Divaina - කොළඹ සිහිනය

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

sarasavi4 1‘ලලිතක්කෙ, ඉක්මණට ඔය කැවුම් ටිකත් හදල ගමු..’
 
 පද්මාවතී මෙසේ කියාගෙන කුස්සියට ආවාය. මුළු ගෙදරම කැවුම්, කොකිස්වල තෙල් සුවඳින් පිරී ඉතිරෙන්නට විය. ඇය මේ සැරසෙන්නේ සිය වැඩිමහල් දියණිය අධ්‍යාපන කටයුතු සඳහා විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ නතර කර ඒමටය. දස මසක් කුසේ දරා සිට කොතෙකුත් අගහිඟකම් තිබුණ ද ඒ සියල්ල විඳ දරාගෙන ඇය තම දියණිය උස්මහත් කළේ තම ස්වාමියා ද නොමැතිව ය. පද්මාවතී අතීතාවර්ජනයක නිරත වී සිටියේ ඇයගේ දෑසින් කඳුළු කැට වැගිරෙන බවවත් නොදැනෙය.
 
 ‘නංගි, කැවිලි පෙවිලි ටිකනම් හදලා ඉවරයි. තව මොනවද කරන්න තියෙන්නෙ?’
 
 පද්මාවතී පියවි සිහියට පැමිණියේ ලලිතාගේ හඬ නිසා ය.
 
 ‘මොකක්ද අක්කෙ කිවුවෙ?’
 
 ‘මොනවද නංගි මෙච්චර වෙලා කල්පනා කළේ ?’
 
 ‘නෑ අක්කෙ, මට මේ ඉස්සර දේවල් මතක් වුණා. තාත්තත් නැතිව මේ කෙල්ලව මේ තැනට ගන්න මං කොච්චර ධෛර්යයක් කළාද? ඒ කෙල්ල මගේ මහන්සියට වටිනාකමක් දුන්නා. හරි ධෛර්යවන්ත කෙල්ල.’
 
 ‘අනේ ඒ ගැනනම් මොකට කියනවද නංගියේ. මොකෝ මම නොදන්නවැයි ඒ කාලෙ උඹල දෙන්න ගෙවපු ජීවිතේ ගැන. කොහොමින් කොහොමහරි දැන් තියෙන්නෙ සතුට විඳින්න තියෙන කාලෙ.’
 
 ‘දැන් කොහොමද නංගියෙ උඹල දෙන්න හෙට විශ්වවිද්‍යාලෙට යන්නෙ?’
 
 ‘සියදෝරිස් අයිය එන්නම් කිවුව අක්කෙ.’
 
 ‘හා. ඒක හොඳයි. සියදෝරිස් ඉතින් කොළොම්පුරේ නොදන්න තැනක් තියේයැ. ඉස්සර එහේ මහත්තයෙක් ළඟ නොවැ ඩ‍්‍රයිවර්කම කළේ.’
 
 ලලිතා එසේ කියමින් පද්මාවතීට හෙට ගමනට අවශ්‍ය ඇඳුම් මලූ, බෑග් මලූ සකස් කරන්නට උදවු විය.
 
 ‘දැන් කෝ කෙල්ල’
 
 ‘ආන් .. පන්සලේ හාමුදුරුවන්ට වැඳල එන්න ගියා. හාමුදුරුවො කෙල්ලට නොසෑහෙන්න උදවු කළා නොවැ.’
 
 ‘ඒවා හොඳ වැඩ. මොන සාර්ථකත්වය ගත්තත් වැඩක් නෑ. ආගම දහම අමතක කරලා.’
 
 අහිංසා සිය ආදරණීය මව හා සියදෝරිස් මාමා සමඟ ඉදිරියට ඇදී ආවේ කාක් රැුලක් මෙන් පොරකමින් සිටිනා මහ ජනකාය අතරිනි. ගමේ තිබූ නිස්කලංකභාවය, කරළින් බරවුණු ගොයම් පැළ කොළොම්පුරයේ නැත. කුඩා කාලයේ සිට කොළොම්පුරය පිළිබඳව අහිංසාගේ සිත තුළ පැලපැදියම්ව තිබූ සිහින පාරාදීසය එක් මොහොතකින් සුන්වුණා සේය. අතින්, කරින් එල්ලාගත් ගමන් මලූ සහිතව ඔවුහු විශ්වවිද්‍යාලය වෙත පිවිසුණහ.
 
 නවක සිසුන් පිළිගැනීම සඳහා ඉදිකර තිබූ විශාල වූ, අලංකාර තොරණ අහිංසාගේ සිත තුළ ඇති කළේ බියංකරභාවයකි. කුඩා කල සිටම මවගේ නෙත් පාමුල සිටිමින් ගත කරමින් සිටි ආකාරය සිහිපත් කරමින් ඇය අතීතාවර්ජනයක යෙදුණාය.
 
 ‘මං කැමතියි මගේ ¥ මේ දුප්පත් අම්මට වඩා හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙට ගිහින් ලොකු නෝනා කෙනෙක් වෙලා එනව බලන්න. හොඳට ඉගෙනගනිං මගෙ දුවේ.’
 
 පුංචිකමට වුවත්, මවගේ ඒ අහිංසක ප‍්‍රාර්ථනාවන්ගෙන් පිරුණු කඳුළුබර මුහුණ දෙස ඇසිපිය නොහෙළා බලා සිටි ආකාරය මතක් වී අහිංසාගේ දෙනෙතින් කඳුළු කැට ඇද හැලෙන්නට විය. අහිංසා මේ පය ගසා තිබෙන්නේ මවගේ ප‍්‍රාර්ථනය අනුව තමා දැනඋගත් නෝනා කෙනෙකු කරන පින්බර භූමියක ය. තමා ද, තම මව ද රටට දැනඋගත් බුද්ධිමතුන් බිහි කරන මෙවන් පින්බර භූමියක් වෙත පා තබන්නට තරම් වාසනාවන්ත වීමේ සතුට නිමිත්තෙන් ඇගේ සිත ද උද්දාමයට පත්ව ඇත.
 
 ‘පුතේ, අන්න ළමයින්ට හොස්ටල්වලට දාන්න කියල කතා කරනවා.’
 
 අහිංසා සිහින ලෝකයෙන් පියවි ලෝකයට ආවේ තම මවගේ කාරුණික ඇමතීමෙනි.
 
 අහිංසා බියජනක හැඟුමින් යුතුව දියෙන් ගොඩ ගත් මාළුවෙකු මෙන් ගැහෙමින් සිසු පිරිසට එක් වූවාය.
 
 ‘ඒයි, අර බලන්නකො අරය ඇඳල තියෙන ඇඳුම ගොඬේ තාලෙට වගේ. ගොඬේ ගෑනියෙක් වගේ කොණ්ඩෙත් ගොතලා.’
 
 කොණ්ඩය කොටට කපන ලද කෙටි සායකින් හා අත් කොට බ්ලවුසයකින් සැරසුණු තලෙළු පැහැයකින් යුතු අංජලී ඇයට සමීපව සිටි තව එකියකට පවසන ලද වදන් අහිංසාගේ හිතට දැනුනේ කඩු පහරක් අනින්නාක් මෙනි. සරසවි මිතුරන් හා සරසවිය පිළිබඳව ඇයගේ සිත තුළ මවාගෙන තිබූ ප‍්‍රතිරූපය සැණෙකින් විනාශ වී ගියාක් මෙන් අහිංසාගේ සිතට දැනුණි.
 
 අහිංසාගේ සැබෑ තත්ත්වය ඇයට පසක් වූයේ ඒ මොහොතේදී ය. තමා ඇඳ සිටින්නේ බාල රෙදි වර්ගයකින් මස්සවන ලද දිග සායක් හා අත් දිග හැට්ටයක් ය. කොණ්ඩය දෙපැත්තට පීරා තනි කරලක් ලෙස ගොතා ඇත.
 
 ‘ළමයි ඔයාල හැමෝම මේ විශ්වවිද්‍යාලයට සාදරෙන් පිළිගන්නවා. ඒ වගේම මේ නේවාසිකාගාරයට සාදරෙන් පිළිගන්නවා. ගෑනු ළමයි විදියට සියලූ දෙනාම තමන්ගේ විනය, ගරුත්වය තබාගෙන එක අම්මගෙ දරුවො වගේ සතුටින් ඉඳීවි කියල මම විශ්වාස කරනවා.’
 
 ‘ආහ්... දැන් තම තමන් රෙජිස්ටර් වෙලා තියෙන රූම්ස්වලට යන්න.’
 
 අහිංසාගේ ඇෙඟ් හීන් දාඩිය දැම්මේ නේවාසිකාගාර පාලිකාතුමියගේ නිවේදනයත් සමඟයි. ඇය දස දහස් වාරයක් දෙවියන්ගෙන් අයැද සිටියේ මීට සුළු මොහොතකට පෙර තමාට ඇනුම් පද පැවසූ අකාරුණික තරුණියන් දෙදෙනාගේ කාමරයට තමා ඇතුළත් නොවන ලෙසයි. අහිංසා එලෙස ප‍්‍රාර්ථනා කළේ ඔවුන් කෙරෙහි හටගත් කෝපයක් නිසා නොව එවැනි කෲර වදන් අසා සිට ඇයට පුරුද්දක් නොමැති බැවිනි.
 
 තම මව ද, සියදෝරිස් මාමා ද සමඟ අහිංසා ද තමාගේ නම ඇතුළත් වූ කාමර අංකය සොයාගෙන ගියහ. අදාළ කාමරයට අහිංසා ඇතුළු පිරිස ඇතුළු වන විටත් සොයුරියෝ කඩිමුඩියේ තම ඇඳන් සකස් කරමින් බඩු මළු අසුරුමින් පසු වූහ.
 
 ඒ සියලූම සොයුරියන් අතර අහිංසා සෙවූවේ තමා පිළිබඳව අතර අවතක්සේරුවෙන් කතා කළ සොයුරියන් දෙදෙනා සිටී ද යන්නයි. කාමරය පුරා දෑස් කරකවා බැලූව ද ඔවුන් දෙදෙනා එහි නැත. අහිංසා ඒ පිළිබඳව එක් වරක් නොව දස දහස් වතාවක් දෙවියන්ට ස්තූති කළාය.
 
 පද්මාවතී සිය දියණියගේ ඇඳෙහි බෙඞ්ෂීට් අතුරා ඇඳ නිසි පරිදි සකස් කර දුන්නාය. ඒ අතරතුර සියදෝරිස් මාමා ද අහිංසාට අවශ්‍ය අනිකුත් ද්‍රව්‍ය සියල්ල දන්නා පරිද්දෙකු මෙන් කඩිසරව සපයා දීමට යුහුසුළු වූවේ ය.
 
 ‘මගෙ දුවේ, කාත් කවුරුවත් නැති කොළොම්පුරේ උඹව දාල යන්න මගෙ හිත වාවන්නෙ නෑ රත්තරනේ. ඒත් අම්ම කෙනෙක්ට දෙන්න පුළුවන් ලොකුම සතුට උඹ මට දුන්න. කොහේ ගියත් උඹට වරදින්නේ නෑ කෙල්ලෙ. එක එක ජාතියෙ යාළුවො උඹට මෙහේදි හම්බවේවි. ඒ හැමෝම එක්ක තමන්ගෙ ගරුත්වෙත් තියාගෙන පරිස්සමට ඉඳපන්. මං උදේ හවා ප‍්‍රාර්ථනා කරන්නෙ උඹට හැමදාම හරියන්න කියල.’
 
 දෙමාපියන්ට හොස්ටල්වලින් ඉවත්වීමට ලබාදුන් නිවේදනයත් සමඟ සිය ආදරණීය දියණිය වැළඳගෙන පැවසූ වදන් නිසා අහිංසාට තව දුරටත් ඇඬුම් සිතේ තද කරගෙන සිටිය නොහැකි විය. ඇය තම මව වැළඳගනිමින් රිසි සේ ඇඬුවේ නැවත තම මවගේ උණුසුම විඳීමට හැකි දිනයක් ඉක්මණින් ම එළඹේවා! යි ප‍්‍රාර්ථනා කරමිනි.
 
 ‘අම්ම බයවෙන්න එපා අම්මෙ. අම්මගෙ ¥ හරි ශක්තිමත්. මොන බාධක ආවත් මම අම්ම ළඟට ආයෙ එන්නෙ දැන උගත් නෝනා කෙනෙක් වෙලා. එතකම් මයෙ අම්ම පරිස්සමට ඉන්න.’
 
 මුළු කාමරය ම කඳුළු විලක් බවට පත්වීමට ගත වූයේ ඉතා ම සුළු මොහොතකි. තමා හා සම වයසේ සියලූ දෙනාගේත්, දෙව්පියන්ගේත් දෙනෙත් කඳුළින් තෙත් වී ඉදිමී ඇත්තේ ඇඬුම්වල ප‍්‍රතිඵල වශයෙනි. මේ අතරතුර තම ඥාති දියණිය වන අහිංසාට කොළඹ ජීවත්විය යුතු ආකාරය පිළිබඳව බොහෝ දැනමුතුකම් පැවසූවේ පද්මාවතීට ද මෙම නාගරික ජීවිතය පිළිබඳ හරි හැටි වැටහීමක් නොමැති නිසාය. අහිංසා තම ආදරණීය මවට ද, සියදෝරිස් මාමාට ද දණගසා වැන්දාය. සියදෝරිස් සමඟ පද්මාවතී නේවාසිකාගාරයෙන් පිටව ගියේ සිතේ තෙරපෙන බොහෝ දුක් දොම්නස් සිරකර ගෙනය.
 
 අහිංසා සිය ජීවිතයේ පළමු වරට මවගෙන් වෙන්වී පිට ස්ථානයක රැුය පහන් කරන්නේ එදිනයි. එතැන් පටන් ඇයට මවගෙන් වෙන්වී මෙම කුඩා කාමරයේ රැුය පහන් කිරීමට සිදුවනු ඇත. මවගෙන් සමුගත් මොහොතේ සිට අහිංසාගේ දෙනෙත්වලට විවේකයක් නැත. දෑස් ඉදිමී තඩිස්සි වී ඇත. ඇයට මෙතරම් දුකක් දැනෙන්නේ තමාට මේ ලෝකයේ මෙතෙක් සරණ වූ මව ගමේ තනිවීම හේතුවෙනි.
 
 ‘දැන් ඇඬුව ඇති නේද?’
 
 ‘ජීවිතේ හැටි ඔහොම තමයි. තමන් ආදරය කරන අයගෙන් අපි හැමෝටම වෙන් වෙන්න වෙනවා. අම්මලගෙන් වෙන්වෙලා මේ වගේ තැනක ඉන්න වෙනව කියන්නෙ අමාරු වැඩක්. ඒත් ඉතින් මොනව කරන්නද ?’
 
 ඇඳෙහි වකුටු වී අඬමින් සිටි අහිංසා වෙත පැමිණි දෙව්මි ඇයගේ දුක තුනී කිරීමට උත්සාහ කළාය. සැබවින්ම දෙව්මි අහිංසාට හොඳ මිතුරියක් වූවාය. ඉතා සුළු මොහොතකින් ඔවූහු හොඳ මිතුරියන් බවට පත් වූහ. අසත්පුරුෂ මිත‍්‍රදෝහී අය අතර දෙව්මි වැනි අවංක මිතුරියන් ද සරසවි බිමේ සිටින බව අහිංසාට පසක් වූවේ දෙව්මිගේ සත් ගතිගුණ නිසා ය.
 
 ...................................................................................................
 
 ‘සංසලා බලන්න, අර කැම්පස් පටන් ගත්ත මුල් දවසෙ ගොඬේ විදිහට ඇඳල ආව ගොඬේ කෙල්ල. දැන් ඉතින් හැමදාම මේ මූණත්තහඩුව තමයි උදේට බලන්න වෙන්නේ.’
 
 නොසිතූ මොහොතක තමාට ඇසීමට සිදු වූ දේ නිසා අහිංසා සිටියේ බලවත් කනස්සල්ලෙනි. මෙවැනි අකාරුණික වදන් පැවසීමට කරම් තමා ඔවුන්ට කළ වරද කුමක්ද? යන්න පිළිබඳව ඇය තම සිතෙන් ප‍්‍රශ්න කළාය.
 
 අවාසනාවක මහත! අහිංසාගේ සරසවි ජීවිතේ සතුට නැතිවුණා සේය. තමාගේ කාමරයට ඉදිරිපස කාමරයේ සංසලා සහ අංජලී වෙසෙන බව ඇය දැනගත්තේ එම මොහොතේදී ය.
 
 මධ්‍යම පාන්තික පවුලකින් පැවතුණ ද සංසලා සහ අංජලී ජීවත්වන්නේ තමන්ට වඩා සමතෙකු මේ ලොව නොමැති ගාණට ය. බොරු ආටෝප සාටෝපවලින් යුක්ත ජීවතයකට ඔවුහු පුරුදු වී ඇත. මාන්නක්කාරකම කර පින්නාගෙන ජීවත්වන ඔවුන් දෙදෙනා අසරණ ළමයින්ගේ සිත් තළා පෙළා සතුටක් ලබති. ඔවුන්ගේ සතුටට තමා ආයුධයක් කරගත්තේ ඇයි? අහිංසා තම සිතෙන් මේ පැනය නිරතුරුව විමසන ලදී.
 
 ‘අම්මේ මට දැන් එපාවෙලා හොස්ටල් ජීවිතේ.’
 
 ‘ඇයි පුතේ අර ?’
 
 ‘නැහැ අම්මේ. හොස්ටල් එකේ ඉන්න සමහර ළමයි හරිම නරකයි. ඒගොල්ල නිතරම අපි වගේ අසරණ අයව රිද්දල සතුටු වෙනවා. අම්ම දන්නවනේ මට ඒ වගේ දේවල් දරාගන්න බෑ කියල. වෙලාවකට හිතෙනව ඉගෙනීම පැත්තකට දාලා ගමට එන්න. එහේ ජීවිතේ හරි වෙනස් අම්මේ.’
 
 අහිංසා තම මව බැලීමට ගමේ ගිය පළමු දින ඇතිවූ සංවාදය හැඟුම්බර එකක් විය. කුමන අභියෝගවලට මුහුණ දුන්න ද තම දියණිය තම ඇහැ මෙන් දුකක් නොදී රැුකබලා ගන්නට පද්මාවතී දැරුවේ අපමණ වෙහෙසකි. ඇයට සමාජෙන් මෙවන් ඇනුම්පද අසා පුරුද්දක් නැත. ගමේ ළමා සමිතියේ, දහම් පාසලේ, පාසලේ දී වුව ද කිසිදු දෝෂයක් හෝ බැනුමක් කිසිවෙකුගෙන් ඇය අසා නැත. තම දියණියට සියලූ දෙනාගෙන් ම ලැබුණේ ප‍්‍රශංසා ම පමණකි. එනිසා මෙවන් සිත් තැවුලක් මිතුරන් නිසා ඇතිවූ පළමු අවස්ථාව මෙයයි. තම දියණිය ඒ පිළිබඳව බොහෝ කම්පාවට පත්ව ඇති බව පද්මාවතීට වැටහිණී.
 
 ‘ ඕවා ඔහොම තමයි පුතේ කොහේ වූණත්. මං ¥ට කියල තියෙනවනේ ¥ගේ තාත්තා මාව මෙහේට කැන්දගෙන ආව දවසෙ ඉ`දල තාත්තගෙ නෑදෑයො කොහාමද සැලකුවේ කියල. අපට සමාජෙ වෙනස් කරන්න බෑ පුතේ. අපි දැනගන්න ඕන තැනේ හැටියට ඇණේ ගහන්න.’
 
 ‘ඒකනම් ඇත්ත අම්මේ.’
 
 අහිංසා විශ්වවිද්‍යාලයට ඇතුළත් වී අවුරුද්දක් ගතවී අවසන් ය. ඒ ගතවූ කාල සීමාව ඇයට ජීවිතය පිළිබඳ බොහෝ පාඩම් දෛවය විසින් උගන්වා තිබිණි. මිතුරියන්ගේ හැසීරීම්, ක‍්‍රියා කලාපයන් බොහෝ දේ ඇයගේ ජීවිතයට එකතු කළේය.
 
 තම සමකාලීන මිතුරියන් උඩින් පණ දෙන්නට මෙන් සිටිය ද, යටින් තමාගේ සාර්ථකත්වය වෙනුවෙන් අකුල් හෙළන බව අහිංසා දැන සිටියා ය. සමකාලීන සොයුරියන්ගේ ක‍්‍රියාකාරකම් නිසා ඇය බොහෝ දුක්පීඩාවන්ට මුහුණ දුන්නාය. විටෙක මෙම ජීවිතය අතහැර අම්මා සමඟ ගමේ සතුටින් ජීවත්වීම හොඳ යැයි සිතුණු වාර ගණන අනන්තය. එහෙත් ඒ සියලූ බාධක මැඬපවත්වා ගනිමින් අධ්‍යාපන කටයුතු සඳහා ඇය සිය මනස සකසා ගත්තේ මවගේ උනන්දු කිරීම් හා ඇයගේ ප‍්‍රාර්ථනාවන් ඉටු කරනු පිණිස ය.
 
 ‘අහිංසා දැන් උඹට අපිව අමතක වෙලාද? ඉස්සර මතකද අපි වැව් ඉවුරෙ සෙල්ලම් කළා. මාළු ඇල්ලූවා. තරගෙට සරුංගල් යැව්වා. දං කඩන්න කැලේ ගිහින් අම්මලාගෙන් හොඳට ම ගුටිකෑවා. ඒ කාලේ මතක් වෙනකොටත් ආස හිතෙනව බං.’
 
 අහිංසාට ගමේ කුඩා කල සිටම හමු වූ හොඳම යෙහෙළිය ඇයයි. අහිංසා ගමට ගිය එක් දිනෙක තම මිතුරිය පැවසූ වදන් ඇයගේ සිත තුළ රැුව් පිළිරැුව් දෙන්නට විය. ගමේ එකට සිටි මිතුරු මිතුරියන් හා කොළඹ නරගයේ තමාට හමුවූ මිතුරු මිතුරියන් අතර විශාල වෙනසක් අහිංසා දකී. තමන්ගේම සමාජ පන්තියේ වෙසෙන ගමේ මිතුරියන් සමඟ ගමේ සුන්දරත්වය වෙත අහිංසා නිරන්තරයෙන් ඇදී යන්නා සේය. එවැනි ලොවකට ඉක්මණින් යාමට ඇය සිත පෙරුම් පුරයි.
 
 ‘අහිංසා, උඹ ආයෙත් ගමට එන්නේ කවදාද ?’
 
 අධ්‍යාපන කටයුතු සමඟ කාර්යබහුල ජීවිතයක් ගෙවන අහිංසාගේ සිත වරින් වර සිය සුන්දර ගැමි අතීතයට පිවිසෙන්නේ ආදරණීය මිතුරු මිතුරියන්ගේ දඟකාර කෙළිලොල් සිනා හඬ අතරිනි.
 
 එස්.එච්. කසුනි මනෝහාරි
 විශේෂවේදී තෙවන වසර,
 ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
 කැලණිය විශ්වවිද්‍යාලය.
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles