Divaina - රට යන අත - දුමින්දලා ගෝඨාභයට එකතු වෙද්දී රනිල් සජිත් දිනවන්න වැඩට බසී

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

  ජනිත සෙනෙවිරත්න
 
 ජනාධිපතිවරණ නාම යෝජනා අවසන් වී මහජන රැුලි ආරම්භ වී තිබේ. මේ වන විට ජනාධිපතිවරණ සටන මුළුමනින්ම විවෘතය. තවත් ඇත්තේ දින තිස් ගණනක් පමණක් නිසා එම සීමිත කාලය තුළ සියල්ල අවසන් කරන්නට සිදුව තිබේ. ඒ ඒ පක්ෂ තුළ විරසක වී සිටි බොහෝ දෙනා ඒ සියලූ වාද බේද අමතක කර තම තමන්ගේ පක්ෂ දිනවන්නට වැඩ කටයුතු ආරම්භ කර තිබේ. හේතුව සියලූ දේ පවතින්නේ බලය මත වීම නිසාය. දේශපාලන බලය අහිමි වුවහොත් ඒ සියල්ලේ අවසානය එතැනය. එම නිසා සියලූ අමනාපකම් අතහැර පක්ෂය දිනවීම මේ වන විට මූලික වී තිබේ.
 
 
 
 ශ‍්‍රීලනිපය - පොදු ජන පෙරමුණු ගිවිසුම...
 
 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී සුබ මොහොතින් සිදු කරන ලදී.
 
 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ප‍්‍රධාන ලේකම් සාගර කාරියවසම් යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
 
 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
 
 එම ගිවිසුම අත්සන් තැබීමට පෙර දින ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන්නට තීරණය කරන ලදී. ඊට අදාළ ගිවිසුම අත්සන් තැබුණේ ඊට පසුවය.
 
 කෙසේ වෙතත් මේ එක්වීම ගෝඨාභය රාජපක්ෂගේ පැත්තෙන් බැලූ කල ජයග‍්‍රහණයකි. මහින්ද රාජපක්ෂගේ ජනප‍්‍රියතාවයත් බැසිල් රාජපක්ෂගේ සංවිධාන ශක්තිය හා උපායශීලී භාවය මත ගෝඨාභයගේ ඡුන්ද සටන මුළුමනින්ම රැුඳී පවතී. ගෝඨාභය හෝ ඔහු වටා සිටින පිරිස මෙවැනි ජාතික මට්ටමේ මැතිවරණ ව්‍යාපාරයක් මින් පෙර දියත් කළ අය නොවේ. මේ නිසා මහින්ද හා බැසිල් මුල්කොට ගෙන සමස්ත යාන්ත‍්‍රණය දියත් කළ යුතුව තිබේ.
 
 ගෝඨාභය දුමින්දගේ නිවසට
 
 දුමින්ද දිසානායකලා පසුගිය කාලය පුරා රාජපක්ෂවරුන් සමග අමනාපයෙන් පසු විය. ඒ ඔහුගේ පියා වූ බර්ටි පේ‍්‍රමලාල් දිසානායකට රාජපක්ෂවරුන් අතින් අසාධාරණයක් වූ බව පවසමිනි. කෙසේ වෙතත් මේ වන විට ඒ සියලූ අමනාපකම් අතහැර දුමින්ද දිසානායක ගෝඨාභය දිනවන්නට කටයුතු කරමින් සිටී.
 
 ඒ අනුව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවස වෙත පසුගියදා ගොස් තිබිණි.
 
 දුමින්ද දිසානායක මහතා මහත් හරසරින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත් අතර ගෝඨාභය රාජපක්ෂ හා දුමින්ද දිසානායක එහිදී සුහද පිළිසඳරක නිරත වූහ.
 
 එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණු අතර එහිදී දුමින්ද දිසානායක මහතා කියා සිටියේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඡුන්ද සියල්ල ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර දිස්ත‍්‍රික්කය වැඩි ඡුන්ද එක් ලක්ෂ පනස් දහසකින් ජයග‍්‍රහණය කරවන බවයි.
 
 මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ, දිලූම් අමුණුගම, වීරකුමාර දිසානායක, හිටපු අමාත්‍යවරුන් වන තිස්ස කරල්ලියද්ද, ඩබ්.බී. ඒකනායක යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ආසන සංවිධායකවරුන් සහභාගි වූහ.
 
 ගෝඨාභයගේ රැුලියට දුමින්දලා එක්වෙති
 
 ඉන් පසුව දුමින්ද දිසානායක මහතා ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයින් රැුසක් අනුරාධපුරයේ සල්ගාදු ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මංගල ජනහමුවේදී පොදුජන පෙරමුණ හා එක් වූහ.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක, හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහත්වරුන් මෙන්ම පසුගියදා සජිත් පේ‍්‍රමදාස මහතාට සහය පළ කරමින් එක්වූ හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී. ඒකනායක මහතා ද එහිදී වේදිකාවට පැමිණ සිටියහ. හිටපු මන්ත‍්‍රීවරුන් වන ඒ.එල්.එම්. අතාවුල්ලා හා ඩග්ලස් දේවනන්ද මහත්වරුද එම ජනහමුවට එක්ව සිටියහ.
 
 මෙහිදී මංගල රැුලිය අමතමින් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා - ”අපි ඉදිරියේදී පොහොර නොමිලේ ලබා දෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය ඇතුළු සියලූම ණය කපා හරිනවා. අපිට අවශ්‍ය ගොවීන් නඟාසිටුවීමටයි. මේ රට සහලින් ඇතුළු අනිකුත් බෝගවලින් ස්වයංපෝෂිත කරන්නට අවශ්‍යයි. සෑම නිවසකටම පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. අලින්ගෙන් සිදුවන හානිවලට ඉතා කඩිනමින් වන්දි ලබාදෙන රක්ෂණ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරනවා. කිසිම මිනිස් ජීවිතයක් සුළුකොට තකන්නේ නැහැ. සිරගත කර සිටින සියලූම රණවිරුවන්ව නිදහස් කරනවා. කඩාවැටුණු ආර්ථිකය ගොඩනැඟීම අපේ අරමුණයි” යැයි ප‍්‍රකාශ කළේය.
 
 මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ දී වෛද්‍ය ප‍්‍රතිකාර හා වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට භාජනය වීම සඳහා සිංගප්පූරුවට ගොස් තිබේ.
 
 අධිකරණයෙන් ලද අවසරය මත ඒ මහතා විදේශගත වූ අතර 12 වැනිදා නැවත ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
 
 චන්ද්‍රිකාගේ විරෝධය
 
 මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය සම්බන්ධයෙන් ශ‍්‍රීලනිපයේ හිටපු නායිකාවක මෙන්ම දැනට ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සිය විරෝධය පළ කර ඇත.
 
 ඇය සිය විරෝධය ලිඛිතව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා වෙත දන්වා තිබේ.
 
 පක්ෂයේ ආසන හා දිස්ත‍්‍රික් සංවිධායකයන් 90% කට වැඩි පිරිසක් පොහොට්ටුවට සහාය දැක්වීමට එරෙහි මතයක සිටියදී ශ‍්‍රීලනිපය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කරන්නේ කෙසේදැයි එමගින් ප‍්‍රශ්න කර ඇති හිටපු ජනාධිපතිනිය මෙය පොහොට්ටුව ඉදිරියේ ශ‍්‍රීලනිපය පාවාදීමක් ලෙස හඳුන්වා තිබේ.
 
 සජිත් දිනවන්න රනිල් වැඩට බසී
 
 එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාසගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය මේ වන විට වොක්ෂෝල් වීදියේ සිට ක‍්‍රියාත්මක වේ. වොක්ෂෝල් වීදියේ කාර්යාලයට අමතරව ඉදිරි දිනවලදී සිරිකොත පක්ෂ මූලස්ථානයේ සිට ප‍්‍රධාන මෙහෙයුම් කටයුතු සිදු කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු යොදා ඇත.
 
 එම කටයුතු අගමැතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මැතිවරණ මෙහෙයුම සිදු කෙරෙන අතර ඒ හරහා සමස්ත පක්ෂ යාන්ත‍්‍රණය මුළුමනින්ම සජිත්ගේ ජයග‍්‍රහණයට යෙදවීමට නියමිතය.
 
 ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ආරම්භක ජන රැුලිය ගාලූ මුවදොර පිටියේ දී අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. රටේ සියලූම ප‍්‍රදේශ නියෝජනය කරමින් ඒ සඳහා ජනතාව සහභාගි වූහ.
 
 සම්බුද්ධ ශාසනයේ උන්නතියට කැපවෙන බව සජිත් කියයි
 
 මේ අතර පසුගියදා ගල්කිස්ස ශ‍්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේදී පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් සජිත් පේ‍්‍රමදාස පැවසුවේ ඒකීය ශ‍්‍රී ලංකාවක් තුළ සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කැපවී කටයුතු කරන බව ය.
 
 සජිත් පේ‍්‍රමදාස මහතා ශ‍්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර මෙහිදී මහා සංඝරත්නය සජිත් පේ‍්‍රමදාස මහතාට පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද සිදු කළේය.
 
 සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කළ යුතුව ඇති සියලූ දේම ඒකීය ශී‍්‍ර ලංකාවක් තුළ ක‍්‍රියාත්මක කළ යුතු බවත්, බුදු සසුන බැබළවීමට එම ආගමික යුතුකම් නොපිරිහෙළා ඉටු කරන බවත් පේ‍්‍රමදාස මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
 
 පූජිත් - හේමසිරි රිමාන්ඞ්...
 
 අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ඇප මත නිදහස් කරන්න ලබා දුන් නියෝගය අවලංගු කිරීම කොළඹ මහාධිකරණය පසුගියදා නියෝග කරන ලදී.
 
 ඒ අනුව ඔවුන් දෙදෙනා නැවත වතාවක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
 
 පසුගිය පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරය ගැන තොරතුරු ලැබී තිබියදී නිසි පරිදි ක‍්‍රියාත්මක නොවුණු බවට මෙම දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.
 
 රිමාන්ඞ් බාරයට පත් කරන ලද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු දෙදෙනා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය වෙත රැුගෙන ඒමෙන් පසු එහි ලියාපදිංචි කර වැලිකඩ බන්ධනාගාර රෝහලට යාබදව පිහිටි විශේෂ ආරක්ෂක ස්ථානයක රඳවා තිබේ.
 
 සැකකරුවන් දෙදෙනා බාරව ජේලර්වරයකු සහ සැරයන්වරයකු යොදවා ඇත. ආරක්ෂක ලේකම්වරයකු හා පොලිස්පතිවරයකු මෙසේ එකවර බන්ධනාගාරගත කර තිබෙන්නේ මුල් වතාවටය. මෙම සැකකරුවන් රඳවා සිටින ස්ථානයේ මීට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් සහ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන මහත්වරුන් දෙදෙනා ද රඳවා තබන ලදී. බලය කොතරම් අවිනිශ්චිත දෙයක්දැයි වටහාගන්නට මෙය හොඳම උදාහරණයකි.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles