Divaina - භව ගමනෙහි ස්ව කර්ම ඵල විපාක ලබන්නේ තමන්මද?

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p12 1සත්වයා නම් කායික මානසික ධර්මතා සමූහයක සංකලනයකි. අප මරණය යැයි කියන්නේ ශරීරය සම්පූර්ණයෙන්ම නිෂ්කී‍්‍රය වූ විනය. ශරීරය අක‍්‍රිය වූ පමණින් මේ ධර්මතාවල ශක්තින් නිෂ්ක‍්‍රිය නොවේ. මේ භව ගමනේදී එම ශක්තීන් වෙනත් විවිධ ස්වරූපයන්ගෙන් පෙනී සිටින අතර එම සංසිද්ධිය පුනර්භවය හෙවත් ප‍්‍රතිසන්ධිය ලෙස හඳුන්වනු ලැබේ. මේ සංසිද්ධියට අදාළව සාකච්ඡුාවට භාජනය වන ගැටලූ දෙකක් පැන නගී. ඒවා නම් මරණින් පසු නැවත උපදින්නේ කව්ද? සහ භවය තුළ රැුස්කළා වූ කර්මවල විපාක විඳින්නේ කව්ද යන්නයි. නාම රූප, පටිච්ච සමුප්පාදය, චිත්ත රූපයන්ගේ ආයු කාලය සහ නාම රූප පරම්පරාවල ස්වභාවය සැළකිල්ලට යොමු කරමින් ඉහත ගැටලූ දෙක පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.
 
 නාම රූප විභාගය
 
 ඉතා වේගයෙන් ඉපිද ඉපිද බිඳි බිඳී යන රූප, වේදනා, සංඥා, සංඛාර සහ විඤ්ඤාණ යන පංචස්කන්ධයට අයත් නාම රූප ධර්ම හැර මේ සත්ත්ව සන්තානයෙහි ස්ථිර වූ නිත්‍ය වූ අන් කිසිවක් නැත්තේය. සත්ත්වයා නිර්මාණය වී ඇත්තේ මේ නාමකය සහ රූපකය යන දෙකෙහි සංකලනයෙනි. වේදනා, සංඥා, සංඛාර සහ විඤ්ඤාණ යන ස්කන්ධ සමුහයට නාම කය යැයි කියනු ලැබේ. මෙම ලිපියෙහි නාමකය යන්නෙන් විශේෂයෙන් විඤ්ඤාණය හෙවත් චිත්තය පිළිබඳව සාකච්ඡුා කෙරේ. රූප ස්කන්ධ රූප කය ලෙස හැඳින්වේ.
 
 අරමුණ දැන ගන්නා ආකාරයෙන් එකක් වුවද කාමාවචර සිත් 54, රූපාවචර සිත් 15, අරූපාවචර සිත් 12 සහ ලෝකෝත්තර සිත් 8 යනුවෙන් විඤ්ඤාණයෙහි ප‍්‍රභේද 89 කි. තවත් ආකාරයකින් සිත් 121 ක් ලෙසද දැක්වේ. මහා භූත රූප සතර, ප‍්‍රසාද රූප පහ, ගෝචර රූප පහ, භාව රූප දෙක, හදය රූපය, ආහාර රූපය යනුවෙන් නිෂ්පන්න රූප 18 ක්ද ආකාශ ධාතුව, විකාර රූප 5, ලක්‍ෂණ රූප 4 යනුවෙන් අනුෂ්පන්න රූප 10 ක්ද වශයෙන් රූප 28 කි.
 
 පටිච්ච සමුප්පාදය
 
 අනවරාග‍්‍ර සංසාරයේ සත්වයා මැරෙමින් ඉපදෙමින් යන සංසාර ගමන සිදුවන ආකාරයත් එය නවතාලන ආකාරයත් බුදු ඇසින් දුටු සේක. එය පහදා වදාළ ප‍්‍රධාන දේශනාවකි පටිච්ච සමුප්පාදය. සත්ත්වයා අතීත භවයේ අවිජ්ජාවත් සංඛාරත් මේ භවයේ ප‍්‍රතිසන්ධි විඤ්ඤාණ ප‍්‍රධාන කොට විඤ්ඤාණ, නාමරූප, සලායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපදාණ. කම්ම භව සමග විපාක විඳිමින් සහ සංස්කාර එකතු කරමින් සිටියි. මේ එකතු කරගන්නා සංස්කාර නිසා නැවත සත්ත්වයාට උත්පත්ති භවයක්, ජාතියක්, ජරාවක්, මරණයක්, ශෝක, පරිදේව උපායාස, දුක්ඛ දෝමනස්ස ඊළඟ භවයේදී ලැබෙන බව පටිච්ච සමුප්පාද ධර්මය පැහැදිලි කරයි. ඒ අනුව භවයෙන් භවයට නාමරූපයන්ගේ ඇතිවීම හේතුඵල දාමයක් සේ ගලායයි.
 
 චිත්තජ රූපයන්ගේ ආයු කාලය
 
 සිත යනු ඉතා කෙටි කාලයක් තුළ ඇති වී පැවති නිරුද්ධ වීම ස්වභාව කොට ඇති ධර්මයකි. ක්‍ෂණය යනු ඉතාම කෙටි කාලයක් හඳුන්වන පදයකි. සිත උපදින කාලය උත්පාද ක්‍ෂණයයි. සිත පවතින කාලය ස්ථිතික්‍ෂණයයි. සිත නිරුද්ධ වන කාලය භංගක්‍ෂණයයි. මෙලෙස සිතක් ඉපිද පැවති නිරුද්ධ වීමට ගතවන කාලයට සිත්තක්‍ෂණයක් යැයි කියනු ලැබේ. එනම් චිත්තයක ආයු කාලය චිත්තක්‍ෂණයකි. චිත්තක්‍ෂණයක කාලය තප්පරයකින් ලක්‍ෂයෙන් පංගුවටත් වඩා අඩුය. එක් එක් සත්ත්වයෙකු පිළිබඳ වූ චිත්ත සන්තනිය අනාදිමත්ය. එක් සිතක් ඉපිද තිබි නැතිවීම සමගම තවත් සිතක්ද ඉපිද තිබී නැතිවීම චිත්ත සන්තනියේ ස්වභාවයයි. සිත ඉපදීමේ සහ නැතිවීමේ ක‍්‍රමය ඉතා සූක්‍ෂම බැවින් එහි වෙනස අපට දත නොහැකි වේ.
 
 අපට පෙනෙන සියලූම වස්තුන් සැදී තිබෙන්නේ රූප කලාපවලිනි. ඉහත විස්තර කළ චිත්තක්‍ෂණ 17 ක් එක රූපයක ආයු කාලය වෙයි. චිත්තක්‍ෂණ 17 ක් හෙවත් ක්‍ෂණ 51 ක් වූ රූපයක පළමු ක්‍ෂණය උත්පාද අවස්ථාවයි. පනස් එක් වැනි ක්‍ෂණය රූපයක භංග අවස්ථාවයි. අතර මැද පවත්නා ක්‍ෂණ 49 රූපයක ස්ථිති අවස්ථාවයි. ඒ අනුව සිතක් මෙන් නොව රූපයක උත්පාද, ස්ථිති සහ භංග යන අවස්ථාවල ආයු කාලය එක සමාන නොවේ. එක වස්තුවක ඇති වයසින් නොයෙක් ප‍්‍රමාණ වන රූප සියල්ලම ගැන චීත්ත විථි ඇති නොවේ. චිත්තවීථී ඇතිවන්නේ එක වස්තුවක ඇත්තාවූ වයසින් සමාන වූ රූප සමූහයක් අරමුණු කරගෙනය.
 
 අපට පෙනෙන වස්තූන්හි ඇති රූප කලාප චිත්තක්‍ෂණ 17 න්් නැති වී යන නමුත් ඒ වස්තුවල අමුත්තක් නොපෙනෙන්නේ කරුණු 2ක් නිසාය. උදාහරණයක් ලෙස අබ ඇටය ගතහොත් අබ ඇටය එක දෙයක් නොව රූප කලාප කෝටී ගණනක සමූහයකි. එක වස්තුවක රූප කලාප සියල්ලම නොබිඳීම එක් කරුණකි. බිඳෙන රූප කලාප වෙනුවට ඒ ඒ තැන්වලම අලූත් රූප කලාප පහළ වීම තවත් කරුණකි. එම වෙනස් වීම ක්‍ෂණිකව සිදුවන බැවින් එම වෙනස් වීම සත්වයාගේ ඉන්ද්‍රියනට ග‍්‍රහණය කර ගත නොහැක. එබැවින් රූප නොවෙනස්ව පවතී යැයි සිතේ. අබ ඇටය දෙස බලා සිටියදී එය වෙනස් වන බව නොපෙනේ.
 
 නාම රූපයන්ගේ සංකලනයකින් සැකසී ඇති සත්ත්වයාගේ එක් භවයකට අයත් ජීවිතය කෙලවර වීම මරණය ලෙස හැඳින්වේ. එයට සම්මුති මරණය යැයි කියනු ලැබේ. මෙලොව උපත ලැබූ සත්ත්වයකු ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය සහ උපච්චේදක මරණය යන ක‍්‍රම සතරින් එක් ආකාරයකින් මරණයට පත්වේ. සත්ත්වයා වර්තමාන භවයේ සිට ඊළඟ භවයට යෑමේදී එනම් ප‍්‍රතිසන්ධියේදී විශේෂ සිත් කිහිපයක් පහළ වේ. ඒවා නම් මරණාසන්න චිත්ත වීථීය, චුති චිත්තය සහ ප‍්‍රතිසන්ධි චිත්තය වේ.
 
 මරණාසන්න චිත්ත විථිය
 
 ඉහතින් විස්තර කරන ලද සතරාකාර මරණයන්ගෙන් කුමන හෝ ක‍්‍රමයකින් මරණයට පත්වන සත්වයකුට මරණාසන්න මොහොතේදී තමා විසින් ජීවත් වුණු කාලය තුළදී කරන ලද කුසල් හෝ අකුසල් සහගත කර්මයන් සිතට නැගෙයි. එබඳු කර්මයක් සිතට අරමුණු නොවුණි නම් කර්මය කිරීමට පාදක වූ කිසියම් නිමිත්තක් සිතට අරමුණු වෙයි. උදාහරණයක් ලෙස දැක්වුවහොත් සතුන් මැරීමට ගත් දඬු, මුගුරු, තුවක්කු ආදිය සිහියට නැගෙයි. එසේත් නැතිනම් ගති නිමිත්තක් අරමුණු වෙයි. එනම් මතු භවය සම්බන්ධ යම් යම් දේ දැකීමය. සිතට අරමුණු වූ කර්මය, කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත යහපත් එකක් නම් එකී මරණාසන්න පුද්ගලයාට කුසල් සිතක්ද අයහපත් එකක් නම් අකුසල් සිතක්ද උපදී. ඒ වනාහි ඒ පුද්ගලයාට ඇතිවන අවසාන චිත්ත විථියයි. එයට මරණාසන්න චිත්ත විථිය යැයි කියනු ලැබේ.
 
 චුති චිත්තය
 
 මරණාසන්න චිත්ත විථිය දුර්වල එකක් බැවින් අනිකුත් චිත්ත විථිවලදී මෙන් නොව ජවන් සිත් 7ක් නුපදී. උපරිම වශයෙන් ජවන්් සිත් පහක් ඉපිද නිරුද්ධ වීමෙන් අනතුරුව වර්තමාන භවයේ අවසාන චිත්තය වන චුති චිත්තය ඉපිද නිරුද්ධ වේ. ඒ අවස්ථාව මරණය නමින් හැඳින්වේ.
 
 ප‍්‍රතිසන්ධි සිත
 
 චුති චිත්තය නිරුද්ධ වීමෙන් පසු නැවත මේ භවයේ සිත් ඇතිවීමක් සිදු නොවේ. චුති සිත ඉපිද නිරුද්ධ වීමෙන් පසුව අලූත් භවයක ප‍්‍රතිසන්ධි සිතක් පහළ වේ. ඒ අලූත් භවයේ හට ගන්නා මුල්ම සිතයි. ඒ ප‍්‍රතිසන්ධියයි. මරණයෙන් සිත් පරම්පරාව සිඳී යන්නට නොදි වර්තමාන භවය හා අනාගත භවය සම්බන්ධ කිරීම ප‍්‍රතිසන්ධි කෘත්‍යයයි. අකුසල විපාක උපේක්‍ෂා සහගත සංකීර්ණ සිත, අහේතුක කුසල විපාක උපේක්‍ෂා සහගත සංකීර්ණ සිත, කාමාවචර විපාක සිත් අට, මග්ගගත විපාක සිත් නවය යන ප‍්‍රතිසන්ධි සිත්වලින් පිළිවෙළින් සතර අපායෙහිද, ජාති අන්ධ, ජාති, බධිර නපුංසක ජාතිවලද, දෙව් මිනිස් ලොව, සහ රූපාරූප ලෝක වලද ප‍්‍රතිසන්ධිය ලැබේ, ප‍්‍රතිසන්ධියට අමතරව ප‍්‍රවෘත්ති විපාක ද ලැබේ.
 
 නාම රූප පරම්පරාවන්
 
 සත්්වයා යනු නාම රූප ධර්මතා සමූහයක එකතුවකි. එක් භවයකදී සත්ත්වයා විසින් රැුස් කරනු ලබන කර්මවල විපාක කවර ආකාරයකින් ඊළඟ භවවලදි විපාක දීමක් සිදුවේද යන්න විමසා බැලීමට භවයෙන් භවයට නාම රූප පරම්පරා වශයෙන් වෙනස් වෙමින් යන ආකාරය සලකා බැලිය යුතුය. සත්ත්වයාය පුද්ගලයාය කියනු ලබන්නේ ඉපිද ඉපිද බිඳි බිඳි යන සංස්කාර සමූහයකටය. එනම් සංස්කාර පරම්පරාවකටය. මෙහිදි විශේෂයෙන්ම ඒ වෙනස් වෙමින් යන නාම රූප පරම්පරාව සැලකිල්ලට ගැනේ. ඒ නාම රූප අතර තත්පරයක් පමණ කාලයකුදු පවත්නා කිසිවක් නැත. මෙසේ සිදුවන ක්‍ෂණික වෙනස්කම් සත්ත්වයාගේ ඉන්ද්‍රියට ගෝචර නොවේ.
 
 දැන් මරණය, ඊට පෙර සහ පසු මේ නාම රූප පරම්පරාවේ සිදුවන වෙනස්කම් සලකා බලමු. වර්තමාන භවයේ චුති සිත පහළ වීමත් සමගම සත්ත්වයාගේ මරණය සිදුවේ. මරණාසන්න අවස්ථාවෙහි චුති සිතට කලින් ඇතිවූ 17 වැනි චිත්තක්‍ෂණයේ ස්ථිතික්‍ෂණයෙහි පටන් කර්මජ රූපයෝ නූපුදිති. දාහත්වන චිත්තක්‍ෂණයාගේ උත්පාදක්‍ෂණයෙන්් උපන් කර්මජ රූපයෝද ඒ සිත අවසන් වන තුරුම පැවති චුති සිත සමගම නිරුද්ධ වෙති. එයින් මතු චිත්තජ රූපයෝද ආහාරජද රූපයෝද සිඳී යයි. අනතුරුව සෘතුජ කලාපයෝ පමණක් මෘත ශරීරය නිසා තවත් කලක් පවති. මෙලෙස චුති සිත පහල වීමත් සමගම වර්තමාන භවයෙහි කය අත්හැරිය ද පටිච්ච සමුප්පාදයට අනුව අලූත් භවයක ප‍්‍රතිසන්ධි සිත ඇතිවේ. කලින් ජීවිතයෙහි අවසාන චුති චිත්තය සහ අභිනව භවයෙහි ප‍්‍රතිසන්ධි චිත්තය අනන්තරය, එනම් අතරක් නැත.
 
 ඒ අනුව සත්ත්වයාගේ මරණින් පසු වර්තමාන භවයෙහි කය අතහැරියද චිත්ත පරම්පරාව තවදුරටත් අඛණ්ඩව කි‍්‍රයාත්මක වේ. පටිච්ච සමුප්පාද ධර්මයට අනුව ප‍්‍රතිසන්ධි සිත පහළ වීමත් සමගම අභිනව භවයට අනුරූප වන පරිදි විඤ්ඤාණයාගේ පිහිටීමට හා පැවැත්මට උපකාර වන ලෙස රූපයෝද ඒ විඤ්ඤාණය නිසා පහල වෙති. මෙසේ අභිනව භවයේදි සත්වයකු පහල වන්නේ ඉහතින් දැක්වූ අයුරින් සැකසුනු නාමකය සහ රූපකය එක්වීමෙනි. අලූත් භවයේදි ප‍්‍රතිසන්ධි සිතට පසුව භවාංග සිත හට ගන්නා අතර අනතුරුව අතරක් නොමැතිව චිත්ත වීථීන් ඇති වේ. එම චිත්ත විථින් අතර වර්තමාන අරමුණු ගෙන හටගන්නා චිත්තයන් මෙන්ම විපාක චිත්තයන්ද ඇතිවේ. අහේතුක විපාක සිත්, අකුසල විපාක සිත්, මහා කුසල විපාක සිත්, මග්ගගත විපාක සිත් මේ විපාක සිත්වලට අයත් වේ.
 
 මෙසේ වර්තමාන භවයෙහි ප‍්‍රතිසන්ධිය ද භවාංගය ද චිත්ත විථිද චුති චිත්තයද යන මොවුහු යම් සේද ඊළඟට ලබන භවයේදී මේ චිත්ත සන්තතිය රිය සකක් මෙන් නිවන් දකින තුරු පෙරලෙමින් - ගමන් කරමින් පවතින්නේය. තවද භවයෙන් භවයට කය ඇති වී නැති වී යන්නේය. මේ අනුව ස්කන්ධයන් ඇති කල්හි ඒවා කොතෙක් නිරුද්ධ වි ගියද පරම්පරා නොසිඳී, නිවනට පැමිණෙන තුරු, අලූත් අලූත් ස්කන්ධයෝ උපදිති. නාම රූප පරම්පරාව අඛණ්ඩව ඉදිරියට ගලා යයි. (රූපාරූප භවයන්හි යම් යම් වෙනස්කම් සහිතව*
 
 මෙම විග‍්‍රහයට අනුව නාම රූපයන් පරම්පරා වශයෙන් නිවන් දකින තුරුම ඇති වෙමින් නැති වෙමින් අඛණ්ඩවම පවතී. මේ භව ගමනේදි එක් භවයකදී රැුස්කරන කර්මවල විපාකයන් භව ගමනේ චිත්ත සන්තනිය තුළ වෙනත් භවයක විපාක සිත් උපදවනු ලබන බව පැහැදිලිය. ඒ අනුව
 
 කර්මයන්ගේ විපාක, අනිිවාර්යයෙන්ම චිත්ත සහ රූප පරම්පරාව තුළම පවතී. මෙම ලිපියට විෂය වූ ගැටලූ දෙකට විසඳුම් මේ අනුව මෙම විග‍්‍රහය තුළ ගැබ්ව ඇත.
 
 නාම රූපයන්ගේ නිරෝධය
 
 සියලූ සත්ත්වයෝම කවර ආකාරයකින් පෙනී සිටියද එනම් දෙවියෝය, මනුෂ්‍යයෝය, තිරස්චීනයෝය ආදි වශයෙන් ඒ සියල්ලෝම ඉපිද ඉපිද බිඳි බිඳී යන සංස්කාර පරම්පරාවෝය. නැවත නැවත සසර ඉපදීමට හේතුවන තෘෂ්ණාව මතු ඇති නොවන පරිදි ප‍්‍රහාණය කිරීමෙන් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් ඇතිවිය හැකි සියලූ සංස්කාරයන්ගේ ඇතිවීම නතර කළ හැක. එය නාම රූපයන්ගේ අනුත්පාද නිරෝධයයි. ඒ අනුත්පාද නිරෝධය වූ ශාන්ත ස්වභාවය ලෝකෝත්තර නිර්වාණයයි.
 
 අමර සතරසිංහ
 (අභිධර්මාචාර්ය, දර්ශනපති)
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles