අහංගම - සුගතපාල දීයගහගේ, වංචාවල - ගැමුණු චන්ද්‍රලාල්
විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ මෙහෙයුම්-2 කණ්ඩායමේ නිලධාරීන් විසින් ගිනිඅවි දෙකක් සමග අත්අඩංගුවට ගන්නා ලද පොඩි ලැසීගේ ගෝලයාට එම ගිනිඅවි විකුණූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් අයකු පෙරේදා (23දා) රාත්‍රී මීටියාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බළපිටිය ආඳාදොල පදිංචි දැනට වැල්ලවත්ත පොලිසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයකු සහ හික්කඩුව වරාගස්විලවත්ත පදිංචි පුද්ගලයෙකි.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන අරුමාහන්දි ජනිත් මධුසංක සිල්වා හෙවත් පොඩි ලැසී නමැත්තාගේ ගෝලයකු වන නාවික හමුදාවෙන් පලාගොස් ඇති පරපේ පාර හරන්නාගල මීටියාගොඩ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු චීනයේ නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝලයක් හා එම උණ්ඩ දෙකක් ද, මිලි මීටර් 3.8 වර්ගයේ උණ්ඩ හයක් එකවර දැමිය හැකි මෙරට සාදන ලද ගිනිඅවියක් ද සමග සිකුරාදා රාත්‍රි විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා මීටියාගොඩ පොලිසියට භාර දී ඇත.
මීටියාගොඩ පොලිසිය සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඒවා හික්කඩුව වරාගස්විලවත්තේ සැකකරුවකුගෙන් ලබාගෙන ඇති බවය. පසුව හික්කඩුව වරාගස්විලවත්තේ සැකකරුද අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමේදී ඔහු පවසා ඇත්තේ ඒවා දැනට වැල්ලවත්ත පොලිසියේ සේවය කරන කොස්තාපල්වරයකුගෙන් රුපියල් එක් ලක්ෂ අසූදහසකට මිලදී ගත් බවය.
එම ප්‍රකාශ අනුව කොස්තාපල්වරයාද අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමේදී කොස්තාපල්වරයා පවසා ඇත්තේ තමා 2019 වසරේ ආගරපතන පොලිසියේ සේවය කරන කාලයේ එම පොලිස් භූමියේ තිබී ඒවා අහුලාගත් බවය. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ඊයේ (24දා) බළපිටිය මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
- Hits: 412