Divaina - ආදරයයි කරුණාවයි හිමි බැතියයි මා සිත පාරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

irapana333
 
 පුංචිම කාලෙ පබලියන් ඇඳේ වාඩිවෙලා ආච්චිගෙ කතා අහ අහ හුරුතල් වෙවී ඉන්දැද්දි මට අතොරක් නැතුව ගීත ඇහුන. ඒ අපේ ගෙදර සාලෙ දිව්‍යානුභාවයෙන් වගේ වැඩ හිටපු මලාඞ් වර්ගයේ වෑල්ව් රේඩියෝවෙන්. අවුරුදු 4 ක වගේ පුංචි එකෙකුව මේ තොර තෝංචියක් නැති ගීත අහද්දි ඒ ගැන මෙලෝ හසරක් මං දැනන් හිටියෙ නෑ. මේ සිංදු කියන එව්වො කව්ද, ඒවා ඇහෙන්නෙ කෝමද කියල හිතුවෙත් නෑ. ඒත් ඒ සමහර සින්දු කියන්නෙ අපේ තාත්තද කියල හිතෙන එව්වත් ඇහුන. නිකං ගෙදර තාත්ත කතා කරන සද්දෙන් වගේ...? සීය එක්ක තිරික්කලේ ගාලූ යද්දි සීය කළුට කෑ ගහන විදියෙ ඌට ආදරේට කියන වචන වගේ සිංදුත් අර තාත්තගෙ හඬ තියෙන කටහඬින් ඇහෙන්න උනා. දෙය්යනේ ලොකු වෙද්දි දන්නෙ! ඒ ගායකයෙක් නෙමෙයි සිංහල සංගීතෙම වෙනස් කරපු, අලූත් කරපු ආනන්ද සමරකෝන්ගේ ගීත මට ඇහිල තියෙන්නෙ.
 
 
 
 ඊටත් පස්සෙ දැනගත්ත හරියටම සවිස්තරව ආනන්ද සමරකෝන් කියන්නෙ අපේ තාත්තල, මුත්තල වගේ කෙනෙක් තමා, සිංහල සංගීතෙට කියල, ඒ සුනිල් ආරියරත්නයන්ගෙ ආනන්ද සමරකෝන් අධ්‍යනය කියන පොතෙන්.
 
 අපේ පුංචි අම්ම අපේ බෝපේ ගෙදර ආවම එහෙ මල්ලිව උකුළෙ බාවල නළවන කොට අපූරු සින්දුවක් කීව. අපේ අම්ම නංගි නලවනකොට කියපු කවිවලට වඩා පුදුම රහයි ඒ සිංදුව! සමහර වචන නම් තේරුණේ නෑ. නැළවිල්ල හිත පතුලටම වැදුන.
 
 ‘මගෙ පුතුට කොකුම් පිනි දියර සඳුන්
 
 සඳ දෙවිඳු ගෙනත් දෙනවා
 
 රස සිහින ගලා ගෙන එයි
 
 දොයි දොයිය පුතා
 
 දොයි දොයි’
 
 ඒ ගීතය ගයන්නෙ රුක්මණී දේවි බව ලොකු අක්ක ඒ කාලෙදිම කීව.
 
 රුක්මණී දේවිගෙ කටහඬ දේවි නම තිබ්බට මනුස්ස කටහඬක්.
 
 මම මුලින්ම උමතු වූ ගායිකා කටහඬ තමා ඇගේ
 
 මම ඇගේ කැමතිම ගීය ‘මෝරනවා පේ‍්‍රමේ හදේ’
 
 ඒත් අද විමසන්නෙ ‘ආදරයයි කරුණාවයි’
 
 දෛවයෝගය චිත‍්‍රපටයට අයත් වූ මේ මධුර ගීතාව ඩබ්ලිව්. ඒ. සිල්වා ආදිතම ලේඛකයගෙ එනමින්ම පළ කළ නවකතාව ඇසුරින් හැදුනෙ. අධ්‍යක්ෂ එස්. කේ. ඕජා, ගී ගැයුවෙ රුක්මණී දේවී, මොහිදීන් බෙග්, එක ගීයකට සහාය සිරිමතී රසාදරී.
 
 ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ගී හතරකුත්, හියුබත් දිසානායක, හෙන්රි ධර්මසේන, ධර්ම ශ‍්‍රී කුරුප්පු ගීයකුත් බැගින් ලීවා. සරත් විමලවීර ලියූ මේ ගීය තරම් කා වැදුණු ගීයක් අති ජනප‍්‍රිය වූ මේ චිත‍්‍රපටයේ අනෙක් ගී අතරවත් මං දැක්කෙ නෑ.
 
 ආදරියේ රුචිරානණියේ මොන තරම් ජනප‍්‍රිය ද අදත්! ඇයි උඹෙ නාඹර තැඹිලි පාට - රූපය මට ලැබුණු දාට?
 
 මේ සේරටම හේතුව මොකද්ද? දෛවයෝගයෙ සංගීතය.
 
 අපේ කෙනෙක් නෙමෙයි මේ අපේම වගෙ තනු හදල සිංහල සංගීතෙ මේ වචනවලට කා වැද්දුවෙ, උතුරු ඉන්දියාවෙ සජාද් හුසේන්!
 
 දෛවයෝගෙ පොළොන්නරු යුගයෙ ඓතිහාසික කතාවක්. මට තාම හිතාගන්න බෑ උතුරු ඉන්දියානු සංගීතඥයෙක් කොහොමද මේ වගේ අමු හිංගල තනු හැදුවෙ කියල. බලන්න ‘උඹෙ නාඹර තැඹිලි පාට’ තනුව සිංහල වචනයක් බැරි ඉන්දියාවෙ හුසේන් කෝමද මේ වීර වික‍්‍රමය කළේ? තමා සජාද් හුසේන් ගැන විතරක් කීවත් ගීතාත්මයට ඇති කියා හිතෙනව, මන්ද ඔබට පුළුවනි දෛවයෝගේ ගීත අහන්න!
 
 සජාද් ඉපදුනේ ඉන්දියාවෙ මධ්‍ය ප‍්‍රදේශ් හි 1917. තාත්ත අමීර් ඛාන් සංගීතඥයෙක්, ඔහු තමා කුළුඳුලේ සජාද් ට සිතාරය උගන්නන්නෙ, මීනා කුමාරිගෙ තාත්ත තමා මුලින්ම ඔහු සිනමා තනු රචනයට යොමු කරන්නෙ දෝස්ති චිත‍්‍රපටයෙ සේරම තනු ජනප‍්‍රිය වුණා.
 
 කල් යද්දි සජාද් කුකුල් කේන්තිකාරයෙක් විදියට ප‍්‍රසිද්ධ වුණා. මිනිස්සු, කලාකාරයො මේක වටහාගත්ත. මුල්ම ගැටුම! දෝස්ති චිත‍්‍රපටයෙ ගී ජනප‍්‍රිය වුණාම එහි නිෂ්පාදකය රිස්වි කීව ‘මේ ගීවල ජනප‍්‍රියත්වයට මූලික හේතුව නූර් ජෙහාන් නැතිනම් රිස්විගේ බිරිඳගේ රමණීය කටහඬ කියල. ඒකෙන් උනේ සදහටම ඈට ඔහු තනු නොහැදීම. ඊළඟට ගීත රචක මැඞ්හොක් එක්ක. සන්දිල් චිත‍්‍රපටයෙ පටිගතකිරීමේදී දිලිප් කුමාර් එක්ක කෝලාහලයක් කර ගත්ත. ලතා මංගේස්කර් ගායනය හරි නෑ කීව. තලාත් මෙහමුද් ට ගලාට් මෙහමුද් කියල කීව. ඒ කියන්නෙ වැරදි මෙහමුද්. කිශෝර් කුමාර්ට ශෝර් කුමාර් කීව. ඒ කියන්නෙ බදසිැ කුමාර්. බදසිැ විතරයි. ගායනය නෑ. මේ සේරම මා කීවේ මේ දුර්වලතාව නිසා ඔහුට වූ අවැඩ පෙන්වන්න. අවුරුදු 35 ක් ඉක්මවූ සිනමා සංගීත ඉතිහාසෙ සජාද් සංගීතෙ කරල තියෙන්නෙ චිත‍්‍රපට 20 ක විතරයි.
 
 අද ගීතාත්ම වෙනස් විදියට මට ලියන්න හිතුනෙ මේ සංගීතඥය ගැන හිතන්න ගත්ත දා ඉඳල ඔහුගෙ හැම හිතුවක්කාර, බොළඳ ක‍්‍රියාවක්ම මට පෙනුනෙ අති දක්ෂ මිනිහෙකුගෙ ප‍්‍රායෝගික ලඳ බොළඳ දේ විදියට.
 
 සජාද් ගැන ලියවෙන ඕනෑම ජාත්‍යන්තර ලියවිල්ලක ඔහුගෙ ශ‍්‍රී ලංකා සංගීත විකුම ගැන ලියවෙනව. දෛවයෝගය ගී සහ සංගීතෙ හදන්න ඇවිත් ඔහු අනුරාධපුර, පොළොන්නරු යුගය ගැන අධ්‍යනය කළා. මහාචාර්ය සෙනරත් පරණවිතාන තමා සියලූ මූලාශ‍්‍ර සඳහා සහාය දුන්නෙ. පොළොන්නරු යුගේ ගොඩනැගිලි, ඇඳුම් ආයිත්තම්,සංස්කෘතික පසුබිම... මේ සේරගෙම උපදේශකයව ඉඳල තියෙන්නෙ පරණවිතානයන්. සජාද් ඉන්දියාවෙ චිත‍්‍රපට සඳහා සැකසු තනු සහ සිනමා සංගීත තැටි ඇසුවම දෛවයෝගයේ සංගීතෙ මහිම වෙනම පේනව. ආදරයයි කරුණාවයි ගීතෙදී. ඒකල තත් භාණ්ඩයේ පාලූ රාවය වයලීනයෙන් සහ පියානෝවෙන් පිරවෙන හැටිත් මදින් මඳ ශීලා කුමාරිය පහන් සිළු දල්වද්දී දර්ශනය අනුව ඒ සංගීතය මොකද්දෝ සම්භාව්‍ය විලාශයකට හැරෙන හැටි තේරුම් ගියේ තරුණයකු වී චිත‍්‍රපටය දුටු විට. චිත‍්‍රපටය සිනමාවට එද්දි මට දණගාන්න වත් බෑලූ. අම්මගෙ අතේලූ හිටියෙ.
 
 තවත් විශේෂත්වයක්! සරත් විමලවීර තමා මේ රචකයන්ගෙන් එවක සිනමා ගී ලියූ රචකයා. මානවසිංහයන්ගෙ පළමු සිනමා ගී රචනය උනාට ඔහු තමා ගී 4 කට වග කියන්නෙ.
 
 ආදරයයි කරුණාවයි ගීතයෙ පද සංඝටනාව අදටත් නැවුම්. සාම්ප‍්‍රදායික කවි ආර වෙනුවට ගීයක වෘත්තීයමය අරටුව එහි සියලූ කොටස්වල දකින්නට පුළුවන්.
 
 දෛවයෝගය කතා සාරය කෙටියෙන් විමසුවම මේ පද රචනය කොතරම් කතා දේහයට උචිතදැයි වැටහෙනව.
 
 ශීලා කුමරියත් මහානාද සෙනෙවිත් ආදරෙන් බැඳෙනව. යුධයට එතෙර යෑමේදී සොලී තරුණියක හා මහානාද පෙමින් බැඳෙන බව ශීලා දැන ගන්නව. මුගලන්, ශීලා සහ මහානාදගේ ත‍්‍රිකෝණ කතාව සංකීර්ණ වන්නේ මුගලන් යුද්ධයේදී මළ පුවත සමඟයි මහානාද රටට පැමිණ යළි ශීලා සමඟ එක්වී ඇතිවන දරු ගැබට එල්ල වන මව් විරෝධයෙන් අප‍්‍රකට වන ශීලා වෙතට නොපැතූ මොහොතක මළා යයි සිතූ මුගලන් පැමිණීම සමඟ දෛවයෝගයකින් ඔවුන් එක් වීමෙන් සියල්ල කෙළවර දකිනව.
 
 බලන්න! හිමි බැතිය කුලවමිය හද පාරනව. හිමි ආලය සහ නොඉඳුල් පෙම ඉරණම විසඳීම දක්වා ගීතය පුදුමාකාර දුරක් ගමන් කරනව.
 
 කෝකිලාවිය ලතාට සරදම් කළද ඈ පවසන්නෙ සතුටු කරන්න අමාරුම ගාන්ධර්වයා සජාද්. විස්මිතම සංගීතඥයා ඔහු කියා!
 
 ‘ඔහු භාණ්ඩ එමබැ කරලද කියල තිතට බලනව. හැම දෙයක් ගැනම සූක්ෂමයි. නීතියට, නිවැරදිම තත්ත්වයට එන්න ඕන. ඔහුගේ ගී කොයි කාලෙ ඇහුවත් රිදුම් දෙන්නෙ නෑ; මුදු මොලොක්!
 
 දෛවයෝගය කැමරා අධ්‍යක්ෂ මිස්ටි‍්‍ර කියනවා ගාමිණි ෆොන්සේකාට මෙහෙම.
 
 ‘මේ චිත‍්‍රපටය පෙන්වල ඉවර උනාම චිත‍්‍රපටිය ගැන කතා කරන එකක් නෑ. ඒත් ගීත ටික ඉතිරි වේවි. හැමදාම ජනප‍්‍රියව තියේවි ඒ වගේම නළුවෙකු විදියට මුල් වැඩෙන්ම ඔබේ අනාගතය කියවේවි!’
 
 මේ සියල්ලටම වඩා මට කනගාටුව 1917 ඉපදුනාට 1995 වෙනකල් ජීවත් වුණු සජාද්ව ඇයි අපට දකින්නට බැරි වුණේ !
 
 විනාඩි 45 දුර ඇයි දෙරටටම මෙච්චර දුර වුණේ....!
 
 
 
 ආදරයයි කරුණාවයි
 
 හිමි බැතියයි මා සිත පාරයි
 
 සෝකේ උල්පත සංකා ගඟ වේ
 
 සන්තාපයේ සාගරය සොයයි
 
 
 
 දහසක් වටිනා මුතු හර කුමටද
 
 හිතු සේ ගෙල පළඳන්න බැරී
 
 හද බැති නංවන පුදසුන කුමටද
 
 පැතු දෙයින් ජය ගන්න බැරී
 
 
 
 මගෙ හිමියාටයි හුදු ආලයටයි
 
 කොහොමද එකවර හිත දෙන්නේ
 
 නොයිඳුල් පෙම හා හිමි බැති සටනේ
 
 ඉරණම කෙලෙසද විසඳන්නේ
 
 
 
 ගේය පදරුත් : ආනන්ද සරත් විමලවීර
 
 මියැසි අරුත් : සජාද් හුසේන්
 
 ගායන ලීලා : රුක්මණී දේවී


අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles