Divaina - ඉල්ලීම්වල කිසිම නීතිමය පදනමක් නෑ: ඡන්දයට එරෙහි පෙත්සම් සියල්ල නිෂ්ප‍්‍රභා කරන්න..... නීතිපති පංච පුද්ගල විනිසුරු මඬුල්ලෙන් ඉල්ලයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා
 
 ඒ. ජේ. ඒ. අබේනායක
 
court3135පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා පසුගිය මාර්තු 2 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය සහ ලබන ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය බල රහිත කිරීම ඇතුළු පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම්වලට කිසිඳු නීතිමය පදනමක් නොමැති නිසා එකී පෙත්සම් සියල්ල විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම නිෂ්ප‍්‍රභා කරන ලෙස නීතිපතිවරයා ඊයේ (22 දා* අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.
 
 එකී පෙත්සම්කරුවන් අතරින් බහුතරයක් මැතිවරණ කි‍්‍රයාමාර්ග පිළිගෙන නාමයෝජනා පත‍්‍ර භාරදීමෙන් අනතුරුව අධිකරණය හමුවට පැමිණ මැතිවරණය පැවැත්වීම වළක්වන ලෙස ඉල්ලා සිටීම අනුව එකී ඉල්ලීම්වලට කිසිඳු පදනමක් නොමැති බව පෙනී යන්නේ යැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය එහිදී අධිකරණයට කීවාය.
 
 මැතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් පිළිගත් දේශපාලන පක්‍ෂ 304 හා ස්වාධීන කණ්ඩායම් 313ක් නියෝජනය කරනා මැතිවරණ අපේක්‍ෂකයන් 7452ක් ද එකී පෙත්සම්වල වගඋත්තරකරුවන් කළ යුතු වුවත් එකී පාර්ශ්ව වගඋත්තරකරුවන් නොකිරීම බලවත් දුර්වලතාවයක් බවත් එහිදී අධිකරණයට පැවසූ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඉතා අත්‍යාවශ්‍ය පාර්ශ්ව වගඋත්තරකරුවන් ලෙස නම් නොකිරීම එකී පෙත්සම් නිෂ්ප‍්‍රභා කිරීමට ප‍්‍රමාණවත් වන්නේ යැයි ද පැවසීය.
 
 සෞඛ්‍ය අංශ විසින් කොරෝනා වසංගත තත්ත්වය පහව ගිය බවට නිර්දේශ කර නොමැති විටකදී මැතිවරණය පැවැත්වීම ජනතාවගේ ජීවිත අනතුරුදායක තත්ත්වයකට ඇද දැමීමක් බවට පෙත්සම්කරුවන් අධිකරණයට පවසා ඇතත් එකී කරුණු මෙන්ම සෙසු ඉල්ලීම් ද සනාථ කළ හැකි ලේඛන කිසිවක් පෙත්සම්කරුවන් අධිකරණයට ඉදිරිපත් කර නැතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට පැවසීය.
 
 ලබන ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම සිදුකළ අවස්ථාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ, පි‍්‍රයන්ත ජයවර්ධන හා විජිත් කේ. මලල්ගොඩ යන විනිසුරු මඬුල්ල හමුවේදී එලෙස ප‍්‍රකාශ කළාය.
 
 ‘සමගි ජන බලවේගය’ පක්‍ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන පාඨලී චම්පික රණවක, කුමාර වෙල්ගම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ මහ ලේකම් ආරියවංශ දිසානායක, විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කර තිබූ අටක් සලකා බැලීම පස්වන දිනටත් ඊයේ (22 දා* පෙ.ව. 10.10 ට ආරම්භ කෙරිණි.
 
 එකී පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස ජනාධිපතිවරයා වෙනුවට ද නීතිපතිවරයා නම් කර ඇති බැවින් තමුන්ට නීතිපතිවරයා වෙනුවෙන් ද ජනාධිපතිවරයා වෙනුවෙන් ද කරුණු දැක්වීමට සිදුවන බව පවසමින් සිය දේශනය ආරම්භ කළ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය මැතිවරණයක් පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවීමට කාල පරාසයක් නීතියෙන් නියම කර ඇත්තේ මැතිවරණය පැවැත්වීමට මිස මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ කල් දැමීමට නොවනා බව ද සඳහන් කළාය.
 
 පසුගිය මාර්තු 2 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල ශුන්‍ය බවට පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් තර්ක කළත් ජනාධිපතිවරයාගේ එකී ගැසට් නිවේදනය පමණක් නොව මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබන ජුනි 20 වැනිදා ඡුන්දය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ද නිත්‍යානුකූල වන්නේ යැයි ද ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය එහිදී අධිකරණයට කීවාය.
 
 සමහර පෙත්සම්කරුවන් ඔවුන් ඡුන්දදායකයන් බව සිය පෙත්සම් මගින් අධිකරණයට පෙන්වා දී මැතිවරණය කල් දැමීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට පෙන්වා දී ඇතත් ඉදිරි මැතිවරණය සඳහා ඡුන්දය භාවිත කිරීමට ඔවුන් සුදුස්සන් බව සනාථ කළ හැකි ඡුන්ද ලේඛන හෝ ඔවුන් එකී පෙත්සම් සමග ඉදිරිපත් කර නැතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට පැවසුවාය.
 
 නිවාඩු දිනවලදී නාම යෝජනා කැඳවා තිබීම නිත්‍යානුකූල වන්නේ යැයි ද එහිදී පැවසූ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එය අඩුපාඩුවක් ලෙස සැලකුවත් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින පරිදි ජනාධිපතිවරයාගේ හා මැතිවරණ කොමිෂන් සභාවේ ගැසට් නිවේදනය අවලංගු කිරීමට තරම් එය ප‍්‍රමාණවත් නොවනා බවද කීවාය.
 
 පැවති අයහපත් වාතාවරණය නිසා නිරෝධායන ඇඳිරිනීතිය පැනවූයේ ජනාධිපතිවරයා නොව සෞඛ්‍ය අංශ බලධාරීන් බව ද එහිදී අධිකරණය පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අපේ‍්‍රල් 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණය ලබන ජුනි 20 වැනිදා දක්වා කල් තබනු ලැබුවේ සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව අවබෝධ කරගත් නිසා විය හැකි බව ද අධිකරණයට කීවාය.
 
 රටේ ජනාධිපතිවරයා කටයුතු කරනුයේ ඔහුට රටේ ජනතාව සිය ඡන්දය ලබාදී ලබාදුන් විධායක බලතල අනුව බවත් එහිදී පැවසූ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එකී මැතිවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්‍ෂේප වූ අපේක්‍ෂකයන් 309දෙනකු අධිකරණය හමුවට පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් ඔවුනට මැතිවරණයක අවශ්‍යතාවය පවතින බව පෙනී යන්නේ යැයි ද කීවාය.
 
 විශේෂ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කළ දිනවල නාමයෝජනා පත‍්‍ර භාරදීම සම්බන්ධයෙන් ඡුන්ද අපේක්‍ෂකයන් හෝ පක්‍ෂ නායකයන් කිසිවකුත් මැතිවරණ කොමිෂන් සභාවට විරෝධතා ගොනු කර නොතිබූ බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එහිදී විනිසුරු මඬුල්ලට පැවසුවාය.
 
 සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කළ ලිපියක් මගින් ඉදිරි මැතිවරණ කි‍්‍රයාදාමය ආරම්භ කළ හැකි වාතාවරණයක් මේ වන විට රටේ පවතින බව පෙන්වා දී තිබියදීත් ඒ අනුව මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර නොගැනීම ගැටලූ සහගත බව එම පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කොට තිබූ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් අධිකරණයට කීවේය. ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා මහතා එලෙස දිගින් දිගටම මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව කරුණු දැක්වීම මගින් එම කොමිෂන් සභාව අගතියට පත්වන බැවින් ජනාධිපති නීතිඥවරයාගේ එකී කරුණු දැක්වීම් සම්බන්ධයෙන් පිළිතුරු බැඳීමට තමාට අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
 එකී පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන 26 වැනිදා පෙරවරු 10.00 දක්වා කල් තැබීමට නියෝග කෙරිණි.

 

 

 

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles