Divaina - දූෂණ මර්දන කමිටු කාර්යාලයේ වියදම්වලට අගමැති කාර්යාලයෙන් රුපියල් මිලියන 33 කට වඩා වැය කළා... හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
rana135iiදූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ වියදම් සඳහා අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන් රුපියල් මිලියන 33.7 කට අධික මුදලක් වියදම් කර ඇති බව හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (15 දා* පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තේය.
 
 එම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පිළිගත්තේය.
 
 ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ මහතාගේ පැමිණිල්ලකට අදාළව හිටපු අග‍්‍රාමාත්‍යවරයා ඊයේ කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.
 
 මේ අනුව 2015 පෙබරවාරි මාසයේ සිට 2017 ජූලි මාසය දක්වා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ වියදම් සඳහා අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන් රුපියල් මිලියන 33.7 කට අධික මුදලක් වියදම් කර ඇති බව රනිල් වික‍්‍රමසිංහ මහතා කොමිසම හමුවේ ප‍්‍රකාශ කළේය.
 
 කොමිසම සඳහන් කළේ එම කාර්යාලයේ නිලධාරීන් 44 දෙනකුට වැටුප් සහ දීමනා ලබාදීමට එම මුදල වැය කර ඇති බවට කොමිසමට සාක්ෂි ඉදිරිපත් වී ඇති බවයි.
 
 එය එසේ විය හැකි බව රනිල් වික‍්‍රමසිංහ මහතා ඊට පිළිතුරු ලෙස ප‍්‍රකාශ කළේය.
 
 දූෂණ මර්දන කමිටු කාර්යාලයේ නීති උපදේශක ලෙස කටයුතු කළ රජයේ ජේ්‍යෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතාට අදාළ කාලය තුළ අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන් රුපියල් දෙලක්ෂ හැට දහසකට අධික මුදලක් ගෙවා ඇති බව ද කොමිසම මගින් රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දුන් අවස්ථාවේ එයද ඔහු පිළිගත්තේය.
 
 දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ නෛතිකභාවය පිළිබඳ කොමිසම රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් විමසූ අතර එහිදී ඔහු සඳහන් කළේ කමිටුව පිහිටුවීම නීති විරෝධී නොවන නමුත් කමිටුව ක‍්‍රියාත්මක වීමේදී නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බවයි.
 
 දූෂණ විරෝධි කමිටුවට නීති උපදෙස් ලබා දීම සඳහා පුද්ගලයන් තෝරා ගැනීමේදී එය තමා විසින් සිදු නොකළ බවත් එය නීතිපතිවරයාගේ කර්තව්‍යයක් බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා කොමිසම හමුවේ අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප‍්‍රකාශ කළේය.
 
 කොමිසම ප‍්‍රශ්න කළේ එම පත් කිරීම් සිදු කළේ නීතිපතිතුමා ද යන්නයි.
 
 ‘මම දන්නේ නැහැ. මම තේරුවේ නැහැ’ රනිල් වික‍්‍රමසිංහ මහතා ඊට පිළිතුරු දෙමින් කීවේය.
 
 මේ අතර අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂයෙන් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ වැටුප් සහ දීමනා ගෙවීම මුළුමනින්ම නීතියට පටහැනි බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප‍්‍රකාශ කළේය. කොමිසමේ සභාපතිවරයා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ පැමිණිල්ල ඊයේ විභාගයට ගත් අවස්ථාවේදී මේ බව කියා සිටියේය.
 
 දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ ගෙවීම් සම්බන්ධව අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරි, ගණකාධිකාරි සරත් කුමාර මහතා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නේය.
 
 2015 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට 2017 ජුනි මාසය දක්වා රුපියල් බිලියන 3.7 ක වියදමක් අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය සඳහා වියදම් දරා ඇතැයි අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරිවරයා කොමිසමට ප‍්‍රකාශ කළේය. වැටුප් සහ දීමනා ලබාදුන් නිලධාරීන් 44 දෙනකුගේ නාමලේඛනය ද කොමිසමට ඉදිරිපත් කළ අතර නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, උපදේශකවරුන් කළමනාකාර සහකාරවරුන්, සුළු සේවකයන් ඇතුළු කාර්යමණ්ඩලයක් ඊට ඇතුළත් විය.
 
 දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය නමින් වෙනම වැටුප් ලේඛනයක් පවත්වාගෙන ගිය බව පිළිගත් අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරිවරයා කොමිසමට ඉදිරිපත් කර තිබූ පිටු 31කින් සමන්විත මුල් ලේඛනයට අමතරව 2015, 2016, සහ 2017 වර්ෂවලට අදාළ සවිස්තරාත්මක මූල්‍ය වාර්තාවල සහතික කරන ලද මුල් ලේඛන ද ඊයේ කොමිසමට ඉදිරිපත් කළේය.
 
 පැමිණිල්ලේ නීතිඥවරයාගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැටුපට අමතරව දුරකථන, ඉන්ධන, වාහන සහ විදුලිය සඳහා දීමනා සැපයූ බව ද සරත් කුමාර මහතා සඳහන් කළේය.
 
 දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයාව සිටි ආනන්ද විජේපාල මහතාට, රජයේ නීතිඥ තුසිත් මුදලිගේ මහතාට කැබිනට් පත‍්‍රිකාවට අනුව ඔවුන්ගේ මූලික වැටුපෙන් සියයට 50 ක දීමනාවක් ගෙවා තිබෙන බවද ඒ මහතා ප‍්‍රකාශ කළේය. මේ අතර රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛය අනුව මාසිකව රුපියල් 16,150ක ඉන්ධන දීමනාවක් මාසිකව රුපියල් 5000 බැගින් රුපියල් 47015ක දුරකථන දීමනාවක්ද ගෙවා තිබෙන බවට වන මූල්‍ය වාර්තා සරත් කුමාර මහතා කොමිසමට ඉදිරිපත් කරන ලදී.
 
 කැබිනට් පත‍්‍රිකාවේ සඳහන් පරිදි මූලික වියදම ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මගින් රුපියල් මිලියන 7 ක මුදලක් ද 2016 සිට 2014 වර්ෂය සඳහා අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය මගින් ද දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය සඳහා මුදල් ප‍්‍රතිපාදන වෙන් කර තිබෙන බව කොමිසම හමුවේ අනාවරණය විණි. 2015 වර්ෂයේදී භාණ්ඩාගාරයේ අයවැය දෙපාර්තමේන්තුව මගින් වරින්වර අතිරේක මුදල් ප‍්‍රතිපාදන ද ලබා දී ඇතැයිද සරත් කුමාර මහතා වැඩිදුරටත් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේය.
 
 කොමිසමේ සභාපතිවරයා මෙහිදී ප‍්‍රශ්න කර සිටියේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය සඳහා වන ගෙවීම් අනුමත කළ පුද්ගලයා කවුරුන්ද යන්නයි.
 
 ඊට පිළිතුරු දෙමින් සරත් කුමාර මහතා ප‍්‍රකාශ කළේ මූලික වශයෙන් අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පාලන අධ්‍යක්ෂවරයා විසින් ගෙවීම් අනුමත කරන අතර සහතික කිරීම සහ ගෙවීම් කටයුතු සිදු කිරීම ගණකාධිකාරිවරයා විසින් සිදුකරන බවයි.
 
 දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පනතකින් ස්ථාපිත වූ එකක්ද යන්න පැමිණිල්ලේ නීතිඥ සෙනරත් ජයසුන්දර මහතා ඔහුගෙන් විමසා සිටි අතර එය පනතකින් ස්ථාපනය වූවක් නොවන බවත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පිහිටුවන ලද්දක් බවත් මූල්‍ය අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශ කළේය.
 
 
 
 කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ සේවකයින් බඳවා ගැනීම සහ වැටුප් ගෙවීම් සම්බන්ධව කටයුතු කිරීමේදී යම් පනතක් යටතේ ආයතනය පිහිටුවා තිබිය යුතු බවයි. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය එසේ පත් කර තිබෙන බවක් දැන සිටියේ ද යන්න විනිසුරුවරයා ප‍්‍රශ්න කළ අතර ඊට සරත් කුමාර මහතා නැත යනුවෙන් පිළිතුරු දුන්නේය.
 
 පනතකින් ස්ථාපනය නොවූ මෙවැනි ආයතනයක් විගණනය කිරීම සඳහා විගණකාධිපතිට බලය දී තිබුණේ ද යන්න මෙහිදී සභාපතිවරයා ප‍්‍රශ්න කළේය. ඒ පිළිබඳව තමාට අවබෝධයක් නොමැති බව සරත් කුමාර මහතා ප‍්‍රකාශ කළේය.
 
 ආනන්ද විජේපාල මහතාට මූලික වැටුපෙන් සියයට 50ක දීමනාවක් ගෙවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක‍්‍රලේඛයක් මගින් අවසර ලබාදී තිබුණේද යන්න රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර එවැනි අමාත්‍ය මණ්ඩල අනුමැතියක් හෝ වෙනත් විශේෂ අනුමැතියක් නොතිබූ බව ඔහු ප‍්‍රකාශ කියා සිටියේය.
 
 අග‍්‍රාමාත්‍ය කාර්යාලය පිහිටුවා ඇත්තේ කුමන නීතියක් යටතේ දැයි සභාපති විනිසුරුවරයා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙස සරත් කුමාර මහතා කීවේ අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් පිහිටුවා ඇති බවයි. අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ කොටසක් වීමට නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බවට දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පත්විය යුතු නේදැයි සභාපති විනිසුරුවරයා සරත් කුමාර මහතාගෙන් දැඩිව ප‍්‍රශ්න කර සිටියේය.
 
 සභාපති විනිසුරුවරයා කළ ප‍්‍රශ්න කිරීම්වලදී දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට කැබිනට් මණ්ඩල අනුමැතිය හැරෙන්නට වෙනත් නීත්‍යානුකූල අනුමැතියක් ලැබී නොමැති බව ද අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරීවරයා ප‍්‍රකාශ කළේය.
 
 සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේ තවත් රාජ්‍ය ආයතනයක සේවය කිරීමේ පදනම යටතේ මූලික වැටුපෙන් සියයට 50 ක් ගෙවීමට නම් නීත්‍යානුකූල රාජ්‍ය ආයතනයකට සේවයට යා යුතු බවයි. එහෙත් දූෂණ මර්දන ලේකම් කාර්යාලය වැනි ආයතනයකට අනුයුක්ත කිරීම රාජ්‍ය සේවය තුළ නීත්‍යානුකූල සේවා අනුයුක්ත කිරීමක් නොවන බව මෙහිදී සභාපති විනිසුරුවරයා කොමිසම හමුවේ කීවේය.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles