Divaina - මාළු වෙනුවට බිලීපිති දෙන දේශපාලනයක් බිහි කළ යුතුයි - නීතිඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p8 1කොමිෂන් සභා සහ සියල්ල ඇට්ටකුනා වෙච්ච සංශෝධනනේ. 19 වැනි සංශෝධනයේ මුඛ්‍ය අරමුණ රාජපක්‍ෂවරු දේශපාලනයෙන් ඉවත් කර අතුගා දැමීම. ඒක මුල් කරගෙන අනෙකුත් අවශේෂ සංශෝධන ගෙනාවා. නමුත් අද වෙලා තියෙන්නේ මොකද්ද? පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ආවාම පොලිස්පතිව ඉවත් කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. නොයකුත් ව්‍යවස්ථා අර්බුද ගණනාවක් ඇතිවෙලා තියෙනවා.
 
 මෙවර මහ මැතිවරණයට පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුව) කොළඹ දිස්ති‍්‍රක්කයට තරග කරන නීතිඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත මහතා සමග සාකච්ඡුාවක සටහන් මතු දැක්වේ.
 
 ප‍්‍රශ්නය - ඔබ වෘත්තියෙන් නීතිඥයෙක් දේශපාලනයට එන්න තීරණය කළේ ඇයි?
 
 පිළිතුර - මම විශ්වාස කරන දේවල් මම හරි කියන දේවල් වෙනුවෙන් පෙනී ඉන්න මනුෂ්‍යයෙක්. ඒ නිසා තමයි ලාබාලම අපේක්‍ෂකයා විදිහට පොහොට්ටුවෙන් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් තරග කරන්න ලැබුණේ. එදා මහින්ද රාජපක්‍ෂ මහත්මයා වෙනුවෙන් පෙනී ඉන්න කොට සමහරු කිව්වා ”මොළේ හොඳ නැද්ද, කෝට් එක ගලව ගන්න හදනවා? ජීවිතේ නැති කර ගන්නත් හදනවා කියලා. හැබැයි එදා මම ඒ බාධකවලට කිසි වෙලාවක යට වුණේ නෑ. ඒවා ගැන මම කරදර වුණේ නෑ. මම දැකපු දේ තමයි මම විශ්වාස කරන දේවල් වෙනුවෙන් පෙනී ඉන්න ඕන කියන කාරණය. එහෙම පෙනී හිටපු නිසා තමයි අද මෙතැනට ඇවිල්ලා ඉන්නේ. හැබැයි මම ඒ නිසා දේශපාලනය කරනවා නෙමෙයි මේ අවස්ථාව ලැබුණෙ කොහොමද කියන කාරණය මම කිව්වේ. හැබැයි දේශපාලනික වශයෙන් මම විශ්වාස කරන දෙයක් තියෙනවා. අපි මේ රට වෙනස් කරනවනම් වෙනස් කරන්න පුළුවන්. හැමදාම කියනවනේ වෘත්තිකයෝ දේශපාලනයට එන්නෙ නෑ කියලා. එහෙම විවේචනයක් තිබුණා. නමුත් වෘත්තිකයෝ හැටියට අපි දේශපාලනයට අඩිය තියන්න බයවෙලා තියෙනවා. මේක මඩ ගොහොරුවක් කියලනේ කවුරුත් කියන්නේ. නමුත් හැමදාම අඳුරට බැන බැන ඉන්නවට වඩා එක පහනක් දල්වන්න උත්සහ කරන්න ඕනේ. ඒ නිසා තමයි මම දේශපාලනයට එන්නේ. තව දෙයක් තමයි මම මෙතන ඉන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු නිසා. ඒක මම අමතක කරන්නේ නැහැ.
 
p8 2 ප‍්‍රශ්නය - හැමෝම දැන් තම තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන එළිදක්වනවා ඔබතුමාගේ ප‍්‍රතිපත්ති මොනවද?
 
 පිළිතුර - මගේ ප‍්‍රතිපත්තිය වචන හතරකින් කිව්වොත් මාළුවා දෙනවා වෙනුවට බිලී පිත්ත දෙන දේශපාලනයක් අපි ඇතිකරන්න ඕන. දරුවන්ට අධ්‍යාපනය මූලික කරගත් සංවර්ධනයක් ඇතිකරන්න ඕන. අපි පුළුවන් නම් අපේ පරපුර හදාගන්න අවුරුදු 10 ක් යනකොට මේ රට උඩු යටිකුරු කරන්න පුළුවන්.
 
 ප‍්‍රශ්නය - පොදු පෙරමුණ තුළට පවා කොළඹ දිස්ති‍්‍රක්කයේදී විශාල තරගකාරිත්වයක් තියෙනවා. ලේසි පහසු නෑ නේද පාර්ලිමේන්තුවට යන එක ඒ ගැන මොනවද හිතන්නේ?
 
 පිළිතුර - සාමාන්‍යයෙන් තරගකාරිත්වය ගැන හෝ කවුද තරග කරන්නේ කියන එක මම බලන්නේ නෑ. මම එහෙම බයවෙන්නෙත් නෑ. කරන දේ හරියට කරනවා. මම විශ්වාස කරනවා පහුගිය කාලය පුරාවටම මම විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. මෙතනදිත් කියන්නේ අභියෝගවලට මම බය නැහැ. අභියෝගවලට බය නම් යහපාලන ආණ්ඩුව එලවන්න පළමුවෙනි ගල් දහය ගහපු මිනිස්සු අතර මම ඉන්න විදිහයක් නැහැ. නමුත් මම ඉන්නවා. ඔබ කියන කාරණය හරි. තරගකාරී, පතාක යෝධයෝ ඉන්නවා. මම විශ්වාස කරනවා ජනතාව මේතාක් දුරට මාව ඔසවාගෙන ආවා වගේ. ඉතිරි කාලයෙන් ජනතාව මා වටා ඉඳීවි කියලා.
 
 ප‍්‍රශ්නය - දැන් මේ මහ මැතිවරණයෙන් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා තුනෙන් දෙකක ජයග‍්‍රහණයක්. එම ජයග‍්‍රහණයේ ප‍්‍රධාන ඉලක්කයක් තමයි 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම. මේකට විපක්‍ෂය කියනවා ඒගොල්ලෝ ගෙනාව හොඳ යෝජනා නැවත අකුලන්න තමයි මේ බලය ඉල්ලන්නේ කියලා. ඒ ගැන ඔබගේ අදහස.
 
 පිළිතුර - මොනවද ගෙනාපු හොඳ යෝජනා?
 
 ප‍්‍රශ්නය - උදාහරණයක් විදිහට විපක්‍ෂය කියනවා කොමිෂන් සභා ගෙනාවා ඒවා අහෝසි කරන්න හදනවා කියලා මෙම සංශෝධනය හරහා.
 
 පිළිතුර - එහෙම දෙයක් නැහැ. කොමිෂන් සභා සහ සියල්ල ඇට්ටකුනා වෙච්ච සංශෝධනනේ. 19 වැනි සංශෝධනයේ මුඛ්‍ය අරමුණ රාජපක්‍ෂවරු දේශපාලනයෙන් ඉවත් කර අතුගා දැමීම. ඒක මුල් කරගෙන අනෙකුත් අවශේෂ සංශෝධන ගෙනාවා. නමුත් අද වෙලා තියෙන්නේ මොකද්ද? පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ආවාම පොලිස්පතිව ඉවත් කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. නොයකුත් ව්‍යවස්ථා අර්බුද ගණනාවක් ඇතිවෙලා තියෙනවා.
 
 ප‍්‍රශ්නය - ඔබ කියන්නේ කොමිෂන් සභා ස්ථාපිත කරපු එක වැරදියි කියලද?
 
 පිළිතුර - කොමිෂන් සභා 19 න් ස්ථාපිත කරපු දෙයක් නෙමෙයි. එය කළේ 17 වැනි සංශෝධනයෙන්. කොමිෂන් සභා ඉවත් කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. නමුත් ගැටලූව තියෙන්නේ ඔය කියන කොමිෂන් සභා කොපමණ ස්වාධීනද? මැතිවරණ කොමිෂන් සභාව ඔය කියන තරම් පාරදෘශ්‍යද? ඔය කියනවා වගේ දේවස්ථානයක් පිහිටුවනවා වගේ කාරණයක්ද? අපි දැක්කනේ හූල් මහත්තයා කටයුතු කළ විදිහ. ඕවා පුද්ගලානුබද්ධ ප‍්‍රශ්න. අනිත් එක ඔය කොමිෂන් සභාවේ සාමාජිකයන් පත් කළේ කොහොමද? ඒ වෙලේ විකෘති පාර්ලිමේන්තුවක්නේ තිබ්බේ. එවෙලේ විපක්‍ෂයේ කියලා ගත්තෙත් මෛති‍්‍රපාල සිරිසේන මහත්තයා තෝරන්න ඡුන්දෙ දීපු මිනිස්සුනේ විපක්‍ෂයේ වාඩිවෙලා හිටියේ.
 
 ප‍්‍රශ්නය - එතකොට 19 වැනි සංශෝධනයත් එක්ක ඉදිරියට යන්න බැරි වන තර්කානුකූල සාධකය කුමක්ද?
 
 පිළිතුර - පැහැදිලිවම පත් කරන තනතුරු ඉවත් කරන්න ක‍්‍රමයක් තියෙන්න ඕනෑ. එහෙම නොවීම අර්බුදයක්නේ. ස්වාධීන කළයුතු යැයි අපි විශ්වාස කරන දේවල් තනතුරු ස්වාධීන කරන්න ගිහිල්ලා ඒ තනතුරුවලට සුවිශේෂී බලයක් හිමිවෙන්න බෑනේ. ඔබ මම ඇතුළු සියලූ දෙනාවම පත් කිරීමට මෙන්ම ඉවත් කිරීමට ක‍්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒ නිසා මම විශ්වාස කරවා 19 තියෙන අඩුපාඩු වෙනස් කරන්න ඕන. රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් ගේන්න ඕනෑ.
 
 ප‍්‍රශ්නය - ඔබ අදහස් කරන්නේ නැවත වෙනස් නොවන ව්‍යවස්ථාවක් ගෙන ඒමද?
 
 පිළිතුර - නැහැ වෙනස් වෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ අභිමතාර්ථ මත ඕනම දෙයක් වෙනස් වෙන්න පුළුවන්. අපිට වෙනස් නොවන දේවල් ලෝකේ හොයා ගන්න බැහැ. මම හිතන්නේ මේ වෙනස්වීම් ඒ ඒ අවස්ථාවේ පාලකයන්ගේ අවශ්‍යතා මත නොවේ ජනතාවගේ අවශ්‍යතාව අනුව සිදුවිය යුතුයි. පළමු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ ක‍්‍රමවේදය තිබුණා. ඊට පස්සේ අපි දැක්කේ පාලකයන්ගේ අවශ්‍යතාවයන් මත තමයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වුණේ.
 
 පහුගිය කාලේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිව්වට බය වෙනවා. අපි දැක්කේ 20 වැනි සංශෝධනය කියලා එකක් ගෙනල්ලා වෙච්ච දේ. මමත් ඒ 20 වන සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් මැදිහත්කාර පාර්ශ්වයක් හැටියට 20 වන සංශෝධනය පරාජය කරන්න මුල් වුණා. එය කි‍්‍රයාත්මක වුණා නම් රට කෑලිවලට කැඩෙනවා.
 
 ප‍්‍රශ්නය - 19 වැනි සංශෝධනයට අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි. ඒ බලය ලබා ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවාද?
 
 පිළිතුර- මම විශ්වාස කරන්නේ කළ නොහැක්කක් නොමැත කියන කාරණයයි. ඒක ජනතාව තීරණය කරාවි ජනතාවට තේරෙනවා මේක කොහොමද කරන්න ඕන කියන කාරණය. විශේෂයෙන්ම මේ රටේ මේ විදිහට අයියා මල්ලි දෙන්නා ඉන්න එක හොඳයි. අර්බුදයක් නෑ. නමුත් රටේ වෙන විදිහක වෙනසක් වුණොත් රටේ විශාල ප‍්‍රශ්නයක් වෙනවා. මම විශ්වාස කරන්නේ, තුනෙන් දෙකක් කියන එක අපිට ගන්න බැරි කමක් නැහැ. අද විපක්‍ෂය ඉතාම දුර්වල වෙලා තියෙන්නේ. එකට තිබුණු විපක්‍ෂය දෙකඩ වෙලා. අනිත් එක මේ කොරෝනා වසංගතයේදී ආණ්ඩුව, ජනතාවට කරපු සේවය පක්‍ෂ භේදයකින් තොරව ජනතාව අද පිළිගන්නවා, හොඳ වෙලාවට ගෝඨාභය මහත්මයා හිටියේ කියලා ජනතාව අහනවා. කවුරුත් බලන් ඉන්නේ මේ මල් වට්ටියට අතගහන්න.
 
 ප‍්‍රශ්නය- අපිට නිදහස ලැබිල අවුරුදු 72 ක් වෙනවා. තාම අපේ ටේ ආර්ථිකය හරි පීල්ලට ගන්න බැරිවෙලා තියෙනවා. අපි තාම සංවර්ධනය වන රටක්. තරුණ දේශපාලනඥයන් විදිහට මොකද්ද මේ රට ගොඩගන්න යෝජනා කරන සැලසුම්.
 
 පිළිතුර- ඇත්තටම අපේ රට තුන්වෙනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක්ව තිබිලා, ඊට පස්සෙ මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ කාලයේදී ඉහළ මධ්‍යම පාන්තික රටක් බවට පත්වුණා. ඉතාමත් අවාසනාවන්ත ලෙස මීට දින දෙකකට පෙර ලද ලෝක බැංකු වාර්තාවලට අනුව අපේ රට පහළ මධ්‍යම පාන්තික රටක් බවට පත්වුණා. පසුගිය අවුරුදු පහේ සිද්ධවෙච්ච අපරාදේ අපි කාටත් තේරෙනවා. මම විශ්වාස කරනවා ජාතික ප‍්‍රතිපත්ති කිහිපයක් අවශ්‍යයි. එකත් තමයි මේ රටේ ඖෂධ ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි. අපි සත 32 බෙහෙත් පෙත්ත බොන්නේ රුපියල් 22 කට. මේ ප‍්‍රශ්නයට අපි උත්තර සොයමින් සිටිනවා. අපිට අවශ්‍ය සේලයින් ටික අපි නිෂ්පාදනය කරගන්නවා. ඖෂධ වර්ග 37 ක් නිපදවනවා. අනිත් කාරණය අධ්‍යාපනය. අපේ රටේ අධ්‍යාපනය නඟා සිටුවන්න ඕනෑ. අපේ ආසන 15 ට මම හිතනවා නව පහසුකම් සහිත නව පාසල් 15 ක් හදන්න ඕන කියලා. ඒ පාසල් 15 ට දරුවෝ තෝරාගන්න ඕන අඩු ආදායම් ලාභී පවුල්වලින්. ඒක පැහැදිලිවම වෙන්විය යුත්තේ ඒ දරුවන් වෙනුවෙන් පමණයි. දුගී බවත් එක්කම නූගත් බව අත්වැල් බැඳගෙනයි තියෙන්නේ. දුප්පත් වුණත් දක්‍ෂතා ඇති දරුවන්ට අත දෙන්න පුළුවන් ක‍්‍රමවේදයක් අපි නිර්මාණය කරන්න ඕන.
 
 ප‍්‍රශ්නය- දුප්පත් පොහොසත් භේදයකින් තොරව එම සමස්තයක් ලෙස සලකා පාසල් පද්ධතිය දියුණු කරන්න යෝජනාවක් නැතිද?
 
 පිළිතුර- මම අදහස් කරන්නේ ආසනයනට එවැනි පාසලක් ලැබීම හොඳයි, ඔබ දන්නවා අධ්‍යාපනය ලැබීමේදී අධ්‍යාපනය ලැබීම සඳහා සුවිශේෂී අවශ්‍යතා තියෙනවා. අධ්‍යාපනය කියන්නේ මිලක් සහිත දෙයක්. යම් පහසුකම් අවශ්‍යයි. යම් පරිසරයක් අවශ්‍යයි. එවැනි පාසලක් නිර්මාණය කිරීම තුළ අපිට පුළුවන් වෙනවා ඒ දරුවන්ගේ අධ්‍යාපනය යහපත් කරන්න. ශිෂ්‍යත්වය කියන්නේ හොඳ පාසල්වලට යාමට ලැබෙන අවස්ථාවක්. දැන් හිතමු ගමේ පාසලට යන දරුවෝ ඒ පාසල තුළ දක්‍ෂතා දක්වලා 5 වසර ශිෂ්‍යත්වය සමත්වෙලා ඒ තුළ කොළඹ සුපිරි පාසල්වලට ඇතුළත් වෙනවා. ඊට අවස්ථාව ලැබෙන්නේ අතිශය තියුණු තරගයක් එක්කයි. නමුත් අපි දන්නවා නැතිනම් මේ දරුවන් යන පාසල තීරණය වන්නේ මිල මුදල් මතයි. නමුත් සාමාන්‍ය දරුවකුට, දුගී දුප්පත් දරුවකුට පමණක් යා හැකි සියලූ පහසුකම් සහිත පාසලක් ආසනයට නිර්මාණය කරන්න පුළුවන් නම් සාර්ථක ප‍්‍රතිඵල ගන්න පුළුවන්.
 
 ප‍්‍රශ්නය- කොරෝනා තත්ත්වයත් එක්ක මැතිවරණයට තරග කරන්න වෙලා තියෙන අලූත් පරිසරය එක්කයි. ඒ ගැන ඔබගේ අදහස.
 
 පිළිතුර- පොලිස්පති කෙනෙක් හිටියේ නීතිය නවපු. ඒ වගේ අද මැතිරවණ නීතිය නවන ස්වරූපයක් තමයි පෙනෙන්නේ. මෙම ක‍්‍රමය අලූත් අපේක්‍ෂකයෝ එක්ක බැලූවහම හරිම දුෂ්කරයි. මම තමයි බේරිලා ඉන්න එකම අපේක්‍ෂකයා. මොකද මම නිරන්තරයෙන් අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ප‍්‍රකාශක සහ නිරන්තරයෙන් මාධ්‍යය එක්ක ගනුදෙනු කරන සහ පක්‍ෂය තුළින් මාව යෝජනා කර තිබෙන නිසා. මට මේක එතරම් ගැටලූවක් නොවේ. සමහර වෙලාවට සමහර මිනිස්සු මගෙන් අහනවා සර් ඡුන්දෙ ඉල්ලනවද කියලා. අපි හිතුවේ සර් ජාතික ලැයිස්තුවෙන් එනවා කියලා. අපිට අංකය ජනගත කිරීමේ විශාල අර්බුදයක් තියෙනවා.
 
 උදාහරණය මම කොළඹ ප‍්‍රදේශයේ තිර සඳහා මුදල් යොදවලා ඒවා ප‍්‍රචාරණය කරවමින් තිබුණා. මට තියෙන ගැටලූව ඒවා තහනම් කරන්න තරම්, මට තේරෙන්නේ නෑ මොකද්ද මේ කරන්නේ කියලා. දැන් අපිට කියනවා මේ දවස්වල කොළ බෙදන්න යනකොට ටීෂර්ට් එකක්වත් අඳින්න එපා කියල මේක මට හරියට පේන්නේ මේ මැතිවරණය අපි අමාරුවෙන් ගන්න එකට තරහෙන් කටයුතු කරනවා වගේ ස්වරූපයක්. උඹල මේක ගන්නනම් කොහොම හරි කරපල්ලා වගේ වැඩක්. මම හදපු මගේ නිවස ළඟ තියෙන කාර්යාලය සම්පූර්ණ මූණවල් ටික වහලා තියෙනවා. මම ඕවා දිහා බොහොම උපේක්‍ෂාවෙන් බලන්නේ. ගැටලූව තියෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මෙය පරු පහරක්. අපි පූර්ව කථනය කරනවා ප‍්‍රධාන පක්‍ෂ විතරක් ජයග‍්‍රහණය කරනවා කියලා. ඇයි කිසියම් වෙලාවක සාමාන්‍ය ස්වාධීන කණ්ඩායමක් තවත් පක්‍ෂයකට ජයග‍්‍රහණය කරන්න ඉඩ නැද්ද. බැලූවහම අතිශයින් අසාධාරණ මැතිවරණ රීතියක් තමයි මේ යන්නේ.
 
 ප‍්‍රශ්නය- පාතාලයට අයත් අවි ආයුධ හම්බු වෙනවා. නාකොටික් එකේ නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයි. මේක අලූත්ම කතන්දරයක්. මේ ගැන නීතිඥයෙක් වශයෙන් ඔබතුමා දරන මතය කුමක්ද?
 
 පිළිතුර- ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා මහින්ද රාජපක්‍ෂ මහත්මයා එක්ක එකතුවෙලා යුද්ධය නවත්වන්න නායකත්වය දුන්නා වගේම, මේ රටේ නොයෙකුත් ක්‍ෂේත‍්‍රවල තිබෙන අඩුපාඩු හදමින් යනවා. එය ඉතාමත් හොඳ දෙයක්. මේ ළඟදිත් ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාව මා මුණගැසුණු වෙලාවේදී යම් කාරණා 2 ක් සම්බන්ධව මා ප‍්‍රකාශ කරා. ඒ මොහොතේම ඒවට විසඳුම් ලැබුණා.
 
 ප‍්‍රශ්නය- ඔබතුමා විශ්වාස කරනවද, එතුමාට පාතාල කි‍්‍රයාකාරකම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන කි‍්‍රයාකාරකම් යම් කාලයක් ඇතුළත නතර කරන්න පුළුවන් වෙයි කියලා.
 
 පිළිතුර- පැහැදිලිවම. අපි සුභවාදීව දකින්න ඕන. අපි බෑ කියපු දේවල් කොච්චර කරලා තියෙනවද? අපි මේ රටේ යුද්දෙ කරන්න බෑ. මේක අපේ රටේ කෑල්ලක් කඩලා දෙමු කියන තත්ත්වයට ඔළුව හදාගෙන හිටපු මිනිස්සු හිටියා. අද අපිට පුළුවන් මේ කාරණය ඉෂ්ට කරගන්න. මම විශ්වාස කරනවා මේක කරන්න පුළුවන් කියලා.
 
 සාකච්ඡා කළේ වසන්ත ලියනගේ

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles