රටට අවශ්‍ය එන්නත ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 10ක් ප්‍රදාන ලෙස ලබා දෙන්නැයි අපනයන ව්‍යාපාරිකයන්ගෙන් ආණ්ඩුව ඉල්ලා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (16 දා) කොරෝනා පිළිබඳව මෙන්ම රටේ වත්මන් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුළු තරුණ පිරිසක් දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
නිදහස් සෞඛ්‍යයක් පවතින ආණ්ඩුවක් මෙවැනි දේවල් සඳහා වියදම් කිරීම යුතුකමක් වන බවත් ඒ සඳහා අයවැයෙන් ඊට ප්‍රතිපාදන ලබාගත හැකි බවත් මෙහිදී වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.
එහෙත් ආණ්ඩුව ‘‘අපිට සල්ලි දෙන්න’’ ලෙස පෞද්ගලික අංශයෙන් හිඟාකමින් සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ප්‍රදාන ලබා දෙන අයගෙන් ලබාගත යුතු වන්නේ රෝගී සත්කාර සේවා වැඩිදියුණු කිරීම, උපකරණ ලබා ගැනීම ආදිය සඳහා වන අතර පසුගිය මාර්තුවේ සිට මේ වන විට රෝහල්වලට අලූතින් වෙන්ටිලේටර්ස් එකතු වූයේ චීනයෙන් ලබා දුන් ඒවා සහ ගිලන්රථවල තිබුණු ඒවා බව ද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
මෙරට වෙන්ටිලේටර්ස් 3000ක් හෝ නොමැති අතර පී.සී.ආර්. යන්ත්‍ර ද රටේ ප්‍රමාණවත් පරිදි නැති බවත් හෙතෙම කීවේය.
එම හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
‘‘රටේ යුතුකමක් තියෙනවා රටේ ජනතාව වෙනුවෙන් බෙහෙත් වර්ග ද එන්නත් ද ලබා දෙන්න. දැන් මේ ගැන වැඩිය කතා කරන්න දෙයක් නැහැ. මේක අසාර්ථක වෙලා තියෙන්නේ. අපි ආණ්ඩුවට සහ පාර්ලිමේන්තුවට කියන්නේ ඇස් ඇරලා ක්‍රියාකරන්න කියලයි. අපි සූදානම් උදව් කරන්න. ආණ්ඩු මාරු කරන එකක් අපිට වැඩක් නැහැ. මෙතන තියෙන ප්රශ්නය ජීවත් වීමේ අරගලය. සෞඛ්‍ය සුරක්ෂිතභාවය. ආණ්ඩුව වෙනස් කිරීම ඇතුළේ තියෙන කඹ ඇදිලි මෙතන වැඩක් නැහැ. දැන් මේ ආණ්ඩුව භාර ගන්නවා කියන්නේ කොවිඞ් හැදුනා වගේ. කිසි වෙනසක් නැහැ. නමුත් අපි ලෑස්තියි උදව් කරන්න.’’
- Hits: 326