Divaina - ලෝකය මානව භාෂාමය නිර්මිතයක්: සියල්ල පවතින්නේ ඒ මතයි - මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p18 2රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී කවියකු, නවකථාකරුවකු වන මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල විසින් රචිත නවතම කෘතිය ‘අපොයියාව’ නවකථාව මෙරට නව කථා ක්‍ෂේත‍්‍රයේ ආකෘතිමය වෙනසක් ඇතිකල ග‍්‍රන්ථයක් ලෙස මේ වන විට පාඨක විචාරක කථාබහට ලක්ව ඇත. පහත පලවන්නේ ඒ සම්බන්ධව මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල සමඟ සිදුකල සංවාදයක්ය.

ඔබගේ අලූත්ම නවකතාව ”අපොයියාව” ආකෘතිමය අතින් නව අත්හදාබැලීමක් බව පෙනෙනවා..

ඔව්, ඔබ හරි.

නව ආකෘතිමය ක‍්‍රමයකට තමයි මෙය ලියා තිබෙන්නේ. මගේ කලින් නවකතා දෙක වුණත් කාලය හා අවකාශය ප‍්‍රමුඛ කර ගත් නව ආකෘතිමය අත්හදා බැලීම් විදියට තමයි නිර්මාණය කළේ. ඒත් මං හිතන්නේ ඒ පිළිබඳ ව නම් ඒ තරම් වැඩි අවදානයක් පෙන්නුම් වූයේ නැහැ. මා තේරුම් ගත් කාරණය තමයි ආකෘතිය පවා පාඨකයා කියවා ගන්නේ සාහිත්‍ය රසය මුල් කොටගෙන කියන කාරණය. ඒක හරිම සුන්දර දෙයක්. මේ වාගේ දේවල් අපේ නවකතාවට වඩා බටහිර නිර්මාණ තුළ පෙනෙන්නට තිබෙනවා. ආකෘතිය සහ අන්තර්ගතය කියන්නේ ගහට පොත්ත වගේ තදබල බැඳීමක්, ගැලපීමක් තියෙන්න ඕනි එකක්. මේකට ආකෘතිය නොකියා ”ඉදිරිපත් කිරීමේ විලාසය” වැනි හැඳින්වීමක් කළාම හොඳට තේරෙනවා. වඩාත් වැදගත් වන්නේ ලියන දේ නොව ලියන විදිය කියල කතාවක් තියෙනවනේ. ඉතින් මේ පැතිකඩය පරිකල්පනයේම කොටසක්. මට හිතෙනවා මේ කාරණයේදී නවකතාවකට වඩා අපේ කෙටිකතාකරුවා සක‍්‍රීයයි කියල. ඔවුන් පුදුම විලාසයන් භාවිත කරනවා.

මෙහි අන්තර්ගතය පිළිබඳ කතා කළොත් ආකෘතිමය ආලෝකය ඔස්සේ ගොඩනැගෙන අව්‍යාජ කතාවක් අපූරුවට කියා පානවා.

මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි මෙලොව වෙසෙන ඕනෑම කෙනෙක් තරුණ අවදියට පත්වීමට ප‍්‍රථම ගෙවන ජීවිතය හරියටම ගැරුම් වට්ටියක් වගේ කැරකෙනවා කියන එක. ඒකට පස් (ඉල්ලං) කූඩ විශාල ප‍්‍රමාණයක් දානවා. නමුත් ගරල ගරල අන්තිමට ඉතුරු කර ගන්න ප‍්‍රමාණයට කියන්නෙ නාඹුව කියල. මේ නාඹුවෙ තමයි මැණික් ඉතිරිවෙන්නේ. ඉතිරිවෙන්නත් නොවෙන්නත් පුළුවන්. ඉතිං මෙන්න මේ ඉතිරි වෙන ටික තමයි ජීවිතේ ඊළඟ කඩයිම පනිද්දි වැදගත් වෙන්නෙ. හොඳ වැඩිහිටියන්ගෙන් යුතු පරිසරයත් මැණික් ඉතුරු වුණ නාඹුවත් එක සමානයි. මේ වැඩිහිටියො කියන්නෙ කවුද? ජීවන අත්දැකීම් බහුල, ළමා වියක් පසුකර සිටින, තරුණ විය පසුකර සිටින, බොහෝ විට මැදිවිය පසුකර සිටින, පරිසර දැනුම් සම්භාරයක් සහිත, සමාජ ඥාන ධාරාවක් සහිත වටිනාම පිරිසක්. මේ සියල්ල පූර්ණ වෙන්න නම් හොඳ දේශපාලනික මානව සමාජයක් පැවතිය යුතුයි. ඕනෑම මානව සමාජයක හොඳ නරක, සාධාරණ අසාධාරණ බව ආදිය අඩු වැඩි වශයෙන් තිබෙන්න පුළුවන්. නමුත් දියුණු සමාජ පද්ධතියක් හැටියට මං දකින්නේ ළමයකුට හැබෑවටම සතුටින් වාසය කරන්න පුළුවන් පරිසරයකට. ළමයාගේ ලෝකය තුළ වැඩි ඉඩක් වෙන්වෙලා තිබෙන්නේ පරිකල්පනයට. ඒ ඉඩ ළමයා වෙත ප‍්‍රදානය කරන්න නම් වැඩිහිටි සමාජය විවේක බුද්ධියෙන් සන්නද්ධ විය යුතු වෙනවා. මම ලියන්නේ ඒ පරිසරයෙන් කොටසක්. ඒ තුළත් හොඳ නරක තිබෙනවා. නමුත්

p18 3”යහපත” නමැති සංකල්පයට විවර වුණු මාවත් බහුලයි. ඒ තමයි මා වටා වුන් වැඩිහිටි පිරිස මට ප‍්‍රදානය කරපු දේ. අද ඒක මා පසුපස සිහිනයක් සේ ගමන් කරනවා.

මේ කතාව තුළ ජයග‍්‍රහණය හඹා යන ළමයෙකු අපට මුණ ගැසෙනවා. ආකෘතිය වන්නේ ප‍්‍රහේලිකාවක් පුරවන සිද්ධියක්. මේ සංකල්පය ඔස්සේ ඔබ ජය ගත්තා කියා ඔබ සිතනවාද?

ඔබගේ මෙම ප‍්‍රශ්නයත් ඊට මම දෙන පිළිතුරත් සම්පූර්ණයෙන්ම භාෂාමය මායාවක්. හැමදේම එහෙම තමයි. අද වන විට මුළු ලෝකයම භාෂාමය නිර්මිතයක් බවට පත්වෙලා. ජීවිතවයි සියල්ල පවතින්නේ භාෂාව මත කියන එක කියන්න තමයි මම අදහස් කළේ. ඉතින් ඒකට භාෂාවම හා බැඳුනු සුදුසුම සංකේතය තමයි ප‍්‍රහේලිකාව. බොහෝ දේ අහිමි වී ගියත් ඔවුන් භාෂාව විශ්වාස කරනවා. මේ සිංහල භාෂාවම නොවෙයි. මානව භාෂාව. මේක කොතනින් කොහොම පටන් ගත්තද කියන්නවත් අපි දන්නෙ නෑ. නමුත් භාෂාමය විශ්වාසය කියන එක සුළු පටු එකක් නෙවෙයි. ලෝක ඉතිහාසඥයකු වන යුවාල් නෝආ හරාරි සිය ”සේපායන්ස්” කෘතියේ පෙන්වා දෙනවා මානව භාෂා සන්නිවේදනයේ මුල් විශිෂ්ටතා ලක්ෂණවලට වර්ෂ 70,000 පමණ ඉතිහාසයක් ඇති බව. අපි සංස්කෘතිය හැටියට ඉගෙන ගන්නෙ වර්ෂ 2500 කට මෙපිට කාලය. ඒකත් ඉගෙන ගන්නෙ කර්මය මූලික කරගෙනනේ. එතකොට එතෙක් මිනිසා ආ ගමන් මග අපට මගහැරෙනවා. වඩාත් වැදගත් වන්නෙ මානව විශිෂ්ටතා කියන ඒවා ලෝකය නමැති ඝන වස්තුවට මිනිසා හැඟීම් මුසු කරන්නේ භාෂා මූලික ක‍්‍රියාකාරකම් ඔස්සේ. සැබෑ ජයග‍්‍රහණය රැුඳී තිබෙන්නේ එතැනයි. ඒ නිසාම මා මෙම කෘතියේ තැනක සටහන් කරලා තිබෙනවා ”සැබෑ ජයග‍්‍රාහකයාට ත්‍යාගයේ ප‍්‍රමාණය වැදගත් නොවේ කියලා”.

ඔබ අපට මුලින්ම හමුවන්නෙ රාජ්‍ය සම්මානලාහී කවියෙක් විදිහට. ඉන් පසුව නවකතාකරුවෙක් විදිහට, කවියේදීත් නවකතාවේදීත් ඔබේ භාෂා භාවිතය වෙනස් වන්නේ කොතැනින්ද?

කවිය මම බොහෝ විට සලකන්නෙ නිරායාසයෙන් ගලා එන භාෂාවක් සහිත කලාවක් හැටියටයි. ඒ නිසාම ඇතැම් තැන්වලදී කාව්‍ය ආත්මය භාෂාව ඉක්මවන තැන් තිබෙනවා. නවකතාවේදී, කෙටිකතාවේදී ඊට වඩා යම්කිසි භාෂාමය සැලසුම් සහගත කි‍්‍රයාවලියක් සිදුවෙනවා. නමුත් කාව්‍යාත්මක බස මේ දෙතැනේදීම පොදුයි කියා සිතනවා. ඕනෑම නිර්මාණාත්මක රචනයක් කවි බස නිසා ආලෝකමත් වෙන්න පුළුවන්. නමුත් කවිය මුළුමනින්ම ආලෝකමත් වෙන්නෙ භාෂාත්මක ඇටවුම මතයි. මා මේ කියන අදහස් පවා සැලසුම් සහගත පරම අදහස් නොවෙයි. ඊළඟ මොහොතේ වුණත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් නිර්මාණාත්මක රචනයකදී වඩාත් වැදගත් වෙන්නේ කියවන්නාගේ ඇතුලාන්තයේ වැඩි වපසරියක අයිතිකාරයකු බවට පත්වීමයි. ඒ සඳහා ලේඛකයකුට තිබෙන එකම බලපත‍්‍රයත් බස පමණයි. සංකල්ප ගොඩනැගෙන්නෙත් භාෂාවෙන්මනේ. මේ සංකල්ප තමයි වටිනාම දේ. දැන් පවුලෝ කොයියෝගේ ”සන්තියාගෝ

නම් සැරි සරන්නා” බලන්න. නවකතාවක් හැටියට පිටුවෙන් පිටුව කියවා මවිතයට පත් වුණු කෘතියක් නෙවෙයි. නමුත් එහා සංකල්පය විශ්වීයයි. මුළු ලෝකයේම පාඨකයා ආකර්ෂණය කර ගන්නට සමත්. ඒ විශ්වීය බව ප‍්‍රකට කරන්නේ්ත් අපූරු වූ භාෂාවම තමයි.

නිර්මාණකරණයට අමතරව පොත් ප‍්‍රකාශකයකු ලෙසත් ඔබ භූමිකාවක නිරත වෙනවා. ඒ හරහා ඔබ විසින් හඳුනාගත් නවක නිර්මාණකරුවන් ස්ථානගත වන්නේ මොන වගේ තැනකද?

ප‍්‍රකාශන කාර්ය හරිම අහඹු සිදුවීමක්. පොත් ප‍්‍රකාශනය කියන්නෙ මූලික වශයෙන්ම වෙළෙඳ ව්‍යාපාරික කාර්යයක්. ඒ නිසාම එහි යම්කිසි තරගකාරී බවකුත් තිබෙනවා. මම ඉතින් වැඩිපුර ප‍්‍රකාශයට පත් කරන්නේ කවි පොත්නෙ. ඒ නිසා ඒ තරගයේ අවසාන ක‍්‍රීඩකයා හැටියට හෙමින් නිදහසේ වටපිට බලමින් ගමන් කරන්නට පුළුවන් වෙලා තියනවා. එක දෙයක් කියන්නම ඕනි. විශාල පිරිසකගේ අතිශය නැඹුරුවක් පෙන්නුම් කරනවා කවි පොත් ජනගත කරන්න. ඒත් මට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ පුංචි ප‍්‍රමාණයක් විතරයි.

එතනදි මම මගේ රස වින්දනයට අනුව ප‍්‍රකාශනයට පත් කරන කෘති තෝරා ගන්නවා. මා මේ මොහොතේ දකින ප‍්‍රධානම කාරණය තමයි කවීන් තුළ තිබෙන මේ උනන්දුවේ සුන්දරත්වය.

දේශීය කවිය, කෙටිකතාව, නවකතාව තවමත් පසුවන්නේ ජාත්‍යන්තරයට බොහෝ මෙපිට තැනක. අපේ නිර්මාණ ජාත්‍යන්තරයට සමීප කරවීමට ඇති අභියෝග ලෙස ඔබ දකින්නෙ මොනවාද?

ඒක සම්පූර්ණයෙන්ම දේශපාලනික උත්තරයක් අවශ්‍ය ප‍්‍රශ්නයක්. අපගේ නිර්මාණකරුවන් කොපමණ දස්කම් දැක්වුවද අපගේම සිතුම් කල්පනාවල ඇති පටු බව මෙතැනදී බලපානවා. එම පටු සීමා කඩා බිඳ දමා විශ්වය ජයගත් අපේ ලේඛකයින් නැතුවා නොවෙයි. රාජ්‍ය තන්ත‍්‍රයේ සංස්කෘතීමය මැදිහත් වීමක් මෙතැනදී අවශ්‍යයි. ඒක කවදා සිදුවේදැයි සිතා ගන්නවත් පුළුවන් පරිසරයක් නැහැ. අපට කියවන්නට ලැබෙන බොහෝ විදෙස් කෘතීන් සමඟ බලන විට ඊට වඩා ගවු ගණනක් ඉදිරියෙන් ඇති නිර්මාණ අපේ රට තුළ තිබෙනවා. මම හිතන්නෙ මෙන්න මේක නම් සාමූහිකව ජයගත යුතු තැනක්. ක‍්‍රීඩාවේදීත් සිනමාවේදීත් අපි ඒ කඩඉම ජය අරගෙන තිබෙනවා. අප මුල සිටම සාකච්ඡුා කළ භාෂාව මෙතැනදී වෙනත් ආකාරයකට බලපානවා. නමුත් අපේ බස ජාත්‍යන්තරයට පරිවර්තනය කළ හැකි පරිවර්තකයන් අපට සිටිනවා. ඒ නිසා මෙතැනදී ඇත්තේ යාන්ත‍්‍රණයේ දුර්වලකමක් යැයි මා සිතනවා.

සංවාදය - රුවන් ජයවර්ධන

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles