ඒමන්ති මාරඹේ
ලොව පුරා කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් පැතිරෙද්දී ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඇතැමෙක් කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත්වලින් ශීඝ්‍රයෙන් ඈත් වෙමින් සිටීම හේතුවෙන් මතුව ඇති අවදානම නිසා දැනට ප්‍රකාශයට පත් කර ඇති කොරෝනා මර්දන සෞඛ්‍ය
මාර්ගෝපදේශන මාලාව සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගෙන නීතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට ළඟදීම කටයුතු කරන බව වසංගත විද්‍යා අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
මේ අනුව එම සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාව නීතියක් වූ පසු ඒ යටතේ දක්වා ඇති සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින අයට එරෙහිව ක්‍රියා කළ හැකි බව ඔහු සඳහන් කළේය.
ප්‍රසංග, උත්සව, ප්‍රදර්ශන සීමාවන් යටතේ කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් පැවැත්වීමට අනුමැතිය ලබා දී ඇතත් එම සීමාවන් ඉක්මවා යමින් කිසිදු සෞඛ්‍ය පිළිවෙතක් අනුගමනය නොකර ඒවා පැවැත්වීම කනගාටුවට කරුණක්. මෙවැනි ක්‍රියාවලින් අපහසුතාවට පත් වනුයේ සාමාන්‍ය මහජනතාවයි. සම්බාහන මධ්‍යස්ථාන, ගණිකා නිවාස, සමාජ ශාලා වැනි කොරෝනා වෛරසය පැතිරීමේ වැඩි අවදානමක් පවතින ස්ථාන පැවැත්වීමට තවම අවසරයක් ලබා දී නැති අතර එවැනි ස්ථාන ක්‍රියාත්මක වේ නම් ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට මහජනතාව කටයුතු කළ යුතුයි. මෙම දිනවල නැවත සමාජය තුළින් කොරෝනා වෛරසය මතු වීමේ දැඩි අවදානමක් පැවතීම හේතුවෙන් සැවොම ඉකුත් කොරෝනා වසංගත සමයේ සිදු වූ ආකාරයට කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් සිය දෛනික කාර්යයන් පවත්වාගෙන යෑම වැදගත් යැයි ඊයේ (24 දා * කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති කොරෝනා වසංගතය පිළිබඳව අවධානය ගිලිහී යෑම රටට බලපාන්නේ කෙසේද? මැයෙන් වූ ප්රවෘත්ති සාකච්ජාව අමතමින් වෛද්‍ය සමරවීර පැවසීය.
තවමත් පාසල්, විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම පොදු ස්ථානවල ගැවසෙන හා පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කරන මගීන් මුහුණු ආවරණ (මාස්ක්* පැළඳීම ඇතුළු කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමේ අඩුවක් දක්නට ලැබෙන බව කී වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂකවරයා පොදු ප්‍රවාහන සේවාවන්හි
ගමන් කරන රියදුරන්, කොන්දොස්තරවරුන් මෙන්ම
මගීන්ද මාස්ක් පැළඳීම, එකිනෙකා අතර මීටරයක දුරක් පවත්වාගෙන යෑම හා නිරතුරුව හොඳින් සබන්, විෂබීජ නාශක දියර යොදා ගෙන දෑත් පිරිසිදු කර ගැනීම කළ යුතු බවත් එසේ කිරීමෙන් සමාජයේ අන් අය මෙන්ම නිවෙස්වල සිටින සිය පවුල්වල සාමාජිකයන් ද කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කරගත හැකි වන බව සඳහන් කළේය.
මෙම දිනවල වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන්, ගර්භණී මවුවරුන් මෙන්ම කුඩා දරුවන් පොදු ස්ථානවල ගැවසීම සීමා කිරීම වැදගත්. ඒ වගේම දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය, ශ්වසන රෝග වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන අය මෙන්ම පොදුවේ වැඩිහිටියන් ගමන් බිමන් සීමා කිරීම වැදගත්. සමාජයේ සැවොම කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත්
අනුගමනය කරමින් සිය වගකීම ඉටු කළහොත් රටේ කොරෝනා වෛරසයේ පැතිරීම නැවත්වීමට හැකි වනු ඇත. දැනට දැඩි කැපවීම් මැද මෙරට සමාජයේ සාර්ථක අයුරින් පැතිරීම පාලනය කර ඇති කොරෝනා වෛරසය නැවත සමාජයෙන් මතුවීම වැළැක්විය හැක්කේ ද මහජනතාවටමයි. ඔවුන් වගකීමෙන් එම කාර්යය ඉටු කරමින් සෞඛ්‍ය අංශවලට ඉදිරියේ ද සහය දක්වනු ඇතැයි අපේක්ෂා කරනවා යැයි වෛද්‍ය සමරවීර කීවේය.
විදෙස් රටවල සිට පැමිණෙන්නන් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය කිරීම තවදුරටත් සිදු වන බවත් එම නිරෝධායන කටයුතුවලින් පසු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් වීමේදී බොහෝ දෙනා නිසි පරිදි කටයුතු නොකරන බව අනාවරණය වී ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා කියා සිටියේ මෙරටට විදෙස් රටවලින් පැමිණෙන්නන් නිරෝධායනය කිරීම සඳහා කොළඹ නගරයේ සුපිරි හෝටල් තුනක් ඇතුළු මධ්‍යස්ථාන පහක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන බවයි. ඊයේ (24 දා* දහවල් වන විට 1114 දෙනෙකු මෙම මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි බව ඔහු කීවේය.