Divaina - ස්වීය සමාජය, ආර්ථිකය, සංස්කෘතිය හා දේශපාලනය දෙස නැවත හැරී බලන කිරිඅම්මාගේ කතාව

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

wata1 2 ”හිරුත් හිම පියල්ලක” හා ”ඇහි පියන් ඇහැරිලා” යන කාව්‍ය සංග‍්‍රහ ද්විත්වය ද ”සෙංකොට්ටන්” හා ”මාණික්කාවත” යන නවකතා ද්වය ද පාඨක, රසික හදෙහි පොබවත් කළ මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල සාහිත්‍යවේදියාගේ අභිනව යොවුන් නවකතා කෘතිය ”අපොයියාව” නමින් පසුගියදා ජනගත කෙරිණි. ප‍්‍රහේලිකාවක් නිවැරදිව පුරවා ජයග‍්‍රහණය කළ ‘මුතුහර’ නම් දරුවා තම ත්‍යාගය ලබාගෙන නැවත පැමිණෙන අවස්ථාව මේ කෘතිය පුරා දිව යන රසවත් වෘත්තාන්තය යි. යොවුන් නවකතාවක් ලෙසින් කාණ්ඩ කළ ද මාගේ රසවිඳුම් පරිචය මත ළමා, තරුණ, වැඩිහිටි යන තෙපාර්ශ්වයටම මෙය රසවිඳිය හැකි කතාවක් ලෙස සංනිදර්ශනය කළ හැකි ය. වත්මන් දරුවන්ට ගිලිහී යන ළමා ලෝකයේ සුන්දරත්වය ද බාධක මධ්‍යයේ ජීවිත ජයගනිමින් සමාජය දෙස නව මානයකින් බැලීමට තරුණ පරම්පරාව පෙළඹවීම ද වැඩිහිටි පරපුරේ සෞන්දර්යාත්මක අතීත මතකයන් ආවර්ජනය කිරීම ද මෙහි මැනවින් නිරූපණය වේ. මස්ඉඹුල ග‍්‍රාමයේ හා ඒ අවට සොබා පරිසරයේ චමත්කාරය සමඟින් කතුවරයා පාඨක මනස ආලෝකමත් කිරීමට උත්සුක දරන්නේ ඉමිහිරි අපූර්වත්වයකිනි. ස්වීය සමාජය, ආර්ථිකය, සංස්කෘතිය හා දේශපාලනය දෙස නැවත වරක් හැරී බැලීමට පාඨකයා පෙළඹෙන්නේ මේ රසබර කතාවත් සමඟින් ය.
 
 ”අපොයියාව” පුරාවටම දිවෙන්නේ ‘මුතුහර’ හා ඔහුගේ කිරිඅම්මා අතර ඇති වූ සිද්ධි දාමයන්ය. තම ත්‍යාගය ලබාගෙන පැමිණෙන මුතුහරට රත්නපුර නගර මධ්‍යයේ ඇති විශාල ඔරලෝසු කණුව දක්නට ලැබේ. මුතුහරගේ පියා ඒ පිළිබඳ විවරණය කරන්නේ මෙලෙසිනි.
 
 ” ඕක සුදු ආණ්ඩුව කාලෙ හදාපු එකක්. තවම වෙලාව වැඩ. ඒ කාලෙ ලෝක යුද්දෙට ගිහිං මැරුණු සුදු මිනිස්සු සිහිවෙන්නයි ඕක ඔතන හදල තියෙන්නෙ.”
 
 මෙරට පවතින පෞරාණික වස්තු පිළිබඳ කතුවරයා මෙහිදී සංඥා කරයි. වත්මන් සමාජයට මෙහි ඇති වටිනාකම ඔහු විශද කරන්නේ සියුම් උපහාසයකිනි. ‘තවම වෙලාව වැඩ’ යන කොටසින් එය මැනවින් රූපණය වේ. අතීත රජ දවසේ පටන් යටත්විජිතවාදීන් ලෙසින් ගත කළ සමය දක්වා මෙරට නිර්මාණය කළ දෑ අදට ද ජීවමාන ය. යම් යම් ප‍්‍රතිසංස්කරණ සිදුකළ ද ඒවා තවමත් පෙර ලෙසින්ම පවතියි. මහවැව්, වෙහෙර විහාර, ප‍්‍රවාහන මාර්ග, විවිධ ආර්ථික බෝග නිදසුන් ලෙස සඳහන් කළ හැකි මුත් වර්තමානයේ ඉදිකිරීම් බහුතරයක් දීර්ඝ කාලීන නිමැවුම් නොවන්නේ කුමන හේතුන් නිසාදැයි සොයා බැලිය යුතුය. ඔරලෝසු කණු, විවිධ තට්ටු නිවාස, වෙනත් සංවර්ධනයන් පමණක් නොව නව මහාමාර්ගයක් නිමවා වසර පහක් යන්නටත් මත්තෙන් එය නැවත ප‍්‍රතිසංස්කරණය කිරීම මහා ඛේදයකි. එසේ සිදුවන්නේ සාමාජීය හෝ දේශපාලනික ඛේදවාචකයක් නිසා ද යන්න අවබෝධ කරගැනීමට සවිංඥාණික පාඨකයාට මින් ඉඩහසර ලැබෙයි.
 
 ‘මුතුහර’ ත්‍යාගයක් හිමිකර ගන්නේ ප‍්‍රහේලිකාවක් පිරවීමෙනි. සැබවින්ම වත්මන් ළමා පරපුරට ප‍්‍රහේලිකා පිරවීම පිළිබඳ නැවත හඳුන්වාදීම ම මේ කෘතියේ අගය වඩාත් තීව‍්‍ර කරයි. පාසල හා උපකාරක පන්ති වෙත දරුවන් බලෙන් දක්කාගෙන යන දෙමවුපියන්ට මේවා කාලය කා දමනා ක‍්‍රියාවන් වීම දැයේ දරුවන්ගේ අවාසනාවකි. නමුදු එදා වැඩිහිටියන් එය දකින ලද්දේ මෙලෙසිනි.
 
 ”ඔව්ව හැමෝටම කොරන්න පුළුවන් වැඩ නෙමෙයි රජෝ...අපිටත් ආඩම්බරයි... අම්මපා...”
 
 මුතුහරට මේ ප‍්‍රහේලිකාව පුරවන්නට සහාය වන්නේ තම කිරිඅම්මා ය. ඇය අකුරු සාස්තරය නොදැන සිටිමුත් ඇසු, දුටු දේවල් හා පාරිසරික විපර්යාසයන් තම මතක ගබඩාවේ තැන්පත් කරගත්තා ය. කිසිවිටෙක කලබල නොවූ ඇයගේ චරිතය තුළින් පාඨකයාට ඉවසීම පවා ප‍්‍රගුණ කරන්නේ ඉතා මනස්කාන්ත ලෙසිනි. කතුවරයා රසවත් වෘත්තාන්තය තුළින් නැවත සමාජයට අතුල් පහරක් එල්ල කරන්නේ කිසිවකුගේ සිතක් නොරිදෙන පරිදි ය. මස්ඉඹුල සතු නිර්මාණ ප‍්‍රතිභාවත් එය ම ය.
 
 ”ආං බලාපං...ඒ මිනිස්සු කැලෑ සත්තු වගේ රණ්ඩු සරුවල් වෙනව. රටරාජ්ජවල් අල්ලන්නයැ ඔය, බොහෝම පුංචි දේවල්වලට. ඔව්වා කතාබහ කොරල බේරුමක් කොරගන්න බැරිකමක් නෑනෙ.”
 
 මෙරට කුඩාම ඒකකය වන පවුලේ සිට දේශපාලන බල අධිකාරිය දක්වාම මේ කරුණ ප‍්‍රබලව බලපායි. මේ නිසාම ඒ පිළිබඳ යහපත් සිතීමෙන් කටයුතු කිරීමට කතුවරයා අප පොළඹව යි.
 
 ”අපොයියාව” අතරතුරේ වත්මන් ළමා පරපුර නැවුම් ලොවකට රැුගෙන යන්නේ අතීත දරුවන්ගේ විනෝදාංශ ගොන්නක් ස්පර්ශ කරමිනි. එකල ඈත ප‍්‍රදේශයේ සිටින මිතුරන් සමඟින් පෑනේ මිතුරන් ලෙසින් ලියුම් හුවමාරු කරගනිමින් ඔවුහු මිතුරු ඇසුරක් පවත්වාගත්හ. මුද්දර, දුර්ලභ කුරුළු පිහාටු වර්ග, කාන්දන් කෑලි, ඩෙනිම් බොත්තම්, ස්ටිකර්, දින දර්ශන, කැඩුණු කැසට් පීස්, ඇණ, නට් හා විශේෂ වර්ගවල ටොෆි කොළ එකතු කිරීම දරුවන්ගේ විනෝදාංශ විය. ඔවුහු මේවායෙන් මහත් විනෝදයක් මෙන්ම මානසික තෘප්තියක් ද ලැබූහ. කුඩා කාලයේ එකතුකර හැඩ බැලූ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්, හින්දි නළු නිළියන් හා රෙස්ලින් ක‍්‍රීඩකයන්ගේ ස්ටිකර් ඇතුළත් පොත් ත‍්‍රිත්වයක් තවමත් මා සතු ය. එපමණක් නොව විවිධ වර්ණයන්ගෙන් යුතු ටීක් බෝල බෝතලයක් ද මාගේ ළමා කාලයේ නිධානයන් ලෙස අදටත් මම සුරකිමි. එතරම් ම අපේ ළමා කාලය සුන්දර ය. නවීන තාක්ෂණයේ දියුණුවත් සමඟින් රට ද පෙරට යා යුතු ය. ඒ තාක්ෂණය සමඟින් ළමා මනස පරිහානියට නොව යහපත් ඉදිරි පැවැත්මකට ගමන් කළ යුතු ය. අද බහුතරයක් දරුවන්ගේ ක‍්‍රීඩා උපකරණය ජංගම දුරකථනය යි. එහි ඇති විවිධ වීඩියෝ ක‍්‍රීඩා ඔවුනගේ හුදු විනෝදාංශය. මනස වෙහෙසවා ඔවුන් සිදුකරන්නේ ශරීරයට පවා අහිතකර ක‍්‍රියාවකි. කාර්ය බහුල ජීවන රටාව තුළ මවුපියන්ට පවා දරුවන් සමඟ ගතකිරීමට ඇති කාලය ඉතා සීමිත ය. ”හොඳම දේ දරුවන්ට” යැයි ලෙනින් ප‍්‍රකාශ කළ ද එවැනි බොහෝ දෑ අද දරුවන් බිළිගන්නට මෙන් සිටී. ඉපැරණි වටිනාකම් දරුවන්ට නැවත මුණගැස්සීම ද මෙහි ලා වටිනා කර්තව්‍යයකි.
 
 ඉපැරණි ජන ජීවිතයට කතුවරයා මෙහි වැඩි ඉඩක් වෙන්කර ඇති බව රූපණය වේ. වී වගාව, පතල් කර්මාන්තය, පැදුරු කර්මාන්තය පිළිබඳ විවිධ අවස්ථා යටතේ නිරූපණය වේ. මේවා පාඨක මනසෙහි පියකරු චිත‍්‍ර මවනවාට සැක නැත. ජනබස්වහර හා කමත් භාෂාව මෙන්ම රබන් පද, කමත් කවි, වෙස්සන්තර කවි, යශෝදරවත යනාදී ක‍්‍රමයෙන් ඈත්ව යන පාරම්පරික සංස්කෘතිය නැවත නැවතත්, ආවර්ජනය කිරීම ප‍්‍රශස්ත ය. මස්ඉඹුල සතු විශිෂ්ටත්වය ද මෙය ම ය.
 
 ”අපොයියාව” තුළ ඉතා පුළුල් සමාජ විවරණයක් කතුවරයා විසින් විද්‍යමාන කරයි. එයට උදාහරණ ඕනෑ තරම් මෙහි අන්තර්ගත අතර තවත් එක් නිදසුනක් මෙලෙස මම දක්වමි.
 
 ”උඹ අහල තියෙනව ද මං දන්නෑ උක්කුං ළමයො, හරිහමං දඩයක්කාරයෙක් නං සතෙක් ගැබ්බරව ඉඳිද්දී, පැටවාට කිරි දෙද්දී, සතා දිය බොද්දී හෙම වෙඩි තියන්නෑ.”
 
 මවුපියන්ට කැත්තෙන් කොටන, වැ¥ දරුවන් ඒ මොහොතේම විනාශ කරන, තම දරු දැරියන් ¥ෂණයට ලක් කරන, බල්ලො මරා හරි මුදල් සොයන වත්මන් සමාජයට ඉහත උපහැරණය කොතරම් අගනේ ද? ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගත හැක්කේ ඉවසීමෙන් හා පිළිවෙලකට ය. එය මෙහි අකුරු කරන්නේ ජීවනයට නව බලාපොරොත්තුවක් දල්වමිනි.
 
 ” ඕනිම දෙයක් මුලපුරන්න ඕනි මේං මෙහෙම සීරුවට, පිළිවෙළට, පුංචියට... උඹලට තේරුණා ද?”
 
 අකුරු නොදත් කිරිඅම්මා මුතුහරගේ ප‍්‍රහේලිකාව පමණක් නොව ඔහුගේ ජීවිතය ද මනාව හැඩගස්වා ගැනීමට අවවාද අනුශාසනා දෙන්නී ය. රබන් පද, කමත් කවි, වෙස්සන්තර කවි, යශෝදරවත වැනි දෑ මෙන්ම ජන සමාජය පිළිබඳ ඇය අවබෝධ කරගත්තේ මෙලෙසිනි.
 
 ”අකුරු නොදන්නව වුණාට මයෙ කන්දෙක හොඳට ඇහෙනවනෙ ළමයො...ඇරත් ඔය වාගේ විස්තර හැම එකක්ම රේඩියෝ එකේ කියන්නෙ...”
 
 කිරිඅම්මා සවන්දුන් ගුවන්විදුලි මාධ්‍යය ක‍්‍රමයෙන් පරිහානියට පත් වී ඇති බව නොරහසකි. ඉතාම සුළුතර ගුවන්විදුලි නාළිකා අතළොස්සක් හැර අනෙකුත් සියලූ ගුවන්විදුලි නාළිකාවල අපට අසන්නට ලැබෙන්නේ හරසුන් වැඩසටහන් පමණි. අවම වශයෙන් රටක සිදුවන නිවැරදි ප‍්‍රවෘත්තියක්වත් අසන්නට ලැබෙන්නේ ඉතා මඳ වශයෙනි. බොහෝ නාළිකාවන් දේශපාලන අතකොලූවන් වී හමාර ය. ගිරව් මෙන් ඵලක් නැති බහුබූත දොඩනවා මිස මනා දැනුමක් ඇති, නිවේදන ශිල්පය ප‍්‍රගුණ කළ, ශ‍්‍රාවකයා ආසක්ත කරගන්නා නිවේදන ශිල්පීන් ශිල්පිණියන් කළුනික සොයන්නාක් වැනි ය. නමුදු එදා ගුවන්විදුලිය සමාජයේ බහුතරයකට යහමඟ පෙන්වූ පහන් කණුවක් විය. කතුවරයා ගම්‍ය කරන්නේ මේ අමිහිරි සත්‍යය යි.
 
 ජීවිතය පමණක් නොව ලොව සියලූ දෑ හි අනියත බව මේ වෘත්තාන්තය තුළ මස්ඉඹුල අකුරු කරන්නේ මුතුහරගේ ප‍්‍රහේලිකාවේ එක් පිළිතුරක් ලෙසිනි.
 
 ”යකඩ කොච්චර බලසම්පන්න උනත් යංකිසි දාක මලකඩ කාලා දිරල යනව. ඒක තමයි මේ ලෝකෙ සුබාවෙ උක්කුං ළමයො...”
 
 දැඩි නියං කාලය හේතුවෙන් මුතුහරගේ පියාට හා ගමේ අනෙකුත් අයට කුඹුරු වගාවෙන් ටික කාලයකට ඈත් වීමට සිදු වේ. මේ නිසා කුටුම්බයේ පැවැත්මට මේ කුඩා දරුවා ද සහාය වෙයි. පාසල් වේලාවෙන් පසු ඔහු අසල ගරාජයක රැුකියාව කරයි. එහිදී මුතුහර අනේක පීඩාවන්ට මුහුණ දෙයි. එහෙත් ඒ කිසිවක් තම රැුකියාවට බාධා නොකරගනිමින් ඔහු සිය පවුල වෙනුවෙන් වෙහෙසෙයි.
 
 ”වෑල්ඩින් කූර යකඩ මූට්ටුවේ ගෑවෙද්දී ශබ්දය සමඟ ගිනි රස්නය මාගේ අත්වලට දැනෙයි. මට නිතර ඇස් ඇරෙයි. ආක් එක වැදුණු විට ඇසට වැලි දැමුවා වැනි ය. හවස් වනවිට ඇස් ඇරගෙන ඉන්නටත් බැරි ය. පියාගෙන ඉන්නටත් බැරි ය.”
 
 ආර්ථික දරිද්‍රතාව මඟහරවා ගැනීමට මෙලෙස වෙහෙසෙන දරුවෝ වත්මන් සමාජයේ වුව බොහෝ වෙත්. ලාංකේය සමාජය තුළ පුරාණයේ පටන්ම මේ පන්ති විෂමතාව දක්නට ලැබේ. මේ එය මැනවින් නිරූපණය කරන තවත් අවස්ථාවකි.
 
 ”කොහේ දෝ සිට පැමිණි ගෙහිමියා එක වර උඩ දොර වසා දැමූයෙන් මගේ වම්පස සුළැඟිල්ල දොරට සිර විය. මට කෑගස්සුණේ ය. ගලිවර්ටත් බල්ලාටත් කුමක් වූවා දැයි නොදනිමි. සුළැඟිල්ල තැලී චප්ප වී ඇතැයි මට හැඟුණි. මම වහා එතැනින් පාරට පැන දුවන්නට වීමි.”
 
 ”අපොයියාව” නම් සුන්දර කතා වස්තුව රචනා කිරීමට කතුවරයා භාවිත කරන ජනබස්වහර ප‍්‍රශස්ත ය. අතීත සාහිත්‍යය හා සොබාදහම සමඟ ගැමියන්ගේ බැඳීම පාඨක හදවතෙහි චිත‍්‍රණය කරන රූපකාර්ථවත් පද සංයෝජනය කතුවරයා සතු භාෂා නෛපුණ්‍යතාව යි. ජයග‍්‍රහණය කරා යන ගමනක ඇතිවන බාධක මැඩගන්නා ආකාරයත්, ඉවසීම ප‍්‍රගුණ කරමින් ඒවාට මුහුණදීමත් මුතුහරගේ චරිතයෙන් මනාවට නිරූපණය වේ. මොහොතින් මොහොත කුතුහලය දනවමින් පබඳන කතන්දරයට එහා ගිය ප‍්‍රබල සමාජ කියැවීමක් මෙහි අන්තර්ගත ය. මාගේ කියැවීමේ පරිචය මත ”අපොයියාව” යනු ඉපැරණි ලාංකීය සමාජය, ආර්ථිකය, සංස්කෘතිය හා දේශපාලනය දෙස නැවත හැරී බැලීමකි. ඒ අතීත උරුමයන් නව තාක්ෂණය හා මුසු කරමින් මානව හා භෞතික වශයෙන් මෙරට දියුණුවක් කරා රැුගෙන යෑමට කරන ඇරයුමක් වැනි ය. මේ හේතුවෙන් මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල විසින් රචිත ”අපොයියාව” නව යොවුන් නවකතාව විශිෂ්ට කෘතියක් ලෙස විශද කළ හැකි ය.
 
 අශෝක කුලතුංග
 
 සංස්කරණය - රුවන් ජයවර්ධන

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles