Divaina - දෙමළ නායකත්වයන් කල් ඉකුත් වෙලාලු.... බැහැර විය යුතු මහවිරු සංකල්පය...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

දිනසේන රතුගමගේ
 
talwata135උතුරේ බෞද්ධ පුරාවස්‌තු හා ඉපැරණි ස්‌ථාන පිළිබඳව විශාල අර්බුදයක්‌ නිර්මාණය වෙමින් පවති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එම ස්‌ථාන නිවැරදිව ගැසට්‌ කොට නොතිබීමත් එම බිම් තහවුරු කොට නොතිබීමත් නිසා මේ තත්ත්වය උද්ගත වී තිබේ.
 
 වවුනියාවේ නෙඩුන්කේනි වෙඩික්‌කුනාරි යනුවෙන් හින්දු වැසියන් විසින් බලෙන් අත්පත් කරගෙන කෝවිලක්‌ තනා පුද පූජා පවත්වන ස්‌ථානය බෞද්ධ පුරාවස්‌තු ඇතුළත් ස්‌ථානයකි.
 
 දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධන් මන්ත්‍රීවරයා හැර අනෙක්‌ සියලුම මන්ත්‍රීවරු මේ ස්‌ථානයට පැමිණ අරගල කරමින් ඒ ස්‌ථානය හින්දු බැතිමතුන්ට අයත් ස්‌ථානයක්‌ බව පෙන්වමින් විශාල උද්ඝෝෂණයක්‌ ආරම්භ කළහ.
 
 මේ අවස්‌ථාවෙන් පසුව ඔවුන් ඒ ස්‌ථානයේ සංවර්ධන කටයුතු සිදු කරද්දී පළාතේ සිටින පුරාවිද්‍යා නිලධාරීන් ඒ ගැන නෙඩුන්කේනි පොලිසියට පැමිණිලි කළහ. පොලිසිය වෙඩුක්‌කුනාරි හින්දු කෝවිලේ භාරකාර මණ්‌ඩලයේ තුන් දෙනෙකුට එරෙහිව වවුනියාව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය.
 
 මේ නඩුව වසරක පමණ කාලයක්‌ විභාග වූවත් උතුරු පළාතේ පුරා විද්‍යා නිලධාරීන්ගේ හයියට කොළඹ නිලධාරීන්ගෙන් ලද සහය ප්‍රමාණවත් නොවීය. එහි ප්‍රතිපලයක්‌ වශයෙන් වෙඩුක්‌කුනාරි හින්දු කෝවිලේ බාරකාර මණ්‌ඩලයට අධිකරණයෙන් නිදහස ලැබුණි.
 
 එපමණක්‌ නොව එම ස්‌ථානයේ ඔවුන්ට ආගමික වතාවත් කිරීමට පනවා තිබූ තහනමද ඉවත් විය.
 
 මේ වෙඩුක්‌කුනාරි හින්දු කෝවිල ඉදි කර ගැනීම සදහා ඔවුන්ට අවසරයක්‌ ලබා දී ඇත්තේද පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන්ම බවට අධිකරණයේදී තොරතුරු හෙළිවුණි. බෞද්ධ පුරා වස්‌තු පිහිටි ස්‌ථානයට මීටර් පන්සීයක්‌ දුරින් කෝවිල ඉදි කර ගැනීම සඳහා අවසර ලබා දී ඇතත් කෝවිල ඉදි වී ඇත්තේ එතරම් දුරකින් නොවේ.
 
 අධිකරණයේදී හෙළි වූ ඊළග කාරණය වූයේ මේ ස්‌ථානය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිසි ලෙස ගැසට්‌ කිරීමක්‌ හෝ සංරක්‌ෂණය කිරීමක්‌ හෝ වෙන් කිරීමක්‌ හෝ තහවුරු කිරීමක්‌ සිදුකොට නොමැති බවයි.
 
 වවුනියාවේ ඕමන්ත පැරණි මාළිගය ලෙස පුරාවිද්‍යාව විසින් හඳුන්වන ලද ස්‌ථානය ඩෝසර් කිරීමේ සිද්ධියේදීද සැකකරුවන් දෙදෙනාට නිදහස ලැබුණි.
 
 වවුනියාව සමලන්කුලම පුරාවිද්‍යා වැඩ බිමේ සංවර්ධන කටයුතු කිරීමට ගිය පුරා විද්‍යා නිලධාරීන්ට ගම්වැසියන් පිරිසක්‌ පහර දීමට සූදානම් වූයේ පුරා විද්‍යාවේම ගඩොල් වලිනි. නමුත් ඒ සිද්ධියට නීතියක්‌ ක්‍රියාත්මක නොවීය.
 
 මුලතිව් නායාරූ ගුරුකන්ද රජ මහා විහාරස්‌ථානය ඩෝසර් කරන ලද පිරිස මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නොමැත.
 
 මේ සෑම ක්‍රියාවකදීම අසරණ වන්නේ උතුරු පළාතට පත් කොට සිටින පුරා විද්‍යා නිලධාරීන්ය. කොළඹ සිටින ඉහළ නිලධාරීන් කියා සිටින්නේ මේ රටේ තිබෙන පුරා වස්‌තු සියල්ලක්‌ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් නොවන බවය.
 
 බැහැර විය යුතු මහවිරු සංකල්පය
 
 වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමත් නව අග්‍රාමාත්‍යවරයා බලයට පත් වීමත් සමගම සමාජ මාධ්‍ය ජාලා ඔස්‌සේ අදහස්‌ හුවමාරූ වූයේ මෙවර උතුරේ මහවිරු උළෙලවල් පැවැත්වීම සඳහා ඉඩක්‌ නොමැති බවය.
 
 නමුත් වෙනත් වසර වලට වඩා සංවර්ධනයකින් යුතුව එම උත්සව හැත්තෑපහක්‌ පමණ උතුරේ පමණක්‌ පැවැත්වුණි. මේ උත්සව සඳහා කතෝලික සහ හින්දු පූජකවරු සමග උතුරේ දෙමළ දේශපාලනඥයෝද සහභාගී වී සිටියහ.
 
 මේ දේශපාලනඥයෝ මහවිරු දිනය සමරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රතිපත්ති සාධාරණය කරමින් කතා කළහ.
 
 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව මේ දේශපාලනඥයෝ කුමන හෝ ස්‌ථානයක රටේ ඒකීය භාවයට හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ගරු කරන බවට දිවුරා ප්‍රතිඥා දී ඊට ඔහුගේ අත්සනද යොදා ඇත. ඔවුන් මහවිරු උළෙලවල් වලට සහභාගී වී එල්.ටී.ටී.ඊ.සංවිධානය සාධාරණීකරණය කරන්නේ නම් ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව සහ දණ්‌ඩ නීති සංග්‍රහයේ සඳහන් කාරණා වලට අනුව ඔවුන්ද අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරිය හැකිය. නමුත් මේ දක්‌වාම එවැන්නක්‌ සිදු වී නොමැත.
 
 මේ ගැන විමසූ විට උතුරේ ආරක්‌ෂක නිලධාරියෙකු කියා සිටියේ මෙවැනි කතාවකි.
 
 "එල්.ටී.ටී.ඊ.සංවිධානය තහනම් සංවිධානයක්‌ නිසා එහි සාමාජිකයින්ගේ නිල ඇඳුම් පෙනෙන අන්දමට සැමරුම් කිරීමට බැහැ. මහජනතාව කැඳවා ඔවුන්ට එවැනි ඡායාරූප පෙන්වීම එල්.ටී.ටී.ඊ.ක්‍රියාකාරකම් පෙන්වීම කළ නොහැකියි."
 
 මහවිරු උළෙලවල් පවත්වන්නේ යුද්ධයේදී මියගිය පිරිස සැමරීම සඳහායි. ඔවුන් එහිදී භාවිත කරන්නේ සාමාන්‍ය ඇඳුමින් සැරසුණු මිනිසුන්ගේ ඡායාරූපයි. ඕනෑම ආගමක ජාතියක අයට මළවුන් ඇදහීම සඳහා අයිතියක්‌ තිබෙනවා. ඒ නිසා මේ මහවිරු උළෙලවල් පවත්වන පිරිස අත්අඩංගුවට ගැනීමට නීතියේ ප්‍රතිපාදන නැහැ...
 
 එම නිලධාරියා එසේ පවසන්නේ නම් තහනම් කළ සංවිධානයක නායකයාගේ ඡායාරූපය මහජන ප්‍රදර්ශනය සඳහා තබා උත්සව පැවැත්වීමද තහනම් ක්‍රියාවකි. ප්‍රභාකරන්ගේ ඡායාරූපය යොදා ගෙන කේක්‌ සාදා කේක්‌ කපමින් උත්සව පවත්වන විට ආරක්‌ෂක නිලධාරියා සඳහන් කළ නීතියේ ප්‍රතිපාදනවලට සිදුව ඇති දේ පිළිබඳව විශාල ප්‍රශ්නයක්‌ ඇති වේ.
 
 මෙවර නවක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා තිබුණේ උතුරේ මහවිරු සතිය සැමරීමේ ක්‍රියාව එතරම් ගණන් ගත යුතු නොමැති බවයි. රජය ඒ සම්බන්ධයෙන් යම් පරීක්‌ෂණයක්‌ පවත්වා ක්‍රියා මාර්ගයක්‌ ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබුණි.
 
 මෙහිදී පැන නගින ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ මහවිරු උළෙලවල් පවත්වන අවස්‌ථාවලදී ඊට සම්බන්ධ පිරිස්‌ අත්අඩංගුවට නොගෙන ඉන් පසුව පරීක්‌ෂණ පවත්වන්නේ මන්දැයි යන කාරණයයි.
 
 මහවිරු උළෙල සැමරීමට සතියක කාලයක්‌ වෙන් වෙයි. නොවැම්බර් මස 23 වැනිදා සිට නොවැම්බර් මස 27 වැනිදා දක්‌වා කාලය ඒ සඳහා යොදා ගනියි. මේ සතියේම ඒ දිනයන් ඊට යොදා ගැනීමට හේතුව වී ඇත්තේ නොවැම්බර් මස 26 වැනිදාට ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදී තිබීමයි.
 
 මෙවර ප්‍රභාකරන්ගේ 65 වැනි උපන් දිනය සැමරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ කේක්‌ කැපීමක්‌ සිදුවිය. මෙවර පමණක්‌ නොව එය සෑම වර්ෂයකම යාපනය විශ්වවිද්‍යාලය තුළ සිදු වේ.
 
 යාපනය විශ්වවිද්‍යාලය තුළ පමණක්‌ නොව උතුරේ බොහෝ ස්‌ථානවලදී ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමත් මහවිරු උළෙල සැමරීමත් සිදු වුණි. අමාත්‍යවරයා මේ උළෙලවල් පැවැත්වීම එතරම් ගණන් ගත යුතු නැතැයි පැවසුවත් මේ ක්‍රියාවන් නිසා සිදුවන්නේ දෙමළ ජනතාව යළිත් එල්.ටී.ටී.ඊ.සංවිධානය පෝෂණය කිරීමට මානසිකව එකඟතාවයකට පත් වීමයි. එය ඉතා විශාල මෙන්ම බරපතල අපරාධයකි.
 
 දෙමළ නායකත්වයන් කල් ඉකුත් වෙලාලු
 
 උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට නිසි නායකත්වයක්‌ ලබා දීමට නොහැකි තරමට දෙමළ නායකත්වයන් යල් පැන ගොස්‌ කල් ඉකුත් වී ඇති නිසා වහාම දෙමළ ජනතාවට නායකත්වය ලබා දීමට විකල්ප නායකත්වයක්‌ සෙවිය යුතුව ඇතැයි ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා වවුනියාවේදී පැවසීය.
 
 ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ මධ්‍යම කාරක සභාව වවුනියාවේ පිහිටි පෞද්ගලික හෝටලයකදී පැවති අතර එහිදී අදහස්‌ දක්‌වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියේ ඉදිරියේදී එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට පෙර උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සඳහා නව නායකත්වයකට යා යුතු බවයි.
 
 මේ නායකත්වය තීරණය කොට මහමැතිවරණය සඳහා කටයුතු සූදානම් කළ යුතු බවත් දෙමළ ජනතාවට විශ්වාසය තැබිය හැකි දෙමළ නායකත්වයක්‌ ඉදිරිපත් කොට ජනතාව ඔහු වටා පෙළගැස්‌විය යුතු බවත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.
 
 උතුරේ දෙමළ ජනතාවට වඩා නැගෙනහිර දෙමළ ජනතාව නිසි නායකයෙකු නොමැතිකම නිසා ඉතා අසරණ වී සිටින බව කී මන්ත්‍රීවරයා දෙමළ නායකයින් නිතරම උතුරු පළාතේ පිරිස සමග කටයුතු කිරීමට සූදානම් වීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බව සඳහන් කළ හිටපු මන්ත්‍රීවරයා වහාම මේ තත්ත්වය වෙනස්‌ කොට උතුරු පළාතටත් නැගෙනහිර පළාතටත් එක හා සමානව පිළිගත හැකි නව නායකත්වයක්‌ ඇති කළ යුතුව ඇතැයිද පෙන්වා දුන්නේය.
 
 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් වූයේ දෙමළ ජාතික සන්ධානය විසින් බවද ඔහු මෙහිදී මාධ්‍යවේදීන්ට කියා සිටියේය.
 
 සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ දේශපාලන ප්‍රතිපත්ති විග්‍රහ කරමින් දෙමළ ජනතාවට යමක්‌ ලබා ගැනීමට නම් සජිත් ප්‍රේමදාස මහතාව බලයට පත් කළ යුතු බව කීම නිසා විශාල සිංහල ඡන්ද ප්‍රමාණයක්‌ ඔහුට අහිමි වූ බවයි. මේ නිසා ගෝඨාභය රාජපක්‌ෂ මහතාට ඉතා පහසුවෙන් ජනාධිපතිවරණය ජය ගැනීමට හැකි වූ බව කී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා උතුරේ සෙසු බලවේග මෙන් අපේක්‌ෂකයෙකු තෝරා ගැනීම ජනතාවට බාර නොකොට දෙමළ සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රසිද්ධියේ සහාය දැක්‌වීම තුළින් සිංහල ඡන්ද ගණනාවක්‌ අහිමි වී ගිය බවද හෙතෙම කීය.
 
 දිනසේන රතුගමගේ
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles