2021 වසරේ පළමු ශ්‍රේණියට සිසුවකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දීම ඇඹිලිපිටිය ජනාධිපති විදුහලේ විදුහල්පතිනිය අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී විරසූරිය මහත්මිය ‘දිවයින’ට ඊයේ (02 වැනිදා) පැවසුවාය.
මෙහි පැමිණිලිකරු ඇඹිලිපිටිය පදිංචි රජයේ සේවකයෙකි.
අල්ලස් කොමිසමේ 1954 ක්ෂණික ඇමතුම් අංකයට ලැබුණු පැමිණිල්ලකට අනුව විදුහල්පතිනිය විදුහලේ කී‍්‍රඩා පිටිය අසලදී අදාළ අල්ලස ලබා ගනිද්දීම අත්අඩංගුවට ගත් බව ඇය සඳහන් කළාය.
එම දරුවාගේ වැඩිමල් සොහොයුරා එම විදුහලේ ඉහළ පන්තියක අධ්‍යාපනය ලබන බවත්, දෙවැනි දරුවා 2021 වසරේදී විදුහලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කර දීමට අවශ්‍ය කටයුතු කර දීමට සැකකාර විදුහල්පතිනිය මෙම අල්ලස ඉල්ලා ඇති බවත් ඇය කියා සිටියාය.
අත්අඩංගුවට ගත් විදුහල්පතිනිය අද (03 වැනිදා) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණි විරසූරිය මහත්මියගේ උපදෙස් මත කොමිසමේ විමර්ශන නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සේන වී. ගමගේ - කුට්ටිගල