හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට පනවා තිබු විදේශ ගමන් වැළැක්වීමේ නියෝග ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොල හා දමිත් තොටවත්ත යන මහත්වරු නියෝග කළහ. නීතිපතිවරයා විසින් එම විත්තිකරුවන්ට එරෙහිව පවරා තිබූ තවත් නඩු දෙකක් මෝසම් පත්‍ර ගොනු කරමින් කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරුන් එම නියෝග කළහ.
2015 ජනාධිපතිවරණ සමයේදී එම මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් දිවිනැගුම ලිත් පනස් ලක්ෂයක් මුද්‍රණය කර බෙදා හැරීමට දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූහතර ලක්ෂයක් වැය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ එක් නඩුවකුත් එම මැතිවරණයේදීම දිවිනැගුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 ක් වැයකර මිලදීගත් ජී අයි පයිප්ප දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමට පළාත් පාලන ආයතන වෙත බෙදාහැරීම ඇතුළු චෝදනා යටතේ තවත් නඩුවකුත් එම විත්තිකරුවන්ට එරෙහිව පවරා තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක