Divaina - කුඹුරට අවශ්‍ය කාබනික පොහොර අපිම නිපදවා ගනිමු

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 saru1වී වගාවට කාබනික පොහොර යොදා ගැනීම ඉතා සාර්ථක ක‍්‍රමයකි. එමගින් ශාකවලට අවශ්‍ය සියලූ පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය ප‍්‍රමාණයට කිසිම අහිතකර තත්ත්වයකින් තොරව ලැබීම නිසා පසේ භෞතික හා රසායනික තත්ත්වයන් වගාවට හිතකර අයුරින් වැඩි දියුණු වීම සිදු වේ. මෙමගින් අස්වැන්නේ ප‍්‍රමාණය මෙන්ම ගුණාත්මකභාවය ඉහළ යෑම සිදු වේ. අපේ කුඹුරට අවශ්‍ය කාබනික පොහොර අපිම නිපදවා ගැනීමේදී සැලකිය යුතු කාරණා දෙකක් තිබේ.
 
 1. මේ පිළිබඳව ගොවියාට හොඳ ආකල්ප මෙන්ම අධිෂ්ඨානයක් තිබීම.
 
 2. එක කන්නයක් පුරාවටම ඉවතලන සියලූ කාබනික ද්‍රව්‍ය කමතේ එසේත් නැත්නම් කුඹුරට ආසන්නයේ කොටසක එකතු කර කොම්පොස්ට් කර ගැනීම.
 
 ගොයමට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය සොයා ගැනීම පිළිබඳ අධිෂ්ඨානයෙන් කටයුතු කරන ගොවියාට කන්නය පුරාවට එනම් මාස 6 ක පමණ කාලයකදී තම ගොවිපළෙන්, කුඹුරෙන්, ගෙවත්තෙන්, තම නිවසෙන් හා තම වටපිටාවෙන් කුඹුරට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය එකතු කර ගැනීම ඉතාමත්ම පහසු කටයුත්තක් වනු ඇත. තැන තැන ඇති කාබනික ද්‍රව්‍ය තම පරිසරයෙන් එකතු කර ගොඩ ගසා ගැනීමෙන් පරිසරයේ පිරිසිදු බව ඇති වීම වාසියකි. කුඹුරට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය සපයා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අපි මීළඟට සලකා බලමු.
 
 කොළ පොහොර
 
 ග්ලිරිසීඩියා, ඉපිල් ඉපිල්, වල් සුරියකාන්ත වැනි ශාක හා සැල්වීනියා, ජපන්ජබර වැනි ජලජ වල් පැළෑටි ද භාවිතා කළ හැකිය. මේවා වැට මායිම්වල වැවීමෙන් හෝ වනාත කොටස්වල ඉබේ වැවෙන ශාකවලින් සොයා ගැනීම කළ හැක. වගා කන්නය ආරම්භයේදීම
 
 මෙම කැලෑ කොටස් සුද්ධ කර වැටවල් නඩත්තු කර ගැනීමෙන් මේ ද්‍රව්‍ය පහසුවෙන් ලබාගත හැකිය. වගාවට ඇති වන සෙවණ ද මෙමගින් වළක්වාගත හැකිවීම වාසියකි. ජලජ වල් පැළෑටි ඇළ මාර්ග ගොඩ දැමීමෙන් හා කුඹුරුවලින් එකතු කර ගැනීමෙන් ලබාගත හැකි වේ.
 
 භෝග අවශේෂ
 
 saru2මේ සඳහා පසුගිය කන්නයේ පිදුරු, එළවළු, පලතුරු භෝග අවශේෂ, වී කෙටීමෙන් පසු ඉතිරි වන දහයියා, ලී කුඩු ආදිය භාවිතා කළ හැකිය. දහයියා හා ලී කුඩු දිරා යෑමට අපහසු බැවින් දහයියා කරදහයියා ලෙස භාවිතයට ගැනීම හා ලී කුඩු දර අළු බවට පත් කර භාවිතා කළ හැකිය.
 
 සත්ත්ව පොහොර
 
 මේ සඳහා ගොම පොහොර, එළු පොහොර, කුකුල්් පොහොර ආදියත් සත්ත්ව ඝාතකාගාරවලින් ලබාගත් අපද්‍රව්‍යත් යොදා ගත හැකිය. මේවා
 
 ගොවියාගේ ගොවිපළෙන් ලබා ගැනීමට හැකි නම් පහසු වේ. එසේත් නොමැති නම් ඒවා ලබාගත හැකි ස්ථානවලින් ලබා ගැනීමට උත්සුක විය යුතුය.
 
 ඉහත ආකාරවලින් කන්නයක් පුරාවට එකතු කර ගන්නා කාබනික ද්‍රව්‍ය පහසු ක‍්‍රමයකින් කොම්පොස්ට් බවට පත් කර ගැනීම කළ හැක. මේ සඳහා ගොඩ ක‍්‍රමය, වළ ක‍්‍රමය, කෝටු රාමු ක‍්‍රමය ආදිය භාවිතා කළ හැකිය. මේ කාලය මාස 6 ක් තරම් වන නිසා
 
 ගොවියාට තම කුඹුරට අවශ්‍ය තරම් කාබනික ද්‍රව්‍ය එකතු කර ගැනීමටත්, දිරා යෑමට කාලය ප‍්‍රමාණවත්ව ලැබීමත් සිදු වේ.
 
 මෙසේ සකසා ගන්නා කාබනික ද්‍රව්‍ය වගාවේ මූලික බිම් සැකසීමත්් සමග පසට කලවම් කිරීම කළ හැකිය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව කුඹුරු අක්කරයට කාබනික පොහොර ටොන් 4 ක් යෙදිය යුතුය.
 
 ඉතා ඉහළ අස්වනු ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් වාණිජ කෘෂිකර්මාන්තයේදී කාබනික පොහොරවලට අමතරව රසායනික පොහොර ද යම් ප‍්‍රමාණයකින් භාවිතා කළ හැකිය. මෙය ඒකාබද්ධ පෝෂක කළමනාකරණය ලෙස හැඳින්වේ. ඒකාබද්ධ පෝෂක කළමනාකරණය තුළින් (රසායනික පොහොර + කාබනික පොහොර) රසායනික පොහොරවල කාර්යක්ෂමතාවය වැඩිකර ගත හැක. මෙහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ භාවිතා කළ හැකිය. තවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පස් පරීක්ෂා කළහැකි ආයතනවලින් පස පරීක්ෂා කර වගාවට පොහොර යෙදීම ඉතාම සාර්ථක ක‍්‍රමයකි. දැනට මා සේවය කරන බෝඹුවල ප‍්‍රාදේශීය වී පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ පස පරීක්ෂා කර පසේ තත්ත්වය පිළිබඳ වාර්තා ජනතාවට ලබාදීම සිදු කෙරේ. පසේ පෝෂ්‍ය තත්ත්වය දැනගෙන පොහොර යෙදීමෙන් කාලය, ශ‍්‍රමය, මුදල් ඉතිරිවීම මෙන්ම අස්වැන්නේ ප‍්‍රමාණය හා ගුණාත්ම ඉහළ යෑම සිදු වේ. මේ කාරණා සලක බලා කන්නය පුරාවට එකතු කර ගන්නා කාබනික ද්‍රව්‍ය කොම්පොස්ට් බවට පත් කර ඊළඟ කන්නයේ පසට මිශ‍්‍රකර අස්වැන්නේ ප‍්‍රමාණය හා ගුණාත්මක භාවය වැඩි කර ගනිමු.
 
 නඳුන් සී. කරුණාතිලක
 ගොවිපළ කළමනාකරු (කෘෂිකර්ම උපදේශක)
 ප‍්‍රාදේශීය වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, බෝඹුවල

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles