Divaina - ථෙරවාදී බුදුදහමට පහරක් වූ මහායානවාදයෙහි ඉස්මතු වීම

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 bada2
 
 එන්. සුරේෂ් කුමාර
 නවරත්න
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය
 
 
ක‍්‍රි.පු 250 - 210 අතර කාලයෙහි ලංකාව පාලනය කළ දේවානම්පියතිස්ස රජුට මිහින්තලා කඳු ප‍්‍රදේශයේදී පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදී අහඹුවක් මෙන් මිහිඳු හිමි මුණ ගැසීම ශ‍්‍රී ලංකාවට බුද්ධ ශාසනය ලැබීමේ ආරම්භක අවස්ථාව ලෙසින් බොහෝ උගතුන් විශ්වාස කරනු දැකගත හැකිය. නමුත් එම සිදුවීම පිළිබඳව කරුණු ඉතා පරීක්ෂාවෙන් අධ්‍යයනය කිරීමේදී එය ඉතාමත් සැලසුම් සහගතව සිදු කළ ක‍්‍රියාදාමයක් ලෙසින් හඳුනා ගැනීමට පුළුවනි. විශේෂයෙන්ම ඉන්දියාවේ ධර්මාශෝක රජුගේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් පවත්වනු ලැබූ 3 වන ධර්ම සංගායනාවෙන් අනතුරුව රටවල් 9කට ධර්මදූත කණ්ඩායම් පිටත් කළ අතර ධර්ම සංගායනාව අවසන් වී සති දෙකක් ඇතුළත ලංකාව හැර අනෙකුත් රටවලට ධර්මදූත කණ්ඩායම් පිටත් කරන ලදී. ශ‍්‍රී ලංකාවට එවන දූත කණ්ඩායමේ නායකත්වය සඳහා අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද ස්ථවිරයන් තෝරා ගැනීමෙන් පෙනී යන්නේ තම අධිරාජ්‍යයේ දකුණු සීමාවේ පිහිටි චෝල, පාඬි, චේර යන රාජ්‍යයන්ට ඔබ්බෙන් පිහිටි ලංකාව සඳහා අශෝක අධිරාජ්‍යයා තුළ විශේෂ සැලකිල්ලක් තිබූ බවය.
 
 කෙසේ වෙතත් මිහිඳු හිමි ප‍්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමණ සාමනේර සහ භාණ්ඩුක උපාසක ආදීන් මිහින්තලා පර්වතයට පැමිණි පොසොන් පෝදා දේවානම්පියතිස්ස රජු දඩ කෙළියේ ගොස් සිටියහ. එලෙස ගිය ගමනේදී ධර්මදූත කණ්ඩායම මුණ ගැසුණු අතර එහිදී දේවානම්පියතිස්ස රජුට ධර්ම දේශනාවන් සිදු කර තිබේ. විශේෂයෙන්ම මෙම සිදුවීමෙන් අනතුරුව දේවානම්පියතිස්ස රජු බුදුදහමට පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහයක් ලබා දීමත්, මෙකල සිදු වූ සංඝමිත්තා තෙරණියගේ ආගමනයත් සිදු විය.
 
 දේවානම්පියතිස්ස රජු ථේරවාදී බුදුදහම රාජ්‍ය ආගම ලෙසින් පිළිගනු ලැබූ අතර ඉන්පසුව ලක්දිව රාජ්‍යත්වයට පත් වූ විවිධ රජවරු ථේරවාදී බුදුදහමට අනුග‍්‍රහය දක්වන ලදී. මෙහිදී විශේෂයෙන්ම මෙම රජවරු අතුරින් බුදුදහම පිළිබඳව කතා කිරීමේදී දුටුගැමුණු රජු සුවිශේෂී වේ. වසර 44 ක් පුරා ලක්දිව පැවති එළාර පාලනයෙන් නිදහස ලබා ගත් දුටුගැමුණු රජු ඉන් අනතුරුව බුදුදහමෙහි චිරස්ථිතිය උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කරන ලදි. විශේෂයෙන්ම මෙතුමා ලෝවාමහාපාය, මිරිසවැටිය, රුවන්වැලිසෑය ආදී වෙහෙර විහාරස්ථාන 89ක් ඉදි කළ බව වංශකතාවල සඳහන් වී තිබේ. ඉන් අනතුරුව රාජ්‍යත්වයට පත් තිස්ස රජුද බුදුදහමට විශාල දායකත්වයක් ලබා දුන් අතර ඒ නිසාම ඔහුට සද්ධාතිස්ස යන නම ව්‍යවහාර විය. මෙහිදී මහින්දාගමනයත් සමඟ ලංකාවට ගෙන එන ලද්දේ ථේරවාදී බුදුදහමය. මෙම ථෙරවාදී නිකාය අවන්ති, උජ්ජෙයිනී ප‍්‍රදේශයන්හි හට ගත් නිසා ලක්දිවට පැමිණියේද මේ දෙරට ආශ‍්‍රිත ථේරවාදී බුදුදහම වේ. විශේෂයෙන්ම මිහිඳු හිමි මෙහි පැමිණ පළමුවෙන්ම දේශනා කළ චුල්ලහත්ථි පදෝපම සූත‍්‍රය ථේරවාදීන්ගේ විනය ගරුකත්වය ප‍්‍රකාශ කළේය. සෙසු නිකායිකයන් විනය නීති ලිහිල් කිරීමට උත්සහ කර තිබෙන අතර ථේරවාදීන් විනය නීති රැකගන්න පිරිසක් බව මෙම සූත‍්‍රය දේශනා කිරීම හරහාම දැකගත හැකිය. මෙලෙස ලංකාවේ වර්ධනය වූ ථේරවාදී බුදුදහම අනුරාධපුර මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාප්ත වූ අතර ලක්දිව බොහෝ රජවරුන්ගේ රාජ්‍ය අනුග‍්‍රහයට පාත‍්‍ර වූ ආයතනයක් ලෙස හඳුනාගත හැකිය. ඒ අනුව මුල්ම කාලපරිච්ෙඡ්දයේ විවිධ ප‍්‍රාග් බෞද්ධ ඇදහීම් මත විකාශනය වූ ලාංකේය සමාජය ක‍්‍රමානුකූල ගමන් මාර්ගයකට අවතීර්ණ වූයේ බුදුදහම මෙරටට ලැබීමත් සමඟය.
 
 විශේෂයෙන්ම දේවානම්පියතිස්ස රජු දවස මිහිඳු හිමි විසින් ගෙන ආ ථේරවාදී නිර්මල බුදුදහම අද දක්වාම පවතින අතර මේ අතරතුර ථේරවාදී බුදුදහම අභිබවා මහායානය නැගී සිටීමට වෙර දැරූ අවස්ථා රැසක් හඳුනාගත හැකිය. මේ පිළිබඳව තොරතුරු සපයන පුරාවිද්‍යාත්මක සාධක මෙන්ම සාහිත්‍යමය මූලාශ‍්‍ර කිහිපයක්ම හමුවී තිබේ. ඉන්දියාවේ නිර්මාණය වූ මහායානවාදයෙහි ප‍්‍රමුඛත්වය හඳුනා ගන්නට ලැබෙනුයේ ක‍්‍රිස්තු වර්ෂාරම්භයේදීය. එසේ වුවද එම න්‍යායන් ඊට පෙර පැවති බවට සාධක හඳුනාගෙන තිබේ. දෙවෙනි ශතවර්ෂයෙහි අගභාගයේදී පමණ දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර දේශයෙහි විසූවකු ලෙස සාමාන්‍යයෙන් සලකනු ලබන නාගර්ජුනයන්ගේ ප‍්‍රතිභා ශක්ති මහිමයෙන් මේ ධර්මයට සිද්ධාන්ත ස්වභාවයක් ලැබුණු බව පෙනේ. මෙම අලූත් ධර්මය ලංකාවට හඳුන්වා දීමට වැඩි කලක් නොගිය අතර ඒ සඳහා වූ පසුබිම ඉතා ඉක්මනින්ම ලාංකේය ජන සමාජයෙහි ගොඩනැගුණු බව දැකගත හැකිය. මෙහි ප‍්‍රධාන සංධිස්ථානයක් වූයේ වට්ඨගාමිණී අභය රජුගේ රාජ්‍ය කාලයේදීය. එනම් ථේරවාදී බුදුදහමෙහි කේන්ද්‍රස්ථානය වූ මහා විහාරයට පරිබාහිරව අභයගිරි විහාරය නිර්මාණය වීමත් සමඟ මෙම ගැටලූකාරී තත්ත්වය නිර්මාණය විය.
 
 මෙලෙස අභයගිරි විහාරය ආරම්භ වීමත් සමඟ බොහෝ අන්‍ය නිකායික භික්ෂුන්ගේ තෝතැන්න බවට එම විහාරය පත් විය. එතැන් පටන් විදෙස් රටවල සිට පැමිණි බොහෝ භික්ෂුන් අභයගිරිය කේන්ද්‍ර කර ගනිමින් ශාසනික කටයුතු සිදු කර තිබේ. මෙහිදී වෝහාරිකතිස්ස රජුගේ කාලයේදී ලක්දිව බෞද්ධ භික්ෂුන් කොටස් දෙකකට බෙදී සිටියහ. ස්ථවිරවාදය ගත් භික්ෂුන් අනුරාධපුර මහා විහාරය ද, ඔවුන්ගෙන් වෙනස් මත දරන්නවුන් අභයගිරිය ද ඇසුරු කළ බව දැකගත හැකිය. වෝහාරිකතිස්ස රජු දවස අභයගිරිකයෝ වෛතුල්‍යවාදය සත්‍ය බුද්ධ දේශනාව යැයි ප‍්‍රකාශ කරමින් මහා විහාරයට පටහැනි වූහ. මේ අනුව පෙනී යන්නේ මහාවිහාරවාසී භික්ෂුන්ගේ අවධානය යොමු කිරීමට තරම් වෛතුල්‍යවාදීන් බලයෙන් සහ සංඛ්‍යාවෙන් වැඞී ගියේ වෝහාරිකතිස්ස රජු දවසය. මෙම වෛතුල්‍යවාදීන් මහායානවාදීන් ලෙසම හඳුන්වනු ලබයි. එහිදී මහායානිකයන්ගේ ධර්ම ග‍්‍රන්ථ විශේෂයක් ලෙස වෛතුල්‍ය පිටකය සඳහන් කර තිබේ. සද්ධර්ම පුණ්ඩරීක නම් ග‍්‍රන්ථයෙහි කැෂ්ගාර්හී තිබී ලැබුණු අත් පිටපතෙහි මෙම නම ලියා ඇත්තේ වෛතුල්‍ය සූත‍්‍ර යනුවෙනි.
 
 කෙසේ වෙතත් වෝහාරිකතිස්ස රජු විසින් කපිල නම් උගත් ඇමතියකු ලවා වෛතුල්‍ය පිටකය සත්‍ය බුද්ධ වචනය දැයි පරීක්ෂා කරවන ලදී. එහි අඩංගු වූයේ බව නිශ්චය කිරීමෙන් පසුව රජු විසින් එම පොත් පුළුස්සා දැමීය. ඉන්පසුව ගෝඨාභය රජු දවස ද අභයගිරි විහාරවාසීන් වෛතුල්‍යවාදය ඉදිරිපත් කළ අතර අවසානයෙහි එයද මිථ්‍යාවක් ලෙසින් සනාථ කර ගැනීමෙන් පසුව පොත්පත් ගිනි තබා භික්ෂූන් 60 දෙනකු රටින් පිටුවහල් කරන ලදී.
 
 ගෝඨාභය රජුගේ කාලයෙන් පසුව ලංකාවේ මහායානවාදයෙහි ඉස්මතු වීම දක්නට ලැබෙනුයේ මහසෙන් රජු දවසය. මහසෙන් රජුගේ ආචාර්යවරයා වූ සංඝමිත‍්‍ර නම් දකුණු ඉන්දියානු භික්ෂුවගේ මග පෙන්වීම හරහා මහායානිකයන්ට යහපත් කලදසාවක් උදා වූ බව දැකගත හැකිය. එනම්, මහසෙන් රජු හරහා ථේරවාදීන්ගේ ප‍්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානය වූ මහා විහාරය විනාශ කිරීමට කටයුතු කරන ලදී. මහාවිහාරවාසී භික්ෂුන්ට අහරක් දුන් කෙනෙකු ඇත්නම් දහසක් දඩ යැයි අණබෙර ලවා, ලෝවාමහාපාය ආදී තුන්සිය සිව් සැටක් පමණ පිරිවෙන් මුලින් උදුරුවා, විහාර භූමිය සාවා උඳු වපුරන ලදී. මේ නිසාම මහා විහාරය, මිරිසවැටිය, සෑගිරිය යන විහාරයන්හි විසූ භික්ෂුන් වහන්සේලා සංඝමිත‍්‍ර භික්ෂුව කෙරෙහි බියෙන් රුහුණට පලා ගියේය. එහෙයින් අනුරාධපුර ථේරවාදීන් ක‍්‍රමයෙන් යටපත් කරමින් මහායානිකයන් ඉස්මතු වූ බව දැකගත හැකිය. කෙසේ වෙතත් මහසෙන් රජුගේ මිත‍්‍රයෙකු වූ මේඝවර්ණ ඇමැති රජුගේ මෙම ක‍්‍රියාකලාපයට විරුද්ධව රජුට යුද්ධයකට ආරාධනා කළ අතර පසුව රජු තමන්ගේ වරද පිළිගෙන මහා විහාරිකයන් නොපෙළීමට තීරණය කරන ලදී. මෙම සිදුවීම් අතරතුර සංඝමිත‍්‍ර භික්ෂුව ජීවිතක්ෂයට පත් කරන ලද හෙයින් වෛතුල්‍යවාදය පැතිරයෑමේ බලවේගය නැවත වරක් අඩපණ වූ බව දක්නට පුළුවනි. මෙයින් පසුව ලංකාවේ මහායානවාදයෙහි ඉස්මතු වීම පිළිබඳව තොරතුරු ලැබෙනුයේ සිලාකාල රජුගේ රාජ්‍ය කාලයේදීය. මෙම රජු දවස මෙරටින් කසී රටට ගිය පූර්ණ නම් වෙළඳ පුත‍්‍රයකු වෛතුල්‍යවාදය ලියූ පොතක් ලැබ එය සැබෑ ධර්මය යැයි සිතා මෙහි රැගෙනවිත් රජුට පඬුරු කොට දී තිබේ. සිලාකාල රජු විසින් ද අභයගිරිවාසී භික්ෂුන් සමඟ සාකච්ඡුා කොට එය දෙනාවෙහෙර තබවා එහි භික්ෂුන් ලවා ගරු බුහුමන් පවත්වා තිබේ. ඉන්පසුව අනුරාධපුර වැසි මිනිසුන් ද වෛතුල්‍යවාදයට ගරු බුහුමන් දක්වන ලදී. මෙලෙස මහායානවාදය අනුරාධපුර ප‍්‍රමුඛ වූ බව දක්නට පුළුවනි.
 
 මෙම මහායානිකයන් තමන්ගේ ධර්ම ග‍්‍රන්ථ සංස්කෘත භාෂාවෙන් රචනා කර තිබේ. මීට අමතරව ඇතැම් අවස්ථාවලදී ප‍්‍රාකෘත විශේෂයන් භාවිත කර තිබේ. එමෙන්ම ථේරවාදීන් තමන්ගේ ධර්ම ග‍්‍රන්ථ රචනා කිරීමේදී පාලි භාෂාව යොදා ගෙන තිබෙන අතර මුල්ම කාලයෙහි සිටම ලංකාවේ වැඩි වශයෙන් දක්නට ලැබුණේ පාලි භාෂාවය. මෙහිදී අභයගිරිය, ජේතවනය, දක්ෂිණගිරි විහාරය, විජයාරාමය ආදී ස්ථාන සංස්කෘතය ස්වකීය භාෂාව කර ගත් මහායානිකයන්ගේ බලකොටු බවට ක‍්‍රමයෙන් පෙරළුණි. ස්ථවිරවාදයෙහි මූලස්ථානයක් වූ මිහින්තලය පවා පසුකාලය වන විට මහායානිකයන් සතු ආරාමයක් විය.
 
 * බෝධිසත්ව සංකල්පය
 
 අනුරාධපුරයෙහි මුල් කාලපරිච්ෙඡ්දයෙහි සිටම ථේරවාදී බුදුදහම ලක්දිව රාජ්‍ය ආගම බවට පත් වූ බව දක්නට ලැබෙන අතර වරින්වර මහායාන බුදුසමය ලක්දිව තුළ ඉස්මතු වූ බව දැකගත හැකිය. කෙසේ වෙතත් මෙලෙස ථේරවාදයට අභියෝග කරමින් ඉස්මතු වූ මහායාන බුදුදහම රජවරු විසින් යටපත් කළ ආකාරය ද දක්නට පුළුවනි. නමුත් එම අදහස් සම්පූර්ණයෙන්ම යටපත් කිරීමට නොහැකි වූ බව පෙනේ. මෙහිදී බෝධිසත්ව සංකල්පය ලාංකේය සමාජයෙහි ව්‍යාප්ත වූ බව දක්නට ලැබේ.
 
 විශේෂයෙන්ම ක‍්‍රි.ව 5 - 10 ශතවර්ෂ අතර කාලයේ මහායාන අදහස් ලක්දිව පුරා බෙහෙවින් පැතිර ගිය අතර ඊට පෙර අවධියේ සිටම මෙම අදහස් සමාජගත වූ බව දැකගත හැකිය. එහිදී ක‍්‍රි.ව. 4 වන ශතවර්ෂයෙහි විසූ සිරිසඟබෝ රජතුමා බෝධිසත්වවරයකු විය. බෝධිසත්වවරයන් පිළිබඳ අදහස ලක්දිව පැතිර ගිය කාලය මෙයින් පැහැදිලි වේ. සිරිසඟබෝ රජුගෙන් පසු බොහෝ රජවරුන් බෝධිසත්වවරයන් වූහ. ඇතැම් රජවරුන් බෝසත් විජයබා, බෝසත් පැරකුම්බා ආදී නම් පවා භාවිත කරනු ලැබීය. පසුකාලය වන විට බෝධිසත්වවරයකුම රජයට පැමිණිය යුතු යැයි සම්මත විය. ජේතවනාරාම ලිපියක මෙම තොරතුරු සඳහන් කර තිබේ. මෙම බෝධිසත්ව අදහස පැතිරී යෑම නිසා බෝධිසත්ව කතා කීමට ද පැරණි ජන සමාජය ප‍්‍රිය කළහ.
 
 මෙම බෝධිසත්ව සංකල්පයත් සමඟ ලංකාවේ බෝධිසත්ව ප‍්‍රතිමා නිර්මාණය ද දැකගත හැකිය. විශේෂයෙන්ම ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් මහායාන බුදුසමයේ ප‍්‍රධාන අංගයක් වන බෝධිසත්ව වන්දනාව කළ බවට සාධක තවමත් ඉතුරුව තිබේ. මෙලෙස ලංකාව පුරා බෝධිසත්ව ප‍්‍රතිමා හමුවීමේදී කුඩා ප‍්‍රමාණයේ සිට විශාල ප‍්‍රමාණය දක්වා ප‍්‍රතිමා හමුවී තිබේ. මෙහිදී පෙරුම්දම් පුරමින් බුදු බව ප‍්‍රාර්ථනා කරනු ලබන උතුමන් වහන්සේලා බෝධිසත්වයන් වහන්සේලා නමින් හඳුන්වා තිබේ. විශේෂයෙන්ම දුකට පත්වූවන් එයින් මුදවා ගැනීම සඳහා බෝධිසත්ව පිළිම නිර්මාණය කර තිබෙන බව දක්නට පුළුවනි. මෙහිදී මහායාන සංකල්පයට අනුව බෝධිසත්වයන් සංඛ්‍යාව අසීමිත වුවද ප‍්‍රධානම බෝධිසත්වවරුන් කිහිපදෙනෙකු හඳුනාගත හැකිය. එම බෝධිසත්වවරුන් ධ්‍යානි බෝධිසත්ව, ත්‍රෛලෝක්‍යවිජයි නම් වලින් හඳුන්වනු ලැබේ.
 
 * අවලෝකිතේශ්වර * මෛත‍්‍රීය
 
 * ආකාශ ගර්භවජ‍්‍රගර්භ * ක්ෂිතිගර්භ
 
 * සමන්තභද්‍ර * සර්ව නිර්වාණ විශ්කම්භ
 
 මෙම සෑම ධ්‍යානි බෝධිසත්වවරයකු සඳහාම මුද්‍රාවක්, වාහනයක් මෙන්ම සංකේතයක් දක්නට පුළුවනි. එසේම මෙම බෝධිසත්වයන් අතුරින් අවලෝකිතේශ්වර සහ මංජු ශ‍්‍රී යන බෝසත්වරුන් ප‍්‍රමුඛත්වයෙහිලා සලකනු ලැබේ.
 
 මෙම බෝධිසත්ව ප‍්‍රතිමා දෙස අවධානය යොමු කිරීමේදී පල්ලව කලා සම්ප‍්‍රදායෙහි ආභාසය මත ක‍්‍රි.ව 7 - 8 සියවස් කාලපරිච්ෙඡ්දයේ නිර්මාණය කරන ලද කුෂ්ඨරාජගල සහ දඹේගොඩ ප‍්‍රතිමා නිර්මාණයන් දැක්විය හැකිය. මේ අතුරින් කුෂ්ඨරාජගල ප‍්‍රතිමාව නිර්මාණය කිරීම සඳහා හේතු සාධක බැලීමේදී කුෂ්ඨ රෝගයක් වැළඳුණු රජෙක් තම රෝගය සුවපත් කර ගැනීමෙන් පසු ඒ සඳහා වූ භාරය ඔප්පු කිරීමට එම ස්ථානයේ අවලෝකිතේශ්වර බෝධිසත්ව ප‍්‍රතිමාව නිර්මාණය කර තිබෙන බව දැකගත හැකිය. දඹේගොඩ ප‍්‍රතිමාව දෙස බැලීමේදී මෙම පිළිමය උස මීටර් 10ක් පමණ වේ. මෙම පිළිමයේ ජටාවේ කුඩා සමාධි පිළිමයකි. මීට අමතරව අනුරාධපුර විජයාරාමයේ දක්නට ලැබෙන ගොඩනැගිලි නෂ්ටාවශේෂවලින් ද මෙම බෝධිසත්ව ප‍්‍රතිමා පිළිබඳව ද සාධක හඳුනාගත හැකිය. එනම් විජයාරාමයේ දක්නට ලැබෙන කැටයම් අතුරින් අවලෝකිතේශ්වර බෝධිසත්වවරයන්ගේ රූප කැටයම් කර තිබෙන බව පෙනේ. මීට අමතරව ඇතැම් කැටයම් ඵලකවල අවලෝකිතේශ්වර බෝධිසත්වයන් සමඟ තාරා දේවිය ද කැටයම් කර තිබෙනු පෙනේ. එපමණක් නොව ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ තිරියාය ආශ‍්‍රිතව හමු වූ අවලෝකිතේශ්වර ප‍්‍රතිමාව ද වැදගත් වන අතර නාවික කටයුතුවලදී මොහුව ඇදහූ බව පෙනේ.
 
 
 * මහායානික ශිලා ලේඛන
 
 පුරාතන ශ‍්‍රී ලංකාවේ මහායානවාදයෙහි ඉස්මතු වීම පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙම කාලපරිච්ෙඡ්දයේ හමුවන ශිලා ලේඛන මගින් ද තොරතුරු රැසක් හඳුනාගත හැකිය. විශේෂයෙන්ම මහායානිකයන්ගේ ව්‍යවහාරික බස ලෙසින් හඳුනාගත හැකි සංස්කෘතයෙන් ලක්දිව ලියැවී තිබෙන අභිලේඛන දෙස බැලීමේදී ඒවා මගින් විවිධ සමාජ, ආර්ථික, දේශපාලනික සහ ආගමික කරුණු ඉස්මතු වන බව පෙනේ. මෙහිදී මහායාන බුදුදහමේ ප‍්‍රධාන සිද්ධාන්තයක් වූ ත‍්‍රිකාය පිළිබඳ අදහස හීනයාන බුදුදහමෙහි දක්නට ලැබෙන අතර මෙම අදහස ප‍්‍රථමයෙන් උපදවන ලද්දේ මහායානිකයන් විසිනි. මෙහිදී ලංකාවේ පැරණිම මහායානවාදී ශිලා ලේඛනය ලෙසින් පරණවිතාන මහතා දක්වනුයේ සේල චෛත්‍යය අසල ගලක කෙටූ ලේඛනයයි.
 
 වන්දේ ප‍්‍රත්‍යාත්ම වේද්‍යන්තමහමනුපමං ධර්මකායං ජිනානාමි (තමා විසින් පමණක් දත හැකි, අනුපම වූ බුදුරදුන්ගේ ධර්මකාය වඳිමි.)
 
 වන්දේ සම්භෝගකායං තමභමීහ මහා ධර්මරාජ්‍ය ප‍්‍රතිෂ්ඨම් (මහා ධර්ම රාජ්‍යයට ප‍්‍රතිශ්ඨා වූ බුදුරදුන්ගේ සම්භෝගකාය වඳිමි.)
 
 වන්දේ නිර්මාණකායං දශදිගනුගතං තං මහාර්ථං මුනිනාමි (දශදිශාවෙහි පතල මහාර්ථ වූ බුදුරදුන්ගේ නිර්මාණකාය වඳිමි.)
 
 මේ අනුව බැලීමේදී මිහින්තලේ ත‍්‍රිකායස්තව ලිපිය ඇසුරෙන් ප‍්‍රධාන මහායානික ධර්ම කරුණක් වූ බුදුරදුන්ගේ ධර්මකාය, සම්භෝගකාය, නිර්මාණකාය යන ත‍්‍රිකාය පිළිබඳ තොරතුරු හෙළිවන බව දක්නට පුළුවනි. මෙම සෙල්ලිපියේ අවසාන කොටසෙහි මෙය රචනා කළ භික්ෂුව පිළිබඳව දක්වා ඇති අතර අද වන විට එය විනාශ වී ඇති බව පෙනේ.
 
 අනුරාධපුර විජයාරාමය නම් ආරාමික සංකීර්ණයේ දක්නට ලැබෙන දාගැබෙහි කරන ලද කැණීම් කටයුතුවලදී තඹ පත‍්‍ර රැසක් සොයා ගෙන තිබෙන අතර මේවායෙහි තාරා දේවියට සහ අවලෝකිතේශ්වර ආකාශ ගර්භ යන බෝසත්වරුන්ට කරන ලද යැදීම් දැකගත හැකිය. ඒවායෙහි ඕම් කිලි කිලි හුරු හුරු ස්වාහා යන පාඨ බහුලව ඇත. මෙමගින් තාන්ත‍්‍රිකවාදයේ ඉගැන්වීම් හඳුනාගත හැකිය. ඒ අනුව 9 වන සියවසට අයත් මෙම තඹ පත් මගින් ද එම සමයෙහි මහායාන වන්දනය ලක්දිව ජනප‍්‍රියව පැවති බව සිතිය හැකිය. මිහින්තලයෙන් සහ විජයාරාමයෙන් හමු වූ ඉහත කී තඹ පත්වල සද්ධර්ම පුණ්ඩරීක සූත‍්‍රයෙන් ශ්ලෝක යොදා තිබීම මගින් මෙහි මහායානය පැතිර තිබූ බව දැකගත හැකිය. මීට අමතරව අනුරාධපුරයෙන් ලැබුණු තඹ තහඩුවක ක‍්‍රි.ව 6 වන සියවසේ නාගරී අක්ෂරයෙන් සටහන් කර ඇති ඕං වජ‍්‍රාතීක්ෂරම් යන යෙදුමක් දක්නට ලැබේ. මේ පිළිබඳව අවධානය යොමු කළ සද්ධාමංගල කරුණාරත්න වජ‍්‍රාතීක්ෂරම් නමැති මහායාන දේවතාවකු ගැන දක්නට නොමැති වුවත් වජ‍්‍ර යනුවෙන් එහි මහායාන ස්වරූපය පැහැදිලි වන බව දක්වයි.
 
 ලක්දිව මහායානවාදය ඉස්මතු වීමත් සමඟ සංස්කෘත පත් ඉරු මගින් ලංකාවේ මහායාන බෞද්ධයන් අතර පැවති පුරුද්දක් පිළිබඳව සාධක ගම්‍ය වන බව පෙනේ. එනම් ලංකාවේ බෞද්ධයන්, විශේෂයෙන්ම මහායානයට බර වූ විශ්වාස ඇත්තවුන් අතර සංස්කෘත බෞද්ධ දහම් පොත්වලින් උපුටා ගත් කෙටි පාඨ කෙටුම් කළ ලෝහ තහඩු චෛත්‍යවල තැන්පත් කිරීමේ පුරුද්දක් පැවති බව දක්නට පුළුවනි. මෙය බොහෝ දුරට මහායානිකයන්ට අනන්‍ය වූ ඇදහිල්ලක් බව පෙනේ.
 
 මේ අනුව ලාංකේය ආගමික ඉතිහාසය පිළිබඳව තොරතුරු අධ්‍යයනය කිරීමේදී මුල් කාලයේ සිට පැවති ථේරවාදී බුදුදහමෙහි ව්‍යාප්තිය සමඟ විවිධ හේතු සාධක මුල් කරගෙන නිකායන් කිහිපයක් ඉස්මතු වීම ලංකා ඉතිහාසයෙහි වරින්වර දැකගත හැකිය. ඒ අතුරින් මහායානවාදය ප‍්‍රමුඛ වූ බව පෙනේ. එහිදී අවස්ථා ගණනාවක් තුළ ඉස්මතු වූ මහායානවාදය බොහෝ රජවරුන් විසින් පාලනය කළ අතර ඇතැම් රජවරුන් රාජ්‍ය අනුග‍්‍රහය පවා ලබා දුන් බව දැකගත හැකිය. කෙසේ වෙතත් මෙහි අවසාන ප‍්‍රතිඵලය වූයේ මහායානික අදහස් බොහොමයක් ලාංකේය සමාජයේ මුල් බැස ගැනීමය. එමෙන්ම සංස්කෘත භාෂාව ද ලාංකේය භාෂා අතරට එක් විය. සංස්කෘත අභිලේඛන විශාල ප‍්‍රමාණයක් හමුවීම එහි ප‍්‍රතිඵලයක් ලෙස සඳහන් කළ හැකිය. මෙම සමස්ත තොරතුරුවලට අනුව ලාංකේය ථේරවාදී නිකායට අභියෝගයක් එල්ල කරමින් මහායානවාදයෙහි ඉස්මතු වීම් සිදු වූ ආකාරය මෙලෙස හඳුනාගත හැකිය.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles