Divaina - ට‍්‍රම්ප්ගේ ඉරණම....

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

trump5135 කොරෝනා මාරාන්තික වසංගතයෙන් මේ වන විට වැඩියෙන්ම බැට කා ඇති රාජ්‍යයක් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. බලයෙන් ද, ධනයෙන් ද, විද්‍යාවෙන් ද, තාක්ෂණයෙන් ද, පරිපාලනයෙන් ද, දේශපාලනයෙන් ද, ලොව බලවත්ම රාජ්‍යය යැයි උදම් අනමින් සිටි ඇමෙරිකාව වසංගත තර්ජනය හමුවේ අන්ත අසරණ විය. වසංගත මර්ධන ක‍්‍රියාවලිය අන්ත දුර්වල එකක් විය. එයට ට‍්‍රම්ප්ගේ දුර්වල තීන්දු මෙන් ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රාජ්‍ය ලක්ෂණ ද අතිශය හානිකර ලෙස බලපෑවේය.
 
 බලගතු ම රටේ ජනාධිපති ලෙස ට‍්‍රම්ප්ට, කොරෝනා මර්ධනයට අවශ්‍ය කටයුතු සඳහා තමන්ගේ බලය හා නීතිය මුළු රටට ම එකසේ බලපාන පරිදි ක‍්‍රියාත්මක කරන්නට නොහැකි විය. අඩුතරමින් තමන් යටතේ ඇති ප‍්‍රාන්තයක් තුළ රටේ නීතිය ක‍්‍රියාත්මක කිරීමට ඔහුට බැරි විය. එනම් ලොක්ඩවුන් කිරීමට හෝ වෙන අවැසි දෙයක් ජනාධිපති ලෙස තමන්ට අවැසි පරිදි කරන්නට, එනම් රාජ්‍යයට අවැසි පරිදි කරන්නට ඔහුට බැරි විය.
 
 ප‍්‍රාන්තයේ ෆෙඩරල් නීතිය, රාජ්‍යයේ නීතියට වඩා බලවත් විය. ප‍්‍රාන්ත ආණ්ඩුකාරයා හරහට හිටියාම සියල්ල හබක් විය. මේ රාජ්‍ය/ප‍්‍රාන්ත කඹ ඇදිල්ල අස්සේ කොරෝනා මාරයා ඇමෙරිකාව තුළ ඊට අවැසි විදියට හිස එසවූයේය.
 
 පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ අපේ රටද ෆෙඩරල් කරන්නට සමහරු වලි කෑහ. ත‍්‍රස්තවාදයෙන් දිනා ගන්නට නොහැකිවූ ඊලාම් රාජ්‍යය, ව්‍යවස්ථාවෙන් දිනා ගැනීමේ නිහීන පියවරක් හැටියට, රට ෆෙඩරල් කරන්නට දමිළ ජාතිවාදී බෙදුම්වාදීන්ද, කොටි ඩයස්පෝරාව ද, අපමණ වෙහෙස දැරූහ.
 
 ඊට උඩගෙඩි දෙමින් ජයම්පති වික‍්‍රමරත්නලා, වික‍්‍රමබාහු කරුණාරත්නලා, සුනන්ද දේශප‍්‍රියලා, වික්ටර් අයිවන්ලා, ගාමිණී වියන්ගොඩලා, සරත් විජේසූරියලා, පාක්‍යසෝති සරවනමුත්තුලා, මංගල සමරවීරලා, විජයකලා මහේෂ්වරන්ලා, සම්බන්ධන්ලා, රනිල් වික‍්‍රමසිංහලා, සුමන්තිරන්ලා, සිවාජිලිංගම්ලා,  විග්නේශ්වරන්ලා ආදී මෙකී නොකී ගොබිලෝ, අපේ රට ෆෙඩරල් රාජ්‍යයක් කරන්නට පොළොවේ වැලි කමින්, වලි කෑහ.
 
 ඇමෙරිකාව අද මුහුණ දී ඇති මෙම වසංගත ව්‍යසනය හමුවේ පරාජය වීමට, එරට ෆෙඩරල් රාජ්‍ය ලක්ෂණ අතිශය අහිතකර ලෙස බලපෑවේය. මෙවන් දරැුණු ව්‍යසනයකදී ඕනෑම රටක් තනි මිටට ගෙන, එක නීතියක් මුළු රටටම බලපාන ලෙස එකවර ක‍්‍රියාත්මක කරනු මිස, එක එක කොටස්වලට, එක එක්කෙනාට හිතෙන හිතෙන විදියට නටලා හරියන්නේ නැත. එලෙස කටයුතු කිරීමේ විපාක අද ඇමෙරිකාව පමණටත් වඩා භුක්ති විඳියි.
 
 හොඳ වෙලාවට කොරෝනා එන්නට පෙර, අපේ රටේ ෆෙඩරල් වාහෙලා ටික බලයෙන් පහ කර දමන්නට, අපේ රටවැසියන්ට හැකි විය. එය අපේ වාසනාවකි.
 
 ඇමෙරිකාවට බල පෑ දෙවන හානිකර සාධකය වූයේ ඇමෙරිකන් ජනතාවගේ ලිබරල් චින්තනයයි. පුද්ගල නිදහස අසීමාන්තික ලෙසින් තිබිය යුතු යැයි අදහන, අමණ ලක්ෂණයක් එම සංස්කෘතිය තුළ වෙයි. ඇමෙරිකානු රටවැසියෝ රටේ කලින් කල ඇතිකරන විශේෂ නීතිවලට අනුකූලව, ඇති කර ගත යුතු ස්වයං විනයට වඩා, තම පුද්ගල නිදහස වටින්නේ යැයි සිතති. ඔවුන් මාර ලිබරල් පොරවල්ය. යුරෝපියානු සංස්කෘතිය තුළ වුවද මේ ලක්ෂණය අඩු වැඩි වශයෙන් පවතී.
 
 මිටරයක අවම දුර පවත්වා ගත යුත්තේ පුද්ගලයන් අතරය. එනම් එය පුද්ගල දුරස්ථභාවයකි පුද්ගලයන් අතර වන භෞතික දුරස්ථභාවයකි. එවන් පුද්ගල දුරස්ථභාවයක් ගැන බටහිර සමාජයේ කථා කිරීමටවත් බැරිය. සමාජ දුරස්ථභාවය‘ යැයි  කියා ගත්, එලොවටත් නැති මෙලොවටත් නැති ගොන් කථාව මුළු බටහිර ම කියන්නේ එබැවිනි. ඒ ගොල්ලෝ මාර ලිබරල් පොරවල්ය.
 
 ඒ නිසා මුඛ ආවරණ දමා ගත යුතු යැයි කී විට තමන්ගේ නිදහස සීමා වන බව කියා එය නොතකා හැරියහ. පුද්ගල සංචරණය සීමා කළ යුතු බව හා රැුස්වීම් නොපැවැත්විය යුතු බව කී විට, මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වන්නේ යැයි, ඊට එරෙහිව උද්ඝෝෂණ කරන්නටද පෙළඹුණහ. අවම මීටරයක ශාරීරික පරතරය පවත්වා ගත යුතු බව කී විට එය පුද්ගල නිදහස වනසන නීතියක් සේ සලකා, එය අභියෝගයට ලක්කොට, හිතුමතේ එකිනෙකාට සමීපව සිටියහ. දැන් ඉතින් සනීපය. පුද්ගල නිදහස අහස උසට ඇත. ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාවද අහස උසටම ගොස් ඇත.
 
 තුන්වන හානිකර කාරණය වූයේ ඇමෙරිකාවේ සෞඛ්‍ය සේවයේ ස්වභාවයයි. ඇමෙරිකාවේ පුද්ගල නිදහස අසීමිත වුවද, නිදහස් සෞඛ්‍ය සේවයක් පවතින්නේ නැත. ඇමෙරිකාව අන්ත අසරණවූ තෙවැනි හේතුව වූයේ එයයි. රටවැසියකුට සෞඛ්‍ය සේවා ලබා ගැනීමට නම්, ඔහු හෝ ඇය රක්ෂණය වී සිටිය යුතුය. රක්ෂණය වී නොමැති අයට නිකම්ම, පහසුවෙන්ම මරුවා බලාගන්නට හැකියාව ඇත. රක්ෂණය වූ අයටද තත්ත්වය එසේම වූයේ, මුදල් මත පමණක් යැපුණු සෞඛ්‍ය සේවයද කඩා වැටුණු නිසාය. එයට හේතු වූයේ පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් රජයේ පූර්ණ අධිකාරිය යටතේ නොවූ නිසාය.
 
 අප රටේ තත්ත්වය මෙයට ඉඳුරාම වෙනස් විය. අප රටේ ඇත්තේ නිදහස් සෞඛ්‍ය සේවාවකි.
 
 ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීම තබා, ආසාදිත වී දැයි සොයන ඡුක්‍ඍ පරීක්ෂණ පවා පෞද්ගලික සෞඛ්‍ය අංශයට තහනම් කරන්නට අපේ රජයට හැකිවූයේ, අපගේ සෞඛ්‍ය අංශය රජය සතුවූ නිසාය. වාසනාවකට අපගේ පෞද්ගලික සෞඛ්‍ය අංශය, රජයේ සෞඛ්‍ය අංශය අභිභවා තවමත් වර්ධනය වී නොමැත.
 
 එහෙත් විවෘත ආර්ථිකය ලොව පුරා පැතිර වූ මුග්ධ ශාස්ත‍්‍රඥයන්ගේ අමණ සංකල්පයන්ට මෙය ඉඳුරාම පටහැනිය. විවෘත ආර්ථික න්‍යායයන්ට අනුව පෞද්ගලික අංශය, රාජ්‍ය අංශයට වඩා බලවත් විය යුතුය.
 
 විවෘත ආර්ථික සංකල්පයන්ට එලෙස පටහැනි වුව ද, අපගේ රාජ්‍ය සෞඛ්‍ය අංශය බලවත් වීම හේතු කොට ගෙන, කොරෝනා පාලනයේදී රජයේ නීති රීති, නිසි පරිදි සහ අධිකාරිමය බලයක් සහිතව ක‍්‍රියාත්මක කිරීමට, අපගේ රජයට හැකි විය. එය කොරෝනා මර්ධනයට ඉමහත් රුකුලක් විය.
 
 බලන්න විවෘත ආර්ථික සංකල්ප වලට එරෙහිවූ තැන, රටක් හැටියට අපගේ ජයග‍්‍රහණයන් අප සාක්ෂාත් කර ගන්නා ආකාරය. විවෘත ආර්ථිකයටත්, එම ආර්ථික සංකල්පවලටත් අපි පයින් ගසා එළවා දැමිය යුත්තේ අන්න ඒ නිසාය.
 
 ට‍්‍රම්ප්ගේ පිස්සු බහුබූත අදහස් හා ක‍්‍රියාවන්, මේ සියල්ලටම වඩා හපන්ය. කොරෝනා තර්ජනය ආ පළමු දිනයේ පටන් ම ඔහුගේ සැබෑ ස්වරූපය පැහැදිලිව පෙනෙන්නට පටන් ගත්තේය. මිනිස්සු මැරුණාට කරන්න දෙයක් නැත. ආර්ථිකය රැක ගත යුතු යැයි ඔහු පළමුවෙන්ම කිව්වේය. විවෘත ආර්ථිකය විසින් ඔවුන්ගේ මනස තුළ ඇති කර තිබෙන අමානුෂිකත්වය ප‍්‍රදර්ශනය වූ එක් අවස්ථාවකි එය.
 
 ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරයෙක්ද කිව්වේ, ආර්ථිකයට බරක් වී සිටින වයස්ගත පිරිස් මැරුණාට කමක් නැහැ කියාය. මුග්ධ විවෘත ආර්ථික සංස්කෘතිය මතින් උපත ලද මිනීමරුවෝ ! නොවේ ද මොවුන්?
 
 අපේ මිනිස්සු ගොඩක් මැරුණාට, ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව අපේ ගණන් අඩුය කියාද, ට‍්‍රම්ප් කිව්වේය. ඒ ගණන් හැදුවේ කොහොමදැයි අපි නම් නොදනිමු. ඇමෙරිකන් ජනතාව ට‍්‍රම්ප්ට එරෙහිව පාරට බසින්නටද දැන් පටන් ගෙන ඇත.
 
 ඊළඟ කතාව නියම එකකි. විෂබීජනාශක පිරිසිදුකාරක ඇඟට එන්නත් කර ගැනීම, කොරෝනා මර්ධනයට විසඳුමක් විය හැකි යයි ට‍්‍රම්ප් ඊළඟට කිව්වේය. නියමයි. දැන් ඇමෙරිකාවේ වෛද්‍යවරුද, විෂබීජනාශක හදන කොම්පැණිද, ට‍්‍රම්ප්ගේ මෙම ප‍්‍රකාශය හෙළා දකිති.
 
 මෙම වටිනා කතාව කිවූ ට‍්‍රම්ප්, එම මාධ්‍ය සාකච්ඡුාවේදීම තමන් උසස් මනසක් ඇති අයකු බවද කිව්වේය. තමන් ගැන අධි මාන්නයෙන් සිතන, තමන්ගේ තරම් සමත්කම් අන් කිසිවකුට නැතැයි සිතන, ලක්ෂණය ට‍්‍රම්ප්ගේ දේශපාලන දිවියේ අවගමනය සනිටුහන් කරයි. ඔහු පෞද්ගලික ව්‍යාපාරිකයකු ලෙස සාර්ථකත්වයේ හිනිපෙත්තට නැගි අයෙකි. එනිසාම ඔහු දේශපාලනයද, ව්‍යාපාරික ක‍්‍රමවේද ඔස්සේ පරිපාලනය කරන්නට උත්සාහ දැරුවේය. ඔහුට වැරදුණේ එතැනය. දේශපාලන බුද්ධි මණ්ඩලයකින් ඔහු මෙහෙයවිය යුතු වුවද, ට‍්‍රම්ප් එය එතරම් තැකුවේ නැත. එහි විපාක ඇමෙරිකන් ජනතාවට දැන් දැන් දැනෙන්නට පටන් ගෙන ඇත.
 
 ට‍්‍රම්ප්ට කවර ඉරණමක් අත්වුවත් එය අපට ප‍්‍රශ්නයක් නොවේ. එහෙත් අපට දැනෙන කරුණ වන්නේ, ට‍්‍රම්ප් බලයට ඒමට බලපෑ ප‍්‍රධාන දේශපාලන සංකල්පය වූයේ ජාතිකත්වය වීමයි. ඇමෙරිකානු ජනතාව ජාතිකත්ව හැඟීම්වලින් මෙහෙයවී ට‍්‍රම්ප් බලයට ගෙන ඒම සඳහා එදා, ට‍්‍රම්ප් පසුපස සාර්ථකව පෙළ ගැසුණාහ. ලෝකයේ ප‍්‍රධාන රාජ්‍ය ලෙස එම ප‍්‍රවණතාව රුසියාවේද, ඉන්දියාවේද ඒ අවස්ථාවේ බල පැවැත්වූයේය. ජාතිකත්වය යනු රාජ්‍යයක නැගීම, වර්ධනය උදෙසා විශිෂ්ටවූ සංකල්පයකි. ජාත්‍යන්තරවාදය අභිභවා ජාතික රාජ්‍ය සංකල්පය මතු වීම ඉතා හොඳ ප‍්‍රවණතාවකි. එහෙත් ඇමෙරිකාව වැනි ‍ෆෙඩරල් ලක්ෂණවලින් පූර්ණවූ රාජ්‍යයක, කිසිසේත්ම ජාතිකත්වය මූලික කරගත් සංකල්පවලට දිගුකාලීන පැවැත්මක් සඳහා ඉඩකඩ නැත. ට‍්‍රම්ප් ගොදුරු වූයේ එම ෆෙඩරල් රාජ්‍ය රකුසාටයි.
 
 කෙසේ වුවද, ඓතිහාසික වශයෙන් වැදගත් දේශපාලන ජයග‍්‍රහණයක් අතීතයේ ලැබූ ට‍්‍රම්ප්, තමන්ගේ පුද්ගලික චින්තන දුර්වලතා හේතු කොට ගෙන අනිවාරත පසුබෑමක් වෙතට යොමු වීම කණගාටුවට කරුණකි. එය ඇත්තෙන්ම දේශපාලනික සංකල්පයක වැටීමක් නොව, ට‍්‍රම්ප්ගේ පුද්ගලික පසුබෑමක් ලෙස සැලකිය හැක.
 
 ධර්මානන්ද විජේසිංහ -
 සභාපති.- සියුම් මාන විද්වත් සංසදය
ලේකම් - ජාතික සංවිධාන සම්මේලනය

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles