Divaina - යකැදුරු කතගේ වේවැල් පහර කෑ දැරිය මරුට - කත අත්අඩංගුවට - මව පොලිස් භාරයට

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 3* කඳුබොඩ කඳුළෙන් තෙත් වෙයි

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, සුදත් පුබුදු කීර්ති -  බියගම සහ ඩබ්ලිව්. ඞී. විතාන - දෙල්ගොඩ

අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කිරීම සඳහා වේවැල් පහකින් පහර දීමෙන් පසු රෝහල්ගත කළ මීගහවත්ත, කඳුබොඩ ප‍්‍රදේශයේ පදිංචිව සිටි 9 හැවිරිදි මුස්ලිම් ජාතික දැරියක පෙරේදා (27 දා) රාත‍්‍රී මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීගහවත්ත පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

එම අමනුෂ්‍ය දෝෂය ඉවත් කිරීම සඳහා දැරියට වේවැල් පහර එල්ල කළ 40 හැවිරිදි මුස්ලිම් ජාතික යකැදුරු කාන්තාව අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.

දැරියගේ මෙම මරණයෙන් දෙල්ගොඩ ප‍්‍රදේශයේම ජනතාව කම්පනයට පත්ව සිටිති.

මීට අමතරව 38 හැවිරිදි දැරියගේ මව ද වැඩිදුර ප‍්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන ඇත.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස් ඇත්තේ මීගහවත්ත, දෙල්ගොඩ, කඳුබොඩ පදිංචිව සිටි මොහොමඞ් ෆාතිමා රිෆ්කාන් නමැති දැරියකි.

ගාල්ල ප‍්‍රදේශයේ පදිංචි වී සිටි මියගිය දැරියගේ මව අත්හැර දමා යෑම හේතුවෙන් මීට වසරකට උඩදී දෙල්ගොඩ කඳුබොඩ ප‍්‍රදේශයේ පදිංචියට පැමිණ තිබේ. මෙම මව මියගිය දැරිය හා අනෙක් දරුවන් දෙදෙනා හදාවඩාගෙන ඇති අතර පවුලේ දෙවැනියා වූ මියගිය දැරියට කාලයක සිට එම පවුලේ මියගිය මිත්තනිය ආරුඪ වී ඇගේ හඬින් කතා කරන අයුරු එම මව දැක තිබේ.

පසුව දේවාලයක් පවත්වාගෙන යමින් මෙවැනි අසනීප සුව කරන අසල්වැසි මුස්ලිම් ජාතික කාන්තාව ගැන ඇයට දැන ගන්නට ලැබි ඇත. ඒ අනුව එම මව 27 වැනිදා සිය දියණිය එම කාන්තාව හමුවට කැඳවාගෙන ගොස් තිබේ. එහිදී එම කාන්තාව දැරියගේ සිරුරේ සෑම තැනකම තෙල් ආලේප කර මතුරමින් වේවැලකින් පහර දී ඇති අතර එම අවස්ථාවේදී දැරිය සිහිසුන් වී බිම ඇද වැටී තිබේ.

අනතුරුව නිවැසියන් දැරිය බියගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මියගොස් ඇත.

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘දිවයින’ ට මෙසේ පැවසීය.

‘‘මෙම දැරියගේ මව විසින් එම දැරියට යම් අමනුෂ්‍යයෙක් ආරූඪ වී තිබීම අනුමාන කරමින් ඇය යාබද නිවසක් වෙත ශාන්තිකර්මයක් කිරීමට කැඳවාගෙන ගිහින් තිබෙනවා. එලෙස රැුගෙන යෑමෙන් අනතුරුව යාබද නිවසේ කාන්තාව ඇයට තෙල්වලින් ප‍්‍රතිකාරයක් කර තිබෙනවා. ඉන් පසුව අමනුෂ්‍ය දෝෂය දුරුවීම සඳහා වේවැල් පහර කීපයක් ලබා දී ඇතැයි වාර්තා වී තිබෙනවා. එම වේවැල් පහර ලබාදීමෙන් අනතුරුව දැරිය සිහිසුන් තත්ත්වයට පත්වීමෙන් අනතුරුව බිම වැටී තිබෙනවා. මේ ආකාරයේ ප‍්‍රතිකාර ක‍්‍රම භාවිත කිරීම නිසා මීට පෙරත් අවාසනාවන්ත ලෙස පුද්ගලයන් සහ දරුවන් මියගොස් තිබෙනවා. ඒ නිසා මෙවැනි ප‍්‍රතිකාර ක‍්‍රම සඳහා යොමුවෙන්න එපා කියලා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා’’.

මේ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් පවත්වා දැරියගේ මෘත ශරීරය රාගම රෝහල් මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා. පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සිදුකරන්න නියමිතයි.

p1 4දැරියට ශාන්තිකර්මය සිදුකළ කාන්තාව පොලිස් අත්අඩංගුවට අරන් තියෙනවා.

දැරියගේ මරණයට අදාළ මූලික මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය මහර වැඩබලන මහෙස්ත‍්‍රාත් වසන්ත රාමනායක මහතා හමුවේ පැවැත්විණි.

දැරියට අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීමට වේවැල් පහර ගැසූ බව කියන කාන්තාව දැරියට වේවැල ්පහර 5ක් එල්ල කර ඇතැයිද හෙළි වූ බව පොලිසිය කියයි.

මේ පිළිබඳව මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත හේරත් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එල්. ඒ. විමලරත්න මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක විජිත කුමාර, කාන්තා පොලිස් පරීක්‍ෂිකා නිලංගනි, පොලිස් සැරයන්වරුන් වන දුමින්ද (53666), සුමේධ (35434), අබේසිංහ (6015), පොලිස් කොස්තාපල්වරුන් වන තිලකරත්න (32625), චතුරංග (3708) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles