Divaina - ‘සෞභාග්‍යයේ දැක්ම’ ගමනක ඇරඹුම

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p6 1දැන් රට තිබෙන්නේ කොතැනද? අප මුලින්ම එය වටහාගෙන සිටිය යුතුය. මේ වර්ෂයේ (2020) පළමු කාර්තුවේ ආර්ථිකය සංකෝචනය වෙමින් සෘණ සියයට 1.6 ක ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත. එනම් ආර්ථිකය පසුබෑමට ලක්ව තිබේ. කොවිඞ් 19 වසංගත තත්ත්වය මාර්තු මාසයේ අග සිට බලපෑම් කළත් එය වැඩි වශයෙන්ම බලපෑවේ මේ වසරේ දෙවන කාර්තුවටය. එසේ නම් පළමු කාර්තුව සියයට 1.6 ක පසුබෑමක් වාර්තා කළේ කෙසේ ද?
 
 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ඊයේ (12) පෙරවරුවේ මහනුවර ශ‍්‍රී දළදා මාලිගා පරිශ‍්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. කැබිනට් අමාත්‍යාංශ 28 ක් සඳහා අගමැතිවරයා ඇතුළුව කැබිනට් ඇමැතිවරු 25 ස් දෙනෙක් දිවුරුම් දුන් අතර රාජ්‍ය අමාත්‍යවරු 39 ක් සහ දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු 23 ක් ද ඒ සමගම දිවුරුම් දුන්නේය. වෙනදා නව රජයක නව අමාත්‍යාංශ ජනයා දැන ගත්තේ ඇමැතිවරු දිවුරුම් දෙන විටය. එහෙත් මෙවර එය වෙනස්ව වඩාත් විධිමත් ලෙස මේ ඇමැතිවරු දිවුරුම් දීමටත් පෙරම ඉකුත් අගෝස්තු 09 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් වූ අති විශේෂ ගැසට් පත‍්‍රයක් මගින් රජයේ නව කැබිනට් අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශවලින් සමන්විත අමාත්‍ය මණ්ඩල ව්‍යුහය ප‍්‍රකාශයට පත් කර තිබිණි. ඒ නිසා මෙවර සිදුව ඇත්තේ රට කරගෙන යෑමට තිබිය යුතු අමාත්‍යාංශ නිර්මාණය කර එම අමාත්‍යාංශ සඳහා අමාත්‍යවරු පත් කිරීමය. එහෙත් වෙනදා බොහෝ විට සිදු වූයේ පුද්ගලයන්ට අමාත්‍යාංශ නම් කර භාර දීමය. එසේම එම අමාත්‍යාංශයට අයත් ආයතන සහ විෂය පථය ගැසට් වූයේ ඉන් පසුවය. වෙනදා අමාත්‍යාංශයක් නම් කර පත්වීම් ලැබූ ඇමැතිවරයා තම අමාත්‍යාංශයේ විෂය පථය හෝ ඊට අයත් ආයතන ලැයිස්තුව දැන සිටියේ නැත. එය ඔහු දැන ගත්තේ ඒවා ගැසට් කළ පසුවය. එහෙත් මෙවර පත්වීම් ලැබූ සියලූම අමාත්‍යවරුන්ට කලින්ම ප‍්‍රකාශයට පත් වූ මේ ගැසට් පත‍්‍රය අනුව වහාම තම අමාත්‍යාංශයට අයත් විෂය පථය සහ ආයතන මොනවාද යන්න දැන ගත හැකිය. ඒ අනුව පැහැදිලි අදහසක් ඇතිව තම අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කළ හැකිය. ඒ අනුව ඊයේ දින පත්වීම් ලැබූ සියලූ අමාත්‍යවරුන්ට අපගේ සුභාශිංසන පළ කරන අතරම ඔවුන් සියලූ දෙනාගෙන් සෞභාග්‍ය කරා යන නව ගමන ආරම්භ කරන ලෙස අපි ඉල්ලා සිටිමු.
 
 සෞභාග්‍ය කරා යන රට ගමන් කරවීමට නම් රටට ඉතා දක්ෂ, අවංක මෙන්ම කාර්යශුර අමාත්‍ය මණ්ඩලයක් අවශ්‍ය කර තිබේ. අනාගතයේදී අපේක්ෂා කරන  සෞභාග්‍යවත් දේශය ගොඩනැගීම සඳහා කැපවන කාර්යශූර අමාත්‍ය මණ්ඩලයක අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් ද පෙන්වා දී තිබේ. ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණයේ දී රට හමුවේ තැබූ ”සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව එම ජාතික වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රායෝගිකව සහ යථාර්ථවාදීව අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය සැලසුම් කර තිබෙන බව රජය කියයි. රජය කියන පරිදි අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක‍්‍රීඩා යන ක්ෂේත‍්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබේ. මේ ප‍්‍රමුඛතා ගැන විවාදයක් නැත. ජාතික ආරක්ෂාව අංක එකට සැලකිය යුතුමය. පසුගිය වසරේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට මුහුණ දීමට රටට සිදු වූයේ ද මෙසේ එම යහපාලන රජය ජාතික ආරක්ෂාව ගැන එතරම් තැකීමකින් කටයුතු නොකළ නිසාය. මීළඟ ප‍්‍රමුඛතාව ලෙස ආර්ථික සංවර්ධනය දක්වා තිබේ. මීළඟට යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ද ප‍්‍රමුඛතාවක් ලෙස දක්වා තිබේ. මේ සියල්ලම අත්‍යවශ්‍ය වන අතර රජය නිවැරදි ලෙස ප‍්‍රමුඛතා හඳුනාගෙන තිබෙන බවක් පෙනේ. එහෙත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල සටහන්ව ඇති දේ මහපොළවේ යථාර්ථයක් බවට පත් වීමට නම් මේ පත් වූ අමාත්‍ය මණ්ඩලයට ඉතා පුළුල් වගකීමක් පැවරී තිබේ. ඒ වගකීම ඔවුන් ඉතා අවංකව සහ කැපවීමෙන් රටේ ඉදිරි ගමන වෙනුවෙන් ඉටු කරනු ඇතැයි යන්න සියලූ රටවැසියා වෙනුවෙන් අපගේ අපේක්ෂාවයි.
 
 fea6 2‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඉටු කරමින් සෞභාග්‍ය කරා රට ගමන් කරවීම සඳහා රජය දරන ප‍්‍රයත්නයට පසුගිය මහ මැතිවරණයේ දී මේ රටේ අති මහත් බහුතර ජනයාගේ ඉහළම කැමැත්ත සහ ආශිර්වාදය හිමි වී අවසන්ය. ඒ සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා තිරය පිටුපස සිට ඉතා පුළුල් මෙහෙයක් කළේය. ඒ ගැන අමුතුවෙන් කීමට දෙයක් නැත. රටේ ප‍්‍රධාන විපක්ෂය ලෙස සිටි යහපාලන රජයේ ප‍්‍රධාන පාර්ශ්වකාරයකු වූ එක්සත් ජාතික පක්ෂය සියයට 2.15 ක් මට්ටමකට ඇදවැටෙමින් කුල්ල කුජීත වී ගියේය. එක්සත් ජාතික පක්ෂයට කලින් ජනතා විමුක්ති පෙරමුණට පැවති සියයට 3 ක ඡුන්ද ප‍්‍රතිශතයවත් නැත. එම පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු සියලූ අපේක්ෂකයන් පරාජයට පත්ව එම දැවැන්ත පක්ෂය ජනතා විමුක්ති පෙරමුණටත් වඩා පල්ලම් බැස්සේය. යන්තම් හැකිව ඇත්තේ ජාතික ලැයිස්තුවෙන් එක මන්ත‍්‍රීවරයකු පත් කර ගැනීමේ වරම පමණි. සමගි ජනබලවේගය මන්ත‍්‍රී ධුර 54 ක් ලබමින් ප‍්‍රධාන විපක්ෂය බවට පත්වී තිබේ. එහෙත් සමගි ජන බලවේගයේ ඡුන්ද ප‍්‍රමාණය ජන්ද 27,71,980 ක් පමණි. කණ්ඩායම් දෙකකට බෙදී ඡුන්දයට ඉදිරිපත් වීම ඔවුන්ගේ ඡුන්ද ප‍්‍රමාණය විශාල ලෙස අඩු වීමට හේතු වී තිබේ. එසේ නොවූයේ නම් රටට මීට වඩා ප‍්‍රබල විපක්ෂයක් නිර්මාණය වීමට ඉඩ තිබිණි. කෙසේ හෝ මේ පසුබිම තුළ රජයට තුනෙන් දෙකේ විශාල ජනවරමක් සහිතව රට පාලනය කිරීමේ වරම හිමිව තිබේ. මේ නිසා දේශපාලන අස්ථාවරත්වයකින් තොරව ශක්තිමත් ස්ථාවර රජයක් යටතේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ද සුදුසු පරිදි වෙනස් කරගනිමින් එසේම වෙනත් අත්‍යවශ්‍ය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ද පහසුවෙන් සිදු කරගනිමින් රට සංවර්ධනය කරා ගෙන යෑමේ ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ විශාල ඉඩ ප‍්‍රස්ථාවක් වත්මන් ගෝඨාභය රාජපක්ෂ රජයට මේ රටේ ජනයා විසින් හිමි කරදී තිබේ. මේ නිසා නව ඇමැතිවරු දැන් කළ යුතුව තිබෙන්නේ මේ ජනතා අපේක්ෂාවන් ඉටු කරමින් ‘සෞභාග්‍යයේ දැක්ම’ යථාර්ථයක් බවට පත් කර ගැනීමට දායක වීමයි.
 
 එහෙත් දැන් රට තිබෙන්නේ කොතැනද? අප මුලින්ම එය වටහාගෙන සිටිය යුතුය. මේ වර්ෂයේ (2020) පළමු කාර්තුවේ ආර්ථිකය සංකෝචනය වෙමින් සෘණ සියයට
 
 1.6 ක ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත. එනම් ආර්ථිකය පසුබෑමට ලක්ව තිබේ. කොවිඞ් 19 වසංගත තත්ත්වය මාර්තු මාසයේ අග සිට බලපෑම් කළත් එය වැඩි වශයෙන්ම බලපෑවේ මේ වසරේ දෙවන කාර්තුවටය. එසේ නම් පළමු කාර්තුව සියයට 1.6 ක් පසුබෑමක් වාර්තා කළේ කෙසේ ද? මාර්තු මාසයේ අග භාගය සඳහා කොවිඞ් 19 වසංගතයේ බලපෑමක් තිබෙන බව ඇත්තය. පාස්කු ප‍්‍රහාරයේ බලපෑම්වලින් ඒ වන විටත් විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය ඇතුළු ආර්ථිකය මුළුමනින්ම අත්මිදී නැති බවත් මේ අනුව පැහැදිලි වේ. මේ නිසා කොවිඞ් - 19 නොතිබුණත් පළමු කාර්තුවේ සැලකිය යුතු ආර්ථික පසුබෑමක් තිබෙන බව පෙනේ. එම පසුබෑම මුළුමනින්ම කොරෝනා පිට දැමීමට පුළුවන්කමක් නැත. එහෙත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ කොරෝනා වසංගතය නිසා ලෝකයේ බොහෝ ආර්ථිකයන් පසුබෑමට ලක්ව ඇතැයි පවසමින් 2020 පළමු කාර්තුවේ දී ශ‍්‍රී ලංකාව ද මෙම දුෂ්කර තත්ත්වයට මුහුණ දෙමින් කාර්තුමය ආර්ථික වර්ධනය සෘණ සියයට 1.6 ක් ලෙස වාර්තා කර ඇති බවයි. මෙය තරමක පිළිගැනීමට අපහසු කතාවකි. කොරෝනා වසංගතයේ බලපෑමක් 2020 පළමු කාර්තුවට තිබෙන නමුත් කොරෝනා වසංගතය නොමැති වුවත් ආර්ථිකයේ පසුබෑමක් තිබෙන බව පැහැදිලි වන කරුණකි. මේ නිසා කොරෝනා වසංගතය වැඩි වශයෙන්ම බලපෑ දෙවන කාර්තුවේ ආර්ථිකය නිසැක වශයෙන්ම මීට වඩා වැඩි පසුබෑමකට ලක් වනු ඇති බව අපට සිතිය හැකිය. මේ අනුව මේ වර්ෂයේ පළමු භාගය සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කරන තත්ත්වය තුළ මේ සමස්ත වර්ෂයේම ආර්ථික වර්ධනය බොහෝ දුරට සෘණ අගයක් ගැනීමේ ලකුණු පෙනෙන්නට තිබේ. එය එසේ නොවී සුළු වශයෙන් හෝ ධන අගයක් කර ගැනීමට නම් එම සෘණ අගය ඉක්මවා ගිය ධන ආර්ථික වර්ධනයක් වසරේ දෙවන භාගයේ දී වාර්තා කළ යුතුය. ඒ සඳහා කොවිඞ් - 19 නිසා අකර්මණ්‍ය වී තිබෙන රටේ ආර්ථික කටයුතු වේගවත් ලෙස පණ ගැන්වීමට මේ රජය සමත් වේද? ඒ සඳහා නව අමාත්‍ය මණ්ඩලයට ද පුළුල් වගකීමක් තිබෙන බව අපගේ හැඟීමයි. එය විශාල අභියෝගයකි. සෘණ සියයට 1.6 කට වැටුණු ඇතැම් විට දෙවන කාර්තුවේදී ඊටත් වඩා පසුබෑමට පත් වූ සෘණ ආර්ථිකයක සිට මේ නව රජයේ
 
 ‘සෞභාග්‍යයේ දැක්ම’ යථාර්ථයක් බවට පත් කර ගැනීමේ ගමන හෙට සිට නොව අද සිටම ආරම්භ කළ යුතුව තිබේ. මේ නිසා තම අමාත්‍යාංශවල කාර්යභාරය ඉටු කරමින් වහාම වැඩට බසින ලෙස නව අමාත්‍යවරුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.
 
 පසුගිය භාරකාර රජයේ මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කළ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිගටම මුදල් විෂය භාර කැබිනට් ඇමැතිවරයා ලෙස කටයුතු කරන අතර එම අමාත්‍යාංශය යටතේ මුදල් රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් නම් කර තිබේ. එම මුදල් රාජ්‍ය අමාත්‍යවරු ලෙස පත්ව සිටින්නේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා (මුදල් හා ප‍්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ)
  සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන ෂෙහාන් සේමසිංහ (සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය,  ස්වයං රැුකියා, ව්‍යාපාර සංවර්ධන)
  මහතාය. ඔවුන් දෙපළටම අපගේ සුබපැතුම් පිරි නමමු. අජිත් නිවාඞ් කබ්රාල් මහතා පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ වසර දහයක් පමණ රටේ ආර්ථික කේන්ද්‍රස්ථානය වන මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළේය. ආර්ථික සහ මූල්‍ය කටයුතු වාර්තා කරන මාධ්‍යවේදියකු ලෙස මේ ලියුම්කරුද කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස සිටියදී ඔහු සමග සමීපව කටයුතු කර ඇති නිසා ඔහු ඉතාමත් කැපවීමෙන් කටයුතු කරන අයෙකු බව පෞද්ගලිකවම දනී. එසේම
 
 පසුගිය වසර හතරහමාරක කාලයේ දී ද යහපාලන විරෝධී ජනමතය වෙනුවෙන් ඔහු විශාල මෙහෙයක් කළේය. රටම විපතට පත් කළ යහපාලන රජයේ බැඳුම්කර මගඩිය ගැන නිරන්තරයෙන්ම ජනයා දැනුවත් කළේය. මේ නිසා කබ්රාල් මහතාට ලැබී ඇති නව අමාත්‍ය ධුරයෙන් ඔහුගේ දැනුම ද ප‍්‍රයෝජනයට ගනිමින් රටට විශාල මෙහෙයක් කිරීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරමු. ෂෙහාන් සේමසිංහ මහතා ද දක්ෂ සහ කාර්යශුර තරුණ මන්ත‍්‍රීවරයෙකි. ඔහු ද පසුගිය කාලයේ යහපාලන විරෝධී ජනමතය ගොඩනැගීමට විශාල දායකත්වයක් දුන් මන්ත‍්‍රීවරයෙකි. අප වැඩි වශයෙන් මුදල් අමාත්‍යාංශය ගැන කතා කළේ මෙවර ආර්ථික සංවර්ධනයට නායකත්වය දීමේ ප‍්‍රමුඛ වගකීම පැවරී ඇති අමාත්‍යාංශය මේ මුදල් අමාත්‍යාංශය වන නිසාය. පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයක් තිබුණි. එසේම පසුගිය යහපාලන රජයේ ආර්ථික කටයුතු අමාත්‍යාංශයක් ද තිබුණි. මෙවර එවැනි අමාත්‍යාංශයක් නම් වී නැත. මෙවර මුදල් අමාත්‍යාංශයේ කාර්යයන්හි අංක දෙක යටතේ ‘දිළිඳුකම පිටුදැකීම හා ආර්ථික පුනර්ජීවනය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය මගින් සියලූ අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරමින් සංවර්ධන කටයුතු මෙහෙයවීම සඳහා පහසුකම් සැලසීම’ යනුවෙන් දක්වා තිබේ. මේ කියන ජනාධිපති කාර්යසාධක බලකායේ ප‍්‍රධානියා බැසිල් රාජපක්ෂ මහතාය. මේ නිසා අමාත්‍යවරයකු නොවුණත් මේ කාර්යසාධක බලකායේ ප‍්‍රධානියා වශයෙන් ඔහුට ද අනෙකුත් අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරමින් ඉදිරි ආර්ථික සංවර්ධන ගමනට පුළුල් මෙහෙයක් ඉටු කිරීමේ අවකාශය සැලසී ඇත. ඉදිරියේ දී මේ ජනාධිපති කාර්යසාධක බලකාය ද මුදල් අමාත්‍යාංශයේ සිට මෙහෙය වෙනු ඇති බවද රජයේ ආරංචිමාර්ගවලින් දැන ගන්නට තිබේ. මේ පසුබිම තුළ කොරෝනා වසංගතයෙන් මිදී ඉතා ඉක්මනින් රටේ අකර්මණ්‍ය වී ඇති ආර්ථිකය පණ ගන්වා ජනයාගේ ජීවන තත්ත්වය ඉහළට ඔසවා තැබීමට මේ රජයට සහ නව අමාත්‍ය මණ්ඩලයට හැකි වේවායි අපි ප‍්‍රාර්ථනා කරමු.
 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles