Divaina - අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ත‍්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසයේ තරගය නිසා සහරාන්ගේ මස්සිනාගෙන් ප‍්‍රශ්න කිරීමට නොහැකි වුණා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

පොලිස් පරීක්‍ෂක ගයාන් රත්නායක

 
 එරික් ගාමිණී ජිනපි‍්‍රය
 
saharasඅපරාධ පරීක්‍ෂණ කොට්ඨාසය සහ ත‍්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අතර පැවැති තරගය නිසා තමාට සහරාන්ගේ මස්සිනා වූ අන්සාර්ගෙන් ප‍්‍රශ්න කිරීමට නොහැකි වූ බව ත‍්‍රස්ත මර්දන හා විමර්ශන කොමිසමේ පොලිස් පරීක්‍ෂක ගයාන් රත්නායක මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් (12 දා* පැවසීය.
 
 අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතුව රැුස්වූ එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා, විශ‍්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා, විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු මහතා සහ අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් මංගලිකා අධිකාරි මහත්මිය සහභාගි වූහ. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ මහතාගේ සාක්‍ෂි විමසීම හමුවේ සාක්‍ෂි ලබාදුන් ගයාන් රත්නායක මහතා තවදුරටත් මෙසේද පැවැසීය.
 
 කොමිසම- අන්තවාදී සහ මූලධර්මවාදී ඒකකයේ කටයුතු කරන්නේ කවදා සිටද?
 
 සාක්‍ෂිකරු- 2018 සැප්තැම්බර් 25 වැනිදා සිට.
 
 කොමිසම- එම ඒකකය විසින් මූලික වශයෙන් කළේ මොනවාද?
 
 සාක්‍ෂිකරු- ඉස්ලාම් අන්තවාදී කටයුතු සහ අන්තවාදී කටයුතුවලට සම්බන්ධ අය ගැන විමර්ශනය කළා.
 
 කොමිසම- මොහොඞ් සහරාන් ගැනත් පරීක්‍ෂණ කළාද?
 
 සාක්‍ෂිකරු- ඔව්
 
 කොමිසම- ඒ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරියකු සිටියාද?
 
 සාක්‍ෂිකරු- පොලිස් කොස්තාපල් නයනපි‍්‍රය මහතා සිටියා.
 
 කොමිසම- එහි ප‍්‍රගතිය කෙසේද?
 
 සාක්‍ෂිකරු- 2017 දී ආරම්භ කර තිබුණා. ඔහු සමාජ මාධ්‍ය මගින්, මුහුණු පොත මගින් අන්තවාදී මත, වීඩියෝ පට මුදාහැර තිබුණා. ඒ වන විට ඔහුව අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක් අරගෙන තිබුණා.
 
 කොමිසම- කුමන අධිකරණයකින්ද?
 
 සාක්‍ෂිකරු- කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන්.
 
 කොමිසම- සහරාන් අත්අඩංගුවට ගත්තාද?
 
 සාක්‍ෂිකරු- නැහැ
 
 කොමිසම- එම වරෙන්තුව ලබාගෙන තිබුණේ කවදා ද?
 
 සාක්‍ෂිකරු- 2018.07.02 වැනි දින.
 
 කොමිසම- එම අංශය මගින් සහරාන් අත්අඩංගුවට ගැනීමට උපදෙස් දුන්නාද?
 
 සාක්‍ෂිකරු- නයනපි‍්‍රය නිලධාරියාට උපදෙස් දුන්නා මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන ලෙසත් සැඟවී සිටින තැන වාර්තා කරන ලෙසත්.
 
 කොමිසම- සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා යම් තැනකට පිටවී ගියාද? ඒ කවදා ද?
 
 සාක්‍ෂිකරු- මගේ සෘජු මැදිහත්වීමෙන් මම තවත් කණ්ඩායමක් සමග 2019 ජනවාරි 14 දින කාන්තන්කුඩි සහ අක්කරේපත්තුව ප‍්‍රදේශයට පිටව ගියා.
 
 කොමිසම- එම ගමනේ අරමුණ කුමක්ද?
 
 සාක්‍ෂිකරු- තවත් කිහිප දෙනකු සඳහා වරෙන්තු තිබුණා. මොහොමඞ් අස්මින් අත්අඩංගුවට ගැනීම සඳහාත් වරෙන්තුවක් තිබුණා. සහරානුත් එම ප‍්‍රදේශයේ සිටින බව වාර්තා වූවා.
 
 කොමිසම- අත්අඩංගුවට ගන්න පුළුවන් වූවාද?
 
 සාක්‍ෂිකරු- අක්කරේපත්තුව ප‍්‍රදේශයේ මොහොමඞ් අස්මින් සෙව්වා. ඔහු කොළඹ ප‍්‍රදේශයේ මඟුල් ගෙදරක සිටින බව දැන ගත්තා. ඒ පිළිබඳව කොළඹට දන්වා ඔහු අත්අඩංගුවට ගත්තා.
 
 කොමිසම- සහරාන් අත්අඩංගුවට ගැනීමට පුළුවන් වූවාද?
 
 සාක්‍ෂිකරු- රැුඳී සිටින තැන නිශ්චිතව දැන ගැනීමට ලැබුණේ නැහැ. එම නිසා ගන්න බැරි වූවා.
 
 කොමිසම- අක්කරේපත්තුව ප‍්‍රදේශයට පිටත්ව ගිය පසු අස්මින් ගැන තොරතුරු ලැබුණේ කවදාද?
 
 සාක්‍ෂිකරු- ජනවාරි 15 වැනිදා.
 
 කොමිසම- කොහේදී ද?
 
 සාක්‍ෂිකරු- කොළඹ මරදාන ප‍්‍රදේශයේදී.
 
 කොමිසම- අත්අඩංගුවට ගත්තේ කවුරුන් විසින්ද?
 
 සාක්‍ෂිකරු- උප පොලිස් පරීක්‍ෂක රාජිත විසින්.
 
 කොමිසම- තවදුරටත් සහරාන් ගැන විමර්ශනය කළාද? ඉන්න තැනක් ගැන දැන ගත්තාද?
 
 සාක්‍ෂිකරු- ඊට පෙර මගේ අංශයේ නිලධාරීන් විසින් 182/3 කැකුණගොල්ල, නාරම්වල ලිපිනයේ සිටින බව දැන්වූවා.
 
 කොමිසම- එම ස්ථානයට ගියාද?
 
 සාක්‍ෂිකරු- 2019 පෙබරවාරි 28 වැනි දින මගේ නායකත්වයෙන් නිලධාරීන් පිරිසක් සමග එම ස්ථානය පරීක්‍ෂා කිරීමට පිටත්ව ගියා.
 
 කොමිසම- ඊළඟට කුමක්ද කළේ?
 
 සාක්‍ෂිකරු- එම නිවස වටලා ඔහු සිටිනවාද යන්න පරීක්‍ෂා කළා.
 
 කොමිසම- සහරාන් නිවසේ සිටියාද?
 
 සාක්‍ෂිකරු- එම නිවසේ සිටියේ නැහැ.
 
 කොමිසම- ඔහුගේ බිරිඳ සිටියාද?
 
 සාක්‍ෂිකරු- නැහැ
 
 කොමිසම- කවුද සිටියේ
 
 සාක්‍ෂිකරු- බිරිඳගේ මව වූ මෙහෙමුදු සිද්ධි සහීලා සිටියා.
 
 කොමිසම- තව කවුද සිටියේ
 
 සාක්‍ෂිකරු- බිරිඳගේ සහෝදරයා වූ මෙහෙමුදු අන්සාර් නිවසේ රැුඳී සිටියා.
 
 කොමිසම- මවගෙන් සහරාන් ගැන ප‍්‍රශ්න කළාද?
 
 සාක්‍ෂිකරු- වසර දෙකකට පමණ පෙර පැමිණි බව කිව්වා.
 
 කොමිසම- සහෝදරයා කුමක්ද කිව්වේ.
 
 සාක්‍ෂිකරු- මාස එකහමාරකට පමණ පෙර පැමිණි බව සඳහන් කළා.
 
 කොමිසම- අන්සාර්ගෙන් තවදුරටත් ප‍්‍රශ්න කළාද?
 
 සාක්‍ෂිකරු- අන්සාර්ට දුරකථන ඇමතුමක් ලැබුණා. මම කිව්වා ප‍්‍රතිචාර දක්වන්න කියලා. සීඅයිඞී එකේ කෙනකු කතා කරන බව කිව්වා.
 
 කොමිසම- දුරකථනයේ අනෙක් පසින් කතා කළේ කවුද?
 
 සාක්‍ෂිකරු- මම කතා කරන්නේ කවුද කියලා ඇසුවා. මම සහරාන් අත්අඩංගුවට ගැනීමට පැමිණි බවත් සඳහන් කළා.
 
 උ.පො.ප. ඩයස් සඳහන් කළා අන්සාර් ඔවුන්ගේ ඔත්තුකරුවෙකු බව. එම නිසා එම ස්ථානයෙන් අපිට හැකි ඉක්මනින් පිටව යන ලෙස සඳහන් කළා.
 
 කොමිසම- දුරකථනයෙන් කතා කළේ කවුද යන්න ඔබ තහවුරු කර ගත්තාද?
 
 සාක්‍ෂිකරු- මම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කතා කර ඩයස්ගේ දුරකථන අංකය ඉල්ලාගෙන ඔහුට ඇමතුමක් ලබා දුන්නා. ඔහු ඩයස් බව පිළිගත්තා.
 
 කොමිසම- ඔබ එම ස්ථානයෙන් ඉවත් වූවාද?
 
 සාක්‍ෂිකරු- ඉවත් වූවා.
 
 කොමිසම- ඔබ ඒ පිළිබඳව ඉහළ නිලධාරීන්ව දැනුවත් කළාද?
 
 සාක්‍ෂිකරු- ත‍්‍රස්ත මර්දන හා විමර්ශන අංශයේ ප‍්‍රධානියාට සහ සහකාර පොලිස් අධිකාරිතුමාට දැන්වූවා.
 
 කොමිසම- ඔවුන් කුමක්ද කිව්වේ
 
 සාක්‍ෂිකරු- අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණවලට අපගේ පරීක්‍ෂණවලින් බාධාවක් වනවා නම් ඉවත් වෙන්න කිව්වා.
 
 කොමිසම- ඉන් පසුව කුමක්ද සිද්ධ වූවේ.
 
 සාක්‍ෂිකරු- අපි කටුපොත ප‍්‍රදේශයට ගියා.
 
 කොමිසම- සහරාන් අත්අඩංගුවට ගන්න ලැබුණද?
 
 සාක්‍ෂිකරු- නැහැ
 
 කොමිසම- අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත ඉවත් වීමෙන් පසුව ඔවුන් කළ විමර්ශන ගැන විමසුවාද?
 
 සාක්‍ෂිකරු- ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.
 
 කොමිසම- විමර්ශන කටයුතුවල අඩාලවීමක් සිදුවූවාද?
 
 සාක්‍ෂිකරු- නැහැ. අන්සාර්ගෙන් තවදුරටත් ප‍්‍රශ්න කළා නම් ඔහුගෙන් තොරතුරක් දැනගන්න තිබුණ කියලා මම සිතනවා.
 
 කොමිසම- අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම කටයුතු වැළැක්වූයේ ඇයි?
 
 සාක්‍ෂිකරු- අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ත‍්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අතර තිබුණ තරගකාරීත්වය නිසා එහෙම වෙන්න ඇති. එම ආයතන අතර සම්බන්ධයක් තිබුණේ නැහැ.
  

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles