Divaina - රොබට් නොක්ස්ගේ ලංකාව විස්තරයේ සත්‍ය අසත්‍ය කරුණු

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 

bada3
 කේ. එම්. ජී. අර්ජුන මානගේ
 පේරාදෙණි විශ්වවිද්‍යාලය
 
 
ලංකාවේ යටත් විජිත ඉතිහාසය පිළිබඳව අධ්‍යයනයට රොබට් නොක්ස් විසින් රචිත ලංකාද්වීපය පිළිබඳ ඓතිහාසික විස්තරය (ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් අයිලන්ඞ් ඔෆ් සිලෝන්) නමැති ග‍්‍රන්ථය ද විදේශීය සාහිත්‍ය මූලාශ‍්‍රයන් යටතේ ඉතා වැදගත් මූලාශ‍්‍රයක් වන බව නොරහසකි. මහනුවර යුගයේ ලාංකේය ආයතනික ඉතිහාසය පිළිබඳව ලියවෙන බොහෝ ශාස්ත‍්‍රීය ලේඛනවලට මූලාශ‍්‍ර වන රොබට් නොක්ස්ගේ එදා හෙළදිව කෘතිය තුළ පුරාණ ලංකාවේ සංස්කෘතිය, ආහාර පාන, වගාවන්, සතුන්, සිව්පාවන්, ආගම ඇදහීම, කුල ගෝත‍්‍ර, රටේ පාලන ක‍්‍රම හා පාලකයන් ආදී බොහෝ තොරතුරු අන්තර් ග‍්‍රහණය කර ඇත. ඔහුගේ ලංකා ඉතිහාස කතන්දරය සැබැවින්ම වත්මනට සාරගර්භ බුද්ධි කලම්බනීය ඓතිහාසික ලේඛනයකි.
 
 රොබට් නොක්ස්ගේ මුල් කෘතිය සිංහලට පරිවර්තනය කරන පුවත්පත් කතුවරයකු මෙන්ම වියත් ලේඛකයකු වූ ඬේවිඞ් කරුණාරත්න මහතා එදා හෙළදිව පොතේ ලියූ ප‍්‍රස්තාවනාව තුළ රොබට් නොක්ස් පිළිබඳව තබන සටහන ඉතාමත් වැදගත්ය. හෙළදිව පිළිබඳව තොරතුරු අලලා ඉතිහාස කතා ලියූ විදේශීය දේශපර්යටකයන් අතර සතළොස් වැනි ශතවර්ෂයේ දී ලංකාව තරණය කළ රොබට් නොක්ස් නම් ඉංග‍්‍රීසි ජාතික නාවිකයා ප‍්‍රථම ස්ථානය ගන්නේ යැයි සඳහන් කර තිබේ. මහනුවර රාජධානියේ රජ කළ දෙවන රාජසිංහ රජු දවස අහඹුවෙන් මෙරටට ගොඩබැසූ රොබට් නොක්ස්, විසි වසකට ආසන්න කාලයක් රජුගේ සිරකරුවකු වශයෙන් දිවි ගෙවීය. ඉන්පසුව සිය රට බලා පළා යන අතරතුර ලංකාදීපය පිළිබඳ ඓතිහාසික විස්තරය (ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් අයිලන්ඞ් ඔෆ් සිලෝන්) පෙළ ගැස්සුවේය.
 
 එය විටෙක මෙරට පිළිබඳව නොක්ස් හෙලූ දෘෂ්ටිකෝණය විද්‍යමාන කරන අතර අතළොස්සක් වූ වැරදීම් ද නොක්ස් අතින් සිදු වූ බව ද පෙනේ. ඉතිහාස අධ්‍යයනයේ දී මූලාශ‍්‍ර පරිහරණය ඉතා සුපරික්ෂාකාරීව සිදුකළ යුතු හෙයින් මෙහිදී ද එම න්‍යාය මත පදනම්ව ඓතිහාසිකත්වය ගවේෂණය කළ යුතුය. මෙම ලිපිය ඔස්සේ ලංකාද්වීපය පිළිබඳ ඓතිහාසික විස්තරය (ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් අයිලන්ඞ් ඔෆ් සිලෝන්) කෘතියේ වැදගත්කමත්, රොබට් නොක්ස් දැක්වූ ඇතැම් තොරතුරුවල සත්‍ය අසත්‍යතාවයත්, ඔහු අනවබෝධයෙන් දැක්වූ තොරතුරු වල යථාර්ථයත් පරීක්ෂාකර බැලීමට අපේක්ෂා කෙරේ. එය වනාහී ඉතිහාසය විකෘතියෙන් ප‍්‍රකෘතිය කරා ගෙනයන ශාස්ත‍්‍රීය පෙර ගමනට අවැසි මාර්ගෝපදේශයක් වන බව නොඅනුමානය. විශේෂයෙන්ම රොබට් නොක්ස් මෙරට තුළ දී ලද අත්දැකීම් යථානුභූත චින්තනය ඔස්සේ විග‍්‍රහ කර බැලීම අත්‍යවශ්‍යය.
 
 ‘ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් අයිලන්ඞ් ඔෆ් සිලෝන්” නමින් ක‍්‍රිස්තු වර්ෂ 1691 දී රොබට් නොක්ස් විසින් රචිත ග‍්‍රන්ථයේ සිංහල අනුවාදය ”එදා හෙළදිව” නමින් හඳුන්වයි. අවුරුදු 19කුත් මාස 1ක් හා දින 27ක් ලංකා දිවයිනේ සිරකරුවකු ලෙස ගත කර එයින් මිදී පෙරළා තම මව් රට වූ බි‍්‍රතාන්‍යයට යන අතරතුර තමා ගමන් ගත් නෞකාව තුළදී ඇති වූ කාන්සිය නිවා ගනු වස් තම අතීත අත්දැකීම් අළලා මෙම කෘතියේ මුල් පිටපත ඔහු විසින් ලියා ඇත. රොබට් නොක්ස් පුරා වසර 19ක් එවකට ලංකාව පාලනය කළ දෙවන රාජසිංහ රජුගේ සිරකරුවකු ලෙස ගත කළේය. ඒ අතරතුර ඔහු හිස්වැසුම් වියමින්, බඩු විකුණමින්, එමෙන්ම වී හා ඉරිඟු ආදිය වගා කරමින් ද කල්ගත කළේය. අවසානයේදී ඔහු ක‍්‍රි. ව. 1679 දී අරිප්පු ප‍්‍රදේශයට පළාගොස් පසුව එවකට ලංකාවේ මුහුදු බඩ ප‍්‍රදේශ පාලනය කළ ලන්දේසි ආණ්ඩුකරු හමුවී නැවත තම මව් රටට පෙරළා ක‍්‍රි. ව. 1680 දී ගමන් කරයි.
 
 මෙම කෘතිය ඔහු රචනා කරන්නේ නාවික ගමන අතරතුරේ දී බව උක්ත සඳහන් විය. විශේෂයෙන්ම මෙම කෘතිය පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමේ අධ්‍යක්ෂතුමාගේ අවධානයට ලක්වී ඔහු මෙය පුස්තකයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන්නට රොබට් නොක්ස්ට ආරාධනා කර සිටියේය. ඉතිහාසඥයකු හා චරිත කතා කතුවරයකු වූ ජෝන් ස්ට‍්‍රයික් නම් වූ නොක්ස්ගේ ඥාතිවරයකු තවදුරටත් මෙම කෘතිය ප‍්‍රකාශයට පත්කරන ලෙස නොක්ස්ව උද්යෝගිමත් කළේය. එසේම සැන්ටි ජොසියාවල්ඞ් හුක් ද එයට සහාය වූ බව දැක්වේ. රිචඞ් චිස්වෙල් විසින් මෙය මුද්‍රණය කෙරුණි. ක‍්‍රි. ව. 1689 දී මෙය ජර්මන් බසට ද පරිවර්තනය විය. ක‍්‍රි. ව. 1692 දී ඕලන්ද බසටද, ක‍්‍රි. ව. 1693 දී ප‍්‍රංශ බසට ද මෙම කෘතහස්ත කෘතිය පරිවර්තනය විය. ඊට අමතරව මෙම ග‍්‍රන්ථය ඉතා ඉහළ අලෙවියක් වාර්තා කළ කෘතියක් ලෙස ද ඉතිහාසගත වී ඇත.
 
 රොබට් නොක්ස් විසින් ඉතා ව්‍යක්ත භාෂා ශෛලියක් ග‍්‍රන්ථය රචනා කිරීමේදී භාවිතා කර ඇත. තවද මොහුගේ මෙම කෘතිය ඉතා විශිෂ්ට සාහිත්‍ය දැනුම ඇති ඉංග‍්‍රීසි නවකතාකරුවන්ගේ කෘතීන් හා සම තැනකලා තැබිය හැකිය. ඊට අමතරව ලංකාවේ එවකට පැවති (මහනුවර රාජධානි සමය වන විට) සමාජයීය, ආර්ථික, දේශපාලනික තත්ත්වයන් අපූරුවට විග‍්‍රහ කරන මෙය ඓතිහාසික හා මානව විද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා කෘතියක් බව ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයන් පිළිගනී.
 
 මෙම කෘතිය ප‍්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදේ. මුල් කොටස් තුනේ උඩරට රාජධානියේ විස්තර ද, හතරවන කොටසෙන් ඔහු සිරභාරයෙන් මිදී පළා යෑමද විස්තර කරයි. ඊට අමතරව මෙම කෘතිය මගින් භූගෝලීය සීමාවන් ද නොක්ස් දක්වයි. උඩරට රජු යටතේ උඩරට රාජධානියත්, මුහුදුබඩ කලාපය ලන්දේසීන් යටතේත්, යාපනය රාජධානිය ආර්ය චක‍්‍රවර්ති දමිළ පාලකයන් යටතේත් පැවති විස්තරයක් ඔහු දක්වයි. මෙම කෘතිය තුළ අඩංගු කරුණු රචකයා සිය අත්දැකීමෙන්ම අවබෝධකරගත් නිසාත්, ආගන්තුකයකු ලෙසින් ලොව ස්වදේශිකයකු ලෙසින්ම මෙරට තුළ හැසිරෙමින්, සිංහලයන්ගේ භාෂාව හොඳින් ව්‍යවහාර කරමින්, සිංහල සංස්කෘතියට අනුව හැඩ ගැසෙමින් හා වෙළෙන්දකු ලෙස ද ඔහු ලංකාව තුළ සෑම තැනකම සැරිසරමින්, විටෙක මිනිසුන් අතර ද තවත් විටෙක මහ ඝන වනාන්තර තුළ ද සැරිසරමින් ඔහු අති විශාල තොරතුරු සමුදායක් අනාවරණය කරගත්තේය.
 
 bada3 2එදා හෙළදිව නම් වූ සිංහල අනුවර්තනය තුළ පරිච්ෙඡ්ද 34ක් යටතේ තොරතුරු සඳහන් වේ. පළමු පරිච්ෙඡ්දයේ දී ඔහුගේ මව මියයෑම පිළිබඳවත්, සහෝදරයා පිළිබඳවත් තොරතුරු හෙළිකරන අතරතුර ඔහු ලංකාවට පැමිණීම ද ඉතා සිත් ඇදගන්නා සුළු ආකාරයෙන් ඉදිරිපත් කරයි. දෙවන පරිච්ෙඡ්දයේ සිට හත්වන පරිච්ෙඡ්දය දක්වා පිළිවෙළින් ඔහුගේ පියා මියගිය සැටිත්, සිරකරුවකු ලෙස කාලය ගත වූ සැටිත්, නොක්ස්ගේ අභිමතය පරිදි නිවසක් සාදාගත් අයුරුත්, ලංකාව යනු පෙරදිග ඉන්දීය සාගරයේ දූපතක් බවත් එහි නගර හා නියම් ගම්වල ආර්ථිකමය අංශ තුළ පැවැති වී ගොවිතැන හා ගොවිතැන් ක‍්‍රමය පිළිබ`දවත් සවිස්තරාත්මකව පැහැදිලි කරයි. අට වන පරිච්ෙඡ්දයෙන් තුරු හා පළතුරු පිළිබඳවත්, නම වන පරිච්ෙඡ්දයෙන් අල වර්ග පළා වර්ග හා මල් වර්ග පිළිබඳවත්, දස වන පරිච්ෙඡ්දයෙන් අපා දෙපා සිව්පාවන් පිළිබඳත් පැහැදිලි කරයි. එසේම එකොළොස් වන පරිච්ෙඡ්දයේ දී මෙරට පක්ෂීන්, සර්පයින් හා මත්ස්‍ය ආදීන් පිළිබඳව සඳහන් කරයි. රාජ්‍ය හා රජ්ජුරුවෝ, රජුගේ ගුණ අගුණ, කුරිරු රජයක තොරතුරු, අය බදු - කැමි, රාජ්‍ය නිලධාරීහු, රාජ්‍ය බලය හා යුද්ධ බලය මෙන්ම රජුට විරුද්ධව ගොඩනැ`ගුණු කැරැල්ලක් පිළිබඳව තොරතුරු ද දොළොස් වැනි පරිච්ෙඡ්දයේ සිට දහඅටවන පරිච්ෙඡ්දය දක්වා අන්තර්ගතය. මෙරට මුල් වැසියන්ගේ මුල, කුල, මල, ගරුනම්බු, ආගම, ආහාර, දේවාල, වන්දනාමාන පූජා විධි පිළිවෙත්, ආචාර විචාර, ඇඳුම් පැළඳුම්, චරිතය, විවාහය, දරු පරපුර, රැකියාව, විවේකය, නීති, භාෂාවන්, උගත්කම මෙන්ම රෝග - ව්‍යාධි, මරණ ආදිය පිළිබඳව විස්තර දහනව වන පරිච්ෙඡ්දයේ සිට විසිඅට වැනි පරිච්ෙඡ්දය දක්වා විස්තර කරයි. රොබට් නොක්ස් නැවත ඔහුගේ ජීවන තතු කරලියට ගෙන එන්නේ විසි නව වැනි පරිච්ෙඡ්දයේ සිට ය. ඔහුගේ ලැගුම්දෙණියේ ගෙදර පිළිබඳවත්, ඇලදැත්තේ වත්ත පිලිබඳවත් ඒ තුළ දැක්වෙයි. විසි නමවන සහ තිස්වන පරිච්චේදයේදී ඔහු අනුරාධපුරයට පළාගිය සැටිත්, තිස් දෙවන පරිච්ෙඡ්දයේ දී ‘මහ හිමය මැදින්’ ලෙස ද, තිස්තුන් වන හා තිස්හතර වන පරිච්ෙඡ්ද වලදී ‘නිදහස් ලෝකයට පිවිසියෙමු’ හා ‘ පෙරළා මවුබිමට‘ යනුවෙන් දහනව වසක තමන් අත්දුටු ජීවන පෙරළිය විග‍්‍රහකර නිමකරයි.
 
 ක‍්‍රි. ව. 1660 අපේ‍්‍රල් මස 4 වැනි දින ලංකාදීපයට ගොඩබැස ලක්දිව වාසය කළ පුරා දහනම වසක් තුළ රොබට් නොක්ස් ලංකාව සහ එහි ජනතාවත්, ප‍්‍රජා පාලන ක‍්‍රමයත්, සම්බන්ධයෙන් ප‍්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත් විස්තරය හා ස්වකීය ජීවිත විත්තිය හෙතෙම සිය කෘතිය තුළින් විග‍්‍රහ කරයි. ලංකාද්වීපය පිළිබඳ ඓතිහාසික විස්තරය (ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් අයිලන්ඞ් ඔෆ් සිලෝන්) නමැති ග‍්‍රන්ථයට ග‍්‍රීක සාහිත්‍ය තුළද හිමිවන්නේ උසස් තැනකි. විශේෂයෙන්ම සත්‍යාර්ථයෙන්ම ජීවත් වූ තැනැත්තෙකුගේ ආත්ම පරිත්‍යාගී ප‍්‍රයාසයක විත්ති අන්තර්ගත රොබට් නොක්ස්ගේ මෙන්ම ඉතිහාස විස්තරය ලෝක පූජිතව වැජඹේ. ඒ අනුව ලොවක් මවිත කළ මෙම කෘතිය තුළ අන්තර්ගත වන්නේ අන් කිසිවක් නොව අප මාතෘ භූමිය පිළිබඳවයි. සුවිශේෂී වූ වැදගත්කම් රැසක්ම නොක්ස් දක්වන්නේද අව්‍යාජ ස්වරූපයෙනි.
 
 ”කුඹුරෙන් මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය හෙබවීමට සුදුස්සේ ය, උගුල් ඇටවීමටත් හන්දි වෙදකමටත් ඔවුන් තරම් දක්ෂයෝ මුළු ලෝකයෙහිම නැත්තෝය. බතකුත් මාළු දෙකකුත් සකස් වන්නට කලියෙන් ඔවුන්ට පත්තුවක් ගලවා බිඳුණු හන්දියක් ප‍්‍රකෘතිමත් කළ හැකිය, හස්ත කර්මාන්ත ආදිය ගැන සිංහලයා මීට වඩා සැලකිල්ලක් දක්වතොත් ඒවා දියුණු කරගත හැකිය. එහෙත් සිංහලයා ස්වභාවයෙන්ම අලස ජාතියකි. එහෙත් ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්නය. මද්‍යපානය නොබොන්නේ ය; සොරකම් පිළිකුල් කරන්නේය; ගෙරි මස මුවෙහි නොතබන්නේ ය, සිංහලයා ඉතා විනීතය, ආගන්තුක සත්කාරයෙහි තත්පරය, ස්වදේශීන් හට මෙන්ම කරුණාවෙන් විදේශීන් හටත් සලකන්නේය, ඔවුන්ගේ බුද්ධාගම ඉතා සත්‍ය වූ නිර්මල වූ ප‍්‍රඥාවට ගෝචර වූ තර්කයට අනුකූල වූ ශ්‍රේෂ්ඨ ආගමකි; ඒ බව මම ද එසේම පිළිගනිමි, සිංහලයා ගේ භාෂාව වූ කලී වාග් ශක්තියෙන් අනූන වූ, එය කතා කරන ජනතාව මෙන්ම ශ්‍රේෂ්ඨ වූ, සුලලිත සුඛ නම්‍ය, සුමධුර භාෂාවකි. ඒ භාෂාව කතා කිරීම ඉමිහිරිය, රසවත් ඇමතුමෙන් හා ජනකාන්ත භාවයෙන් පරිපූර්ණය. ලෝකයේ මුල්ම රක්ෂාවත් ඉතා උතුම්ම රක්ෂාවත් ගොවිතැන ය, සිංහලයන්ගේ ප‍්‍රධාන රක්ෂාව ද මේ මුල්ම උතුම් රක්ෂාවයි, තමන්ගේ කෙත්වතු වල වැඩ කිරීම කොතරම් උසස් කෙනකුට නමුත් නින්දාවට කරුණක් නොවේ.”
 
 නොක්ස්ගේ ඇතැම් තොරතුරු අසත්‍ය බව මකාලීන අනෙකුත් මූලාශ‍්‍ර පරිශීලනයෙන් තහවුරු වේ. එක්තැනක නොක්ස් සඳහන් කරනුයේ ඔවුන් (ඉංග‍්‍රීසීන්) මෙරටට පැමිණි මුල්ම වතාව බවයි. නමුත් වෙළෙඳ ගනුදෙනු සඳහා ඉංග‍්‍රීසි වර්ගයක් ඒ වනතුරු ලක්දිවට ගොඩබැස සිටි නමුත් රොබට් නොක්ස් ලංකාවට ආ මුල්ම ඉංග‍්‍රීසි ජාතිකයා නොවේ. රල්ෆ් ෆීච් (Ralph Fitch) නම් ඉංග‍්‍රීසි ජාතිකයෙක් වූ වර්ෂ 1689 මාර්තු මස 6 වැනි දින ලංකාවට ගොඩබැස මේ දිවයින වීරයන්ගෙන් හා පලතුරුවලින් පිරී ගිය සුන්දර දිවයිනක් බව සඳහන් කර ඇත. නොක්ස් ඇතැම් අවස්ථාවන්හි තමන් වාසය කළ සමාජ සංස්කෘතිය, වටපිටාව සමඟින් එකළ ලංකාවේ පැවති සමාජ ස්වභාවය සංසන්දනය කිරීමට යෑම මත සුළුතරයක් වූ යම් යම් අසත්‍ය තොරතුරු ගැබ්ව ඇති බව සත්‍ය වුවත් ඒවා යථාවබෝධයෙන් ප‍්‍රත්‍යක්ෂ කිරීම තුළ නොක්ස් ගේ කෘතිය අවතක්සේරු කළ නොහැක. එසේම ඔහුගේ ව්‍යවහාරික භාෂාව සහ සිංහල භාෂාව අතර පැවති ඝට්ටනයේ දී ඔහුට ඇවතුම් පැවතුම් තේරුම් ගැනීමට නොහැකි වන්නට ඇතුවා සේම සංස්කෘතික සාධක වරදවා වටහා ගැනීමද සිදුවන්නට ඇත. ඊට අමතරව රොබට් නොක්ස් තමන් හට සිංහලයන් විශිෂ්ටතම ආගන්තුක සත්කාර දක්වන ලද බවත්, උඩට උඩු වියන් ඇඳ අග‍්‍රතම ආහාරපානාදියෙන් සංග‍්‍රහ කරන ලද බවත් කියමින් තවත් විටෙක දී එම මුවින්ම සිංහලයන් හට වනචාරීන් යැයිද මිලේච්ඡුයන් යැයිද බැණ වදින්නේ ය. ඒ පෙර සඳහන් කළ පරිදිම තමන් සිරභාරයට පත්වූ සිත් වේදනාව නිසා විය හැකිය.
 
 රොබට් නොක්ස් දක්වන ආකාරයට එකල ගංගාවල මත්ස්‍යයන් සුලබ වූයේ මෙරට මිනිසුන් මසුන් මැරීමට අදක්ෂ වූ නිසාය. නමුත් බෞද්ධාගමික පසුබිමක් සමාජගත වී තිබීමත් ලක්වැසියන් මසුන් මැරීම වසල වෘත්තියක් කොට සැලකීමත් නිසා ගංගා පොකුණුවල මසුන් සුලභ වන්නට ඇතැයි සිතිය හැකිය. නොක්ස් සමනල කන්ද පිළිබඳව දක්වන විස්තරය ද අසත්‍ය තොරතුරු කැටිවූ විග‍්‍රහයක් බව පෙන්වා දිය හැකිය. ලංකාවේ උසම කන්ද සමනල කන්ද ලෙසත් බුදුරජාණන් වහන්සේ සමනළ කන්දේ වැඩ විසූ බවත් ඔහු දක්වයි. මේවා තුළින් පිළිබිඹු වන්නේ ඒවා මෙරට වැසියන්ගේ විශ්වාස නොව රොබට් නොක්ස් විසින් ගොඩනැ`ගූ හිතළු බවයි. තවද දැඩි ක‍්‍රිස්තියානි භක්තිකයකු වූ රොබට් නොක්ස් බෞද්ධාගම ද කිතුණු ආගම අනුව විස්තර කර දක්වන්නට ගිය තැන් කිහිපයක් ද කෘතිය තුළ වේ.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles