Divaina - ඇමැති චමල් රාජපක්ෂට දුක් ගැනිවිලි රැසක්..... සජිත් යළි හම්බන්තොටින් මහ ඡන්දයට.... නිලධාරීන් ළඟට යෑමට බලාපොරොත්තු වන ලේකම්වරයා....

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

maagam135චමල් රාජපක්ෂ ඇමැතිවරයා ඉකුත් 02 වැනි දින හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති  රැස්වීමකට සහභාගි විය. ප‍්‍රාදේශීය ලේකම්වරු හා නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙකී රැස්වීම පැවැත්විණි. මේ සඳහා චමල් රාජපක්ෂ ඇමැතිවරයා සමග හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන එස්. පී. ආනන්ද, අජිත් රාජපක්ෂ ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ. හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඇතැම් උදා ගම්මාන ඉදිකොට තිබුණේ නිසි අදාළ ආයතනවල නිසි අවසරයකින් තොරව බව මෙකී රැස්වීමේදී අනාවරණය විය. ඒ විතරක් නොව නිවාස හා ඉඩම් බෙදාදීමේ දී නිත්‍යනුකුල ක‍්‍රමවේදයන් අනුගමනය කර නොමැති බව ද මෙකී සාකච්ඡාවේදී චමල් රාජපක්ෂ ඇමැතිවරයාට දැනගන්නට ලැබුණි. සුදුසු අයට නෙවෙයි ඉඩම් හා නිවාස ලබාදීලා තියෙන්නේ, මන්ත‍්‍රීවරුන්ගේ ලැයිස්තුවට තමයි ඒ කටයුතු වෙලා තියෙන්නේ, රාජ්‍ය සේවකයන්ට නිවාස ලබාදීමේදීත් ගැටලූ තියෙනවා අජිත් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා කීවේය. මෙහිදී නිවාස සංවර්ධන අධිකාරියට දැඩි ලෙස චෝදනා එල්ල විය. නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත‍්‍රික් කළමනාකාරවරයා මෙකී සාකච්ඡාව සඳහා එක්ව සිටියේ නැත. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙකී රැස්වීමට නොපැමිණි බව දන්වා තිබුණි. මේ සාකච්ඡාවෙන් පැන නැඟුනු ගැටලූ පිළිබඳ චමල් රාජපක්ෂ ඇමැතිවරයා ඉතා සාවදානව අසාගෙන සිටියේය. ”අපිට කාගෙවත් පිට වරද පටවන්න අවශ්‍ය නැහැ. හැම කටයුත්තක්ම නීතියට අනුව සිදුවිය යුතුයි. නීත්‍යානුකූල නොවන ආකාරයෙන් හා නීත්‍යානුකූල ලෙස නිවාස හා ඉඩම් බෙදාදීම පිළිබඳ වෙන වෙනම වාර්තාවක් මට ලබාදෙන්න” චමල් රාජපක්ෂ ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඉන්පසු චමල් රාජපක්ෂ ඇමැතිවරයා නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරතවිය. නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත‍්‍රික් කාර්යාලය සඳහා තාවකාලික පදනම යටතේ බඳවාගත් සේවකයන් සිය දුක්ගැනවිලි චමල් රාජපක්ෂ ඇමැතිවරයාට කීහ. ශ‍්‍රම ශක්ති නිලධාරීන් වශයෙන් කොටසක් බඳවාගෙන තිබූ අතර දෛනිකව රුපියල් 500 ක දීමනාවක් යටතේ තවත් පිරිසක් බඳවාගෙන තිබුණි.

පොහොට්ටුවේ ලාංඡනය වෙනස්කරන්න එපාලූ

වීරකැටිය නයිගල පුරාණ රාජමහා විහාරාධිපති අපවත් වී වදාළ මාතර හම්බන්තොට දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක වෛද්‍ය සූරී තලාවේ නන්දසාර හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂයන් එම විහාරස්ථානයට පැමිණියේය. ඇමැති මහින්ද අමරවීර, දකුණු පළාත් සභාවේ සභාපති කේ. ඒ. සෝමවංශ ඇතුළු පිරිසක් ද අගමැතිවරයා සමග පැමිණ සිටියහ. ස්විස් තනාපති කාර්යාලයේ සිද්ධිය ගැන ද මෙහිදී පිරිස කතාකරන්නට විය. ”ඒ කතාව බොරුවක්” අගමැතිවරයා කීවේය. ”සර්...ඉදිරි මහ මැතිවරණයටත් පොහොට්ටුවෙන් තරග කරන්න තමයි පාක්ෂිකයන් ඉල්ලන්නේ. පොහොට්ටුවේ ලංඡුනය ජයග‍්‍රාහි ලංඡුනයක්. ඒක වෙනස්කරන්න එපා...” සෝමවංශ කෝදාගොඩ සභාපතිවරයා

අගමැතිවරයාට කීවේය. ”ඔව්...ඒ ගැන සාකච්ඡුා කොට තීරණයක් ගන්න වෙනවා” අගමැතිවරයා කීවේය. අපවත් වී වදාළ තලාවේ නන්දසාර හිමියන්ගේ ආදාහන පූජොත්සවයේදී අගමැතිවරයා ඇතුළු රාජපක්ෂවරුන්ගේ ශෝක පණිවුඩය ඉදිරිපත් කරනු ලැබුවේ හිටපු පළාත් සභා මන්ත‍්‍රී අජිත් රාජපක්ෂය.

”මේ විහාරස්ථානය ඉතිහාසයේ ඉඳලා රාජපක්ෂවරුන් සමග ඉතා සමීප සම්බන්ධතා තියෙන විහාරස්ථානයක්” අජිත් රාජපක්ෂ කීවේය.

අධිකාරි සඳහා නව සභාපතිවරු

දකුණු පළාත් සභාව යටතේ ඇති අධිකාරි පහ සඳහා නව සභාපතිවරුන් පත්කිරීමට දකුණු පළාත් නව ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ තීන්දු කොට තිබේ. දකුණු පළාත් සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, දකුණු පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය, රුහුණු සංචාරක කාර්යාංශය, කාර්මික සංවර්ධන අධිකාරිය යන ආයතනවල දැනට සිටින සභාපතිවරුන්ට ඉල්ලා අස්වන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම් ඒ. යූ. වේලාරත්න වාචිකව මෙම සභාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කොට තිබුණේ පසුගියදාය. එම ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් දැනටමත් සභාපතිවරුන් තිදෙනකු සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ. එහෙත් අධිකාරි දෙකක සභාපතිවරු එම ඉල්ලීමට තවමත් ප‍්‍රතිචාර දක්වා නැත. ඔවුන් පවසා ඇත්තේ මේ පිළිබඳ ශ‍්‍රී ල. නි. පක්ෂයෙන් විමසා අවශ්‍ය කටයුතු කරන බවය. රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති හා හබරාදුව ආසනයේ ශ‍්‍රී ල. නි. පක්ෂයේ සංවිධායක තිසර ගුණසිංහ ද සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට මුලදී තීන්දුවක් ගෙන තිබුණි. තිසර ගුණසිංහට රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායකගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ මේ අතරතුරේය. ”ඔයා කලබල නැතිව ඉන්න අපි මේ ගැන අදාළ අය සමග කතාකරන්නම්” දුමින්ද තිසර ගුණසිංහට කීවේය. මෛත‍්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට තිසර ගුණසිංහ දුරකථන ඇමතුමක් ගත්තේය. මේ පිළිබද ඔහු හිටපු ජනාධිපතිවරයා සමග ද කතාබස් කළේය. ”ඔයා ඉදිරියේදී ඡුන්දය ඉල්ලනවා නේ. කලබල නොවී ඉන්න” තිසරට හිටපු ජනාධිපතිවරයා කීවේය. ඒ කොයිහැටි වුව ද මෙකී අධිකාරි පහ සඳහා නව සභාපතිවරුන් පත්කිරීමට තීන්දුකොට ඇති බව ද පැවසේ. එම සභාපතිවරුන් දැනටමත් තෝරාගෙන ඇති බව ද පැවසෙන අතර ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත‍්‍රික්ක නියෝජනය වන පරිදි හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරු පස්දෙනෙකු මෙකී තනතුරුවලට පත්කිරීමට කොළඹදී පැවති ඉහළ පෙළේ රැුස්වීමකදී තීන්දුකොට ඇති බව ද පැවසේ. කෙසේ වුව ද කාර්මික සංවර්ධන අධිකාරිය සඳහා ඒ පිළිබඳ වෘත්තීය දැනුමක් ඇති සභාපතිවරයකු පත්කළ යුතුවේ. ගාල්ලේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු මෙන්ම නියෝජ්‍ය සභාපතිවරයකු වූ චම්ලි විතානාච්චිට ද සභාපති ධුරයක් ලැබීමට ඉඩ ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සජිත් යළි හම්බන්තොටින් මහ ඡන්දයට

හම්බන්තොට දිස්ත‍්‍රික් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පසුගියදා හිටපු රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චිගේ ප‍්‍රධානත්වයෙන් හම්බන්තොටදී පැවැත්විණි. මේ සඳහා දකුණු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක තෙන්නකොන් නිලමේ, හිටපු පළාත් සභා මන්ත‍්‍රී ටී. වී. කේ ගාමිණී, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. නිහාල් වෙදආරච්චි, ලාල්චන්ද්‍ර යන හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන් මේ සඳහා එක්ව සිටියේ නැත. ජනාධිපතිවරණයේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් ලැබූ දරුණු පරාජය ගැන පිරිස කතාකළහ. පරාජයට හේතු පිළිබඳ නොයෙකුත් තර්ක විතර්ක ඉදිරිපත් කෙරිණි. ජනාධිපති ධුර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාසගේ ඇතැම් ලේකම්වරු මන්ත‍්‍රීවරුන් සම්බන්ධ කර නොගෙන කටයුතු කිරීම ගැන ද මෙකී

රැුස්වීමේදී කතාබහට ලක්විය. බලන්න සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ජනතාවට කොතරම් උදව් කරලා තියෙනවාද? නමුත් ජනතාව එතුමාට සැලකුවේ නැහැ. පොහොට්ටුවේ අය එක් නිවසකට පත‍්‍රිකා බෙදන්න තුන් වතාවක් යනවිට අපිට සමහරක් නිවාසවලට එක පාරක්වත් යන්න බැරිවුණා ටී. වී. කේ ගාමිණී මන්ත‍්‍රීවරයා කීවේය. ඇතමුන් එජාපයේ ව්‍යවස්ථාව දන්නේ නැහැ. අපි සියලූ දෙනා එජාප ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි හිටපු විපක්ෂ නායක තෙන්නකොන් නිලමේ කීවේය. මෙහිදී තෙන්නකොන් නිලමේ හා ටී. වී. කේ ගාමිණි හිටපු මන්ත‍්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය. ජනාධිපති ධුර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස හිටපු ඇමැතිවරයා විසින් හම්බන්තොට තම කාර්යාලයේ කාර්ය මණ්ඩල පහ දක්වා අඩුකරන ලෙස දැනුම් දී ඇති බව ද පැවසේ. ඒ අනුව සජිත් පේ‍්‍රමදාස හම්බන්තොට දිස්ත‍්‍රික්කය මුල්කරගෙන යළි දේශපාලනයේ නිරතවන බවට මේ තුළින් ඉඟි පහල වී ඇති බැව් හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු කීවේය.

නිලධාරීන් ළඟට යෑමට බලාපොරොත්තු වන ලේකම්වරයා

එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍රයන් කාලයක් ගාල්ල දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළේය. පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ඒ මහතා සහකාර මැතිවරණ කොමසාරිස්වරයකු ලෙස 1991 වසරේදී පරිපාලන සේවයේ රාජකාරී ආරම්භ කළේය. ඉන්පසු හම්බන්තොට ඇතුළුව දිස්ත‍්‍රික්ක කිහිපයක එම තනතුරේ බන්දුල

හරිස්චන්ද්‍රයන් සේවය කළේය. ප‍්‍රාදේශීය ලේකම්, අතිරේක දිස්ත‍්‍රික් ලේකම් යන තනතුරු ද දරමින් සිටියදී ඔහු වවුනියාවේ දිස්ත‍්‍රික් ලේකම් ලෙස පත්වීම් ලැබ එහි වසර හතරක පමණ කලක් සේවය කරනු ලැබීය. අනතුරුව බන්දුල හරිස්චන්ද්‍රයන් රත්නපුර දිස්ත‍්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළේය. පසුව ඔහු සමාජ සුබසාධන හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කළේය. මට අවශ්‍ය ජනතාව සමග සම්බන්ධ වෙලා වැඩකරන්න බන්දුල හරිස්චන්ද්‍රයන් ඒ කාලයේදී මා සමග කීවේය. පසුව ඔහු හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය. මේ වනවිට බන්දුල හරිස්චන්ද්‍රයන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්ව තිබේ. සැබැවින්ම බන්දුල හරිස්චන්ද්‍රයන් ඉතා දක්ෂ නිලධාරියෙකි. සුදුස්සාට නිසි අමාත්‍යාංශය මෙන්ම නිසි තැන ලැබී තිබේ.

ඒ විතරක් නොව හේ මාධ්‍යවේදීන්ගේ මිතුරෙකි. හේ පොතපතට දැඩිලෙස ඇලූම්කරන පරිපාලන නිලධාරියෙකි. බන්දුල හරිස්චන්ද්‍රයන් විවිධ පරිවර්තන කටයුතු සිදුකරමින් විවිධ පුවත්පත් සඳහා විශේෂංග ලිපි සම්පාදනය කොට ඇත්තේය. ඇත්තටම නිලධාරීන් මගේ ළඟට එන්න අවශ්‍ය නැහැ. මම තීන්දු කරලා තියෙනවා නිලධාරීන් ළඟට ගොස් සැලැස්මක් අනුව මේ අමාත්‍යාංශයේ කටයුතු කරන්න බන්දුල හරිස්චන්ද්‍රයන් කියන්නේය..

ලලිත් චාමින්ද

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles