Divaina - ගෝලීය කොරෝනා වසංගතයකට සූදානම් වෙන්න... ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අ`ගවයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 කීර්ති වර්ණකුලසූරිය, ඒමන්ති මාරඹේ
 
 ප‍්‍රධාන වශයෙන් චීනයේ පැතිරෙමින් තිබූ කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය තුළ ද ශීඝ‍්‍ර‍්‍රයෙන් පැතිර යෑමේ තත්ත්වයක් උද්ගත ව තිබීම හේතුවෙන් ලොව පුරා සෑම රටක්ම ගෝලීය කොරෝනා වසංගතයකට මුහුණ දීම සඳහා දැන් සිටම සූදානම් විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ (25දා* අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
 
 කොරෝනා වෛරසය ලොව පුරා පැතිර යෑමේ දැඩි අවදානමක් මතුව තිබෙන බව පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානි ටෙඞ්රෝස් ඇඞ්හැනම් ගෙබ්රෙයෙසුස් මහතා, කෙසේ වුවද තවමත් එවැනි පැතිරීමක් නොපවතින බව සඳහන් කළේය. අප‍්‍රිකානු රටවල් වැනි දුර්වල සෞඛ්‍ය පහසුකම් පවතින රටවල මෙම රෝගය පැතිර ගියහොත් ඇති විය හැකි හානිය වැඩි වීම හේතුවෙන් එම රටවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැන් සිටම එවැනි වසංගතයකට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව පුහුණු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දැනටමත් පියවර ගෙන තිබේ.
 
 මෙහිදී කොරෝනා වෛරස් පවුලට අයත් වෛරසයක් මගින් පැතිරෙන ‘එබෝලා’ වසංගතය පැතිර ගිය කොංගෝ වැනි රටවලට කොරෝනා වෛරසයට සාර්ථක අන්දමින් මුහුණ දිය හැකි බවට එම සංවිධානය විශ්වාසය පළ කර තිබේ.
 
 මේ අතර දැනට කොරෝනා වෛරසය වැඩි වශයෙන් පැතිර යන චීනයෙන් ඊයේ උදෑසන වන විට ගත වූ පැය 24 ක කාලය තුළදී නව කොරෝනා ආසාදිතයින් 508 දෙනකු වාර්තා වී තිබූ අතර, මරණ 71 ක් සිදුව තිබිණි. මෙම මරණවලින් 68 ක්ම වෛරසය පැතිරීම ඇරැුඹි හුබෙයි ප‍්‍රදේශයේ වූහාන් නගරයෙන් වාර්තා වී තිබිණි. මේ අනුව ඊයේ දහවල් වන විට චීනයෙන් වාර්තා වී තිබූ මුළු කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 77,658 ක් වූ අතර මරණ සංඛ්‍යාව 2663 ක් වී තිබිණි. මේ වන විට රටවල් 37 කට ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති මුළු සංඛ්‍යාව ඊයේ වන විට 80,154 දෙනකු වූ අතර මරණ සංඛ්‍යාව 2703 ක් විය.
 
 මේ වන විට ලොව පුරා සුවපත් වී ඇති එම ආසාදිතයින්ගේ සංඛ්‍යාව 27,703 ක් වන අතර දැනට අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 9215 දෙනෙකි.
 
 චීනය හැරුණු විට කොරෝනා වෛරස් ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇති දකුණු කොරියාවෙන් ඊයේ තවත් නව ආසාදිතයින් 60 දෙනකු වාර්තා වී තිබූ අතර, මේ අනුව මෙතෙක් එරටින් වාර්තා වී ඇති මුළු කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 893 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින්ගෙන් 16 දෙනකුම එරට එම වෛරසය පැතිර යෑම ආරම්භ වූ ඬේගු ප‍්‍රදේශයේ අය වෙති.
 
 මේ අතර චීනයේ ටියන්ජින් සරසවියේ මහාචාර්යවරයකු විසින් කොරෝනා වෛරස් ආසාදනයට ප‍්‍රතිකාරයක් වශයෙන් කිසිදු අතුරු ආබාධයක් නොමැති මුඛ එන්නතක් නිපදවා ඔහු විසින්ම එයින් මාත‍්‍රාවන් හතරක් ලබා ගෙන ඇති බව රජය යටතේ පවතින ‘ග්ලෝබල් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබේ. එම එන්නත ඉතා ඉක්මනින්ම මහා පරිමාණයෙන් නිපදවනු ඇති බවට ද මත පළ වී තිබේ.
 
 කෙසේ වුවද විද්වතුන් පෙන්වා දෙනුයේ විධිමත් ලෙස සායනික අත්හදාබැලීම් සිදු කරන තෙක් මෙසේ සොයා ගනු ලබන එන්නත් කෙතරම් ආරක්ෂාකාරීද යන්න පිළිබඳව ප‍්‍රකාශ කළ නොහැකි බවයි. එමෙන්ම එසේ අත්හදාබැලීම් සිදු කර එන්නතක් රෝගීන්ට භාවිත කිරීම සඳහා තවත් මාස ගණනක් බලා සිටීමට සිදු වනු ඇතැයි ඔවුහු කියා සිටිති.
 
 වන සතුන් ආහාරයට ගැනීම, එම සතුන් දඩයම් කිරීම, ප‍්‍රවාහනය හා අලෙවිය චීන රජය විසින් තවදුරටත් තහනම් කර තිබේ. ඒ කොරෝනා වෛරසය වන සතෙකු මාර්ගයෙන් මිනිසාට වැළදී ඇති බව මූලික පර්යේෂණවලදී හෙළිදරව් වීම හේතුවෙනි.
 
 කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ඉතාලිය හා දකුණු කොරියාව දැනටමත් එය පැතිර පවතින නගර වසා දමා ඒවායේ වෙසෙන ජනතාව නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර තිබේ. රටවල් කිහිපයක්ම වෛරසය පැතිරීම හේතුවෙන් දකුණු කොරියාවට හා ඉරානයට ගුවන් ගමන් සීමා කර තිබේ.
 
 ඉතාලියෙන් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ වන විට 229 දෙනකු වූ අතර මරණ හතක් වාර්තා වී තිබිණි, ඉතාලිය විසින් කොරෝනා පැතිරීම හේතුවෙන් වසා දමා ඇති ප‍්‍රධානතම නගර වනුයේ ලොම්බාර්ඞ් හා වෙනේටෝ වන අතර, ඒවායේ ලක්ෂයක් පමණ වන ජනකායක් වාසය කරති.

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles