හේමන්ත රන්දුණු
සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසල් කඩා රුපියල් ලක්ෂ ගණනින් මුදල් සොරා ගැනීම නිසා එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.
පසුගිය සතියක කාල සීමාවේදී පංචිකාවත්තේ පිහිටි මෝටර් රථ අමතර කොටස් අලෙව්සැල් අටක් මේ ආකාරයට සංවිධානාත්මක කණ්ඩායමක් විසින් කඩා එම වෙළෙඳසැල්වලින් රුපියල් ලක්ෂ ගණනක මුදල් හොරා ගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් දිවයින කළ විමසීමකදී ලංකා මෝටර් රථ අමතර කොටස් අලෙවි කරුවන්ගේ සංගමයේ සභාපති ලක්ෂ්මන් කෝට්ටගේ මහතා කියා සිටියේ මෙම සංවිධානාත්මක කණ්ඩායම මේ ආකාරයට වෙළෙඳසැල් කඩා මුදල් සහ වටිනා භාණ්ඩ සොරා ගැනීම නිසා ව්‍යාපාරිකයන් දැඩි ලෙස භීතියට පත්වී සිටින බවයි.
පංචිකාවත්තේ ආරක්ෂාවට පොලිස් මුරපොළක් එම ප්‍රදේශයේ ස්ථාපිත කිරීම ඉතාම කාලෝචිත බවද ලක්ෂ්මන් කෝට්ටගේ මහතා පවසයි.
පොලිස් ආරංචිමාර්ග පවසන්නේ පසුගිය කාලසීමාවේ බන්ධනාගාර ගතව සිටි අපරාධකාරයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් හොරුන් විශාල පිරිසක් එකවරම මුදා හැරීම නිසා මේ ආකාරයට සොරකම් ශීඝ්‍ර ලෙස ඉහළ යමින් තිබෙන බවයි.
පංචිකාවත්තේ පිහිටි ඇතැම් වෙළෙඳසැල්වල වහලයෙන් ඇතුළු වී ඒවායේ ඇති මුදල් හොරා ගෙන ඇති අතර හොරුන් තවත් වෙළෙඳසැල් කීපයකට ඇතුළු වී ඇත්තේ ඒවායේ දොරවල්වල ඉබියතුරු කඩා දමා බවද පොලිසිය පවසයි.
පංචිකාවත්තේ දිගින් දිගට ම සිදුවන සොරකම් මර්දනය කිරීමට කටයුතු නොකළොත් ඉදිරියේදී භයානක තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇති බවද ව්‍යාපාරිකයෝ පවසති.
පංචිකාවත්තේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසැල් කඩා මුදල් සහ භාණ්ඩ සොරා ගන්නා මෙම සංවිධානාත්මක කණ්ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා මරදාන පොලිස් ස්ථානාධිපති ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
- Hits: 325