ශ්‍යාම් නුවන් ගනේවත්ත
වැඩ තහනමකට ලක්ව සිටින කඩුවෙල හිටපු මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ නිල දුරකථනයෙන් 2016 ජනවාරි 30 වැනිදා ලබාගත් ඇමතුම් පිළිබඳ සවිස්තර විමර්ශන වාර්තාවක් ලබා දෙන ලෙස පසුගිය රජයේ දේශපාලන පළිගැනීම පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම එහි පොලිස් ඒකකයට ඊයේ (29 දා* නියෝග කළේය.
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මෙම කොමිසමට කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා මේ නියෝගය කළේය.
සී.එස්.එන්. නාලිකාව ආරම්භ කිරීමේදී මූල්‍ය වංචා සහ රජයේ දේපල භාවිත කර ඇති බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය 2016 ජනවාරි 30 වැනිදා තමාව අත්අඩංගුවට ගත් බව රාජපක්ෂ මහතා මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබිණි.
එදින රාත්‍රි 7.00 ට පමණ තමා කඩුවෙල මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එෆ්.සී.අයි.ඞී. නිලධාරින් මහෙස්ත්‍රාත්වරයා හමුවේ තමාට එරෙහි චෝදනා ප්‍රකාශ කරන විට මහෙස්ත්‍රාත් නිල මැදිරියේ තිබූ දුරකථනයේ රිසිවරය පිටතින් තබා තිබූ බවද, අනතුරුව මහෙස්ත්‍රාත්වරයා වෙනත් පාර්ශ්වයක් සමඟ දුරකථන සංවාදයක නිරත වන ආකාරය තමා නිරීක්ෂණය කළ බව ද යෝෂිත රාජපක්ෂ මහතා ස`දහන් කර තිබිණි.
ඒ අනුව ධම්මික හේමපාල මහතා ඔහුගේ නිල දුරකථනයෙන් එදින ලබාගත් දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් අදාළ සමාගමෙන් ගෙන්වා ගැනීමට කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
අදාළ සමාගමෙන් ලැබුණු දුරකථන වාර්තාව නිරීක්ෂණය කළ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා එම වාර්තාවේ ඇතුළත් දුරකථන අංක හේමපාල මහතාගේ අවධානයට යොමු කළේය. එහිදී අනාවරණය වූයේ ධම්මික හේමපාල මහතා අදාළ කාල සීමාව තුළ ජිනදාස නැමැත්තකු සමග දුරකථන සංවාදයක නිරත වී ඇති බවයි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන වජිර අබේවර්ධන මහතාගේ ඥාතියකු බව ඔබ නොදන්නේ දැයි සභාපති විනිසුරුවරයා හේමපාල මහතාගෙන් විමසීය.
‘‘මම දන්නෙ නැහැ ස්වාමීනි, ඔහු මගේත් ඥාතියෙක්’’ යනුවෙන් ධම්මික හේමපාල මහතා ඊට පිළිතුරු වශයෙන් කීවේය.
යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා හේමපාල මහතාගෙන් ප්‍රශ්න කළේ ජිනදාස යන අය තමාගේ ඥාතියකු නම් ඔබේ ජංගම දුරකථනයට ඇමතුමක් නොගත්තේ මන්ද යන්නයි. එසේම සෙනසුරාදා දිනයක රාත්‍රි කාලයේ උසාවි ක්‍රියාත්මක නොවන බව දැන ඔහුගේ ජංගම දුරකථනයෙන් තමාගේ නිල දුරකථනයට ඇමතුමක් ලබා ගත්තේ කෙසේද යන්නත් ඔහු හේමපාල මහතාගෙන් විමසීය.
‘‘ඒ පිළිබඳව මට මතකයක් නැහැ ස්වාමීනි. මම තවමත් ජිනදාස සමග කතා බහ කරනවා’’ යනුවෙන් ඒ ස`දහා පිළිතුරු දෙමින් ධම්මික හේමපාල මහතා කීවේය.
- Hits: 386