Divaina - උඩරට රාජධානියෙහි සිටි විචක්‌ෂණශීලීම පාලකයා කීර්ති ශ්‍රී රාජසිංහ රජුය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

udarata



එස්‌. ඒ දිලිනි දුලාංජලී ධනවර්ධන
ඉතිහාස අධ්‍යයන අංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

මහනුවර යුගය දෙස විමසා බැලීමේ දී නායක්‌කර් රජවරුන් තම රාජ්‍යයත්වය තහවුරු කර ගැනීමේ දී උපක්‍රමශීලීව කටයුතු කළ අතර මෙම නායක්‌කර් රජවරුන් අතුරින් තෙළිඟු රජ පෙළපතට අයත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු ශ්‍රී ලංකාව තුළ සිය රාජ්‍යත්වය තහවුරු කර ගැනීමේ දී සෙසු නායක්‌කර් පාලකයින් අභිබවා ඉතා විචක්‌ෂණශීලීව කටයුතු කළේය. ආනන්ද කුමාරස්‌වාමි මහතා 'සියලුම රජවරුන් අතුරින් බුද්ධාගමට විශාලතම සේවය කළ රජු කීර්ති ශ්‍රී රාජසිංහ යෑයි' ප්‍රකාශ කිරීම තුළින් ඒ බව පැහැදිලිය. පළමුවන නායක්‌කර් රජුවන ශ්‍රී විජය රාජසිංහ රජුගෙන් අනතුරුව රජුගේ අගමෙහෙසියගේ සොහොයුරු කීර්ති ශ්‍රී රාජසිංහ රජු ක්‍රි.ව.1731 දී සිංහාසනයට පත් වුවද ඔහු ඒ වනවිට සොළොස්‌ වියේ පසුවිය. ඒ අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු රාජාභිෂේකය පවත්වන තෙක්‌ රජුගේ පියා වූ නරේනප්පා නායක්‌කාර් පාලනය මෙහෙය විය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු උපතින් පරම්පරාවෙන් හෝ සංස්‌කෘතියෙන් ශ්‍රී ලාංකිකයෙකු නොවූ අතර ද්‍රවිඩ භාෂාව කතා කළ හින්දු භක්‌තිකයෙකු වූ රජු, සිය විජාතිකත්වය මෙරට දී මුහුණදුන් ප්‍රධාන ගැටලුව විය. මෙම ගැටලුවට මුහුණදීමේදී ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය ආරක්‌ෂා කරන පාලකයෙකු ලෙස ක්‍රියා කිරීමටත් අන්‍ය ආගමික සහනශීලී ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමටත්, රජු විචක්‌ෂණශීලී විය. විජාතිකත්වය පිළිබඳ ගැටලුවට මුහුණ දීමේදී රජු මහාචාර්ය කේ. එම් ද සිල්වා මහතා ප්‍රකාශ කරන ආකාරයට 'උඩරට වැසියන් අපේක්‌ෂා කළ පරිදි බුදු දහම වැළඳගෙන ඊට අනුග්‍රහය දැක්‌වූවා පමණක්‌ නොව උඩරට පසුබිම සමඟ සිය අභිමානය සම්මිශ්‍රණය කළේය.' උඩරට පසුබිම සමඟ රජු සම්මිශ්‍රණයවීමේදී සිංහල බෞද්ධ රාජ්‍යත්වයට ආවේණික මූලික සංකල්ප දෙකක්‌ වන ධර්මාශෝක සංකල්පය හා ශක්‍ර දේවේන්ද්‍ර සංකල්පය ප්‍රයෝජනයට ගත්තේය. මෙයට අමතරව සිංහල බෞද්ධ පරමාදර්ශයන්ට අනුකූල වන ප්‍රතිපත්ති මඟින් භක්‌තිමත් පාලකයෙකු ලෙස ජනතාව ඉදිරියේ පෙනීසිටිමින් දේශපාලනික බලය ලබා ගැනීමට රජු ක්‍රියා කළේය.

පෘතුගීසි ලන්දේසි බල ව්‍යාප්තිය සමඟ මෙරට පැවැති අස්‌ථාවර දේශපාලන ස්‌වභාවයත් පළමුවන නායක්‌කර් රජු වන ශ්‍රී විජය රාජසිංහ රජු යටතේ මෙරට බුදු දහමට සැළකිය යුතු සේවාවක්‌ සිදුනොවීම යන පසුබිම මත උපක්‍රමශීලී වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු මෙරට බෞද්ධ ජනතාවගේ පක්‌ෂපාතීත්වය දිනා ගැනීමට බුදුදහමට විශාල අනුග්‍රහයක්‌ ලබා දුන්නේය. ක්‍රි.ව. 1753 උපාලි තෙරුන් ප්‍රමුඛ භික්‌ෂූන් දහඅට නමක්‌ හා සාමණේරවරු හත්නමක්‌ තායිලන්තයේ සිට මෙරටට වැඩමකොට උපසම්පදා කර්මය ස්‌ථාපිතකොට සියම් මහා නිකාය පිහිටුවීම මෙකල බුදුදහමට සිදු වූ විශිෂ්ටතම සේවාවකි. මෙම භික්‌ෂූන් මෙරටට වැඩම කරවන ලද්දේ ලන්දේසි ආධාරයෙනි. මේ අනුව තම ප්‍රධාන සතුරාගෙන් වුවද ප්‍රයෝජන ගැනීමට තරම් රජූ උපක්‍රමශීලී වූ බව පැහැදිලිය. එමඟින් බෞද්ධ ජනතාවගේ පක්‌ෂපාතීත්වය එක්‌ පාර්ශ්වයකින් ලබාගත් රජු සෙසු පාර්ශවයෙන් තම ප්‍රධාන සතුරාගෙන් වුවද ප්‍රයෝජන ලබා ගත්තේය. උපසම්පදා කර්මය මෙන්ම සීමාමාලක පිහිටුවීම උඩරට රාජධානි සීමාවෙන් පිටත සිදු වූ අතර එමඟින් රාජ පාක්‌ෂික ජනතාවක්‌ උඩරටින් පරිබාහිර සෙසු ප්‍රදේශයන් කෙරෙහි ද නිර්මාණය කර ගැනීමට රජුට හැකි විය.

කෝට්‌ටේ යුගයේ වැඩ විසූ වීදාගම මෛත්‍රිය හිමියන්ගෙන් පසුව අභාවයට ගොස්‌ පැවති පැරණි සංඝරාජ ධුරය වැලිවිට සරණංකර හිමියන්ට ලබාදෙමින් නැවත සංඝරාජ ධුරය ස්‌ථාපිත කළේය. මෙමඟින් භික්‌ෂූන්ට නිසි නායකත්වයක්‌ යටතේ විනය පවත්වාගෙන යැමටත් භික්‌ෂු ශාසනය සුරක්‌ෂිත කිරීමටත් හැකි විය. මල්වතු මහා විහාරය, ගංගාරාමය, දෙගල්දොරුව නිර්මාණය මෙකල සිදු විය. රජුගේ ආගමික කටයුතු උඩරටට පමණක්‌ සීමා නොවී දඹුලු විහාරය, වාකිරිගල විහාරය, රිදී විහාරය මැදවල, සූරියගොඩ යන විහාරයන් ප්‍රතිසංස්‌කරණයන්ගෙන් උඩරටින් දුරබැහැර ජනතාවගේ පක්‌ෂපාතීත්වය ද ලබා ගැනීමට රජුට හැකි විය. බෞද්ධ ජනතාවගේ පක්‌ෂපාතීත්වය මෙමඟින් ලබාගත් රජු හලාවත මුන්නේශ්වරම් කෝවිල ප්‍රතිසංස්‌කරණය මඟින් හින්දු ජනතාවගේ පක්‌ෂපාතීත්වය ද දිනා ගත්තේය.

මෙයට අමතරව බෞද්ධ ජනතාවගේ පක්‌ෂපාතීත්වය ස්‌ථිරවම පවත්වාගෙන යාම සඳහා රජු විහාර හා දේවාලගම් ලබාදීම, බෞද්ධ ග්‍රන්ථ රචනා කිරීම සහ බෞද්ධ විහාරයන්වල සිතුවම් ඇඳීම යන මූලික ක්‍රමෝපායන් තුනක්‌ මගින් ජනතාවගේ සිත් දිනා ගත්තේය. ක්‍රි.ව. 1815 බ්‍රිතාන්‍යයන් උඩරට යටත්කර ගැනීමේදී මෙරට විහාර සහ දේවාල සතු ඉඩම් 675 237 ක්‌ පැවති බව බ්‍රිතාන්‍ය මූලාශ්‍රවල සඳහන් වන අතර මේවායින් වැඩි ප්‍රමාණයක්‌ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ප්‍රදානයන් බව වාර්තා විය. මේ අනුව විහාර සහ දේවාලවල නඩත්තුව පවත්වාගෙන යැමෙන් මෙරට බෞද්ධ භික්‌ෂූන්ගේ හා ජනතාවගේ පක්‌ෂපාතීත්වය දිනාගත් බව පැහැදිලිය. බුදුදහම සුරක්‌ෂිතව පවත්වාගෙනයාම සඳහා අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගයකට පූර්වාදර්ශය වළගම්බා රජු ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමෙන් ලබා දුන්නේය. මෙම පූර්වාදර්ශය අනුව ගමන් කළ රාජසිංහ රජු දිඝ හා සංයුක්‌ත නිකායට අයත් ග්‍රන්ථ පිටපත් කිරීම, මහාවංශය නැවත රචනා කිරීම, ජාතක කතා ඇතුළත් සද්ධර්මවාදය රචනා කිරීම, මිලින්ද ප්‍රශ්නය හා විමානවත්ථු යන ග්‍රන්ථ සිංහලයට පරිවර්තනය කිරීම, සුතසෝම ජාතකය ඇසුරෙන් කාව්‍යදීපනී පද්‍ය සංග්‍රහය රචනා කිරීමට අනුග්‍රහය ලබා දුන්නේය.

udarata2මෙම අනුග්‍රහය ලබාදීමෙන් පමණක්‌ සෑහීමකට පත් නොවූ රජු දඹදෙණි යුගයේ දෙවන පරාක්‍රමබාහු රජු මෙන් ග්‍රන්ථ රචනා කිරීමට පෙළඹුණි. මේ අනුව සාරාර්ථ සංග්‍රහය, සාරාර්ථ දීපනීය, භේසඡ්ජ මංජුසා සන්නය මහා බෝධිවංශ සන්නය රජතුමා විසින්ම රචනා කළේය. උපතින් හින්දු භක්‌තිකයෙකු වුවද බෞද්ධාගම වැළඳගත් පාලකයකු ලෙස අතීත රජවරුන් අනුකරණය කරමින් ඔවුන් හා සමාන ජනතා පක්‌ෂපාතිත්වයක්‌ දිනාගැනීමට ග්‍රන්ථ රචනා කිරීම තුළින් විදග්ධ සමාජය ස්‌පර්ශ කළ රජු අකුරු නූගත් ගැමි සමාජය ස්‌පර්ශ කළේ බිතුසිතුවම් මඟින්ය. දඹුල්ල රිදී විහාරය දෙගල්දොරුව, මැදවල විහාරයේ සුප්‍රසිද්ධ මාර පරාජය, දම්සක්‌ පැවතුම් සූත්‍රය, වෙස්‌සන්තර ජාතකය වැනි සිතුවම් මඟින් කලාව දෘශ්‍ය මාධ්‍යයක්‌ ලෙස උපයෝගී කරගනිමින් ආචාරධර්ම ඉගැන්වීමටත් එමඟින් ජනතාවගේ පක්‌ෂපාතීත්වය ජනතා ගෞරවය රජු කෙරෙහි නිරන්තරයෙන්ම තබා ගැනීමටත් හැකි විය.

හින්දු පාලකයෙකු වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු හින්දු පූජකවරුන් සිටියදී තම උපදේශක තනතුරට වැලිවිට සරණංකර හිමියන් පත් කර ගනු ලැබුවේ කුමන පදනමකින්ද යන්න විමසා බැලිය යුතුය. මෙරට බෞද්ධ පරිසරයට අනුකූල වන ආකාරයට සරණංකර හිමියන් සිය අනුශාසක තනතුරට පත්කොට චිරාගත සම්ප්‍රදාය ආරක්‌ෂා කරමින් බෞද්ධ භික්‌ෂූන්ගේ මෙන්ම බෞද්ධ ජනතාවගේ පක්‌ෂපාතීත්වය රජු දිනාගත්තේය. බෞද්ධාගම වැළඳගත් පාලකයකු ලෙස බෞද්ධ ජනතාවගේ පක්‌ෂපාතීත්වය රජු ඉතා සූක්‌ෂ්ම අන්දමින් දිනා ගත්තද ඔහු තම පාරම්පරික හින්දු චාරිත්‍ර වූ නළලෙහි අළු ගෑමේ චාරිත්‍රය අත් නොහළේය. එමඟින් ආධ්‍යාත්මික වශයෙන් හින්දු බැතිමතෙකු වීමෙන් හින්දු ජනතාවගේ පක්‌ෂපාතීත්වය දිනා ගැනීමට උත්සාහ කළ බව පැහැදිලිය. මෙයට අමතරව රජ මාලිගය අසලම බිසෝවරුන් හා ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන් හින්දු දේවාල නිර්මාණය කළේය.

බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීම ප්‍රතිසංස්‌කරණයෙන් පමණක්‌ සෑහීමකට පත් නොවූ රජු බෞද්ධයන්ට අහිමි වී ගිය සීතාවක රාජසිංහ සමයේ හින්දූන්ට පවරන ලද ශ්‍රී පාදස්‌ථානය නැවත බෞද්ධයන්ට පවරමින්ද දෙවියන්ට පමණක්‌ සීමා වූ ඇසළ පෙරහරට දළදා පෙරහැර එක්‌ කරමින් ද රජු ජනතාවගේ සිත දිනා ගත්තේය. බෞද්ධාගමට ලබාදුන් අනුග්‍රහය පමණක්‌ නොව බුදුදහම පරිහානියට පත්වීමට බලපෑ හේතු සාධක පිළිබඳව ද රජු සාධනීය උනන්දුවක්‌ දක්‌වා තිබේ. එමඟින් මෙරට බෞද්ධ ජනතාවගේ ආරක්‌ෂකයා ලෙස පෙනී සිටීමට රජුට හැකි විය. මේ වනවිට පැවති ලන්දේසීන්ගේ ක්‍රිස්‌තියානි මිෂනාරි ප්‍රචාරක කටයුතුවලට එරෙහිව ආගම්වාදය නමැති කෘතිය ලන්දේසි බල ප්‍රදේශයක්‌ ලෙස පැවැති මෙරට මුහුදුබඩ ප්‍රදේශයට අයත් මුල්කිරිගල විහාරයේ රචනා කිරීම රජු කතෝලික විරෝධී බෞද්ධ පාලකයෙකු ලෙස පෙනී සිටීමට දරන ලද ප්‍රයත්නයකි. බුදුදහමේ ආරක්‌ෂකයා ලෙස රෝමානු කතෝලිකයන්ට වධහිංසා කිරීම ද සිදු වූ අතර එය බෞද්ධ ජනතාවට ඇති ලැදියාව හුවාදැක්‌වීමට කරන ලද ප්‍රයත්නයක්‌ පමණි. රජු බුදුදහමට හින්දු ආගමට පමණක්‌ නොව කතෝලික ආගමට ද විවිධ අනුග්‍රහයන් සිදු කළේය. තම ග්‍රහණයෙන් ගිලිහීයන කතෝලික ජනතාවගේ පක්‌ෂපාතීත්වය දිනා ගැනීමට රජු සූක්‌ෂ්ම විය. පහතරට ප්‍රදේශයේ කතෝලිකයන්ට විවිධ හිරිහැර සිදුවූ අවස්‌ථාවලදී ඔවුන් උඩරටට ආරක්‌ෂාව පතා අතීතයේ සිට පැමිණි අතර මහනුවර රජවරුන් ඔවුන් ආරක්‌ෂා කළේය. එම ප්‍රතිපත්තිය අනුව කටයුතු කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු වරින් වර කතෝලික ජනතාවට උපකාර කරමින් ආගමික සහනශීලී ප්‍රතිපත්තියක්‌ මඟින් පහතරට ජනතාවද දිනා ගැනීමට උපක්‍රමශීලී විය.

විදේශීය ජාතීන් වූ පෘතුගීසීන් මෙන්ම ලන්දේසීන්ද මෙරට අනිවාර්ය සේවාවන් පවත්වාගෙන යාමෙන් ජනතාව හිංසනයට පත් කළේය. බ්‍රිතාන්‍යයන් අනිවාර්ය රාජකාරි සේවා ක්‍රමය අහෝසි කළ ද එමඟින් පීඩාවට පත්වූයේ ද මෙරට ජනතාවය. විජාතීය නායක්‌කර් වංශික පාලකයකු වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු මෙරට සාමාන්‍ය ජනතාව මත තම රාජ්‍යත්වය තහවුරු වන බව හොඳින් අවබෝධ කරගෙන සිටියේය. එබැවින් ජනතා පක්‌ෂපාතීත්වය දිනාගැනීමට උපක්‍රමශීලී වූ රජු මෙරට සාමාන්‍ය ගැමි ජනයා අනවශ්‍ය ලෙස නිතර යුද්ධයකට කැඳවමින් හෝ ඔවුන් පීඩාවට පත් නොකළ අතර එමඟින් සාමාන්‍ය ජනතාව රාජපාක්‌ෂික නිහඬ පිරිසක්‌ බවට පත්කර ගැනීමට රජුට හැකි විය.

අනුරාධපුර යුගයේ පාලකයකු වූ කිනරජානු තිස්‌ස රජුව ඝාතනය කිරීමට මෙරට භික්‌ෂූන් උත්සාහ කළ අවස්‌ථාවේ ඊට සම්බන්ධ භික්‌ෂූන් හැට දෙනකු කනීර නම් පර්වතයෙන් පහළට හෙළා ඝාතනය කළ බව මහාවංශයේ සඳහන්ය. බෞද්ධ පාලකයෙකු වූ කිනරජානුතිස්‌ස රජු භික්‌ෂූන් ඝාතනය කළ ද නායක්‌කර් වංශිකයකු වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඝාතනය කිරීමට තම අනුශාසක වැලිවිට සරණංකර හිමියන් ප්‍රමුඛ භික්‌ෂූන් උත්සාහ කළද රජු එකදු භික්‌ෂුවක ඝාතනය නොකළේය. මේ අනුව රාජ්‍ය විරෝධී ක්‍රියාවක දී වුවද රජු ලබා දුන් දඬුවම් විචක්‌ෂණශීලීව තම දේශපාලන බලය පවත්වාගෙන යාම උදෙසා භාවිත කළ බව පැහැදිලිය.

රජු නළලේ අළු ගෑමේ චාරිත්‍රයට විරෝධී මෙරට භික්‌ෂූන් මෙන්ම රදළ වංශවතුන් රජු ඝාතනය කිරීමට 1760 කුමන්ත්‍රණය කළේය. රජු ඝාතනය කොට භික්‌ෂු වේශයෙන් මෙරටට පැමිණි සියම් කුමාරයකු උඩරට රජු බවට පත් කිරීම මෙම කුමන්ත්‍රණයේ අරමුණ විය. මල්වතු මහා විහාරයේ පැවැත්වෙන ආගමික උත්සවයකට සහභාගිවන ලෙස රජුට ආරාධනාකොට මෙම කුමන්ත්‍රණකරුවෝ තියුණු උල් සහිත බොරු වළකලා රජු මරා දැමීමට සැලසුම් කළහ. මෙම කුමන්ත්‍රණය පිළිබඳ ගලබොඩ දිසාව රජතුමාට දන්වන ලද අතර කුමන්ත්‍රණය හසුවීමෙන් අනතුරුව සමනක්‌කොඩි අදිකාරම්, මෝල දණ්‌ඩේ රාළ, කඩුවෙල රාළ සහ මැතිහන්පොල දිසාවේ යන සතරදෙනාට මරණ දඬුවම් ලබා දුන්නද, සංඝරාජ පදවියට පත් සරණංකර හිමියන්, තිබ්බොටුවාවේ තෙරුන් ඝාතනය නොකොට උන්වහන්සේලා කෙහෙල්ඇල්aලට ද, බින්තැන්නට ද ගෙන ගොස්‌ සිරගත කරන ලදී. එමෙන්ම සියම් කුමරු ආපසු යෑවීමට කටයුතු කරන ලදී. අතීත රජ දවස බෞද්ධ පාලකයින් රාජ්‍ය විරෝධී භික්‌ෂූන් ඝාතනය කළ ද කීර්ති ශ්‍රී රාජසිංහ රජු හින්දු භක්‌තිකයකු වී භික්‌ෂූන් ඝාතනය නොකිරීමේ විචක්‌ෂණශීලී ප්‍රතිපත්තිය මත මෙරට බෞද්ධ භික්‌ෂූන්ගේ මෙන්ම ජනතාවගේ ඒකීය පාලකයා බවට පත් විය.

නායක්‌කර් වංශික පාලකයකු වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු මෙරට උඩරට රාජ්‍යත්වය තහවුරු කර ගැනීමේ දී මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය තම විජාතිකත්වයයි. මෙම අභියෝගයට විචක්‌ෂණශීලීව මුහුණදුන් රජු විවිධ සංකල්ප, බෞද්ධාගමික ඉදිකිරීම් මෙන්ම ප්‍රතිසංස්‌කරණ, සිතුවම් කලාව දෘශ්‍ය මාධ්‍යයක්‌ ලෙස භාවිත කරමින් මෙරට බෞද්ධ ජනතාව දිනා ගත්තේය. හින්දු චාරිත්‍රයක්‌ වූ නළලේ අළු ගෑමේ චාරිත්‍රය හින්දු දේවාල ඉදිකිරීම වැනි ක්‍රියාමාර්ග මඟින් ද හින්දු ජනතාවගේ පක්‌ෂපාතීත්වය දිනාගැනීමට ද සමත්වූ අතර කතෝලික සහනශීලී ප්‍රතිපත්තියක්‌ මඟින් එම ජනතාව ද දිනා ගත්තේය. හින්දු පූජකයින් සිටියදී උපදේශක තනතුරට සරණංකර හිමියන් පත් කිරීම, උපසම්පදා විනය කර්මය පිහිටුවීමට තම සතුරා වූ ලන්දේසීන් ප්‍රයෝජනයට ගැනීම, රජු ඝාතනය කිරීමට සූදානම් වූ භික්‌ෂූන්ට ඉතා සහනශීලී දඬුවම් ලබා දෙමින් තම රාජ්‍යත්වය තහවුරු කර ගත්තේය. ඒ අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු යනු උඩරට රාජධානියේ සිටි විචක්‌ෂණශීලීම පාලකයා බවට නිගමනය කළ හැකිය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles