ඒ. ජේ. ඒ. අබේනායක සහ කශුනි රෙබෙකා
නිසි ආදායම් මාර්ගයක් නැතත් ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගතකරමින් ආගමික හා ජාතික සමගියට බාධා වන පරිදි වෛරී සහගත ප්‍රකාශ අන්තර්ජාලය ඔස්සේ බෙදා හරිමින් රට තුළ නොසන්සුන්තාවක් ඇති කිරීමට වෑයම් දරනා ෆසාර් මොහොමඞ් නිශාර් නමැත්තාගේ නමින් පවතින බැංකු ගිණුමකින් කෙටි කාලයක් තුළදී රුපියල් ලක්ෂ සිය ගණනක් සංසරණය වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශන ආරම්භ කොට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (18 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේය.
ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටින නමුත් මේ වනවිට කිසිදු ව්‍යාපාරයක් පවත්වාගෙන නොයන එම සැකකරුගේ නමින් එක්තරා පෞද්ගලික බැංකුවක පවතින ගිණුමකින් ගෙවුණු මාස කිහිපය තුළ රුපියල් ලක්ෂ 625 කට අධික මුදලක් සංසරණය වීම මෙන්ම මසකට රුපියල් ලක්ෂ 3-4 ක මුදලක් ඔහුගේ පෞද්ගලික කටයුතු සඳහා වැය කිරීම සම්බන්ධයෙන් බලවත් සැකයක් පවතින බවත් කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (18 දා) සිට දින 90 ක කාලයක් ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක ලේකම්වරයා විසින් අවසර ලබාදී ඇතැයි ද පෙන්වා දුන්නේය.
ඔහු ජීවත් වන ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි නිවසේ කුලිය මසකට රුපියල් 80,000 ක් බවත්, මසකට රුපියල් 55,000 බැගින් ගෙවා කුලී පදනම යටතේ ලබාගත් සුඛෝපභෝගි වාහනයක් ඔහු භාවිත කරන බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මසකට රුපියල් 125,000 බැගින් ගෙවා ඔහු කඩ කාමරයක් කුලී පදනම මත ලබාගෙන මාස කිහිපයක් ගතවී ඇතත් මේ දක්වා එහි කිසිම ව්‍යාපාරික කටයුත්තක් සිදු කර නැතැයි ද කියා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. සේනාරත්න මහතා වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් කළ එම කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඞ් මිහාර් මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර භාරයේ සිටින ෆසාල් මොහොමඞ් නිශාර් නමැති එම සැකකරු වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ අධිකාරිවරයාට ඊයේ නියෝග කළේය.
එම නඩුව ලබන පෙබරවාරි 1 වැනිදා යළි කැඳවීමට ද එහිදී දින නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙසට ද විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.
ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් මුහුණු පොත ඔස්සේ ප්‍රකාශ අන්තර්ජාලයට නිකුත් කිරීම, මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම ඇතුළු චෝදනා යටතේ පසුගිය 13 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ එම සැකකරු ඊයේ දක්වා රක්ෂිත බන්ධනගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඞ් මිහාර් මහතා පසුගිය 14 වැනිදා නියෝග කොට තිබිණි.
අධිකරණයෙන් ලබාගත් නියෝග මත ඔහු නමින් පවතින බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී ගෙවුණු කෙටි කාලය තුළදී රුපියල් ලක්ෂ 625 කට අධික මුදලක් සංසරණය වීම ඇතුළු කරුණු අනුව ඔහු දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබිණි.
- Hits: 635