිටියේය. නිවසේ පිළිසකර කටයුතු ලහිලහියේ අවසන් කළ ඔහු තම බිරිඳ හා දරුවන් සතර දෙදෙනා නව නිවසට කැඳවාගෙන විත් ඉදිරි දොරටුව විවෘත කළේ හදපිරි සතුටිනි. නිවසට ඇතුළු වූ ඔවුන් එහි සැරිසරමින් ප‍්‍රීතියෙන් හඬ නැඟූහ. එතැන් සිට ඔවුන් නව පරිසරය තුළ නව ජීවිතයක් ඇරඹූහ. එය තවදුරටත් නව නෑ මිතුරන් ඇසුරේ ගත වූ සතුටින් හා විනෝදයෙන් පිරි කාලවකවානුවකි.
 
 මේ කතාව මෙතැනින් සමාප්ත යැයි ඔබට සිතෙනු ඇත. එය එසේ නොවුණි. ඉවාන් ඉල්යීච්ගේ ජීවිතයේ දුෂ්කරම අවධිය ඇරඹෙන්නේ මෙතැන් සිටයි. නව ජීවිතයේ සතුට භුක්ති විඳින්නට ඔහුට හැකි වන්නේ ඉතා ටික කාලයකට පමණි. පෙර දිනයක ඇද වැටීමෙන් පපු ප‍්‍රදේශයේ ඉලඇට සහිත පැත්ත වැදී රිදුම් දුන් තැනින් මතු වූ අපහසුතාව දැඩි වේදනාවක් බවට පරිවර්තනය වී දිනෙන් දින වර්ධනය වෙමින් සිය මනෝභාවය අයහපත් කරවීය. ක‍්‍රමයෙන් වර්ධනය වූ මේ රෝගී තත්ත්වය හේතුකොටගෙන පවුලේ සැහැල්ලූව, විනෝදය සහ විනීතභාවය පෑල දොරින් නික්ම ගියේය. රෝගය හඳුනාගැනීමට හා ඒ අරඹයා උපදෙස් හා ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුන් හා ඔහු සුවපත් කර ගැනීමට උත්සාහ කරන බිරිඳත් දරුවනුත්, ඉවාන් දුටුවේ, තමා ඉදිරියේ නිදහසට කරුණු දක්වන චූදිතයන් මෙනි.
 
 අවසානයේදී, ඔහු තම රෝගී තත්ත්වය ඉවසාගත නොහැකිව සියල්ලගෙන් ඈත්ව සිය කාමරයට වැදී දොර තදින් වසා ගත්තේය. ඇතුළුවීමට අවසර ලැබුණේ ඔහුගේ සුවච කීකරු ගෙරාසිම් නමැති මෙහෙකරුට සහ අදරණීය පුත‍්‍රයාට පමණි. දින සති මාස බවට පෙරළුණි. කිසිවකුගෙත් ආදරය කරුණාව නොරිස්සූ හෙතෙම නිසියාකාරව හඳුනා නොගත් ව්‍යාධියකින් පෙළෙමින් හා හුදකලාව වේදනා විඳිමින් ක‍්‍රමයෙන් මරණයේ දොරටුව අසලට පැමිණියේය.
 
 ගෙරාසිම් නමැති මෙහෙකරු තම ස්වාමියාගේ මරණය ගැන වරෙක මෙලෙස සඳහන් කරයි. ”දෙවියන් වහන්සේගේ කැමැත්ත, අපි ඔක්කෝමල්ල එහෙ යනව...”
 
 ඉවාන්ගේ මරණයේ අවසාන මොහොත පිළිබඳව බිරිඳ පෙඩොරොව්නා ඉවාන්ගේ හිතමිත‍්‍ර පීටර් ඉවානොවිච්ට මෙසේ පවසයි.
 
 ”අපොයි භයානක වේදනාවක්! අවසාන විනාඩි ගණන නොවෙයි, පැය ගණනක් තිස්සේ එයා නොකඩවා කෑ ගැහුව. පුරා දවස් තුනක් තිස්සේ ඔහු හඬ මාරු නොකර කෙඳිරි ගෑව! එය උහුලන්න බැරි දෙයක්. මම එය උහුලගෙන හිටියේ කොහොමද කියල මට පවා තේරුම් ගන්න බැහැ. දොරවල් තුනක් පහුකරගෙන වුණත් ඒ කෙඳිරි ගෑම ඇහුණා...”
 
 ”සිය ජීවිතය, ඇත්ත වශයෙන්ම සිය සවිඤ්ඤාණික ජීවිතය ”නිසි” ජීවිතයක් නොවීය යන අදහස ඔහුගේ හිසට ඇතුළුවීම ය...” වරෙක කතුවරයා ඉවාන්ගේ සිතැඟි හෙළි කරයි.
 
 අපට ස්වභාවධර්මය නමැති අදෘශ්‍යමාන හස්තය පරාජය කළ නොහැක. සෑම ආගමකින් ම ‘ලෝකය නොව ජීවිතය ජය ගන්නැයි’ අපට උගන්වන්නේ මේ නිසාය. මුළු ලෝකයම අත්පත් කරගන්නට හැල්මේ දිවූ ඉවාන්ගේ ජීවිතය හඳුනානොගත් රෝගයකට ගොදුරු වීමෙන් අවසන් වුණි. ලෝකය හා ජීවිතය අතර දුරස්ථරභාවය රඳවා ගැනීමට අපොහොසත් වූ ඉවාන් අවසානයේදී තමාට සවිඤ්ඤාණික ජීවිතයක් තිබුණා දැයි තමාගෙන්ම ප‍්‍රශ්න කරන්නට විය.සෞඛ්‍ය හේතූන් මත දුරස්ථභාවය මේ කාලයේ නිතර ඇසෙන වචනයකි. ලෝකය සහ ජීවිතය අතර දුරස්ථභාවය රඳවා ගැනීමට අපිදු අසමත්ව සිටින්නෙමු. දුරස්ථභාවය තුළින් ජීවිතය ජයගැනීමට නම් කතුවරයා අවසානයේදී ඉවාන්ට සිහිපත් කරදෙන සවිඤ්ඤාණික ජීවිතය අපට ද පොදු කාරණයකි. දෙවැනි වටයේ කොරෝනා අවධියක දිවි ගෙවන අප ද අපගේ සවිඤ්ඤාණික ජීවිතය ගැන නැවත සිතා බැලීමට මේ හොඳම කාලයයි. යමෙකු මුළු ලෝකය ලබාගත්තත් සිය ජීවිතය නැති කරගතහොත්, නැත්නම්, විනාශ කරගතහොත් ඔහුට කුමන ලාභයක් ද...? (ලූක් 9 : 25)
 
 (මුලාශ‍්‍ර : මහා ගත්කරු ලියෝ ටෝල්ටොයිගේ ‘ඉවාන් ඉල්යීච්ගේ අභාවය’ කෙටිකතාව ඇසුරෙනි)
 
 ඩඞ්ලි පෙරේරා

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles