Divaina - කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා බුද්ධි නිලධාරීන් 14 කට නඩු 11 ක් පැහැරගෙන අතුරුදන් කළැයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට එරෙහිව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, රියර් අද්මිරාල් ඞී. කේ. පී. දසනායක ඇතුළු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් 14 දෙනකුට එරෙහිව මිනිමැරීම ඒ සඳහා ආධාර අනුබල ඇතුළු අධිචෝදනා 667 ක් යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

සුදු වෑන් භාවිත කරමින් 2008 වසරේ අගෝස්තු 25 වැනිදා හා 2009 මාර්තු 21 වැනිදා කාලය අතරතුරදී අවස්ථා හයකදී කොටහේන ඇතුළු කොළඹ තදාසන්න ප‍්‍රදේශවලදී ලියෝන් ස්ටැන්ලි ලියොන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ එම විත්තිකරුවන්ට එරෙහිව පවරනු ලැබූ එම නඩුව විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙසටද නීතිපති දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බංඩාර මහතා ‘‘දිවයින’’ට පැවසීය.

වසන්ත කරන්නාගොඩ මහතාට අමතරව, හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ඞී. කේ. පී. දසනායක හිටපු ලූතිනන් කමාන්ඩර් ප‍්‍රසාද් හෙට්ටිආරච්චි, නිලන්ත සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, දිලංක සේනාරත්න, ප‍්‍රසන්න වික‍්‍රමසූරිය, ඇන්ටන් ප‍්‍රනාන්දු, රාජපක්‍ෂ පතිරන්නැහැලාගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්, කත‍්‍රිආරච්චිලාගේ ගාමිණී, උපුල් චමින්ද, නන්දප‍්‍රිය හෙට්ටිහැන්දි සහ සම්පත් ජානක කුමාර එම නඩුවේ සෙසු විත්තිකරුවෝ වෙති.

එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් සම්බන්ධිත මෙහෙයුම් සිදු කරන මුවාවෙන් කිසිදු ත‍්‍රස්තවාදී ක‍්‍රියාවකට සෘජු හෝ වක‍්‍ර සම්බන්ධතාවක් නොමැති නිරායුධ සිවිල් පුරවැසියන් නීති විරෝධී ලෙස පැහැරගෙන ගොස් රහසිගතව රඳවා තබා ගැනීම, පැහැර ගෙන ගොස් ඔවුන්ගේ ඥාතීන්ගෙන් කප්පම් මුදල් ලබා ගැනීම, කප්පම් ලබා ගැනීමට තැත් කිරීම, අවසානයේදී ඔවුන් 11 දෙනා මරා දැමීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව ඇසින්දුටු හා පරිවේශනීය සාක්‍ෂි අනුව එලෙස අධිචෝදනා ගොනු කර නඩු පවරා ඇතැයිද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා පැවසීය.

එසේ පැහැර ගන්නා ලද පුද්ගලයන් කොළඹ චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදාවට අයත් ‘‘පිට්ටු බම්බුව’’ ලෙස හඳුන්වන ගොඩනැගිල්ලේත් පසුව ත‍්‍රිකුණාමලයේ පිහිටි ‘‘ගන් සයිට්’’ නාවික හමුදා කඳවුරේ රදවාගෙන සිට ඝාතනය කළ බව අත්අඩංගුවට ගත් නාවික හමුදා නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකිවී තිබිණි.

ලියෝන් ස්ටැන්ලි, රොෂාන් ලියොන් ස්ටැන්ලි ලියෝන්, ජෝග් රීඞ්, තුරෙයිරාජා ජෙගන්, රජිව් නාගනාදන්, රාමලිංගම් තිලිකස්වරන්, ප‍්‍රදීප් විශ්වනාදන්, මොහොමඞ් සජිත්, මොහොමඞ් ඩිලාප්, කස්තුරි ආරච්චිගේ ඇන්තනි, මොහොමඞ් අන්වර් යන 11 දෙනා එලෙස පැහැර ගැනීමට ලක්වී තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles