හේමන්ත රන්දුණු, ප්‍රභාත් විතාන
තානාපති කාර්යාල නිලධාරියකුගේ නමක් ව්‍යාජ ලෙස භාවිත කරමින් සිංගප්පූරුවේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වූ රුපියල් පන්කෝටි පනස්ලක්ෂයක් පමණ වටිනා වාහන 12ක් ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (12වැනිදා* පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
විදුලි ජනක යන්ත්‍ර කොටස් ගෙන්වන බවට රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර සිංගප්පූරුවේ සිට අඩි 40 බහාලූම් 3ක විවිධ නාමයන්ට අයත් වාහන ගෙන්වා තිබූ බවද සුනිල් ජයරත්න මහතා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මෙම මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කොට ඇත. සිද්ධියට සම්බන්ධ අනිකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර තිබෙන බවද සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.
රේගු අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් මත අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් ආනන්ද ඊශ්වරන් මහතාගේ හා රේගු අධ්යක්ෂ ඞී. ඒ. එස්. චන්ද්‍රසිරි මහතාගේ මගපෙන්වීම යටතේ නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරි මහින්ද සිරිවර්ධන, නිශාන්ත මිරිහාගල්ල සහ සහකාර රේගු අධිකාරිවරුන් වන කැළුම් තුෂාර, ඉඳුනිල් බණ්ඩාර, පසිඳු මදනායක, පුලසිත් ලක්ෂාන්, තරිඳු පරණමාන යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.