ඒ. ජේ. ඒ. අබේනායක
කොවිඞ් 19 වසංගත තත්ත්වය රටපුරා පැතිර යෑමට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ සම්බන්ධතාව කුමන ආකාරයෙන් බලපා ඇති දැයි අනාවරණය කරගැනීම සඳහා සිදුකරන අපරාධ විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ඉවත් කර වෙනත් ඒකකයකට භාරදෙන ලෙසට නීතිපතිවරයා ඊයේ (29 දා* වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.
ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පත්කරන ලෙසට නීතිපතිවරයා පසුගිය 27 වැනිදා ලබාදුන් උපදෙස් අනුව එකී විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පත් කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා විසින් පියවර ගෙන තිබිණි.
එහෙත් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් කොවිඞ් 19 ආසාදිතයන් බවට පසුගිය 27 වැනිදා වන විට තහවුරු වී තිබියදීත් පසුගිය 28 වැනිදා එකී විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පත්කිරීම කොරෝනා වසංගතය ව්‍යාප්තවීමට බෙහෙවින් බලපෑ හැකි කරුණක් වන බව අවබෝධ කරගත් නීතිපති දප්පුල ද ලිවේරා මහතා එකී විමර්ශන කටයුතු වෙනත් ඒකකයකට පැවරීමට උපදෙස් ලබාදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ‘දිවයින’ට පැවසුවාය.