වැල්ලවාය දෙමලිය රක්ෂිතය තුළ මුව මස් ජාවාරමක යෙදී සිටි කුඩාඔය යුද හමුදා කොමාන්ඩෝ බළකා කඳවුරේ සෙබළුන් පිරිසක් මුවමස් තොගයක් සහ හමුදාවට අයත් නිල ජීප් රථයක්ද සමග පෙරේදා (12) දහවල් ඌව කලාපය භාර වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් දෙමලිය රක්ෂිතය තුළ තුවාල ලබා සිටි අලියකුට ප්‍රතිකාර ලබාදීම සඳහා වනජීවී පශු වෛද්‍ය චන්දන ධර්මකීර්ති මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් රක්ෂිතය තුළ ගමන් කරමින් සිටියදී රහසිගතව සිවිල් වැසියන් පිරිසක් සමග මස් තොගයක් හුවමාරුවේ යෙදී සිටි මෙම සෙබළුන් හා ජීප් රථය නිරීක්ෂණය කර තිබේ.
වනජීවී නිලධාරීන් විසින් ස්ථානය වැටලීමේදී සිවිල් පුද්ගලයින් හත්දෙනකු පැන ගිය බවත්, තවත් සිවිල් පුද්ගලයකු සමග නිල ඇඳුමෙන් මස් ජාවාරමේ යෙදුණු හමුදා සැරයන්වරයකු, සෙබළුන් දෙදෙනකු හා නිල ජීප් රථය සමග මස් තොගය අත්අඩංගුවට ගත් බවත් වනජීවී නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගත් මස් තොගයේ වියළි මස් කිලෝග්‍රෑම් දෙකහමාරක් සහ අමු මස් කිලෝග්‍රෑම් 58 ක් තිබී ඇත. සිවිල් වැසියන් විසින් අතහැර දමා ගිය ත්‍රිරෝද රථයක්, යතුරුපැදියක්, තරාදියක් හා පිහියක් ද මෙහිදී අත්අඩංගුවට පත්ව තිබේ.
සැකකරුවන් හා භාණ්ඩ 12දා රාත්‍රියේ වැල්ලවාය මහෙස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසු එක් අයකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇති අතර, මස් තොගය විනාශ කිරීමට නියෝග කර ඇත.
සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශනය කර පෙබරවාරි 11 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
ඌව වනජීවී සහකාර අධ්යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතා ප්රමුඛ වනජීවී නිලධාරීහු සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුකරති.
ජගත් කණහැරආරච්චි