රජයේ වාණිජ නීතිගත සංස්ථාව විසින් සතොස අලෙවි සල් මගින් පාරිභෝගිකයන්ට සහන මිලට අලෙවි කිරීම සඳහා මිලදීගත් ග්රෑම් සියයේ තේ කොළ පැකට් ලක්ෂයකට ආසන්න ප්රමාණයක් සබන් පෙට්ටි තුළ අසුරා ගාල්ල බූස්ස සතොස ගබඩාවේ සඟවා තිබියදී වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ඊයේ (17 වැනිදා) සොයා ගන්නා ලදී.
සතොස මගින් ලාබෙට දියයුතු තේ කොළ වෙනුවට බාල තේ කොළ බෙදාහැර ඉන් ආණ්ඩුව අප්රසාදයට ලක්කිරීමේ කුමන්ත්රණයක් පිළිබඳව තමාට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකළ බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ‘‘දිවයින’’ට පැවැසීය.
යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා විසින් සතොස සේවයට යොදන ලද සතොස නිලධාරීන් පිරිසක් මෙම කුමන්ත්රණය කි්රයාත්මක කර ඇතැයිද මේ පිළිබඳව අදාළ ගබඩාකරුගේ සේවය තහනම් කිරීමට පියවර ගත් බවද සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ කිරීමට රහස් පොලිසියට භාරදීමට පියවර ගත් බවද ඇමැතිවරයා කියා සිටියේය.
අදාළ තේ කොළ සබන් පෙට්ටි තුළ ඇසිරීමේදී දින කීපයකට පසු තේ කොළ තුළින් සබන් සුවඳ සහ සබන් රස දැනීමේ අරමුණින් මෙම කි්රයාව සිදුකර ඇති බව තමාට විශ්වාස යැයිද ඇමැතිවරයා කීවේය.
නෝමන් පලිහවඩන, අනුර බාලසූරිය